අනේ මා වෙන් කරන්න එපා මට මෙයා දමා යන්න බෑ... අමනුස්ස දුවක් හඬා වැලපේ...
"දිය ඇල්ල ගල්පර අතරින් පහළට ගලා බහින ලස්සන. බට පඳුර දිය ඇල්ල දිහාවට ඔළුව පහත් කැරගෙන සිසිලස උරා ගන්නව වගෙයි. දිය ඇල්ලත් බට පඳුරත් අතරෙ සුදු වැලි තීරයේ වාඩිවෙලා මමත් ඔහේ බලා ඉන්නවා. කොච්චර බලා හිටියත් මදි. දවල්ට මෙතැනින් නාගන්න මිනිස්සු එනවා. ඒත් හැන්දෑවට මෙතැන පාළුයි. ඒ පාළු ගතියට මම කැමතියි"
"කොයි තරම් කාලයක් හැන්දෑවට මම මෙතැනට ඇවිත් මේ සුන්දරත්වය වින්දද? "
"අවුරුදු සිය ගණනක්" යැයි කියූ භූතාත්මය ම්... ම්.... ම්... ම්... ම්... යැයි දෙපසට පැද්දෙමින් තාලයට නැළවෙන්නට වූවා ය. හරිම සුන්දරයි නේද?"
"ඉතින් ඉතුරු ටිකත් කියන්නැ" යි ආධ්‍යාත්මීය ගවේෂකවරයා කාරුණික වදනින් පැවසීය.
“මම දොළෙන් මෙගොඩ වැලි තලාවෙ හැන්දෑවට වාඩි වෙලා ඉන්නවා. මේ අතරෙ දොළෙන් එගොඩ ගල් තලාවට ආපු කපිල ගිටාරය වාදනය කරන්න වුණා. හරි ම මිහිරියි. හරිම මිහිරියි. එතැන ම තිබුණු අඩු පාඩුවක් සම්පූර්ණ කළා වගෙයි.”
“ඉතින් ඉතින්”
“මම කපිල ළඟට ඇවිත් එපා ළඟින් වාඩිවෙලා මේ සංගීත රාවය අහගෙන හිටියා. මට එයාව පෙනුණාට එයාට මාව පෙනෙන්නෙ නෑ. අවුරුදු සිය ගණනක් මගේ හිතේ තිබුණු පාළුව තනිකම මට අමතක වෙලා ගියා.”
“ඔයා කවුද?”
“මට මතක නෑ.” යි කියූ ඇය අඬන්නට වූවා ය.
“ඇයි අඬන්නේ?”
“අනේ මාව මෙයාගෙන් ඈත් කරන්න එපා. මට මෙයාව දාල යන්න බෑ....” යි කඳුළු පෙරමින් අඬන්නට වූවා ය.
කපිල කොළඹ දිස්ත්‍රික්කයේ ප්‍රසිද්ධ නගරයක ජීවත් වන හතළිස් හැවිරිදි සිවිල් ඉංජිනේරුවරයෙකි. අවිවාහකයෙකි. කලකින් දැළි පිහියක් නුදුටු රැවුළ මුහුණ පුරා බලය පතුරුවා ගෙන සිටී. ඔහේ වැවෙද්දෙන් යැයි කපිල ඒ ගැන නොසිතති. ඔහු සිහි කල්පනාව නැතිව බලාගත් අත බලා සිටී. ස්ත්‍රියක ලෙස හැසිරෙයි. ස්ත්‍රී ඇඳුම් පවා ඇඳගෙන සිටී. කොටින් ම කියනවා නම් මුත්‍රා කරන්නේ ද ඇන තියා වාඩි වී ගෙන ය. තමන්ගේ ඇඳුම් ඇඳගෙන සිටින මල්ලී දෙස අක්කාත්, අම්මාත් බලා සිටින්නට බැරි තැන මනෝ වෛද්‍යවරුන් කරා ගෙන ගියහ. මනෝ වෛද්‍යවරුන් නියම කරන පෙති ගිලීම රෝගියා ප්‍රතික්ෂේප කරයි. ඒ නිසා දිගින් දිගටම බෙහෙත් පෙති බලහත්කාරයෙන් පොවන්නට සිදුවී ඇත. හිටි හැටියේ නිවසින් එළියට පැන දුවන්නට පටන් ගන්නා බැවින් ඔහු පසු පසින් දුවගොස් අල්ලා ගෙන ආ හැකි කෙනෙකු ආරක්ෂාවට තබන්නට ද සිදුව ඇත. වෛද්‍ය ප්‍රතිකාරවලින් කිසිදු සුවයක් නොලැබුණු බැවින් අභිචාර විධිවලට යොමු වන්නට පවුලේ අයට සිදු විය. කපිල ගේ අක්කාත් මස්සිනාත් ‘සිළුමිණ’ පත්‍රයේ ‘පියවි ඇසින් ඔබ්බට’ විශේෂාංගය කියවා එයින් දැනුවත් ව, ඇතුල්කෝට්ටේ ගුප්ත ගවේෂණ මධ්‍යස්ථානය කරා කපිල රැගෙන ගියහ. ආධ්‍යාත්මික උපදේශකවරයා මුණ ගැසී කපිල පිළිබඳ විස්තරය පැවසූහ. මෙයින් අවුරුදු එක හමාරකට පෙර කපිල මාතලේ ප්‍රදේශයේ කැලෑබද ස්ථානයක ගොඩනැඟෙන හෝටලයක් ඉදිකිරීමේ ඉංජිනේරු කටයුතු වල යෙදී සිටියදී අසිහියෙන් කටයුතු කිරීම නිසා නිවසට රැගෙන ආ බවත් එදා සිට මනෝ වෛද්‍ය ප්‍රතිකාර කළත් සුවයක් නොලද නිසා ආධ්‍යාත්මික ප්‍රතිකාර සොයාගෙන පැමිණි බවත් පැවසූහ. පළමු දිනයේ ශක්ති කිරණ එල්ල කරන විට ඉංජිනේරු කපිල වැනෙන්නටත්, කෑ ගසන්නටත් විය. ශක්ති කිරණ මගින් භූතාත්මය පාලනය කොට ගමේ පන්සලේ බෝධි පූජා විසි එකක් පවත්වා නැවත පැමිණෙන ලෙස දැන්වීය. දෙවැනි දිනයේ ද කපිලට ආවිශ්ට වූ භූතාත්මය මාතලේ ඉදිකරන හෝටලයට නුදුරින් ගලා බහින දිය ඇල්ල අසල දී කපිල ගේ සංගීත රාවයට වශීකෘත වූ බව කීවා ය. ගවේෂකවරයා තවදුරටත් ප්‍රශ්න කළේ ය.
“සංගීත රාවයෙන් ඔබට දැනුණේ මොනවාද?”
“කපිල සමාධිගත වෙලා වගේ ගිටාරය ඉතාම මියුරු අන්දමින් වාදනය කළා. මම ඒ සංගීත රාවය අහන්න හැමදාම ඒ වෙලාවට ආවා. මට හිතුණා කපිලට පෙනෙන්න එන්න ඕනෑ කියලා.”
“ඇයි මීට කලින් කපිලට පෙනෙන්න ආවේ නැත්තේ?”
“කලින් මට ඒ වගේ හැකියාවක් ශක්තියක් තිබුණේ නෑ. මේ මියුරු නාදයෙන් මගේ හිත පිනායන කොට මට අමුතු ශක්තියක් ගොඩනැඟුණා. ඊට පස්සේ මම එයාට පෙනෙන්න ම ඇවිත් එයා ළඟින් ම වාඩිවෙලා සංගීතය ඇහුවා. එයාත් මගේ දිහා බලා ගෙන ලස්සනට වාදනය කළා. එයයි මමයි කතා කරන්නත් පටන් ගත්තා. මම ලස්සන ගවුම්වලින් සැරසිලා ආවා. ඊට පස්සෙ එයා එක්ක එයාගෙ කාමරයටත් ආවා. අනිත් අයට මාව පෙනෙන්නේ නෑ. රාත්‍රි කාලය කපිලත් එක්ක කාමරයේ ඉඳලා මම පාන්දරින් ම යන්න යනවා. මේ විදිහට මම හැමදාම රෑට කාමරයට ආවා. අපි ශාරීරිකවත් සම්බන්ධකම් පැවැත්තුවා.”
“ඔබ කපිලව හොයාගෙන ගියා මිසක් කපිල ඔබව හොයාගෙන ආවෙ නැද්ද?”
“මම අමනුෂ්‍ය ජීවියෙක් බව කපිල දන්නෙ නෑ. එයා දවසක් කිව්වා අපේ ගෙදරට එනවා කියලා.”
“ඒ මොකටද?”
“මගේ අම්මාව මුණ ගැසී කතා කරන්න.”
“ඉතින් ආවද?”
“ඇයි මහත්තයා” මට කොයින්ද ගෙවල්. මම මනුෂ්‍ය තරුණියක් නොවෙයි නෙ. ඒ නිසා මම දවස් තුන හතරක් කපිල මුණ ගැහෙන්න පෙනෙන්න ගියේ නෑ. මම ඇල්ල ළඟට ආවොත් කපිල මගේ ගෙදර යමු කියලා එනවනෙ. හොරේ අහු වෙන නිසා මම දවස් තුන හතරක් එයාට පෙනෙන්න ආවෙ නෑ. මාව දකින්න නැතුව කපිල හෝන්තු වෙලා කෑමක් බීමක් නොගෙන කාමරයට ම වෙලා ඉඳලා. රැකියාව මඟ ඇරිලා. නොකා නොබී රැවුළත් වවාගෙන කවුරුන් එක්කවත් කතා නොකර ඉන්න කොට රක්ෂාව කරපු තැනින් ගෙදරට දන්වලා. ගෙදර අය ඇවිත් මෙයාව ගෙදර අරන් ගියා.”
“ඉතින් මේ කාලෙ වෙච්ච දේවල් ඔබ දන්නෙ කොහොමද ආවෙ නැත්නම්?”
“මම ආවා. කාටවත් නොපෙනෙන්න. ඇවිත් බලාගෙන හිටියා. මට හරිම දුක හිතුණා. ඒත් මට කරන්න දෙයක් නැහැ. කපිලව ගෙදර එක්ක ගෙන එන කොට මමත් ආවා.”
“එහෙම ඇවිත් මොකද කළේ?”
“මම කපිල ළඟට වෙලා හිටියා. එයාට පෙනෙන්නම හිටියා. එයා යාළුවන්ටත් පෙන්නුවා මේ ඉන්නේ මගේ ගර්ල් ප්‍රෙන්ඩ් කියලා. ඒ වුණාට යාළුවන්ට මාව පෙනෙන්නෙ නැහැ. ඊට පස්සෙ ගෙදර අය තොවිල් කරන්න ලැහැස්ති වුණා. ඇදුරෝ මාව අල්ලා ගනියි කියලා බයේ මම කපිලගෙ ඇඟ ඇතුළට ගිහින් හැංගුණා. දැන් මෙයාගෙ ඇඟ ඇතුළට වෙලා ඉන්නවා.”
“ඔබ කපිලට ආදරේද?”
“ඔව් ගොඩාක් ම ආදරෙයි.”
“කපිලට ආදරේ නම් ඔය වැඩේ කරන්න එපා. කපිල මනුෂ්‍යයෙක්. ජීවත් වෙන්නෙ වෙනම තලයක. ඔබ අමනුෂ්‍ය තලයක ජීවත් වෙන්නෙ. මනුෂ්‍යයන්ටයි අමනුෂ්‍යයන්ටයි එකට ජීවත් වෙන්න බෑ. ඔහොම සම්බන්ධකම් පැවැත්තුවොත් කපිල අසනීපෙන් මැරිලා යාවි. මෙයා ඔබ ළඟට ම එනවා ය කියා ස්ථිර නියමයක් නෑ. කර්මානුරූපව හොඳ ලෝකෙක ඉපදුණොත් ඔබට දැන ගන්නවත් බැරුව යාවි. ඔබ කරන්නේ හැඟීම්වලට වහල් වෙලා පාපයක්. කපිලට ආදරරේ නම් ඔබත් ඉහළ තලයකට ගිහින් ඉඳහිට ඇවිත් ආශිර්වාද කරලා යන්න.”
“ඉහළ තලයකට යන්නෙ කොහොමද?”
“අපි පින් කමක් කරලා පින් දෙන්නම්. පින් අනුමෝදන් වෙලා ඉහළ යන්න.”
“කපිලට හොඳක් වෙනවා නම් මම කැමතියි.”
“ඔබ සිද්ධස්ථානයකට යන්න කැමති ද?”
“මට සිද්ධස්ථාන මතක නෑ.”
“එහෙම නම් කැලණියට යන්න. කැලණියේ හොඳ අය ඉන්නවා. ඒ අය සමඟ පිනට දහමට සිත යොමු කරන්න.”
භික්ෂූන් වහන්සේ නිවසට වඩම්මා සාංඝික දානයක් පිරිනමා ඇයට පින් අනුමෝදන් කරන බවට කපිලගේ අම්මාත් අක්කාත් මස්සිනාත් පොරොන්දු වූහ. මනුෂ්‍ය ලෝකය කාම ලෝකයකි. දිව්‍ය ලෝක මෙන් ම සතර අපාය ද කාම ලෝකයන් ය. ඒ සතර අපායට අයත් යක්ෂ, ප්‍රේතාදී භූතයෝ ද පංචේන්ද්‍රියයන් පිනවීමේ කාමාශා ඇත්තෝ ය. අධික වූ රාගයෙන් යුක්ත වුවෝ අවසාන චුති චින්තනයට එවැන්නක් සිහිපත් වුවහොත් මරණයෙන් මතු උපදින දුගතිගාමී වූ අමනුෂ්‍ය භවය ද රාගයෙන් ම යුක්ත වේ. ඔවුහු ස්ත්‍රීන්ට ආශා ඇත්තෝ ය. මේ හා සමාන වූ ස්ත්‍රීහු ද වෙති. ඔවුන් ද මරණයෙන් මතු එවැනි ම අමනුෂ්‍ය භව ලබා පිරිමින් කෙරෙහි ආශා ඇත්තෝ ය. මෙසේ උපදින පිරිමි භූතයෝ ස්ත්‍රීන්ට සමීප වෙති. තමන් කැමැති ස්ත්‍රීන්ට සමීප වන්නන්ගේ සම්බන්ධතා මිනිස් සිරුරට අහිත කැර බැවින් බොහෝ ස්ත්‍රීහු රෝගාබාධවලට ලක්වෙති. භූත විද්‍යාවේදී මෙම දෝෂය, කළු කුමාර දෝෂ යැයි හඳුන්වති. එපමණක් ද නොව මෙම දෝෂය ස්ත්‍රී භූතයන්ගෙන් පිරිමිනට බලපාන විට මෝහිනී දෝෂ යැයි හඳුන්වති.
මෙය ඈත අතීතයේ සිට ම මිනිසා විසින් හඳුනා ගනු ලදුව ඒවාට ප්‍රතිකාර පිළිවෙත් ද සොයා ගත්තේ ය. මෙයින් හඳුන්වනු ලබන්නේ එක ම රාගයක් නොවේ. ස්පර්ශ රාගය මෙන් ම රූප රාග, ශබ්ද රාග, ගන්ධ රාග, රස රාග ආදියෙන් ඇලෙන්නෝ ද ඇලෙන්නියෝ ද සිටිති. මේවා ගැඹුරු වූ සියුම් වූ නුවණින් හඳුනාගත යුතු ය. නැතහොත් ඒ ජීවිත හැමදාම බෙහෙත් පෙතිවලට නියම වූ මැරෙන තුරු ම මානසික රෝගීන් යැයි හංවඩු ගැසී දුක් විඳින්නෝ වෙති. මේවා ස්නායු ගත රෝගයන් බවට නිගමනය කොට කොළයට තදින් බලපාන ඖෂධවලින් ප්‍රතික්‍රියාවලට ලක් වෙති. මානසික රෝගියා යනු මනස (සිත) රෝගයට ගොදුරු වූ පුද්ගලයා ය. එහෙත් ප්‍රතිකාර කරනු ලබන්නේ සිතට නොවේ. මිනිසා හෙවත් පුද්ගලයා නිර්මාණය වී ඇත්තේ නාම රූප දෙකෙනි. නාම රූප දෙකෙන් නාමය (සිත) රෝගී වූ විට රූපයට (රූප කලාපවලට - ශෛලවලට) පමණක් ප්‍රතිකාර කිරීමෙන් නිට්ටාවට සුවයක් ලැබේ ද? සමහර මානසික රෝග බටහිර වෛද්‍ය ප්‍රතිකාර වලින් සුවපත් වේ. ඒ ශරීරයේ භෞතික කොටස් පීඩාවට පත්වීමෙන් වැලඳෙන රෝගාබාධයෝ ය.
එහෙත් භෞතික නොවන අමනුෂ්‍ය බලපෑම්වලින් පීඩා විඳින රෝගියාට භෞතික ප්‍රතිකාරවලින් පමණක් සුවයක් ලැබේද? එසේ සුවපත් නොවූ, ජීවිත කාලයම පෙති ගිලිමින්, හෙවත් අකමැත්ත නිසා වෙනත් කෙනෙකු විසින් බලහත්කාරයෙන් පෙති ගිල්ලවමින් ජීවිත කාලයම අකර්මණ්‍ය වූ රෝගීන් කොයි තරම් සිටී ද? මෙහි දී සිදුවන්නේ අමනුෂ්‍ය බලවේගය විසින් මිනිසා විකෘති කොට සිදු කරනු ලබන කෑ ගැසීම්, දැඟලීම්, බඩු මුට්ටු පොළොවේ ගැසීම්, පලා යෑම්, වළක්වා ඔහු අකර්මණ්‍ය පුද්ගලයෙකු කිරීම ය. අමනුෂ්‍යයාට තමන්ට වුවමනා පරිදි මිනිසා මෙහෙයවන්නට අවශ්‍ය වන රූප (භෞතික) කොටස් බෙහෙත් පෙතිවලින් හෝ දරුණු අවස්ථාවල එන්නත් ශරීර ගත කිරීමෙන් රූපකාය විකෘති කොට අකර්මණ්‍ය කිරීමක් නොවේද? යක්ෂයෝ ප්‍රේතයෝ දෙවියෝ යැයි සත්ත්ව කොටස් නැතැයි ද ඔවුනට කළ හැකි ක්‍රියාකාරකම් නැතැයි ද නිගමනය කිරීම හරි ද? වැරදිද?
මතුගම මහින්ද විජේතිලක
උපුටා ගැනීම සිළුමිණ