Biz Log
Classifields
Biz Log
Classifields

මං දුර්වලයි මනුෂ්‍ය ලෝකේදි පින් කළේ නෑ


සතර මහා භූත කොටස්වලින් සකස් වූ, සංසාර ගමනේ දිගින් දිගට ගෙන යන්නා වූ කර්ම ශක්තිය නිසා ඊට ගැළපෙන පරිදි නිර්මාණය කළා වූ ශරීරය අතහැර දමා මරණයේ දී ඉවත් ව යන චිත්ත සන්තානය හෙවත් නාම ස්කන්ධය ඊළඟ භවයේදීත් එසේ ම බොහෝ විට දකින්නට ලැබේ. එය තවදුරටත් පැහැදිලි කරනවා නම් භූතාත්මයක් ලබා සිටින බොහෝ දෙනකු තමන් හඳුන්වනු ලබන්නේ කලින් මිනිස් ආත්මයේ සිටි නමින් ම ය.

එසේ ම ඉපැරැණි සෘෂිවරුන් විසින් සොයා ගනු ලැබූ, අක්ෂර ශක්තියෙන් නිර්මාණය කරන ලද මන්ත්‍ර ශාස්ත්‍රය මේ භූතාත්ම මෙහෙයවන්නට යොදා ගත් උපක්‍රමයක් විය. පැරැන්නෝ මේ මන්ත්‍ර ශාස්ත්‍රයෙන් බොහෝ විස්කම් පෑහ. ලංකාවේ ද කොණ්ඩදෙනියේ හාමුදුරුවන් වැනි ශාස්ත්‍රඥයන් කළ විස්කම් අදද තවමත් සමාජ ව්‍යවහාරයේ පවතී.

කෙනෙක් මන්ත්‍ර ශාස්ත්‍රයෙන් තව කෙනෙකුගේ ලෙඩ දුක් සුවපත් කළහ. තවත් පාපී කෙනෙක් ඒ මන්ත්‍ර ශාස්ත්‍රයෙන් ම තව කෙනෙකුට ලෙඩ දුක් කරදර ඇති කළහ.

තව කෙනෙක් මන්ත්‍ර ශාස්ත්‍රය උපයෝගී කොට ගෙන කෙනෙකුගේ ශරීරයට, නිවසට හෝ ඉඩමට ඇල්ම ඇති කැර ගෙන සිටින භූතයෙකු පලවා හැරියහ. එසේ ම තව කෙනෙක් භූතයෙකු මන්ත්‍ර බලයෙන් අල්ලා ගෙන ඔහු ලවා වෙනත් කෙනෙකුට ලෙඩ දුක් හානි සිදු කළහ.

මේ අතර එවැනි මන්ත්‍රයක බලපෑමක් නැතිව භූතයෙක් ස්වකීය සිතේ පවතින ඇල්ම නිසා ද, පළි ගැනීමේ අදහසින් තරහ වෛර නිසා ද මිනිසුන්ගේ ශරීරවලට රිංගා ගෙන ද පිටතින් සිට ද හිරිහැර පීඩා පමුණුවති.

මේ ඇතුල්කෝට්ටේ, අලකේශ්වර මාවතේ ආධ්‍යාත්මීය ගවේෂණ මධ්‍යස්ථානයේ දී අනාවරණය වූ සිද්ධියකි.

හෙන්රි ලලිත් ගේ මාමා ය. හෙන්රි මිය ගියේ මුහුණේ වම් පස හටගත් පිළිකාවකිනි. ඔහු දැන් සිය බෑණා වන ලලිත් ගේ සිරුරට ආවිශ්ටවෙමින් වරින් වර කටයුතු කරයි. අපි හෙන්රි සමඟ ම සාකච්ඡා කරමු.

“මේ ශරීරයට රිංගා ගෙන ඉන්නේ කව්ද?” මම ඇසීමි.

“මම හෙන්රි” ලලිත් ගේ මුවින් පිට වෙයි.

“ඇයි හෙන්රි මේ ලලිත්ට හිරිහැර කරන්නේ?”

“මම හිරිහැර කරන්නේ නෑ. මේ ළමයා හොඳින් ඉගෙන ගෙන දියුණු වෙනවාට ඊර්ෂ්‍යාවෙන්, මේ ළමයගෙ ගෙදරට ඉස්සරහ ගෙදර කෙනෙක් මේ ළමයට විනයක් කළා. මම මේක දැක්කා. වෙනත් භූ®තයෙක් මේ ශරීරයට රිංගා ගෙන හිරිහැර කරයි කියා මට හිතුණා. ඒ නිසා වෙනත් ප්‍රේතයෙක් රිංගා ගන්න කලින් මම මේ ළමයගෙ ශරීරයට රිංගා ගත්තා. මම තරහකට ඊර්ෂ්‍යාවකට නොවෙයි ආදරේටයි රිංගා ගත්තේ.”

“ඒ වුණාට මේ හැසිරීම හිරිහැරයක්නෙ”

“මට කරන්න දෙයක් නෑ. මේ අපේ ස්වභාවය”

“හෙන්රිගේ ස්වභාවය, හෙන්රි ගේ තත්ත්වය මොකක්ද?”

“මට තේරෙන්නේ නෑ”

“ප්‍රේතයෙක් නේද?”

‘මට තේරෙන්නේ නෑ”

“ඇයි? නොතේරෙන්නේ?”

“මම දුර්වලයි, මනුස්ස ලෝකෙ ඉන්දැද්දි පින් දහම් කළේ නෑ”

“ඇයි එහෙම වුණේ?”

“මහත්තයා! මම කටයුතු කළේ එදා වාමාංශික නායකයොත් එක්ක. එදා මගේ ළඟ තිබුණෙ කොමියුනිස්ට් ධර්මය. බුද්ධ ධර්මය නොවෙයි. අපේ ධර්මයෙන් එදා අපි කිව්වෙ ධනවතුන් භංග වේවා කියලා. අපි එදා යමක් කමක් තියෙන අයට වෛර කළා. ඊර්ෂ්‍යා කළා. ඔවුන් භංගවේවා කීවා. බුද්ධ ධර්මයට අනුව දාන - ශීල - භාවනා කළේ නෑ.”

“කව්ද? ඔබ ආශ්‍රය කළ වාමාංශික නායකයෝ?” මම හෙන්රිගේ භූතාත්මයෙන් ඇසීමි. ඔහු මිය ගිය පැරැණි වාමාංශික නායකයන් කීප දෙනෙකුගේ නම් සඳහන් කළේ ය.

“දැන් ඔවුන් ඉන්නේ කොහේද?”

“දන්නේ නෑ. මම දුර්වලයි. මට ඒ අය ගැන දැන ගන්න තරම් ශක්තියක් නෑ.”

“හෙන්රි! ධනවතුන් බොහෝ දෙනෙක් ඔය වගේ ම ධර්මානුකූ®ල නොවී සේවකයින්ගේ ශ්‍රමය සූරා කමින්, ඊටත් වඩා බලවතුන් අල්ලා ගෙන රාජ්‍ය දේපළවලින් අසාධාරණ විදිහට ප්‍රයෝජන ගන්නවා. දූෂිත විදිහට අයුතු ලාභ ලබනවා. උන් ලෞකිකව සැප විඳිනවා. ඒක ඇත්ත. ඒ උන් ඉස්සර පින්වලට. මෝහය නිසා සාධාරණ නොවී අසාධාරණකම් කර ඊළඟට අපා ගත වෙනවා. අපේ අයත් උන්ට ඊර්ෂ්‍යා කර, වෛර කර, ඒ ද්වේෂ සහගත සිතුවිලි වලින් මැරී අපාගත වෙනවා. දැන් හෙන්රිටත් සිද්ධ වෙලා තියෙන්නේ ඒකයි. ඒ නිසා අන්න ඒ යථාර්ථය තේරුම් අරගෙන දැන්වත් හිතේ තරහ මරහ තියාගන්න එපා. දැන් හිත පින් දහම්වලට යොමු කරන්න.” මම ඔහුට උපදෙස් දුනිමි.

“ඒක තමයි මම උත්සාහ කරන්නේ, මේ ළමයාගේ ඇඟට වෙලා එහෙම පිනකට දහමකට උදව් වෙන්න ඕනෑ. ඒත් මේ ගොල්ලො මාව ඉවත් කරන්න හදනවා.”

“ඒ කව්ද?”

“අර මහත්තයා” යැයි තිසර නාගොඩවිතාන මහතා පෙන්වයි.

“හෙන්රි! අපි හදන්නේ ඔයාව කළු දේවතාබණ්ඩාර දෙවියන් ලවා ජය ශ්‍රී බෝධීන් වහන්සේ ළඟට යවන්න. එතකොට පුළුවන් හෙන්රිට පිනට දහමට යොමු වෙන්න.

අනුන් කරන පින්කම් දැකලාවත් සතුටුවෙන්න. එතැන දෙවියන් ගේ ආවතේව කටයුතුවලට සම්බන්ධ වෙලා කටයුතු කරන්නැ’යි තිසර නාගොඩවිතාන මහතා විස්තර කළේ ය.

“ඔව්! මම කැමැතියි, ඒත් මේ ළමයව ආරක්ෂා කර ගන්නත් ඕනෑ.”

“දැන් හෙන්රි ළඟ, හෙන්රිගෙ ආශ්‍රයේ වෙන කවුද ඉන්නේ?” යි මම ඇසීමි.

“මම දන්නේ නෑ. මම දුර්වලයි”

“වෙන කවුරුන් ගැනවත් දන්නේ නැද්ද?”

“තාත්තා ගැන දන්නවා”

“මොකක්ද තාත්තාගෙ නම?”

“කරෝලිස්”

“දැන් කරෝලිස් මෙතැන ඉන්නවාද?”

“නෑ එයා මැරිලා... තාත්තා ඉන්නේ සිරීපාද අඩවියේ”

“තාත්තා සිරීපාද අඩවියේ මොනවාද කරන්නේ?”

“දන්නේ නෑ. තාත්තා ඉන්නේ සුමන සමන් දේවතාවුන් වහන්සේ ළඟ.”

“තාත්තා ඒ තත්ත්වයට ගියේ කොහොමද?”

“තාත්තා අපි වගේ නොවෙයි. පන්සල් ගියා. පින් දහම් කළා. සිල් සමාදන් වුණා. දුප්පත් අයට උදව් කළා. ඒ නිසා තමයි එයා ඒ තත්ත්වයට ගියෙ. මම දේශපාලන අදහස් නිසා නිතරම සිතේ ගොඩ නැඟුවේ වෛරී සිතුවිලි. ඒ නිසා දැන් දුක් විඳිනවා. මේ ළමයා පින් දහම් කරන නිසා මෙයා මාර්ගයෙන්වත් මේ අපා දුකෙන් මිදෙන්න හිතා ඉන්නවා.”

“හොඳයි, හොඳයි, දැන් හිත හදාගන්න. පාපී සිතුවිලි අත හරින්න. ලලිත් දානයක් දී පින් අනුමෝදන් කරාවි. ඒ පින් ලබාගෙන ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ වෙත යන්නැ’යි නාගොඩවිතාන මහතා පැවසීය.

මෙයින් අපට පැහැදිලිවන්නේ තම තමන් දෘෂ්ටි ගතවන ආකාරය අනුව සිතේ පැල පදියම් වන අල්ලා ගැනීම්, සංසාර ගමනට ඉවහල් වන ආකාරයයි. මාක්ස්වාදයේ ආරම්භකයින්ටත් ආරම්භක ළමා තරුණ වයස්වල බුදු දහමේ ආභාෂය ලැබුණා නම් ඔවුන් ද දස රාජධර්මයට අනුව සාර්ථක වැඩපිළිවෙළකට පට වඩා වෙනස්ව ක්‍රියාත්මක වෙන්නට තිබුණි.

ඉන් පසුව බිහිවූ දෙවැනි තුන්වැනි පෙළ නායකයෝ දුප්පත් වූ දරිද්‍රතාවයෙන් පීඩාවට පත් වූ මිනිසුනට ඉගැන්වූයේ ද්වේෂය මිශ්‍ර වූ ක්‍රමයකි. එයින් ධනවත්හු බලවත්හු තව තවත් ස්ථාවර වූහ. දැනුදු එසේ ම ය.

වර්තමානයේ ද තමන්ගේ ගොඩ වැඩි කැර ගැනීම එම අධිෂ්ඨානය කොට ගත් ප්‍රධානීහු දුප්පතුන් රවටමින් උපායශීලීව කටයුතු කරති. එහෙත් අවසානයේ අපා ගත වෙති.

හෙන්රිගේ පියා සාමාන්‍ය සිංහල බෞද්ධ පරිසරයක හැදී වැඩී ගමේ පන්සල ආශ්‍රය කරමින් පින් දහම් හි යෙදෙමින් හොඳ නරක තෝරා බේරාගෙන ලෝකය දෙස උපේක්ෂාවෙන් බලා දැහැමිව ජීවත්ව මරණයට පත් වූයේ ය.

හේ ශ්‍රී පාද අඩවියේ දේවතාවෙකු වී ඉපැදුණේය. ඔහුගේ පුතා හෙන්රි දියුණු යැයි කියා ගන්නා සමාජ පරිසරයක් තුළ වැඩ කරන ජනතාව ඇසුරු කරමින් සමාජ අසාධාරණය ජය ගැනීම සඳහා ඇති නැති අයට වෛර කරමින් කටයුතු කළේය.

ඒ පිරිසක් සමඟ සංවිධාන වූ අදහස්වලින් දවස පුරා චිත්ත සන්තාපය කිලිටු කැර ගැනීමේ ආදීනවත්වයෙන් අද ප්‍රේතාත්මයක් ලබා දුක් විඳී.

වර්තමානයේ ද එසේම ය. පක්ෂ දේශපාලන ක්‍රමය නිසා එකම බඩවැල කඩා ගෙන උපන් තමන් ගේ ම සහෝදරයා සමඟ ද ගැටෙති. බලය හා තනතුරු සඳහා එක ම පක්ෂයේ අය ද ඇන කොට ගනිති. ගහ මරා ගනිති. මෙයින් වැඩි දෙනෙක් මරණයෙන් මතු ප්‍රේතාත්මවල ඉපිද අනන්ත දුක් විඳිති. නයි පොළගුන් වී උපදිති.

කසල ගොඩවල කුණකටුවන් වී උපදිති. මෑත ඉතිහාසයේ එසේ මිය ගිය දේශපාලනඥයකු ගේ ආත්මය අද දුක් විඳින ආකාරය “මන්ත්‍රී ප්‍රේතයා හා භූතයෝ’ නමින් අප ලියූ පර්යේෂණ ග්‍රන්ථයෙහි සවිස්තරව දත්වා ඇත.

මතුගම මහින්ද විජේතිලක
උපුටා ගැනීම සිළුමිණ පුවත්පත

Share This Article