රජරට ගමක වෙදකම් කරන වෙද මහතා වසර 40කට පෙර මියගිය කෙනෙක්
ඇහැටුවැව, දිවුල්ගනේ පුරාණ දිඹුලාගල රජමහා විහාරාධිපති පූජ්‍ය ගලහිටියාවේ සිරිරතන හිමියන්ට පසුගිය සිංහල අලුත් අවුරුද්දට ආසන්නතම දිනයක විස්මිත තොරතුරක් අසන්නට ලැබිණ. එනම් මීට වසර හතළිහකට පමණ පෙර මියගිය පාරම්පරික වෙද මහතකු පසුගිය වසරේ යළි මෙලොවට පැමිණ රජරට ප්‍රදේශයේ වෛද්‍ය ප්‍රතිකාර සේවයක් අරඹා ඇති බවකි. ඒ වන විට ශීඝ්‍ර ජනප්‍රියත්වයට පත්වෙමින් පැවැති එම මහතාගේ ප්‍රතිකාර සේවයේ පිහිට පතා දුර බැහැරින් පවා රෝගීන් පැමිණෙන්නට පටන් ගෙන ඇති වගක් උන්වහන්සේට සැලවී තිබිණ. මෙම එලොවින් ආ ජීවකයා පිළිබඳ අපූරු පුවත මට මුල්වරට දැන ගත හැකි වූයේ පසුගිය සිංහල අලුත් අවුරුද්දට දින දෙක තුනක් තිබියදී උන්වහන්සේ වෙතින් ලැබුණු දුරකථන ඇමතුමකිනි. එම පුවතින් මා කෙතරම් ප්‍රමුදිත වීද යත් සිංහල අලුත් අවුරුදු දිනවලම සිරිරතන හිමියන් සමඟ මියගිය වෙද මහතා හමුවීමට යාමට මම කැමැත්ත පළ කළෙමි. එලෙස රෝගීන්ට ප්‍රතිකාර කරනු පිණිස එම වෙද මහතා වරින් වර යළි මෙලොවට පැමිණෙනුයේ දැනට ජීවතුන් අතර හිඳින තම ඥාති මුණුපුරා මාර්ගයෙනි. එම මුණුපුරා පදිංචිව හිඳිනුයේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ උප නගරයක් ආසන්නයේ පිහිටි කෘෂිකාර්මික ගම්මානයකය.
එසේ වෛද්‍ය ප්‍රතිකාර සඳහා එලොව සිට වරින් වර යළි මෙලොවට පැමිණෙනුයේ “කිරිහාමි” නම් වෙද මහතෙකි. කිරිහාමි කන්ද උඩරට රාජධානි සමයේ එහි නරපතියන්ට පවා ප්‍රතිකාර කළ වෙද පරපුරක සාමාජිකයෙකැයි එම ප්‍රදේශයේ වැඩිහිටියෝ කියති. “රන් බණ්ඩා” යනු එම කිරිහාමි වෙද මහතාගේ ඥාති මුණුපුරෙකි. නොඑසේ නම් ඔහුගේ සොයුරකුගේ මුණුපුරෙකි. එහෙත් කිරිහාමිගෙන් පසු ඔහුගේ පරපුරේ කිසිවෙක් එම පරම්පරාගත වෙදකම බාර ගන්නට නොසිටියහ. එබැවින් එය ඉබේටම අභාවයට යන්නට ඇත. කිරිහාමි වෙද මහතාගේ මුණුපුරු රන් බණ්ඩා ගොවියෙකි. ඔහුගේ වයස අවුරුදු හැටකට ආසන්න ය. ප්‍රදේශයේ සෙසු ගැමියන්ට සාපේක්ෂව ඔහු තරමක දැන උගත්කමක් ලබා ඇති වගක් අපට පෙනිණ. රන්බණ්ඩාට දියණියන් දෙදෙනකි. ඔවුන් ද දැන් කලකට ඉහත දීග ගොසිනි. මේ අතර රන්බණ්ඩාගේ බිරිඳ මීට වසර එකහමාරකට පෙර මියගියා ය. ඒ පිළිකා රෝගයකිනි. බිරිඳගේ මරණය රන්බණ්ඩාගේ සිතට තදින්ම දැනුණි. ඉන්පසු හෙතෙම මුළුමනින්ම හුදකලා දිවි පවෛතකට මුල පිරුවේය. ඒ දීගතල ගොස් සිය දරුවන් ලොකු මහත් කර ගනිමින් හිඳින දියණියන්ගෙන් ප්‍රමාණවත් අවධානයක් ද තමන් වෙත යොමු නොවන දුක්බර පසුබිමක ය. මේ අතරතුර රන්බණ්ඩා වෙතින් තම ගොවිතැන් කටයුතු ද මදින් මඳ ගිලිහෙන්නට විය. අවසානයේ ඔහුට උරුම වූයේ නිවස තුළටම කොටු වූ අතිශයින් අලස සෝමාරී දිවි පවෛතකි. මේ අතරතුර එක්තරා දිනයෙක මියගිය බිරිඳ රන්බණ්ඩා හමුවේ සිහිනයෙන් පෙනී සිටියාය. එහිදී ඇය පවසා සිටියේ මියගිය වෙද මුත්තණුවන් සතු පැරණි බෙහෙත් වට්ටෝරුවල තම ජීවිතය පවා ගලවා ගත හැකි ප්‍රතිකාර ක්‍රම තිබූ බවකි. එමෙන්ම අභාවයට ගිය එම වෙද ශාස්ත්‍රය කෙසේ හෝ ඉගෙන ගන්නා ලෙස ද ඇය රන්බණ්ඩාගෙන් ඉල්ලා සිටියා ය. මේ අතර තවත් දිනයෙක මියගිය කිරිහාමි වෙද මහතාද තම ඥාති මුණුපුරා රන්බණ්ඩා හමුවේ සිහිනයෙන් පෙනී සිටියේය. එහිදී ඔහු කියා සිටියේ මියගිය මිනිපිරිය (රන්බණ්ඩාගේ බිරිඳ) ගේ ඉල්ලීමකට අනුව තම පැරණි රහස් වෙදකම් වර්තමාන සමාජයට ප්‍රදානය කිරීමට තමන් කැමැත්තෙන් හිඳින බවකි. ඒ සඳහා පුන්‍ය ශක්තියක් හිමිකර ගනු පිණිස තමන්ට පින් පෙත් පුද කරන මෙන් ද ඔහු තම මුණුපුරා වෙතින් ඉල්ලා සිටියේ ය. මේ අතර දකුණු අත සිරුරින් ඉවත් වන්නාක් මෙන් අමුතුම හැඟීමක් වරින්වර රන්බණ්ඩාට දැනෙන්නට විය. ඒ දිනපතා තම මියගිය බිරිඳට සහ මුත්තණුවන්ට පින් පැමිණවීමෙන් පසුව ය. දිනක් එසේ සිරුරින් වෙන් වූ බවක් පළ කළ රන්බණ්ඩාගේ අත අවිඥානිකව මෙන් අද්දර තිබූ මේසය මත ඇති වූ පෑනක් සහ කරදාසියක් වෙත යොමු විය.
“මම දෙන බේත් වට්ටෝරුවලින් ප්‍රයෝජන ගනින්” රන්බණ්ඩා සිහිනයකින් වත් නොසිතූ ලෙස තම පාලනයෙන් මිදුණු අත මේසය මත වූ පෑන වෙත යොමුවී එහි තිබූ කඩදාසි කැබැල්ලක ස්වයංක්‍රීයව එසේ ලියැවුණි. තමන් ලද මෙම විස්මයජනක අත්දැකීම රන් බණ්ඩාට කෙසේවත් වටහා ගත නොහැකි විය. එබැවින් ඔහු හනික දිව ගියේ තම ප්‍රදේශයේ කාගෙත් පොදු පිළිගැනීමකට ලක්ව සිටි උපාධිධාරී ගුරුවරයකු වූ ගුණතිලක මහතාගේ නිවෙසටය. එම අද්භූත සිදුවීම අසා විස්මයට පත්වූ ගුණතිලක මහතා ඒ මොහොතේම රන්බණ්ඩාගේ නිවසට ආවේය.
“රන්බණ්ඩා මාමේ, එහෙම නම් ආයිමත් සැරයක් පන්සිල් සමාදන් වෙලා ඒ කිරි අත්තටයි, මැරුණු නැන්දටයි පින් දෙනවද ? බලන්න”. එම සිදුවීම පිළිබඳ විමසුමින් පසු ගුණතිලක මහතා ඇසී ය. ඒ එම අද්භූත සිදුවීමෙහි සත්‍යතාව යළි පිරික්සනු පිණිසය. රන් බණ්ඩාද ඒ ඉල්ලීම එම පරිද්දෙන්ම ඉටු කළේය. එකෙනෙහිම පෙර පරිද්දෙන්ම සුරත තම පාලනයෙන් මිදෙන අයුරු රන් බණ්ඩාට දැනිණ. “දැන් හරි වගේ ගුණතිලක මහත්තයෝ” රන් බණ්ඩා කෙඳිරීය. “දැන් කාලෙක ඉඳලා මගේ බඩේ දැවිල්ලක් තියනවා”. එම අද්භූත සිද්ධියේ පසුබිම දැන සිටි ගුණතිලක මහතා ද හනික ඇසීය. එකෙනෙහිම මේසය මත වූ පෑන වෙත ගිය රන්බණ්ඩාගේ අප්‍රාණික සුරතින් එහි වූ හිස් කොළයක මෙලෙස ලියැවෙන්නට විය. “අත්තික්කා මුලකින් වෑහෙන වතුර බිපිය. සුවයි. ඒ සිදුවීමත් සමඟම එතෙක් සාමාන්‍ය ලෙස සෝමාරි දිවියක් ගත කළ රන්බණ්ඩා අතිශය ප්‍රබෝධමත් චරිතයක් බවට පත් විය. ඔහු පිළිබඳව කවුරුත් පාහේ කතා බස් කරන්නට වූහ. එමෙන්ම ඉනි’ක්බිතිව තමන් හමුවට පැමිණි රෝගීන්ට ඔහු මෙලෙස අවිඥානිකව සරල බෙහෙත් වට්ටෝරු ලියා දීම ඇරඹීය. ඒ කිසිදු අය කිරීමකින් තොරවය. එමෙන්ම රන්බණ්ඩාගේ සිතින් අතටත් ආරූඪ වී මෙලෙස ප්‍රතිකාර කරනුයේ මීට වසර හතළිහකට පෙර මිය ගිය කිරි හාමි වෙදමහතා බව ද එහි ගැමියන්ට රහසක් නොවිණි. එමෙන්ම පසුගිය සිංහල අවුරුදු සමයේ අප එහි යන විට ඔහු ලවා බෙහෙත් ලියවා ගැනීමට එන රෝගීන්ගේ සංඛ්‍යාව කෙමෙන් ඉහළ යමින් තිබිණ. මෙම පසුබිම යටතේ හෝ රන්බණ්ඩා සතු මෙම අද්භූත ප්‍රතිකාර හැකියාව මුල්කොට ඡායාරූප ද සහිත පුවත්පත් විශේෂාංගයක් සම්පාදනය කිරීමේ පහසු අවකාශයක් මා සතුව තිබිණ. එවිට එමගින් ඔහු පිළිබඳව සුවිසල් ජන අවධානයක් ද යොමුවනු නියත ය. එහෙත් මට එසේ කළ නොහැක්කේ රන්බණ්ඩාගේ මෙම අද්භූත හැකියාව පිළිබඳ අතිශය වැදගත් මනෝ විද්‍යාත්මක කරුණු ගොනු කර ගත හැකි බැවිනි. රන්බණ්ඩා සතු මෙම අද්භූත හැකියාව ඔහුට පමණක් උරුම වූවක් නොවේ. එය ලොව සෑම දේශයකින්ම, සෑම ජන සමාජයකින්ම වාර්තා වන්නකි. ලොව පුරා අධ්‍යාත්මවේදය පිළිබඳ විස්තර කරන්නවුන් මෙය විස්තර කරනුයේ භූතරූඪ ලේඛනය (Medinmistic writing or automatis) යනුවෙනි.
මිය ගිය පුද්ගලයකු නැතහොත් මේ විශ්වයෙහි සැරිසරන භූත හෝ දේව ආදී අද්භූත බලයක් ජීවත් වන අයකුගේ සිරුරට ආරූඪ වූ පසු ඒ තැනැත්තාට මෙම අද්භූත හැකියාව ලැබෙන බවට විශ්වාසයක් පවතී. එමෙන්ම මෙම තත්ත්වය කිසියම් විශේෂිත මානසික තත්ත්වයක් මත පදනම් වන ස්වයං ලේඛනයක් හෝ මනෝ රේඛනයක් (Automatic writing or Psychography) ලෙස ද සමහරෙක් හඳුන්වති. රන්බණ්ඩාට හිමි වූ මෙම ස්වයංක්‍රීයව බෙහෙත් වට්ටෝරු ලිවීමේ සුවිශේෂ බලය අප සමාජයේ එතරම් ප්‍රචලිත වූවක් නොවේ. එහෙත් කනප්පු පාදයක පැන්සලක් බැඳ එම කනප්පුව මතට දෙදෙනකු අත් තබා කරන ‘කනප්පු ලේඛනය’ ද මෙම සිද්ධාන්තය මතම පදනම් වූවකි. ජීවම් කරන ලද පොල් ගෙඩියක් මතට පැන්සලයක් තැබූ පසු භූත බලයෙන් ඉබේ අකුරු ලියැවෙන ක්‍රමයක් පිළිබඳ විශ්වාසයක් ද අප සමාජයේ බොහෝ දෙනකු තුළ පවතී. බටහිරින් අපට දායාද වූ භූත පුවරුව (Ouija board) සහ කාසි භූතයා (Spirit of Coin) ද මෙම සිද්ධාන්තය මතම පදනම් වේ. ස්වයංක්‍රීය ලේඛනය යනු හුදු යටි සිතේ ක්‍රියාකාරිත්වයේම කොටසක් මිස කිසිදු අද්භූත හෝ වෙනයම් බාහිර බලපෑමකින් සිදුනොවන්නක් බව මේ වන විට විද්‍යාත්මකව තහවුරු වී තිබේ. තමන් ද නොදැනුවත්ම, යටි සිතේ බලපෑමෙන් සිදුවන මෙවන් චර්යාත්මක සංසිද්ධීන් විද්‍යාත්මක හැඳින්වෙනුයේ මනෝ චාලක අනුඵල (Ideomotor Effect) යනුවෙනි. විද්‍යාත්මක විෂයක්ෂේත්‍රයන්ගෙන් අප රටේ ඉහළම අධ්‍යාපනික සුදුසුකම් ලත් ඇතැම් මහාචාර්යවරුන් පවා අදටත් අද්භූත ක්‍රියාකාරකම් වශයෙන් සලකන මෙම මනෝ චාලක ක්‍රියා සම්බන්ධයෙන් ප්‍රථම විද්‍යාත්මක පත්‍රිකාව නිකුත් කොට ඇත්තේ මීට වසර එකසිය හැට එකකට කලින් වීමද විශේෂත්වයකි. එම සුවිශේෂ අනාවරණය කරන ලද්දේ 1852 වසරේ බ්‍රිතාන්‍ය ජාතික භෞත සහ ස්නායු විශේෂඥයකු වන විලියම් බෙන්ජමින් කාපෙන්ටර් විසිනි. එහෙත්, කිසියම් පුද්ගලයකු නොදැනුවත්වම ඔහු අතින් යමක් ලියැවෙන්නේ කෙසේද? යන්න බොහෝ දෙනකු තුළ පැන නැගිය හැකි ගැටලුවකි. එහෙත් මේ සඳහා මෝහනමය සිද්ධාන්ත ඉවහල් වන බව ඒ සම්බන්ධයෙන් පර්යේෂණ කළ බටහිර වෛද්‍ය විද්‍යාත්මක මෝහනයේ පියා වන ක්‍රි.ව. 1795 - 1860 අතර විසූ ස්කොට්ලන්ත ජාතික ශල්‍ය වෛද්‍ය ජේමිස් බ්‍රේඩ් විසින් ද සනාථ කොට තිබේ. ඒ අනුව මේවා භූත හෝ අත්භූත ක්‍රියාකාරකම් ලෙස සැලකීම විද්‍යාත්මක සන්තනයේ කුණු බක්කි අහුලා කෑමක් සේ සමහරෙක් හඳුන්වති.
දැන් අපි රන්බණ්ඩාගේ මෙම අරුම පුදුම හැකියාවේ ඇතුල් පැත්ත විමසා බලමු. බිරිඳගේ මරණයත් සමග රන්බණ්ඩා ජීවිතයේ හුදකලා වූ බව නොරහසකි. ඔහුගේ ඒ හුදකලා බව තවත් තීව්‍ර වූයේ විවාහක දියණිවරුන් දෙදෙනාගේ අවධානය ද ඔහු වෙත යොමු නොවීම නිසා ය. ඒ අනුව නිවෙස තුළ අලස හුදකලා සෝමාරි දිවි පවෛතක් ගත කළ රන්බණ්ඩා තම අසරණ බව මුල් කොට විඝටන ආබාධය (Dissociative disordes) නම් මානසික අර්බුදකාරී තත්ත්වයකට පත්වූ බවට අනුමාන කළ හැක. එහෙත් ඒ අතරේ තම මියගිය බිරිඳ හා මුත්තණුවන් මුල් කොට ඔවුන් සිහිනයෙන් පෙනීම (ඇතැම් විට මෙය ඔහුගේ පරිකල්පනයක් ද විය හැක.) මතින් ලත් තීව්‍ර මානසික උද්දීපනයක් සමග රන්බණ්ඩා තුළින් ද්විතීයික පෞරුෂයක් ඉස්මතු වී ඇති බව පැහැදිලි ය. මුත්තණුවන්ගේ වෙද වට්ටෝරු ඔහුගේ අතින් ලියැවෙන්නට පටන් ගත්තේ ඔහු ද නොදැනුවත්වම ඔහු තුළත් ඒ ද්විතීයික පෞරුෂය ක්‍රියාත්මක වීමෙනි. ඔහු තම මියගිය බිරිඳට සහ වෙද මුත්තණුවන්ට පින් දීමෙන් ඒ සඳහා තීව්‍ර මානසික උද්දීපනයක් ලබා ගන්නා බව පෙනේ. අපගේ ජන සංස්කෘතියේ ‘වරම් ගැනීම’ යනුවෙන් හැඳින්වෙන්නේ මෙම තීව්‍ර මානසික උද්දීපනයයි. එහෙත් අවිඥානිකව ලියැවෙන මෙම වෙද වට්ටෝරු ලෙසින් බොහෝ විට එළි දැක්වෙනුයේ රන්බණ්ඩාගේ මනැසේ ගැබ් වූ සාමාන්‍ය මතකය සහ අවරෝධිත හෙවත් යටපත් මතකයන් (repressed memonies) බව කිව යුතු ය. ඒවා මියගිය මුත්තණුවන් ජීවත්ව සිටි කාලයේ ඔහුගෙන් අසා ගත් සහ එදිනෙදා ජීවිතයේ දී එක් රොක් කරගත් ඒවා මිස කිසියම් අද්භූත ක්‍රමයකින් ඔහුගේ මනැසට ආරෝපණය වූ ඒවා නොවේ. එහෙත්, මෙවැනි ප්‍රතිකාර ක්‍රමවල අප බොහෝ දෙනකු නොසිතන අවදානමක්ද තිබේ. එනම් මෙබඳු ස්වයං සරල මෝහනයකදී ඒ පුද්ගලයන්ගේ යටි සිත් තුළ ඇති විස්මෘති පූරක හෙවත් මතකය පුරවාලීමට යොදන හිස් වදන් (contabulate) ද බෙහෙත් වට්ටෝරු ලෙසින් එළි දැක්වීමට පහසු අවකාශයක් තිබිම ය. ඒ අනුව එවැනි ‘හිස් වදන්’ බෙහෙත් වට්ටෝරු ලෙස සලකන අයෙකුට සිදුවන්නේ සයිබුගෙන් බෙහෙත් කෑ මිනිහාට සිදුවූ දෙයමය. ඕනෑම කෙනකු කළ ස්වාභාවික කුතුහලයක් පුබුදන රන්බණ්ඩා සහ ඔහුගේ අද්භූත බලය ගැන පුවත් පත් විශේෂාංගයක් සපයා ‘බාල ජනප්‍රියත්වයේ’ මාවතට පිවිසෙන්නට මට නොසිතුණේ එබැවිනි.
තිලක් සේනාසිංහ
උපුටා ගැනීම ලක්බිම පුවත්පත