ඉස්පිරිතාලේ ඉඳන් මගේ මිනිය ගේන කොට මමත් ඒ පස්සෙන්ම ආවා
මේ සංසාර ගමන දිගින් දිගටම ඇදි ඇදී යන්නේ සිතේ පවතින ආශා නිසාය. වුවමනා නිසාය. මේ වුවමනාවට අපි "තණ්හාව" යැයි කියමු. තමන් ප්‍රිය කරන දෙයක් ලබා ගැනීමට නිතර නිතර සිත සිතා සිටීමද ඒ වෙනුවෙන් ක්‍රියාකාරී වීමද "වුවමනාව" නිසා සිදුවන්නකි. තමන් සතුව පවතින බූදලය තව තවත් විශාල කර ගැනීමට කටයුතු කිරීමද වුවමනාවකි. තමන් අකැමැති කෙනකුට පාඩු කිරීමද, රිදවීමද, හානි කිරිමද සිතේ ක්‍රියාත්මක වන වුවමනාවකි. මේ තණ්හාව හෙවත් වුවමනා සිතේ පැලපදියම්ව පවතින තුරු සංසාර ගමන නතර නොවේ. බුදු දහමේ කියැවෙන සිතින් දැඩිව අල්ලා ගැනීම හෙවත් උපාදානය නම් මෙයයි. පටිච්ච සමුප්පාදයේ "තණ්හා පච්චයා උපාදානං, උපාදාන පච්චයා භවෝ " යැයි තණ්හාව නිසා උපාදානයද උපාදානය නිසා භවයද ඇතිවන බව පැහැදිලි කර ඇත.
හැට එක් හැවිරිදි මැණිකේ කුරුණෑගල ප්‍රදේශයේ කාන්තාවකි. දෙදරු මවකි. ඇගේ ස්වාමි පුරුෂයා මෙයින් වසර තුනකට පෙර හෘදයාබාධයකින් මිය ගොස් තිබුණි. ඔහු වඩු කාර්මිකයෙකි. මැණිකේට නිවෙස තුළින් සද්ද බද්ද ඇහෙන්නට විය. බත් කුණු වූ ගඳක් දැනෙන්නට විය. ඇය රාත්‍රී නින්දෙන් ගැස්සී බියට පත්ව අවදි වන්නට වූවාය. නිවෙසට සමීපව තිබුණු වඩු මඩුවේ ලී ඉරන, කපන ශබ්දය ඇහෙන්නට විය. නිතරම පාහේ ඇය ජීවත් වූයේ තැති ගත් ස්වභාවයකිනි. දරුවෝ ඇය මනෝ වෛද්‍යවරයෙකු වෙත ගෙන ගියහ. සිතේ කාන්සිය නිසා මෙසේ සිදුවන බවද, වඩු මඩුවෙන් ඇහෙන ශබ්ද සිතේ පුරුද්දට ඇහෙන ඒවා බවද වෛද්‍යවරයා පැවසීය. ඒ වෛද්‍ය ප්‍රතිකාරවලින් ඇයට සුවයක් ලැබුණේ නැත. වඩු මඩුවෙන් ඇහෙන ශබ්ද ඇයට පමණක් නොව දරුවන්ටද ඇහෙන්නට විය. හිතේ පුරුද්දට ඇහෙනවා නම් අම්මාට පමණක් නොව අපටත් ඇහෙනවා යැයි ඔවුන් වෛද්‍යවරයාට කියන්නට ගියේ නැත. ඒ ගැන අම්මාට පවා ඔවුන් නොකීවේ ඇය තවත් බියට පත්වේය යන බිය නිසාය. මව්බිම පත්‍රයේ පළවූ ලිපියක් කියැවූ දරුවෝ ඇයට ආධ්‍යාත්මික ප්‍රතිකාරයක් ලබාදීම සඳහා කසුන් නාගොඩවිතාන මහතා හමුවීම සඳහා ඇතුල්කෝට්ටේ ගුප්ත ගවේෂණ මධ්‍යස්ථානය කරා ඇය ගෙන ගියහ. එහිදී ඇය ප්‍රලය වූවාය.
"කවුද මේ ශරීරයට ඇතුළු වී ඉන්නේ ?" යි නාගොඩවිතාන මහතා ප්‍රශ්න කළේය.
"මම සිරිපාල"
"කවුද මේ සිරිපාල කියන්නේ ?"
"මම මැණිකේගේ ස්වාමි පුරුෂයා"
"ඇයි මේ මැණිකෙට හිරිහැර කරන්නේ ?"
"මම හිරිහැර කරන්නේ නෑ. මම ඇවිත් ඉන්නේ තරහකින් නොවේ. මම ඇවිත් වෙනදා වගේම වැඩ කරනවා."
"තමුන් මෙතැනින් ඉවත් වෙලා යන්න ඕනෑ"
"එහෙම බැහැ වඩු මඩුව දැක්කම එන්න හිතෙනවා"
මැණිකේ රාත්‍රි නින්දට ගිය විට කවුදෝ කෙනකු පැමිණි ඇඳේ වාඩි වෙන බව දැනෙන බවත්, ඇඳ ඇතිරිල්ල පවා එහාට මෙහාට වෙන බව පැහැදිලිව දැනෙන බවත් විස්තර කළාය. කොයි තරම් ආහාර ගත්තත් ඇගේ කුස නොපිරෙන බවත්, සතියකට වරකට වඩා වැසිකිළි නොයන බවත් ඇය කීවාය. තමන්ගේ නිවෙසට සමීප පන්සලක දිනපතා බෝධි පූජා දහ හතරක් පවත්වා ආපසු නැවත පැමිණෙන ලෙස දැනුම් දුන් නාගොඩ විතාන මහතා පිරිසුදුව බෝධි පූජා පැවැත්විය යුතු ආකාරයත් පැහැදිලි කර දුන්නේය. ඒ කටයුතු ඉටු කොට ඊළඟ දිනයේ මැණිකේ නැවත පැමිණියාය. එදිනද ඇය ප්‍රලය වූවාය.
"කවුද මේ ?"
"එදා සිරිපාලමයි අදත්"
"දැන් කොහොමද ?"
"ඉස්සර වඩා හොඳයි"
"ඒ කොහොමද ?"
"ඇයි මහත්තයා මැණිකේ බෝධි පූජාවට යනකොට මමත් ගිහින් බලා සිටියා."
"මොනවද තමුන්ට දැනුණේ ?"
"සතුටක් දැනුණා. ඒ වගේම මැණිකේ ලස්සනට ගාථා කියලා වන්දනා කරලා අන්තිමට මා සිහිපත් කර පින් දෙනකොට මට අමුතු ශක්තියක් දැනුණා. "
"සතුටක් දැනුණේ කොහොමද ?"
"ඉස්සර වඩු වැඩ කළාම මිසක් පන්සලට යන්නවත් වෙලාවක් තිබුණේ නැහැනේ. පහුගිය දවස්වල දින දහ හතරක්ම දිනපතා පන්සල් ගියානෙ. බෝමළුවට වෙලා ඉන්න කොට පුදුම සනීපයක් සතුටක් හිතට දැනෙනවා."
"සිරිපාල මැරුණේ මොනවා වෙලාද ?"
"පපුවේ අමාරුවක් හැදිලා ඉස්පිරිතාලෙට ගෙනිච්චා. එහෙදි මැරුණා."
"රෝහලේ ඉඳලා ගෙදර ආවේ කොහොමද ?"
"අපේ නැදෑයෙක් ගිහින් ඉස්පිරිතාලෙ ඉඳලා මගේ මිනිය ගෙදර ගේන කොට මමත් ආවා"
"කොහොමද ආවේ පයින්ද ? වාහනේකද ?"
"නැහැ... පුළුන් ගොඩක් වගේ සැහැල්ලූවට පාවෙලා එනවා දැනුණා"
"ඊට පස්සේ ?"
"මරණෙ කටයුතු වලින් පස්සෙ ගෙදරට වෙලා හැංගිලා හිටියා."
"කොතැනද හිටියේ ?"
"අල්මාරිය අස්සේ"
"ඒ මොකද අහුමුලූවල හැංගෙන්නේ ?"
"ඉර එළිය සැරයි. අපට ඔරොත්තු දෙන්නේ නෑ. රෑට එළියට එනවා අඳුරු වැටුණාම."
"සිරිපාල කන්නෙ බොන්නෙ මොනවාද ?"
"මැණිකේ ආහාරයට ගන්න දේවල්මයි"
"ඒ කොහොමද ?"
"මැණිකේ කන බොන දේවල් එයාගේ බඩේ ඉඳගෙන මම කනවා. ඒකනේ එයා කොච්චර කෑවත් බඩ පිරෙන්නේ නැත්තේ."
"දැන් මේ මැණිකේ අසනීපෙන් දුක් විඳිනවා. රෑට බය වෙනවා. ඒ ගැන මොනවද සිරිපාලට හිතෙන්නේ ?"
"මට දුකයි මහත්තයා."
"එහෙනම් ඉතින් මැණිකෙව අතහැරලා යන්න"
"එහෙම බෑ මහත්තයා. මතකය තියෙනකම් එහෙම යන්න බෑ. මහත්තයාට පුළුවන් නම් මගේ මතකය ඉවත්කර දෙන්න"
නිවෙසට ස්වාමීන් වහන්සේ වඩම්මවා සාංඝික දානයක් පිරිනමන ලෙසත්, එදිනම ගමේ උපාසක මහත්වරුන් හත් දෙනකු කැඳවා ආහාර පානයෙන් සංග්‍රහ කොට ඔවුන්ට සිල් රෙදි පරිත්‍යාග කරන ලෙසත් සිරිපාලගේ නම සඳහන් කොට පැන් වඩා පින් අනුමෝදන් කරන ලෙසත් නාගොඩවිතාන මහතා උපදෙස් දුන්නේය. දානය පිරිනමා ඊළඟ ඉරිදා නැවැත පැමිණෙන ලෙසද ඊට පෙර වඩු මඩුව ගලවා ඉවත් කරන ලෙසද උපදෙස් දුන්නේය. ඒ දානය පිරිනමා නියමිත දිනයේ මැණිකේ දරුවන් සමඟ නැවත ගවේෂණ මධ්‍යස්ථානය කරා පැමිණියාය. එහිදී ගවේෂකවරයා මැණිකේගෙන් ප්‍රශ්න කළේය.
"දැන් කොහොමද ?"
"දැන් ඒ සද්ද බද්ද ඇහෙන්නේ නෑ. කෑම කෑවාම දැන් බඩ පිරෙනවා. දිනපතා වැසිකිළි යනවා. රාත්‍රියට බය වෙන්නෙත් නෑ."
නැවතත් සිරිපාලගේ භූතාත්මය ගෙන්වා මැණිකේගේ ශරීරයට දිෂ්ටි ගන්වා සාකච්ඡා කළේය. මැණිකේ ප්‍රලය වූවාය.
"දැන් කොහොමද සිරිපාල ?"
"හොඳයි මහත්මයා. මම උසස් වුණා."
"උසස් වූ බව කොහොමද කියන්නේ ?"
"ඉස්සර මට ශක්තිය තිබුණේ නෑ. වැටි වැටී ගියේ. දැන් හිතපු ගමන් අවශ්‍ය තැනට පාවෙලා යනවා."
"මීට කලිනුත් සිරිපාලට පින් දුන්නා නේද ?"
"ඔව් මහත්තයා. මැණිකෙයි දරුවොයි අවුරුදු තුනක්ම දාන මාන දීලා මට පින් දුන්නා. ඒත් මට පින් ලැබුණේ නෑ."
"ඔව්, සිරිපාල පින් දෙනවා කියන්නේ ටැංකියකට පැට්‍රල් ගහනවා වගේ නොවෙයි. තමුන්ගේ නමින් දානමාන දෙනකොට ඒ දිහා බලා සතුටු වෙන්න ඕනෑ. මගේ ඥාතීන් මා වෙනුවෙන් දන් දෙනවා කියා සතුටු වෙන්න ඕනෑ."
"ඔව්, මහත්තයා මේ වතාවේ මට පින් ලැබේවා කියා හිත හිතා හිටියේ නෑ. මහත්තයා උපදෙස් දුන් විදියට මම බලා හිටියා. මගේ නම සඳහන් කර බණ කියන කොට, දන් පැන් දී පින් අනුමෝදන් කරන කොට මට පුදුම සතුටක් ඇති වුණා. ඒ එක්කම මම හිටියාට වඩා උසස් තත්ත්වයකට පත් වුණු බව දැනුණා"
"දැන් ඔබ සිරිපාල නොවෙයි. වෙනත් ආත්ම භවයක ඉන්නේ. දැන් මේ ගෙවල් දොරවල, වඩු මඩු ඔබට අයිති නැහැ. ඒවාට ආශාවෙන් හිටියොත් නැවැතත් දුගතියට වැටේවි. ඒ නිසා දැන් පින් දහම් කරන තැනකට ගිහින් තවත් සතුටට පත් වී ඉහළට යන්න පුළුවන්. දැන් ඔබ කැමැති කොයි වගේ තැනකට යන්නද ?"
"මම කැමැතියි කැලණියට යන්න. හොඳයි මම කියන්නම් ගෙදර අයට කැලණියේ බෝධි පූජාවක් තියන්න. පලතුරු වට්ටියක් මත වැටකෙයියා මලක් තබා ඔබ ඒ මතට නංවා කැලණියට යවන්නම්."
"නෑ... නෑ... මහත්තයා ඒවා අවශ්‍ය නැහැ මට දැන් තනියම යන්න පුළුවන්. මම ඒ ඉස්සර හිටිය දුක්ඛිත ප්‍රේත ජීවී තත්ත්වයෙන් මිදුණා. ඔබතුමාට පින් සිදුවේවි" යි ඔහු ඇගේ ශරීරයෙන් ඉවත්ව ගියේය.
උපුටා ගැනීම මව්බිම පුවත් පත.