ඌරු මසට ලොල් වී ප්‍රේතියක වී ඉපදී
“මම මේ මිනිබිරීට ආදරෙයි...මම කෙල්ල ළඟට වෙලා ඉන්නවා...මට මෙයාව අතහැරලා යන්න බෑ...වෙන යන්න තැනකුත් නෑ. අනේ මහත්තයා මට යන්න නම් කියන්න එපා” යි නාලිකාට ආවිෂ්ට වූ භූතාත්මය ඇගේ ශරීරයෙන් ඉවත්ව යන්නට ඇති අකැමැත්ත පළ කළා ය.
“තමන් කවුදැ?” යි ආධ්‍යාත්මික උපදේශකවරයා ප්‍රශ්න කළේය.
“මම පුංචි නෝනා”
“පුංචි නෝනා මැරුණෙ මොනවා වෙලා ද?”
“වයසට ගිහිල්ලා මහත්තයා වයසට ගිහිල්ලා. අවුරුදු අනූවක් ජීවත්වෙලයි මැරුණේ.”
“කොයි කාලෙ ද මැරුණේ?”
“අවුරුදු හතළිහකට විතර කලින්”
“එතකොට මිනිබිරීට දැන් වයස අවුරුදු තිස් දෙකයි. අවුරුදු හතළිහකට කලින් ආච්චි මැරුණා.”
“ඔව්. ඔව්... කෙල්ල මාව දැකලවත් නෑ.”
“ආච්චි මෙච්චර කල් කොහේද හිටියෙ?”
“අසූචි වළක” “අසූචි වළකට වෙලා මොනවා කළා ද?”
“මට කන්න ලැබුණේ නැහැ මහත්තයා. කුසගින්න දරාගන්න බැරුව අසූචි වළට වෙලා අසූචි කකා හිටියා.”
“ආච්චි ජීවත්ව ඉන්දැද්දි පින් දහම් කළේ නැද්ද?”
“ඇයි නැත්තේ? මම පෝයට සිල් සමාදන් වුණා. නිතර පන්සල් ගියා. මට පුළුවන් විදිහට පන්සලේ පොඩියට බුදු කුටියකුත් හැදුවා මගේ වියදමින්.”
“ඉතින් ඇයි මේ වගේ අසූචි කන දුක්ඛිත ප්‍රේතාත්ම භවයක උපන්නෙ?”
“කොයි තරම් පින් දහම් කළත් හිත ඇතුළෙ ඌරු මස් කන්න දරුණු ආසාවක් තිබුණා. නිතරම හිත යට බලපෑවෙ ඌරු මස් කෑල්ලක් හපන්නේ කොහොම ද? කියලා.”
“ඉතින් ඔය තරම් හැමදාම ඌරු මස් කොයින් ද?”
“ඇයි මහත්තයා මගේ පුතා දඩයක්කාරයානෙ. ඌ කොහොම හරි හැමදාම සතෙක් එළාගෙන එනවා. වැඩිපුර ම දඩයමට අහුවෙන්නේ වල් ඌරො. ඉතින් මමත් අවුරුදු හැටක් හැත්තෑවක් ඌරු මස්වලට රහ වැටිලා හිටියා. අම්මේ... මේ දැනුත් ඒ රහ මතක් වෙනවා. පුදුම රහක්...” යැයි පුංචි නෝනාගේ ප්‍රේතාත්මය ආවිෂ්ටව සිටි නාලිකා තොළ කට ලෙව කන්නට වූවාය.
“තමන් ජීවත්ව ඉන්දැද්දි පරිහරණය කළ බඩු මුට්ටු, ගේ දොර, වතු පිටි එහෙම මතක් වෙන්නෙ නැද්ද?”
“නෑ, මහත්තයා, හිත ඇතුළෙ තියෙන ඌරු මස් කන්න ආශාවමයි මතු වෙන්නේ.”
“ඉතින් දැන් ඌරු මස් ලැබෙන්නේ නෑ නේද?”
“අනේ... හ්... ඒක තමයි” කියමින් ප්‍රේතිය අඬන්නට වූවාය.
“ඇයි මේ අඬන්නෙ?”
“මගේ කටට රහට කැමති කෑම දැන් ලැබෙන්නේ නෑ.”
“ඇයි ඒවා නොලැබුණේ?”
“අරූ මේකිගෙ ඇඟට මාව බන්ධනය කළානෙ?”
“කවුද අරූ කියන්නෙ?”
“අර සූරියවැව දේවාලෙ හිටිය කපුවා”
“ඇය ආච්චිව මිනිබිරීගෙ ඇඟට බන්ධනය කළේ?”
“මම ලවා මේකිව නිතර දේවාලෙට ගෙන්න ගන්න.”
“ඒ මොකටද?”
“මේ කෙල්ල පොඩිවට හිටියට හොඳ විසේකාරි.”
“ආච්චි එහෙම කියන්න එපා. මේ ළමයා කැමැත්තෙන් ගිය ගමනක් නොවෙයිනෙ. ආච්චිගෙ බලපෑම නිසානෙ ගිහින් තියෙන්නේ. ආච්චි ඔහොම කතා කළාම මේ අයගෙ පවුල් ජීවිතෙත් අවුල් වෙනවා. මිනිස් භාවයේ ඉන්දැද්දිත් වැරදි වැඩ කරලා දැනුත් පවුල් කඩාකප්පල් කරලා පව් පුරවා ගන්න ද හදන්නෙ? මේ ළමයා කැමැත්තෙන් ගිය ගමනක් නොවෙයිනෙ. තමුන්නෙ ගෙනිහින් තියෙන්නේ. දෙවියන්ගෙ නාමය භාවිතා කරමින් වැරදි වැඩ කරන දේවාල කපුවන්ට උදව් කරන්නෙත් තමන් වගේ ම පෙරේත, පෙරේතියො තමයි. හැබැයි කවදා හරි ඔය වගේ දේවාල කපුවොත් වැසිකිළි වළවල්වලම තමයි. අවුරුදු දස දහස් ගණන් ලක්ෂ ගණන් දුක් විඳින්නේ. ඒ විපාක අනිවාර්යයෙන් ම ලැබෙනවා” යි ගවේෂකවරයා කීවේය.
නාලිකා ඇඹිලිපිටිය ප්‍රදේශයේ පදිංචි තිස් දෙහැවිරිදි තරුණ කාන්තාවකි. එක් දරු මවකි. ඇගේ ස්වාමිපුරුෂයා වඩු කාර්මිකයෙකි. දේවාලයකට, පන්සලකට, බෝ මළුවකට ගිය විටත්, බෙර හඬක් ඇසෙන විටත් ඇය ප්‍රලය වී හූ කියන්නට වීමත්, ඇඟපත වේදනාව, යටිබඩේ වේදනාවත්, මාසික ඔසප් ක්‍රියාවලියේ දී වෛද්‍ය ප්‍රතිකාර ලබා ගන්නා තුරුම රුධිර වහනය නතර නොවීමත් නිසා ශාරීරිකව දුර්වල වී වැඩක් පළක් කරන්නට බැරි තත්ත්වයට පත්ව ඇත. මේ කායික මානසික පීඩාවන්ගෙන් මිදීම සඳහා නොයෙක් වෛද්‍ය ප්‍රතිකාර හා වත් පිළිවෙත් ක්‍රම සිදු කළ ද සුවයක් නොලැබීම නිසා “සිළුමිණ” පත්‍රයේ පළවන “පියවි ඇසින් ඔබ්බට” විශේෂාංගයේ සඳහන් ඇතුල්කෝට්ටේ ගුප්ත ගවේෂණ මධ්‍යස්ථානය කරා ඇය පැමිණියාය. ඇය සමඟ ඇගේ ස්වාමි පුරුෂයා ද සහෝදරියන් දෙදෙනෙකු ද පැමිණියහ. ආධ්‍යාත්මිය උපදේශකවරයා සමඟ ඇය සිය අසනීපයේ ඉතිහාසය විස්තර කළාය.
“මහත්මයා, දැන් අවුරුදු දහයක විතර කාලයක සිට මේ ලෙඩ රෝගවලින් මම දුක් විඳිනවා. පළමුවෙන් ම මේක ආරම්භ වුණේ ළිඳ ළඟදි. එදා මම නාන්න කියලා ළිඳ ළඟට ගිය වෙලාවේ මගේ ඇඟට අමුත්තක් දැනුණා. නාගෙන ගෙදර ආපු වෙලාවෙ ඉඳලා වල් ඌරු මස් කන්න මට තදබල ආශාවක් ඇති වුණා. අම්මට කියලා එදා ම වල් ඌරු මස් ගෙන්නගෙන උයාගෙන කෑවා. එදා රෑ නිදාගෙන පහුවදා උදේ නැගිට්ටෙම අසිහියෙන්” යැයි නාලිකා කීවාය. කතාවේ ඉතුරු කොටස කීවේ ඇගේ සැමියා ය.
“ඉතින් මහත්තයා එදා ඉඳලා මෙයාට පන්සලකට, දේවාලෙකට යන්න බෑ. කොහේ හරි ඈත එපිට බෙර හඬක් ඇහුණත් ආවේශ වෙනවා. දිව එළියට දා ගෙන හූ කියනවා. ඇදුරන් ගෙන්නලා ඇප නූල් දැම්මත් ටික කාලයයි ආයෙත් හැදෙනවා.”
“මොනවා ද කරපු වත් පිළිවෙත්. ශාන්ති කර්ම?” ගවේෂකවරයා ඇසීය.
“අන්තිමට ගියා සූරියවැව දේවාලයකට. එතැන හිටියේ සිරිවර්ධන කියලා කපුවෙක්. ඒ මිනිහා බුදු ගුණෙන් අමනුෂ්‍ය දෝෂ ඉවත් කරනවා කියලා බරපතළ වැරදි කළා. තරුණ රෝගී කාන්තාවන් අපහරණය කළා. ඒ කපුවට වයස අවුරුදු හතළිස් පහක් විතර ඇති. ඒ දේවාලෙන් පිළිවෙත් කරන්න ගියාට පස්සෙ නාලිකා එහෙ යන්න නිතර නිතර පෙලඹුණා. දිගින් දිගට මෙයාව ගෙන්නා ගෙන අයුතු ප්‍රයෝජන ගන්නවා ද සැක හිතිලා අපි දවසක් මෙයාට යන්න ඇරලා ගිහින් බැලුවා. අපට අතට ම අහුවුණා. එදා කපුවා අපට තර්ජනය කළා. මම එහෙම තමයි උඹලට පුළුවන් දෙයක් කරපල්ලා කියලා. අපට කරන්න දෙයක් නෑ මහත්තයා අපි ඌට සාප කරලා මෙයාවත් අරගෙන ආපහු ආවා. ඌ බන්ධනයක් කරලා එදා ඉඳලා නාලිකා දකුණු කකුල නොණ්ඩි ගහනවා. ඒක ඇරෙන්නෙත් නෑ. ඊට පස්සෙ අපට ආරංචි වුණා ඒ කපුවා බාල වයස්කාර ගැහැනු ළමයෙක්වත් අරගෙන පැනල ගිහින් කියලා. ඌ නම වෙනස් කැර ගෙන වෙන ප්‍රදේශයක ඉන්නවැයි කියලත් ආරංචියි” යැයි ඔහු කතාව හමාර කළේය.
“ඕවා හසරක් නැතුව දේවාල ගානේ යන අයට හොඳ පාඩම්, කපුවන්ගෙ කපටිකම්වලට රැවටිලා අමාරුවෙ වැටෙනවා. ඒ වගේ ම උන්ට උදව් කරන මිථ්‍යාදෘෂ්ටික අමනුෂ්‍යයොත් ඉන්නවා” යි කී ගවේෂකවරයා නාලිකා වෙත ශක්ති කිරණ එල්ල කොට දිෂ්ටි ගැන්වීය. නාලිකා දිෂ්ටි ගැන්වී දිව එළියට දමා ගෙන යටි ගිරියෙන් හූ කියන්නට පටන්ගත්තාය.
“කවුද මේ?”
“මම පුංචි නෝනා”
“ඇයි මේ ළමයාට හිරිහැර කරන්නෙ?”
“මම හිරිහැර කරන්නෙ නෑ. මට වල් ඌරු මස් ටිකක් කන්න ආසයි. ඒකයි මේකි ළඟට වෙලා ඉන්නෙ.”
“ඔව් ඔව් මම දන්නවා. තමුන් දුගතිගාමීව ප්‍රේතියක් වෙලා ඉපැදුණ මදිවට මේ ළමයව කපුවෙකුට ගිහින් දීලා කරපු අපරාධත් මම දන්නවා. සිල් සමාදන් වුණාට වැඩක් නැහැනෙ කෑදරකම ඉහ වහා ගිහින්. බුදු ගෙවල් හැදුවට වැඩක් නෑ බුදු දහම පිළිපදින්නෙ නැතුව” යැයි කී ගවේෂකවරයා ප්‍රේත ජීවියා නාලිකාගේ ශරීරයෙන් ඉවත් කොට ගමේ පන්සලේ දී දින විසි එකක් බෝධි පූජා විසි එකක් පවත්වන ලෙස ද නිවසේ දිනපතා උදේ සවස සජ්ඣායනා කළ යුතු පිරිත් සූත්‍ර කීපයක් ද නියම කළේය. බෝධි පූජා අවසන් කොට ඔවුන් නැවත පැමිණියහ. එදින ද නාලිකා ප්‍රලය වූවාය. ගවේෂකවරයා කතා කළේය.
“දැන් ඉතින් මේ ජීවිතත් එක්ක සෙල්ලම් කළා ඇති. පුංචි නෝනා ආච්චි කරුණාකර මේ නාලිකාගේ ශරීරයෙන් ඉවත් වෙලා යන්න ඕනෑ.”
“යන්නම්... යන්නම්... හැබැයි මට වල් ඌරු මස් ඕනෑ.”
“මේ... මේ... ප්‍රේතයන්ගේ කොන්දේසිවලට අපි යටත් වෙන්නෙ නෑ. බෞද්ධ උපාසිකාවක් කියලා අන්තිමේ නතර වුණේ අසූචි වළක. ඊට පස්සෙ කපුවෙකුගෙ ගැටේකට තද වුණා. කරුණාකර මේ අයට කරදර නොකර ඉවත් වෙලා යන්න. නැත්නම් අර පරණ අසූචි වළටම යන්න සිද්ධ වෙනවා.”
“අනේ! මට වල් ඌරු මස්...” ගවේෂකවරයා ශක්ති කිරණ එල්ල කොට ප්‍රේතිය දවාලීය.
“පිච්චෙනවා. පිච්චෙනවා... කියන දේ අහනවෝ...” යි ප්‍රේතිය හඬන්නට වූවාය.
තවත් බෝධි පූජා හතක් පවත්වන්නට නාලිකාට නියම කළ අතර නොවරදවා ම එම බෝධි පූජා අවස්ථාවට ගොස් දැක බලා සතුටු වෙන්නැයි ප්‍රේතියට ද නියම කළේය. බෝධි පූජා අවසන් කොට පැමිණි නාලිකාට යළි පුංචි නෝනාගේ ප්‍රේතාත්මය දිෂ්ටි ගැන්වීය.
“පුංචි නෝනා බෝධි පූජාවට ගියා ද?”
“ගියා මහත්තයා”
“සිත පිනට දහමට යොමු වුණා ද?”
“ටිකක් වගේ”
“දැන් තමුන්ට මොනව ද අපෙන් අවශ්‍ය?”
“වල්.... ඌ...”
“ඒකනම් ලැබෙන්නේ නෑ. එහෙනම් අසූචි වළට ම යන්න සූදානම් වෙන්න.”
“අනේ... බෑ... බෑ... ඒ ජරා ගොඩට යන්න බෑ.”
“හැබෑ ද? ඒ ජරා ගොඩට යන්න කැමති නැහැ. ඒ ජරාවම ආහාරයට ගන්නා ඌරාගෙ මාළු කන්න කැමතියි ද?”
“ම්... ම්... දැනුයි මහත්තයා මට වැටහුණේ. මටත් විපාක වශයෙන් ඒක ම විඳින්න වුණෙත් ඒක වෙන්න ඇති.”
“හොඳයි මේ පින් දහම් කළැයි කියපු පුංචි නෝනා උපාසක අම්මාට මතක පන්සලක් සිහිපත් කරන්න.”
“ම්... ම්... ම්... සංඛපාල විහාරය මතකයි මහත්තයා.” සංඛපාල විහාරයට පූජා කිරීම සඳහා පිත්තල පහනක් ගෙන්වා භූතාත්මය එයට සම්බන්ධ කොට සංඛපාලයට යැවීය.
මතුගම
මහින්ද විජේතිලක
උපුටා ගැනීම සිළුමිණ පුවත්පත