අපි යන්නෙ බාර දීපු වැඩේ ඉවර කරලයි
“මම ආවේ මුන්ව විනාශ කරලා යන්නැ”යි පාලිතට ආවිශ්ට වූ භූතයා බොහෝ ම ගාම්භීරව කීෙව් ය.
“ඇයි තමුන් මේ පාලිතත් එක්ක තරහක් වෛරයක් තියෙනවා දැයි ආධ්‍යාත්මීය ගවේෂකවරයා ඇසීය.
“නැහැ මට ඒක පවරලා තියෙනවා”
“කවුද පැවරුවේ”
“දේවාලෙ කපු මහත්තයා”
“කපුවා මොනවාද කිව්වේ?”
“මුන් විනාශ කරල එන්න කිව්වා”
“ඒ කොහොමද?”
“මුන් ව්‍යාපාර කරන තැන්වලට ගිහින් කරදර කරන්න කිව්වා”
“තමුන් අමනුෂ්‍යයෙක්නෙ. ඉතින් කොහොමද කිව්වේ?”
“කපු මහත්තයාගෙ ගෝලයගෙ ඇඟට මාව ආවේශ කරලා ගත්තා. ඊට පස්සේ මෙහෙම කරපන් මෙහෙම කරපන් කියලා කිව්වා.”
“ඒකට කමක් නෑ. දැන් වහාම පිටවෙලා යන්න ලැහැස්ති වුණොත් හොඳයි.”
“මොනවා” තමුසෙ කවුද මට එහෙම කියන්න... තමුසෙට පුළුවන්ද මාත් එක්ක හැප්පෙන්න. මම වෙසමුණිගෙන් වරම් ගත්ත කෙනෙක්. මට පවරපු වැඩේ කරලා මිසක් මම යන්නේ නෑ.”
“උඹ ඔය තරම් කෙරුම්කාරයෙක් ද?” උඹ උඹේ වෙසමුණිට ගිහිං කියාපං මම උඹට දඬුවම් කරනවැයි කියලා කිව්වැයි කියලා.”
“උඹ දන්නවද වෙසමුණි වරමේ බලය. එන්න එපා මාත් එක්ක හැප්පෙන්න.” වෙසමුණිව උඹ හරියට අඳුනන්නෙත් නෑ.
“උඹ කපුවගෙන් වරම් අරගෙන වෙන්න ඇති ආවේ. කපුවගෙ පුළුටු කාල ආපු පෙරේත තඩියෙක් උඹ. උඹ වගේ කාලකන්නි පව්කාර පෙරේතයන්ට වෙසමුණි දෙවියෝ වරම් දෙන්නේ නැහැ. වෙමසුණි කියන්නේ වෛශ්‍රමණ දෙවියෝ. එතුමා බොහෝම බල සම්පන්න බෞද්ධ දෙවි කෙනෙක්. උතුරු දිග් භාගයට අධිපති, යක්ෂයන් පාලනය කරන පින්වන්ත බලවන්ත දෙවි කෙනෙක්” ගවේෂකවරයා කීය.
“මට යන්න ඕනෑ. මට වැඩ තියෙනවා.”
“උඹට එහෙම යන්න බෑ. ඔහොම හිටපං ඉතුරු ටිකත් කියනකම්. බුදු රජාණන් වහන්සේ, අනුදැන වදාළ ආටානාටිය සූත‍්‍රයේ දේශනා කළ දේ නුඹට කියමි. ප්‍රේතය අහගෙන හිටු. බුදුරජාණන් වහන්සේ ගිජුකුළු පව්වෙහි වසන සමයෙහි මහා බලසම්පන්න වෛශ්‍රමණ වරම් දෙව් රජු අනිකුත් වරම් දෙවි වරුන් සමඟ මහ බලැති සේනාධිපතියන් පිරිවරාගෙන හාත්පස බබළුවමින් පැමිණියා. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්‍ස; ඔබ වහන්සේගේ ශ්‍රාවක භික්ෂු, භික්ෂුණී, උපාසක, උපාසිකා යන සිවු පිරිසට යම් අමනුෂ්‍යයෙකුගේ කරදර ගැහැටක් වේද, මේ යක්ෂයා මට හිරිහැර, කරතැයි හඬ නගා කියන්නැයි කියන්න. එවිට අපේ සේනාධිපතියෝ නොපමාව, සිල්වතුන්ට හිරිහැර කරන අමනුෂ්‍යයෙක් අල්ලා දඬුවම් කරති. උන් යක්ෂ සමාගමට නොගනිති. ආවාහ විවාහවලට නොගනිති. හිස් යකඩ පාත්‍ර හිසෙහි නමති. පරිභව කරති. හිස සත් කඩකට පළතියි ප්‍රතිඥා දී තිබෙනවා. ඒ ආටානාටිය සූත්‍රය සත්‍යවාදී ය. සැබෑ ය. මේ පාලිත මහත්මයා දැන් දින විසි එකක සිට බෝධි පූජා පවත්වමින් පන්සිල් අකුරට ම ආරක්ෂා කරන සිල්වතෙක්. උපාසකයෙක්, මෙන්න මේ ප්‍රේතයා, මේ අමනුෂ්‍යයා හිරිහැර කරතැයි අපි වෛශ්‍රමණ දෙවියන් ඇතුළු යක්ෂ සේනාධිපතියන්ට හඬ නගා කියනවා. වෙසමුණි වරම් ගත්තා යැයි බොරු කියමින් ඒ දෙව් රජුන්ට ද අපහාස වන අන්දමින් මේ පාලිත මහත්තයාට හිරිහැර කරන නුඹේ හිස සත් කඩකට පළන්නට අපි ඒ දෙව් රජුන්ට, යක්ෂ සේනාධිපතියන්ට පැමිණිලි කරන්නද?”
භූතාත්මය බියෙන් වෙව්ලන්නට විය. දහදිය දමන්නට විය. වැඳ වැටී “අනේ, සමාවෙන්න. වරදට සමාවෙන්න. කපුවාගේ කීමට රැවටී, පුළුටු පුදට කෑදරව කළ වරදට සමාවෙන්න. ආයෙත් නම් මේ මහත්මයාට කරදර කරන්නේ නැතැයි වැඳ වැඳ සමාව ඉල්ලීය.
පාලිත බිබිල ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකි. හතළිස් පස් හැවිරිදි විවාහකයෙකි. දෙදරු පියෙකි. ඔහු තමන්ගේ ව්‍යාපාර දියුණු කැර ගැනීමට දෙවියන්ගේ ආශිර්වාද ආරක්ෂාව ඉල්ලන්නට යහළුවෙකුගේ කීමට දේවාලයකට ගියේ ය. ඒ මීට අවුරුදු හතරකට පෙරදී ය. දේවාලයේ කපුවා පාලිතගේ නිවසේ දෝෂයක් ඇතැයි ද ඊට යාගයක් කළ යුතු යැයි ද කියා ඇත. ඒ අනුව කපුවා ගෝලයෙකු සමඟ නිවසට පැමිණ යාගයක් කෙළේ ය. ගාස්තුව රුපියල් පනස් දහසක් ගෙන ඇත. ඒ යාගයෙන් පසු නිවසේ රාත්‍රියට අඩි සද්ද ඇසෙන්නට විය. බඩු මුට්ටු එහා මෙහා අදින සද්ද ඇසෙන්නට විය. මේ ගැන දේවාලයට ගොස් කපුවාට කී විට ඔහු කියා ඇත්තේ මෙය පෙර අකුසලයක් නිසා සිදුවන්නක් බවත් සෑම සති දෙකකට ම වරක් දේවාලයට පැමිණ ආශිර්වාද ලබාගන්නා ලෙසත් ය. ඒ සඳහා ඔහු දෙසතියකට වරක් පාලිතට ආශිර්වාද කොට රුපියල් තුන් දහසක් ලබා ගත්තේ ය. ඊට අමතරව මාස හයකට වරක් නිවසේ ලොකු යාගයක් කළ අතර ඊට ගාස්තු වශයෙන් රුපියල් ලක්ෂ දෙක හමාරක් කපුවා අය කළේ ය. මෙසේ අවුරුදු තුන හමාරක් තුළ මහා යාග හතක් පවත්වා ඇත. සෑම සති දෙකකට වරක් රුපියල් තුන් දහසක් ගෙවා හිසේ තෙල් ටිකක් උලවා ගෙන එන්නට සිදුව ඇත. මේ කපුවාට හම්බ කර දෙනවාට වඩා පාලිතට ව්‍යාපාරවලින් ඉතුරුවක් නැත. මෙය බොරුවක්, වංචාවක් බව වැටහී දේවාලයට යෑම නතර කැර දමා ඇත. ඊට පසු රාත්‍රියට නින්දක් නැත. නින්ද යාගෙන එන විට කවුදෝ කකුලෙන් අදින්නට විය. පවුලේ සියලු දෙනා රෝගී වන්නට විය. මේ අතර කපුවා පාලිතට තර්ජනය කොට බියට පත් කළේ ය. මුළු පවුලම මරණයට පත්වේ යැයි බිය කළේ ය. ඒ අනුව යළිත් දිනෙක පාලිත බිරිය සමඟ දේවාලයට ගියේ ය. කපුවා නැවත තර්ජනය කළේ ය. දේවාලය නාවොත් මුළු පවුලම විනාශ කරන බව කීවේ ය. පාලිත එහිදී සිහිසුන්ව වැටුණේ ය. නිවසේ දේව රූප තබා පහන් දල්වන්නැයි කපුවා නියම කළේ ය. දැන් පාලිතගේ ව්‍යාපාර දුර්වල වී ඇත. ඒ වෙන කිසි දෙයක් නිසා නොව කපුවාට ගෙවන්නට ම හම්බ කරනවා විනා ව්‍යාපාර නඩත්තුවට පවා මුදලක් ඉතුරු නොවන නිසා ය.
බැරි ම තැන පාලිත ‘සිළුමිණ’ පත්‍රයේ පළවන ‘පියවි ඇසින් ඔබ්බට’ විශේෂාංගයේ සඳහන් ඇතුල්කෝට්ටේ ගුප්ත ගවේෂණ මධ්‍යස්ථානය සොයාගෙන බිරියත් දරු දෙදෙනාත් සමඟ ආවේ ය. ආධ්‍යාත්මීය ගවේෂකවරයා සමඟ සිවු වසරක් පුරා සිදු වූ දේ විස්තර කළේ ය. එදින ගවේෂකවරයා ශක්ති කිරණ එල්ල කරන විට පාලිත ප්‍රලය වී කෑ ගසන්නට විය. මුළු අලකේශ්වර පාරටම ඇහෙන්නට ම කෑ ගසන්නට වූ බැවින් භූතාත්මය නිහඬ කළේ ය. දින විසි එකක් පුළුටු හා තෙල් බැඳුම්වලින් තොර වූ ගමේ පන්සලේ දී බෝධි පූජා පවත්වන ලෙස ද, මෙය ඉතා බරපතළ භූත බන්ධනයක් බැවින් පවුලේ හතර දෙනා ම අකුරට ම පන්සිල් ආරක්ෂා කරමින් ඒ බෝධි පූජාවලට සහභාගි විය යුතු බවත්, නිවසේ දී තුන් සූත්‍රය කියා මෛත්‍රී භාවනාවේ යෙදෙන ලෙස ද නියම කළේ ය. නිවසේ ඇති සියලු ම දේව රූප විසි කැර දමා බුදු පහන පමණක් දල්වන ලෙස ද දෙවියන්ට පින් අනුමෝදන් කරන ලෙස ද අවධාරණය කෙළේ ය. බෝධි පූජා අවසන් කොට පැමිණි දිනයේ පාලිත ප්‍රලය වී “පිච්චෙනවා යි කියමින් හූ කියන්නට වූයේ ය. දහ හත් හැවිරිදි දියණිය ද ප්‍රලය වී හූ කියන්නට වූවා ය. බිරියත් අනිත් දරුවත් වැනෙන්නට ගැහෙන්නට වෙව්ලන්නට වූහ. අනිත් තිදෙනා නිහඬ කොට පාලිතට ආවිශ්ට වූ භූතයා සමඟ සාකච්ඡා ඇරඹීය.
“අපිට යන්න කියන්නත් එපා. අපි යන්නෙත් නෑ. බාරදීපු වැඩේ ඉවර කරලා මේ අය විනාශ කරලා තමයි අපි යන්නේ” භූතයා කීවේ ය.
“අද මොකද මේ... අපි.... අපි... කියන්නේ” යි ගවේෂකවරයා ඇසී ය.
“එහෙම තමයි, එහෙම තමයි. අපේ කපුමහත්තයා බන්ධනය අලුත් කළා. දැන් නම් අපි යන්නේ මුන්ව මරාගෙනම තමයි” කීවේ ය.
“එහෙම කියලා හරි යන්නේ නෑ. වහාම ඉවත් වෙන්න ඕනෑ.”
“හීඃ... හීඃ... හී... අපි යන්නේ නෑ. අපි වෙසමුණි වරම් අරගෙනයි ආවේ.”
ශරීරවලින් භූතාත්ම ඉවත් කර තොරතුරු විමසන විට කලින් දින උපදෙස් දුන් පරිදි කපුවා දුන් දේව රූප හිතේ බයට ඉවත් නොකළ බව පාලිතගේ බිරිය කීවා ය. වහාම ඒ දේව රූප ඉවත් කළ යුතු බවත් හිතට බය නම් ඒවා ඉවතට විසි නොකොට පුද පූජා තබන බෝ මළුවකට ගෙන ගොස් තබන ලෙස නියම කළේ ය. තවත් සතියක් බෝධි පූජා පවත්වා දෙවියන්ට පින් අනුමෝදන් කරන ලෙස ද විශේෂයෙන් වෛශ්‍රමණ දෙවියන්ටත් ප්‍රදේශය භාර දෙවියන්ටත්, ගමට අධිපති ගම්භාර දෙවියන්ටත් පින් අනුමෝදන් කර එන්නැයි නියම කළේ ය. නියමිත දිනයේ නැවත පැමිණි විට පාලිත දිෂ්ටි ගැන්වීය. එදින ආටානාටිය සූත්‍රය හා වෛශ්‍රමණ දෙවියන් ගැන ද, ආටානාටිය සූත්‍රයේ නියමයන් ගැන ද පැවසූ විට මෙතෙක් කල් මේ පවුලට හිරිහැර කළ භූතාත්ම වැඳ වැටී සමාව ඉල්ලා ඉවත්ව යන්නට අවසර පැතූහ. පිරිත් පොතේ අත ගස්වා දිවුරුම් ගෙන භූතාත්ම යළිත් මේ අයට හිරිහැර නොකරන බව ද මේ ගම් පළාතෙන් ම ඉවත්ව යන බව ද පවසා ඉවත්ව ගියහ. මෙය වඳින්න ගිය දේවාලය හිසේ කඩා වැටීමක් වැනි ය. දේවාලවලින් වැඩ කිරීමේදී නුවණින් කටයුතු කළ යුතු ය.
මතුගම මහින්ද විජේතිලක
උපුටා ගැනීම සිළුමිණ පුවත්පත