මේ පුතා දැක්ක ගමන් මට ආදරයක් ඇතිවුණා මගේ පුතා වගේමයි
සුනාමිය ලංකාව ඇතුළු රටවල් ගණනාවකට මහත් වූ විපත් සිදු කොට දැනට වසර නවයක් ගතව ඇත. හිටිහැටියේ බලාපොරොත්තු නැති මොහොතක රට තුළට කඩා වැදුණු අඩි හතළිහක් පමණ උස් වූ මහා ජල කඳට ගොදුරු වූවෝ මරණයට පත්වන්නට ඇත්තේ කෙසේද? ඔවුන්ට කායික වේදනාවක් දැනෙන්නට ඇද්ද? ක්ෂණිකව තමන් ගිලගත් ජල කඳට යටවී නොයෙක් හේතූන් නිසා ජලයෙන් මතුපිටට එන්නට නොහැකිව, හුස්ම හිරවීමෙන් ඇති වූ තෙරපීම, පීඩාව, කම්පනය තුළ මනසට බාහිර සිතුවිල්ලක් පැමිණියා දැයි සිතන්නට නොහැකි තරම් ය. ඒ අනපේක්ෂිත, ක්ෂණික, තත්ත්වය අනුව මානසික තෙරැපුමකට (තදවීමක් වැනි) ලක්ව එදා මරණයට පත්වූවන්ගේ ප්‍රාණකාරයෝ බොහෝ දෙනා සිහිඑළවා ගත නොහැකිව තවමත් අතරමං ස්වභාවයකින් මුහුදුබඩ ප්‍රදේශවල පිරිස් වශයෙන් සැරිසරන බව ගවේෂකයෝ පවසති. සමහරෙකුට ඔවුන්ගේ නිවෙස්වල පින්කම් කොට නම කියා පින් අනුමෝදන් කරන විට ඒ ඥාතීන් ගේත්, පුද්ගලයා හඳුනන සංඝයා වහන්සේගේත් චිත්ත තරංග ස්පර්ශ වීමෙන් මතකය අවදි වී පින් අනුමෝදන් වන්නට පැමිණෙති. එවැන්නෙක් එසේ ඒ පින්කම් අවස්ථාවට ඇදී එන විට ඔහු හෝ ඇය සමඟ සිටින සමූහයේ සමහර සගයෝ ද ඔහුට අනුව ඒ අවස්ථාවට මෙරු රැළක් සේ ඇදී එන බව ද කියති. එවැනි සිදුවීම්වලින් ඔවුන්ට ද ක්‍රමයෙන් මතකය අවදි වන්නට කරුණු යෙදේ. එසේ ම නොසිතූ නොපැතූ වේලාවෙක සිදුවන වාහන අනතුරුවලදී ගැටීමෙන් හෝ යටවීමෙන් සිදුවන ක්ෂණික මරණවලට ලක්වන්නන් ගේ ප්‍රාණකාරයන්ගේ මානසිකත්වය ද මෙසේ අනුමාන කළ හැකිය. ආනන්තරිය පාපකර්ම හා ධ්‍යාන කුසල චින්තනයත් චුති චින්තනයට යොමුවුවහොත් තත්ත්වය වෙනස් විය හැකිය. එසේ ම යුද හමුදාවේ සේවයේ යෙදී සිටිය දී වෙඩි වැදීමෙන්, විශේෂයෙන් ම පපුවට වෙඩි වැදීමෙන් මරණයට පත් වූවෝ ද ඒ ගිනියම් වූ වෙඩි උණ්ඩයෙන් දැවෙන වේදනාවේ දී ඔවුන්ට ගෙවල් දොරවල් අඹු දරුවන් සිහිපත් නොවන්නට ද පුළුවන. එවැන්නන්ට අතීත මතකයන් අවදි වනතුරු ඉබාගාතේ සැරිසරන තත්ත්වයන් උදාවන අවස්ථා ද ඇත. ඒවායේ කාලසීමාවන් මෙතෙකැයි නියමයක් නැත. කෙසේ නමුත් කාම - රූප දෙක වෙනස් වෙමින් ගලා යද්දී උපාදාන වූ වේදනාව විපාක දෙයි.
පාලිත, නාරම්මල පදිංචි දහ හතර හැවිරිදි පාසල් ශිෂ්‍යයෙකි. දැනට වසර එකහමාරක පමණ කාලයක සිට මේ ළමයාගේ ඇවතුම් පැවතුම් වෙනස් වී ගොස් ඇත. නාන්නට ඉතාම අකමැත්තක් දැක්වූ අතර නාන්නෙ ම නැති තත්ත්වයට පත්විය. ආහාරයට ගත්තේ තෙල් කෑම ම පමණකි. පාසල් වැඩ අත්හැර දමා මවුපියන්ට අකීකරු තත්ත්වයක් ගත්තේය. තාත්තා සමඟ පුදුම තරහකින් කල් ගෙවීය. නිතර පියා සමඟ රණ්ඩු දබර කළේය. වෛද්‍ය ප්‍රතිකාරවලින් සුවයක් නොලැබූ අතර ඇදුරන් ලවා ශාන්තිකර්ම තුනක් කරවා ඇත. සාස්තර පොළවලින් කියා ඇත්තේ ළමයාගේ පෙර භවයේ පියා ඔහු ළඟට ඇවිත් සිටින බවය. එහෙත් කිසි විටෙක ළමයා ආවේශ වී එසේ කියා නැත. ‘සිළුමිණ’ පත්‍රයේ පළවන ‘පියවි ඇසින් ඔබ්බට’ ලිපිය කියවූ ළමයාගේ දෙමවුපියන් ඔහු ඇතුල්කෝට්ටේ ගුප්ත ගවේෂණ මධ්‍යස්ථානය වෙත කැටුව ආහ. එහි දී ආධ්‍යාත්මීය උපදේශකවරයා ළමයා වෙත ශක්ති කිරණ එල්ල කරන විට ඔහු සිහිසුන්ව වැටුණේය. එහෙත් වෙනත් ප්‍රතික්‍රියාවක් නොදැක්වූ බැවින් නැවත සිහි ගැන්වූයේය. ගමේ පන්සලේ දී දින විසිඑකක් බෝධිපූජා පවත්වන ලෙස ද එහි දී ඉටු කළ යුතු වත් පිළිවෙත් හා සජ්ඣායනා කළ යුතු පිරිත් සූත්‍ර කීපයක් ද නියම කළේය. බෝධි පූජා අවසන් කොට ඔවුහු නැවතත් පැමිණියහ. එදින ශක්ති කිරණ එල්ල වන විට පාලිත ආවිශ්ට වී අඬන්නට වූයේය. ගවේෂකවරයා ප්‍රශ්න කරන්නට වූයේ ය.
“ඇයි පුතා අඬන්නේ?”
“පුතා නොවෙයි මම අඬන්නේයි” භූතාත්මය පිළිතුරු දුන්නේය.
“කවුද ඔය මමය කියන්නේ?”
“පුතාගෙ තාත්තා”
“බොරු කියන්න එපා. මේ ඉන්නෙ අම්මයි තාත්තයි දෙන්න ම මෙතැන.”
“මම මේ පුතාගෙ ගිය ආත්මයෙ තාත්තා”
“කරුණාකර ඇත්ත කියන්න.. බොරු කියා පවු සිදුකැර ගන්න එපා”
“අනේ! මහත්තයා මට යන්න නම් කියන්න එපා. මම රට ජාතිය වෙනුවෙන් යුද්ධයට ගිය කෙනෙක්. රට ජාතිය වෙනුවෙන් ජීවිතය පරිත්‍යාග කළ කෙනෙක්. මට පුතාව දාල යන්න කියන්න නම් එපා. අනේ.. එපා” යි පපුව අල්ලාගෙන අඬන්නට වූයේය.
“ඔබතුමා අපේ රට ජාතිය වෙනුවෙන් ජීවිතය පරිත්‍යාග කළ කෙනෙක්, අපි ඔබට ගරු කරනවා”
“අනේ.. හ්.. පපුව ඇතුළ පිච්චෙනවා. ඇදුන් කනවා. ඉවසන්න බෑ” ගවේෂකවරයා භූතාත්මයට මෛත්‍රී කිරණ එල්ල කොට ඔහුගේ වේදනාව ඉවත් කොට නැවත ප්‍රශ්න කළේය.
“ඔබ මොනවා වෙලාද මැරුණෙ?”
“වෙඩි වැදිලා”
“කොහේදිද වෙඩි වැදුණේ?”
“මඩකළපුවේදී”
“ඔබේ නම මොකක්ද?”
“මම ලාන්ස් කෝප්‍රල් සිරිවර්ධන”
“ගම?”
“ගම, මතක නැහැ මහත්තයා”
“ඔබට හමුදාවෙන් ලැබුණු අංකය මතකද?”
“ඒකත් මතක නැහැ”
“වෙඩි වැදුණේ කොතැනටද?”
“අනේ..හ්.. අම්..මේ” යි දකුණු පපුව අල්ලා ගෙන නැවත අඬන්නට වූයේය.
“වෙඩි වැදුණාට පසුව මොකද වුණේ?”
“වෙඩි වැදුණ ගමන් එක පාරට ම විශාල දරුණු වේදනාවක් ආවා. ඒ එක්කම මගේ සිහිමූර්ඡා වුණා. ඊට පස්සේ මට වැටහුණා මම මැරුණු බව. සතුරාගේ වෙඩි පහරකින් මැරුණු බව වැටහුණා. ඊට පස්සෙ මම ශරීරයෙන් ඉහළට පාවුණා. මට මතකයි අනුරාධපුරේ ඇවිද ඇවිද ඉන්නවා.”
“ඔබට ගම මතක නෑ. අංකය මතක නෑ. මරණයෙන් පසු අනුරාධපුරයේ ඇවිද ඇවිද ඉන්නව මතකයි. ඇයි කලින් දේවල් අමතක?”
“අනුරාධපුරයේ ඇවිද ඇවිද හිටියේ මරණයෙන් පස්සෙ. ඒක මතකයි. මරණය මතක් වුණ හැටියේ පපුවේ දරුණු වේදනාව මතුවෙලා එනවා. ඒ නිසා යටගියාව මතක නැතිව යනවා. ඒ අර වේදනාවේ උග්‍රකම නිසා සිතට වෙනත් අරමුණක් එන්න අවස්ථාව නෑ.”
“ඔබට අවසන් මොහොතට ආසන්නව වෙනත් කිසිම දෙයක් මතක නැද්ද?”
“ම්.. ම්.. ම්.. මට මතකයි මගේ නෝනා මට යුද බිමට ලියමනක් එවලා තිබුණා”
“ඒ ලියමන ඔබ හොඳට මතක් කරගන්න. ඒ ලියමනේ මොනවාද ලියැවිලා තිබුණේ?”
“සිරී, ඔයාටයි මටයි ලස්සන පුතෙක් ලැබුණා. මුහුණ, නහය, කට ඔයා වගේමයි. හැමෝ ම කියනව දරුපැටියා තාත්තා වගේ ම යි කියලා. ඔයාගෙ චූටි පැටියාව බලන්න ඉක්මනින් නිවාඩු අරගෙන ගෙදර එන්න. ඔයාට බුදු සරණයි. දෙවි පිහිටයි. කියලා ලියලා තිබුණා. ලියුමේ තිබුණ අනිත් දේවල් මතක නැහැ.”
“ඒ ළමයා දැකලා මොකද හිතුණෙ?”
“මමත් සටන් බිමේ හිටියට ඇට, ලේ මස්වලින් හැදුණු මනුස්සයෙක්නෙ මහත්තයා. දරු පැටියව බලන්න යන්නේ කොයි වෙලාවෙද කිය කියා හිත හිතා හිටියේ. ඔය අතරේ තමයි මම වෙඩි වැදිලා මැරුණෙ”
“ඊට පස්සෙ?”
“ඊට පස්සෙ අනුරාධපුරේ ඇවිද ඇවිද ඉන්දැද්දි මේ පාලිත පුතාව දැක්කා. මම නොදැක්ක මගේ පුතාව මතක් වුණා. අනේ! මගේ පුතාත් දැන් උස් මහත් වෙලා මේ වයසෙ ඇති නේද කියලා මේ දරුවා ගැන අමුතුම ආදරයක් ඇති වුණා. එතකොට මේ දරුවගේ ඇඟට මාව ඉබේම ඇතුල්වුණා”
“ඇයි ඉතින් මේ දරුවගෙ පෙර භවයේ තාත්තයි කියලා බොරුවක් කිව්වේ?”
“ඒක අහිංසක බොරුවක් මහත්තයා. මේ පුතාගෙ අම්මයි තාත්තයි දේවාල ගානෙ ගිහින් මාව පන්නන්න කරදර කරයි කියලා මම එහෙම කිව්වා. මට දැන් මේ පුතා මගේ ම පුතා වගෙයි. මට මේ පුතාව දාල යන්න බෑ මහත්තයා. අනේ මාව ඉවත් කරන්න එපා. මට ඉන්න දෙන්න.”
“ඔව්! මට ඔබේ ප්‍රශ්නය තේරෙනවා ඒත් වැඩේ වැරදියි. ඔබ අපේ රට ජාතිය වෙනුවෙන් ජීවිතය පුජා කළ වීරයෙක්. වීරයින් අතින් වැරදි වැඩ සිද්ධ වෙන්න බැහැ. ඔබ දැන් එදා හිටපු ලාන්ස් කෝප්‍රල් සිරිවර්ධන නොවෙයි. ඒත් එදා හිටපු සිරිවර්ධන මැරෙන කොට එයා තුළ පැවතුණු සිතුම් පැතුම් ගති ගුණ චිත්ත සන්තානයේ පැවති උපාදාන සංයුතිය අලුත් ජීවයක් ලබන විට එයට එකතු වෙනවා. ඒකයි මේ සිද්ධ වෙලා තියෙන්නේ. ඒ නිසා හොඳින් කල්පනා කරන්න මේ සංසාර ගමනෙදි ඔබ වීරයෙක් වශයෙන් මීට පෙරත් ජීවිත පූජා කරන්න ඇති. මීට පෙරත් ලක්ෂ වාරයක් තාත්තා කෙනෙක් වෙලා ඉන්න ඇති. ලක්ෂ ගණන් පුතුන් ලබන්න ඇති. ඒ හැම දෙනා ම අත හැර මේ වගේ මැරී යළි යළි උපදින්නත් ඇති. ඒක තමයි භවගාමී සත්ත්වයාගෙ හැටි. දැන් ඔබ මේ දරුවාගේ ශරීරයට සම්බන්ධවීම නිසා දරුවා විකෘති වෙලා. ඒ ඔබේ වරදක් නිසා නොවෙයි. මිනිස්සුන්ටත් අමනුස්සයන්ටත් එකට ඉන්න බැහැ. ඒක තමයි ලෝක ස්වභාවය. මේ ස්වභාවය නිසා ඔබ නොදැනුවත්ව ඔබේ අතින් මේ දරුවාට අසාධාරණයක් වෙනවා. අධ්‍යාපනය කඩාකප්පල් වෙලා - රෝගී වෙලා. ඔබ වැනි වීරයෙක් අතින් මේ වගේ අහිංසක දරුවෙකුට එහෙම දෙයක් වෙන්න හොඳ නෑ. ඔබේ වීරත්වයට කිළුටක්. ඒ නිසා දැන් මේ දරුවව නිදහස් කරන්න.”
“හොඳයි මහත්මයා. මට කාරණය වැටහුණා. මේ දරුවගෙ අම්මටයි තාත්තටයි කියන්න මට සමාව දෙන්න කියලා” (මවුපියන්ට දෑත් එක්කොට ආචාර කරයි.)
“ඔබ කොතැනට ද යන්න කැමැති?”
“මම ශ්‍රී මහා බෝධීන් වහන්සේ ළඟට යන්න කැමැතියි”
“හොඳයි, මේ අයට මම කියන්නම් දානයක් දී ඔබට පින් අනුමෝදන් කරන්න කියලා”
“අනේ! එපා මහත්තයා. මේ උදවියට තවත් කරදර කරන්න එපා.. මම දැන් යනවා. ඔබතුමාටත්, මේ දරුවාටත් මවුපියන්ටත් බුදු සරණයි. මම යනවායි භූතාත්මය ඉවත්ව ගියේය.
මතුගම
මහින්ද විජේතිලක
උපුටා ගැනීම සිළුමිණ පුවත්පත