මට පින් නොදුන් නිසා මං යන්න ගියේ නෑ
ජීවිතය කියන්නේ මහා හැලහැප්පිලි සමූහයක්. පහළට ගලා යන ගංගාවක්. බාලයා තරුණ වෙනවා, තරුණයා මහලූ වෙනවා, ලෙඩ දුක් හැදෙනවා, ඇස් පෙනීම කන් ඇසීම අඩු වෙනවා, කෙස් පැහෙනවා, දත් හැලෙනවා, හම ඇග රැලි වැටෙනවා, මුළු ශරීරය ම දුර්වල වෙනවා, ජරාවට පත් වෙනවා. කවදාවත් මහල්ලෙක් තරුණ වෙන්නේ නෑ. තරුණයෙක් ළදරුවෙක් වෙන්නේ නෑ. මේ ටික මිනිස්සු හිතන්නේ නෑ. හිතන්න උවමනා වුණත් හිත ඒකට හරිම අකමැතියි. ඒ වෙලාවට වෙනත් මොනවා හෝ සිතිවිලිවලින් හිත වසා ගන්නවා. මේ ජීවිතේ මිනිස්සු මොනවද කරන්නේ? කනවා, බොනවා, අදිනවා, ගෙවල් හදනවා. මෙන්න මේ ටික කරන්න ඉගෙන ගන්නවා, රස්සාවල් කරනවා, දුක් විදිනවා. මේ අතරෙ තව තව හොදට රහට කන්න බොන්න, අදින්න පළදින්න ගේ දොර ලස්සන කරන්නටයි හිතෙන්නේ. මේකෙ කෙළවරක් නෑ. අසීමිත තණ්හාවෙ හැටි තණ්හාව කියන්නේ වුවමනාවනෙ. මේ අතර නොසිතූ නොපැතූ දේවලූත් වෙනවා. ලෙඩ දුක්, කරදර, විපත් මේවායින් වළකින්න බැහැ. අන්තිමට බලන කොට හැම කෙනෙක්ම දුක් විදිනවා. ලෙඩ දුක්, කරදර, වයස්ගත වීම් පසු පස්සෙන් හඹා එනවා. වෙලාවකට හිතනෙවා අනේ... දෙයියනේ මේකට ද උපන්නෙ කියලත්.
කුරුණෑගලට ආසන්න ගම්මානයක පදිංචි දයාවතී පනස් දෙහැවිරිදි විවාහක කාන්තාවකි. ඇය වසර ගණනක් තිස්සේ සුව නොවන ඇගපත වේදනාවකින් පෙළුණා ය. ඊට ම තවත් පීඩාකාරී බවක් එකතු කරන මළබද්ධයෙන් ද දුක් වින්දාය. දිනපතා හැන්දෑවට ඇග සීතල වීම නිසා ඉර හැරුණු මොහොතේ පටන් පොරවාගෙන නිදන්නට වූවාය. ඇගේ සැමියා ඇයට බටහිර වෛද්‍ය ප්‍රතිකාර ලබා දුන්නේ ය. ඇයට ශරීරගත රෝගයක් නැතැයි වෛද්‍යවරුන් ප්‍රකාශ කරන බැවින් බටහිර වෙදකම අතහැර දේශීය වෛද්‍යවරුන් සොයා ගියහ. එයින් ද සුවයක් නොලැබුණු බැවින් තෙල් නූල් මතුරා බැදීම් හා බෝධි පූජා පැවැත්වූ හ. ඒවායින් ද සුවයක් හෝ ගුණයක් නොලැබුණි. මේ අතර නිවස තුළින් දුර්ගන්ධයක් හමන්නට විය. මෙයින් ඇගේ සැමියාත් දරුවොත් තවත් කලබල වූහ. ඔවුහු ඇතුල්කෝට්ටේ ගුප්ත ගවේෂණ මධ්‍යස්ථානය කරා දයාවතී කැදවාගෙන ගියහ. එහිදී දයාවතී වෙත ආධ්‍යාත්මීය ශක්ති කිරණ ඒල්ල කරන විට ඇය සිහිසුන් ව බිම වැතිරුණාය. කතා කරවන්නට උත්සාහ කළ ද ඉතා දුර්වල බවත් පෙන්නුම් කළාය. පිරිත් බලයෙන් ශක්ති ගැන් වූ පැන් ටිකක් ඇගේ මුහුණට ඉස පියවි සිහිය ගනු ලැබුණි. ඇය තුළ භූතාත්මයක බලවේගයක් ක්‍රියාත්මක වන බව පැහැදිලි කළ ගවේෂකවරයා දින හතරක් ගමේ පන්සලේ බෝධි පූජා පවත්වා නැවත පැමිණෙන ලෙස නියම කලේය. දෙසතියකට පසු ඔවුහු නැවත පැමිණිය හ. එදින දයාවතී දිෂ්ටි ගැන් වූ විට කෑ ගසන්නටත් අඩා වැලපෙන්නටත් වූවා ය.
"කවුද මේ ශරීරයට ඇතුළු වී ඉන්නේ ?"
"මම ගිමාරහාමි"
"කවුද මේ ගිමාරහාමි"
"මේ දුවගෙ අම්මා"
"ඇයි මේ දුවට හිරිහැර කරන්නේ"
"මේ ගොල්ලේ මගේ දේපළ බුක්ති විදිනවා, කුඹුරු ගොවැතැන්වලින් වී හාල් කනවා, ඉඩමෙන් පල ප්‍රයෝජන ගන්නවා, ඉන්නෙන් මගේම ගෙදර, මම මෙහේ දුක් විදිනවා. පින් දහම් කරලා මට පින් දෙන්නේ නෑ."
"ඔය බොරු. අපි හැම අවුරුද්දක් ගානෙ ම පින්කමක් කරලා අම්මට පින් දෙනවා" යි දයාවතී ගේ සැමියා කීවේ ය.
"හීං... හීං... හීං... අනේ මහත්තයා මේ ගොල්ලන්ගේ පින්කම් කිරීම් ගැන නම් කතා කරලා වැඩක් නෑ. දානයක් දෙන්නේ නෑදෑයෝ ගේන තෑගි බෝග බලාගෙන. බණ දාට බණ අහන්නේ නෑ. නෑදෑයෝ ගෙනෙන සීනි තේ කොළ එකතු කරනවා මිසක් මුන් බණ අහන්නේ නෑ"
"ඇයි මේ විදියට දුවට හිරිහැර කරන්නේ" තමුන් පාපයක් කර ගන්නවානේ. තමුන්ට මොනවද වුවමනා කරන්නේ ?" යි ගවේෂකවරයා ඇසීය.
"පින්... පින්... මට වුවමනා දැන් මේ විදින දුක් සහිත තැනින් මිදිලා ඉහළට යන්න"
"හොදයි. තමුන්ට දානයක් දීලා පින් අනුමෝදන් කරන්න කියන්නම්"
"දානයක් කියන්නේ සාංඝික දානයක් දෙන්න කියන්න. හාමුදුරුවරු දහනමක් වත් ගෙදරට වඩම්මලා ඒ දානය හොදට දෙන්න කියන්න."
"ඒ අනුව දානයක් දී අම්මාට පින් අනුමෝදන් කළාම අම්මා කොහේට ද යන්නේ?"
"ඉතිං මගේ ගේ දොර ඉඩකඩම් බඩු මුට්ටු සෑම දෙයක් ම මෙයා අයිතිකර ගත්තා. මම යනවා ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ ළගට"
"ඔය ඇත්තම ද?"
"ඔව්... ඔව්... හොඳට දානය දෙන්න කියන්නකෝ"
මළගිය මෑණියන් ඉල්ලා දිටින පරිදි ඒ දානය දී අම්මාට පින් අනුමෝදන් කරන ලෙසත් එවිට ඇය නිදහස් වී ඉහළ තත්ත්වයකට පත් වී දුව අතහැර යනු ලබන බවත් දයාවතීටත්, සැමියාටත් ගවේෂකවරයා කරුණු පැහැදිලි කර දුන්නේ ය. ඒ අනුව ඔවුහු තම නිවසේ දානයක් පිරිනමා සිල් ඇත්තන්ට සිල් රෙදි ද පිරිනැමූහ. සතියක් ගත වූයේ නැත. දයාවති සිටියාටත් වඩා අසනීප වූවා ය. හිටි හැටියේ වියරුවෙන් කෑ ගසන්නටත්, බඩු මුට්ටු පොළොවේ ගසන්නටත් වූවාය. නිවස තුළ දුර්ගන්ධය දරුණුවට දැනෙන්නට විය. මේ තරම් වියපැහැදම් කොට දානයක් දී ඒත් මදිවාට දහදෙනෙකුට සිල් රෙදිත් පිරිනමා නැවතත් මෙසේ වූයේ ඇයි දැයි දයාවතී දුරකථනයෙන් ගවේෂකවරයාගෙන් ඇසුවාය. එය කෙසේවත් සිදුවිය නොහැකි බව පැහැදිලි කළ ගවේෂකවරයා එසේ නම් පවුලේ සියලූ දෙනාම සමග ඊළග ඉරිදා නැවත පැමිණෙන ලෙස දැනුම් දුන්නේ ය. එදින ද දයාවතී දිෂ්ටි ගැන්වූ විට ගිමාරහාමිගේ භූතාත්මය කතාකරන්නට වූවා ය.
"මොකද මට කතා කළේ ?"
"එදා ගිමාරහාමි කී විදියට මේ අය දානයක් දීලා තියෙනවා. ඇයි ගිමාරහාමි එදා පොරොන්දුවුණු විදියට මේ දයාවතී අතහැර නොගියේ ?" යි ගවේෂකවරයා ඇසීය.
"ඔව් මම ගියේ නෑ"
"ඇයි නොගියේ කියලයි මම අහන්නේ"
"මට පින් නොදුන් නිසා"
"මේ අය දානය දීලා තියෙනවානේ"
"මහත්තයා මහත්තයා නොදන්නා දෙයක් මෙතන වෙලා තියෙනවා"
"ඒ මොකක්ද ?"
"මුන් දානේ දෙන්නේ දානෙට වියදම් කළා වගේ දහස් ගුණයක් බලාපොරොත්තුවෙන්"
"ඒ කොහොම ද ?"
"මුන් දානේ දුන්නේ මාව ඉහළ තලයකට යවන අදහසින් නොවෙයි. ලාබ උපයන අදහසින්"
"ඒ කොහොම ද ?"
"මුන් දානේ දීලා මට අඩගහනවා. අම්මේ මට අරක දෙන්න. මේක දෙන්න කියලා"
"මොනවද ඉල්ලන්නේ"
"මුන් මට කියනවා අම්මේ අපට ලොතරුයියක් ඇදල දෙන්න කියලා"
"ඒ කොහොමද ?"
"මහත්තයා මුන්ගෙ හිතේ මම දෙවියෙක් කියලා. මුන්ට ලොතරැයි අද්දලා දෙන්න මට ශක්තියක් නෑ. උදේ හවස පහන් දල්වලා මට අඩගහනවා. අනේ අම්මේ අපට අමාරුයි. අපට ලොතරැයියක් අද්දලා දෙන්න කියනවා. ඉතිං මට නිතර අඩගහනකොට නෑවිත් බැහැ."
"දැන් තමුන් ඉන්න ආත්මභාවය මොකක් ද ?"
"මම පහළ තත්ත්වයක මහත්මයා ඉන්නේ"
"මොකක්ද තමුන් හදුනාගන්න තියෙන ලකුණු"
"මම ඉන්න තැන්වල දුර්ගන්ධය පැතිරෙනවා. අපිරිසිදු තත්වයකයි ඉන්නේ"
"මේ අය කරපු පින්කම්වලින් වැඩක් වුණේ නැද්ද ?"
"අර උපාසක අම්මලට සිල් රෙදි පූජා කරපු එක හොදයි. ඒ අය නම් මගේ නම කිය කියා පින් දුන්නා. ගිමාර නැන්දට පින් සිද්ධ වෙච්චාවෙ කියලා එක එක විදියට මාව සිහපත් කරල පින් දුන්නා. පෝය දවසෙ සිල් සමාදන් වෙලත් මට ඒ අය පින් දුන්නා. මෙච්චර දවස් මම හිටියේ කිළිටි වැරහැලි ඇදගෙන. සිල් රෙදි පූජාවෙන් නම් මට යහපතක් වුණා. දැන් සළුපිළි ලැබිලා තියනවා."
"දානෙන් "
"දානෙ දෙන වෙලාවේ මුන්ට මාව සිහිපත් වුණේ නෑ. හාමුදුරුවෝ නම් මගේ නම සිහිපත් කළා. ඒත් මුන්ට ඒ වෙලාවෙ මං ගැන සිහිපත් වුණේ නෑ. මගෙත් කරුමෙ වෙන්ට ඇති. මේගොල්ලො වෙන වෙන කල්පනාවල හිටියේ. ඒ අයගේ කල්පනාව තිබුණේ මේ දානෙ දීලා මට කියලා ලාබ ප්‍රයෝජන ගන්න. මට අඩගහන කොට මම එනවා. මට වෙන කරන්න දෙයක් නෑ" යි ප්‍රේත ජීවියා කීවාය.
කෙනෙකුට පින් අනුමෝදන් කරන්නේ ඒ අය දුගතියක සිටී නම් සුගතිගාමී කරන්නට ය. සුගතියක සිටී නම් තවත් ඉහළ තලයකට යෑමට උදව්වක් ලෙසිනි. දානයක් දී එයින් ලක්ෂ ගණන් උපයා ගන්න තැත් කිරීම දන්දීමක් නොව පොළියට මුදල් දීමක් වැනි ය. එසේ කිරීම මෝඩ ක්‍රියාවක් යැයි ද ගවේෂකවරයා දයාවතීටත් ඇගේ ස්වාමි පුරුෂයාටත් දරුවන්ටත් පැහැදිලි කර දුන්නේ ය.
මතුගම මහින්ද විෙජ්තිලක මහත්මාගේ ලිපියකින් උපුටා ගන්නා ලදී.