මගේ රාජකාරියට බාධ කරන්න එපා
“උඹලට මාත් එක්ක හැප්පෙන්න බෑ” යි භූතාත්මය බොහෝ ම ගාම්භීරව කීවේ ය.
“අනේ! අපට කවුරුත් එක්කවත් හැපෙන්න ඕනෑ නෑ” යි ආධ්‍යාත්මික උපදේශකවරයා ඊට පිළිතුරු දුන්නේ ය.
“එහෙනම් මේ මොනව ද කරන්නෙ?”
“දුකට පත් රෝගීන් සහනයක් පිහිටක් පතා ගෙන අප ළඟට එනවා. ඒ අයට පිහිටවීම තමයි අපි කරන්නේ”
“ආ... එහෙම ද? එහෙනම් මුන්ටත් කියාපං මගේ රාජකාරියට බාධා නොකර තමන්ගේ වැඩක් බලාගෙන ඉන්නෙයි කියලා.”
“මොකක්ද ඔය රාජකාරිය?”
“රජ්ජුරුවෝ මට බාර දීපු වගකීමක් තියෙනවා. ඒ වගකීම ආරක්ෂා කිරීම තමයි රාජකාරිය.”
“කවුද ඔය රජ්ජුරුවො?”
“සිංහලේ මහ රජ්ජුරුවෝ”
“මොකක්ද රජ්ජුරුවන්ගෙ නම?”
“මම දන්නේ නෑ”
“මේ ශරීරයට මේ අයගෙ ඉඩමට එන්න කිව්වෙ කවුද?”
“හඃ... හඃ... හා... අනේ! අනේ! උඹලා හිතාගෙන ඉන්න හැටි, මුන්ට කොයින් ද ඉඩම්. මේ ඉඩම් ඔක්කොම මහ රජ්ජුරුවන්ගෙ, උඹලට අපට කොයින් ද මනුස්සයෝ ඉඩම්. මේ මුළු රට ම අයිති රජ්ජුරුවන්ට, අපි හැම දෙනා ම ඒ උත්තමයාගෙ යටත්වැසියෝ.”
මෙසේ කියන්නේ රක්වාන ප්‍රදේශයේ පදිංචි ශ්‍යාමාට ආවිෂ්ට වූ භූතාත්මයකි. ශ්‍යාමා තිස් පස් හැවිරිදි විවාහක කාන්තාවකි. දෙදරු මවකි. ඇගේ තුනටියෙන් පහළ දකුණු පැත්ත අප්‍රාණික වීම නිසා කාලයක් වෛද්‍ය ප්‍රතිකාර ලැබූව ද එයින් ඇය සුවයක් ලබා නැත. අංශබාධ රෝගියෙකු සේ කල් ගෙවයි. ඊට අමතරව හීනෙන් බියට පත් වී තිගැස්සී ඇහැරීම, ශරීරය පුරා පවතින දැවිල්ල ගතිය, ඇයට පීඩා ගෙන දුන් කාරණා විය. වෛද්‍ය ප්‍රතිකාර හා අභිචාර විධි වලින් සුවයක් නොලැබුණු නිසා “සිළුමිණ” පත්‍රයේ “පියවි ඇසින් ඔබ්බට” විශේෂාංගයෙන් කියැවෙන ඇතුල්කෝට්ටේ ගුප්ත ගවේෂණ මධ්‍යස්ථානය කරා ඇගේ සැමියා ඇය කැඳවාගෙන ආවේය. ආධ්‍යාත්මික ගවේෂකවරයා පළමු දින ඇය පරීක්ෂා කරන විට ඇය පැද්දෙන්නට වූවාය. ඉන් එහා විශේෂයක් නොවූ බැවින් දින විසිඑකක් ගමේ පන්සලේ බෝධි පූජා පවත්වා එන ලෙස උපදෙස් දුන්නේ ය. සති තුනකට පසුව නැවත පැමිණියහ. එදින ශ්‍යාමාට කිරණ එල්ල කරන විට ඇය ප්‍රලය වූවා ය. කිහිලි කරුවක ආධාරයෙන් නැගිට සිටි ඇය ඉතා ගැඹුරු හඬකින් හිනාවෙන්නට වූවාය. එය ස්ත්‍රී කටහඬක් නොව පිරිමියෙකුගේ ගැඹුරු හඬකින් සිනාවීමක් සේ ඇසෙන්නට විය. ගවේෂකවරයා ප්‍රශ්න කරන්නට විය.
“කවුද මේ ශරීරයට ඇතුළු වී ඉන්නෙ?”
“මම කවුද කියලා උඹලට වැඩක් නෑ. ඇයි මේ මාව අවුස්සා ගන්න හදන්නෙ? මට මගේ පාඩුවේ ඉන්න දීපල්ලා. මාව අවුස්සා ගෙන වැඩ වරද්දා ගන්න එපා ඕයි... කියමින් ශ්‍යාමා කිහිලිකරුවන් සමඟ ම ඇද වැටුණාය.
ගුප්ත ගවේෂණ මධ්‍යස්ථානය පුරා දෝංකාරය දෙමින් මහ හඬින් හූ හඬක් නඟමින් භූතාත්මය ඉවත්ව ගියේය. තවත් දින හතක් බෝධි පූජා පවත්වා නැවත පැමිණෙන ලෙස ශ්‍යාමාට උපදෙස් ලැබුණි. ඊළඟ දිනයේ ද පැමිණි විට ශ්‍යාමා ප්‍රලය වූවාය. ගවේෂකවරයා ප්‍රශ්න කළේ ය.
“කවුද මේ ශරීරයට ඇතුළු වෙලා ඉන්නෙ?”
“හඃ... හඃ... හා... මම ද? මම ‘රන්හාමි”
“කවුද මේ ශ්‍යාමාගේ ශරීරයට එව්වෙ?”
“කවුරුවත් නොවෙයි අප්පෝ කතා කළ නිසා මම ආවා.”
“කාට ද මේ අප්පො කිව්වෙ?”
“අප්පො කිව්වේ ඔබ තුමාට. ඇයි දන්නේ නැද්ද මේ හබරගමුවෙ අපි වැදගත් අයට අමතන්නේ එහෙම තමයි.”
“හොඳයි හොඳයි බොහොම ස්තුතියි.”
“ඇයි අප්පෝ මා එක්ක හැප්පෙන්න හදන්නෙ?”
“නෑ... නෑ... ඔබතුමා එක්ක හැප්පෙන්න කිසිම වුවමනාවක් අපට නෑ. මේ රෝගියෙක් සුවපත් කරන්නයි මම උත්සාහ කරන්නේ. ඇයි මේ රෝගියාට කරදර කරන්නෙ?”
“ඇයි උන් මට කරදර කරන්නෙ. උන් තමයි මාව අවුස්සා ගත්තේ.”
“මොකක්ද මේ අය කරපු කරදරේ?”
“ඇයි මුන් කිව්වෙ නැද්ද? මුන් ඉන්න ඉඩමේ ගල් තලාවක් තියෙනවා. ඒක යට නිධානයක් තියෙනවා. ඒක අපේ රජ්ජුරුවන්ගෙ නිධානයක්. ඒක ආරක්ෂා කරන්න මටයි බාර දීලා තියෙන්නේ. මුන් මගේ රාජකාරියට බාධා කරනවා. කට්ටඩි ගෙනැල්ල නිධානය ගන්න හදනවා. එක වතාවක් කට්ටාඩි ගෙනැත් ඒ ගල් තලාව ළඟ අඩි අටක් යටට මුන් හෑරුවා. රත්තරන් පාට ලොකු පෙට්ටියක් මතු වුණා. එකෙක් වළට බැස්සා කඹයකුත් අරගෙන. කඹ දාලා උස්සන්නයි හැදුවේ, හඃ... හඃ... හා... ඌව වළ ඇතුළෙ ම සිහි නැතුව වැටුණා. ඌව ගොඩ ගනිද්දි පණ ගිහිල්ලා. ඇදුරා ලේ වමනය දාගෙන වැටුණා. ඌව ඉස්පිරිතාලෙ ගෙනිච්චා. එහෙදි ඌත් මළා. මේකිගෙ (ශ්‍යාමාගෙ) අයියා තමයි ඒ වැඩේට මුල් වුණේ. දවස් දහයයි ගතවුණේ ඌත් බෙල්ලේ වැළලා ගෙන මළා. මේකිගෙ තුනටියෙන් පහළ පණ නැති වුණා.”
“තමුන් ද එහෙම කළේ?” ගවේෂකවරයා ඇසීය.
“නැතුව. නැතුව. ඒක මට පවරපු රාජකාරිය. මුන් දන්නේ නැතුවා ඇති මනුස්ස ලෝකෙ නීතිය. මිනිස්සුන්ට අයිති පොළව මතු පිට දේවල් බව. මේ වස්තුව රජ්ජුරුවන්ගේ. මුන්ට අයිති නෑ. මම මුන්ට ගන්න දෙන්නෙ නෑ. මම නාග වෙස් අරගෙන මේ ඉඩමේ සැරිසනවායි කියනවාත් සමඟ ම ශ්‍යාමා බිම පෙරැළී නාගයෙකු මෙන් බඩ ගාන්නට වූවා ය. දෙඅත්ල හිස මත විහිදා නයි පෙණයක් සේ තබාගෙන බඩ ගාන්නට වූවා ය.
“කවුද ඔය රජ්ජුරුවො?”
“නම මතක නැහැ අප්පෝ”
“දැන් අවුරුදු හාර පන්සීයක් අනුන්ගේ නිධානයක් බදාගෙන දුක් වින්දා මදි ද? ඔතැනින් මිදිලා යන්න අදහසක් නැද්ද?”
“මේක මම බාර ගත්ත වගකීම. රාජකාරිය. මම මේ නිධානය ආරක්ෂා කරනවා. අපට පින් එපා අප්පෝ. මට ඕනෑ මේ වස්තුව ආරක්ෂා කැරගෙන ඉන්න.”
“ඉතින් මේ ඉඩම මේ අයගෙ නෙ.”
“ඔව් ඔව් ඒ වුණාට නිධානය මේ අයගෙ නොවෙයි. අන්න ඒක මුන්ට කියා දෙන්න.” ශ්‍යාමාගේ ශරීරයෙන් භූතාත්මය ඉවත් කළ ගවේෂකවරයා ඇයට පියවි සිහිය ගෙන සාකච්ඡා කළේ ය.
“නිධානයක් ගන්න ගිහින් ඒ ඇදුරන්ටත් පවුලේ සහෝදරයකුටත් විපත් සිදු වූ කතාව ඇත්ත ද?”
“ඔව් මහත්මයා” යැයි ශ්‍යාමා එය පිළිගත්තාය.
“ඒ සිද්ධියෙන් පස්සේ ද ශරීරයේ පැත්තක් අප්‍රාණික වුණේ?”
“ඔව්”
“ඉතින් ඔය වැඩ හිරේ යන වැරදි. පොළව යට තියෙන වස්තුව අපට අයිති නෑ.”
“අනේ! මහත්මයා අපිව බේරා ගන්න”
“හොඳයි, ඔය පොළව යට තියෙන නිධානය පිළිබඳ ආසාව අතහරින්න සූදානම් ද?”
“ඔය නිධානවලට වඩා මේ මනුස්ස ජීවිතය වටිනවා මහත්මයා” යැයි ශ්‍යාමාගේ ස්වාමි පුරුෂයා ද කීවේය.
“ඔව් මහත්මයා, ඔබතුමා කියන පිළිවෙතක් මම කරන්නම්” යැයි ශ්‍යාමා කීවාය.
“හොඳයි, සිමෙන්ති මළු විස්සක් අරගෙන කොන්ක්‍රීට් දමා ඔය ගල් තලාව වසා දමන්න කැමති ද?”
හිටි හැටියේ ම නැවතත් ශ්‍යාමාගේ ශරීරය තුළින් මතු වූ භූතාත්මය,
“මොනව ද අප්පෝ ඔය සිමෙන්ති කියන්නෙ” යි ඇසීය.
"සිමෙන්ති කියන්නේ, ශක්තිමත් බදාමයක් හදන කුඩු වර්ගයක්. ඒවා වෙළෙඳ පොළේ තියෙනවා. සිමෙන්තියි, වැලියි, අඟල් බාගයේ කළුගලයි මිශ්‍ර කොට වතුරෙන් අනා සකස් කොට දමන ශක්තිමත් බදාමයක්. ඒ මිශ්‍රණයට ‘කොන්ක්‍රීට්’ කියලා කියනවා. ඒ කොන්ක්‍රීට් තට්ටුවකින් ඔය ගල් තලාව සම්පූර්ණයෙන් වසා දමන්න මම මේ අයට උපදෙස් දෙනවා" යි ගවේෂකවරයා භූතාත්මයට විස්තර කැර දුන්නේ ය.
“ඊට පස්සෙ?” භූතාත්මය නැවතත් ප්‍රශ්න කළේය.
“ඊට පස්සෙ ඒක උඩ බුදු පිළිම වහන්සේ නමක් වඩා හිඳුවා උදේ හවස වන්දනා කරන්න උපදෙස් දෙනවා.”
“බොහොම හොඳයි අප්පෝ”
“එහෙම නම් මීට පස්සෙ මේ අයට කරදර කරන්න එන්නෙ නෑ නේද?”
“මම මුන්ගෙ ජරාව කන්න ගෙවල්වලට එන ජාතියේ කෙනෙක් නොවෙයි අප්පෝ. මම ප්‍රේතයෙක් නොවෙයි. ඊට වඩා බලගතු කෙනෙක්. මේ උදවිය මම ආරක්ෂා කරන නිධානය ගන්න උත්සාහ කරන්නේ නැත්නම් මම කිසිම කරදරයක් කරන්නේ නැහැයි කියූ භූතාත්මය ශ්‍යාමාගේ ශරීරයෙන් ඉවත්ව ගියේය.
මතුගම
මහින්ද විජේතිලක
උපුටා ගැනීම සිළුමිණ පුවත්පත