භූතයා වෙනත් භූතයකු ඇදගෙනම පලා යයි
මිනිසුන් අතර මෙන් ම අපේ පියවි ඇසට නොපෙනෙන ලෝකයේ ජීවත්වන සුගතිගාමී දුගතිගාමී සත්ත්වයන් තුළ ද ආදරය, තණ්හාව, ඊර්ෂ්‍යාව, ක්‍රෝධය තරගකාරිත්වය ආදි ගති ගුණ පවතී. ඒවාට හේතු වන්නේ ද ලෝභ, ද්වේෂ, මෝහ යන අකුසල මූලයන් ම ය. රූපිකා රූපිකාවක් ම ය. එහෙත් දැන් ශරීරය කෙට්ටු වී වැහැරී ඇත. අනුරාධපුර ප්‍රදේශයේ පදිංචි ඇය දැන් විසි අට හැවිරිදි ය. ඇගේ මාසික ක්‍රියාවලිය නිරන්තරයෙන් නොනැවතී පවතී. ආහාර අරුචිය නිසා දිනෙන් දින ම දිරාපත් වන තත්ත්වයක් පවතී. අත පය ඉදිමී හන්දිපත් වේදනාව උග්‍ර වෙයි. සිහිනෙන් බිය වී කෑ ගසාගෙන අවදි වෙයි. ඇගේ මවුපියන් විවිධ වෛද්‍යවරුන් කරා ඇය කැඳවාගෙන ගොස් ප්‍රතිකාර ලබා දුන්නත් ඒවායෙන් කිසිඳු සුවයක් නොවීය. ඇයට මානසික ආබාධයක් ද නැතැයි වෛද්‍යවරුන් නිගමනය කොට ඇත. බටහිර වෛද්‍යවරුන් ගෙන් වේදනා නාශක ඖෂධවලට වඩා යමක් ලැබුණේ ද නැත. ඒ අතර ම ආයුර්වේද වෛද්‍ය ප්‍රතිකාර ද ලබයි. තොවිල් කීපයක් කළත් වෙනසක් වූයේ ද නැත. දැන් රූපිකා හොඳටම අසරණය. දිනක් ඇතුළුකෝට්ටේ ගුප්ත ගවේෂණ මධ්‍යස්ථානය පිළිබඳ දැනුම්වත් වූ ඇගේ පියා මව සමඟ දියණිය එහි කැඳවාගෙන ගියේය. ආධ්‍යාත්මීය උපදේශක කසුන් නාගොඩවිතාන මහතා ඇය පරීක්ෂා කොට දැඩි ශාරීරික වේදනා නිසා මානසික ව්‍යාකූලත්වයක සිටින ඇගේ මානසික ඒකාග්‍රතාවය වර්ධනය කිරීම සඳහා බෝධි පූජා විසි එකක් ගමේ පන්සලේ දී පවත්වන ලෙස ද නිවසේ දී උදේ සහ රාත්‍රි නින්දට පෙර ජල නන්දන පිරිත හා දස දිසා පිරිත භාවිත කරන්නටත් උපදෙස් දී මාසයකට පසු නැවත එන්නැයි කීවේය. බෝධි පූජා අවසන් කොට පැමිණි දිනයේ රූපිකා දිෂ්ටි ගැන්වූවේය. ඇය හූ කියාගෙන පැද්දි පැද්දී දිව එළියට දමා හිස දෙපසට වනන්නට වූවාය. ගවේෂකවරයා කතා කරන්නට විය.
“කවුද මේ ශරීරයට ඇතුළුවෙලා ඉන්නෙ?”
“මම පියතිස්ස”
“කවුද පියතිස්ස කියන්නෙ?”
“මට මතක නෑ”
“ඇයි මේ ළමයාට කරදර කරන්නෙ?”
“මට මේකිව ඕනෑ. මම මේකිට ආසයි, මට මේකිව අරගෙන යන්න ඕනෑ” යි කියනවාත් සමඟ ම භූතාත්මය පැන ගියේය. මේ පියතිස්ස කියන්නේ කවුදැයි රූපිකාවත් ඇගේ මවුපියන්වත් නොදනිති. ගවේෂකවරයා නැවතත් භූතාත්මය ගෙන්වීය. රූපිකා වෙව්ලන්නට වූවාය.
“බයයි බයයි” කියා ගැහෙන්නට විය.
“කාට ද බය?”
“මේකිගෙ ඇඟේ තව එකෙක් ඉන්නවා. ඌ මට වඩා දරුණුයි. ඌ මට ගහනවා. ඒකයි මම බයේ පැනලා ගියේ” යැයි භූතාත්මය කීවේය.
“තමුන් කවුද?”
“මම සනත්ගෙ බාප්පා. මට මේකිව ඕනෑ” යි කියමින් භූතාත්මය නැවතත් පැන ගියේය. මේ සනත් කියන්නේ කවුදැයි ගවේෂකවරයා රූපිකා ගෙන් ඇසීය.
“සනත් කියන්නේ අවුරුදු දෙකහමාරක් මම ආශ්‍රය කළ කෙනෙක්, අම්මයි තාත්තයි ඒ සම්බන්ධයට විරුද්ධ වුණ නිසා අපි දෙන්නා කතා කරලා සම්බන්ධය නතර කළා” යි ඇය කීවාය.
“හොඳයි, රූපිකා! සනත්ට කෝල් එකක් දීලා අහන්න මේ පියතිස්ස පිළිබඳව. ඒක දැනගෙන තව සතියකින් එන්න. ඒ සතිය තුළත් බෝධි පූජා පවත්වන්නැ යි ද උපදෙස් දුන්නේය.
“පියතිස්ස කියන්නේ සනත්ගෙ බාප්පා. ඒ මිනිහා ජරාම ජරා කට්ටඩියෙක්. දවසක් ඒ මිනිහා සනත්ට කියලා මගේ කෙස් ගස් දෙක තුනක් ගෙන්න ගෙන තියෙනවා. ඊට දවස් දහයකට විතර පස්සෙ ඒ මිනිහා පපුවෙ අමාරුවක් හැදිලා මැරිලා. ඔය සිද්ධිය මට කියන්න සනත්ට අමතක වෙලා. ඊට පස්සෙ තමයි මට සනත්ව එපා වෙලා තියෙන්නෙ” යි සනත් ගෙන් දැනගත් කාරණය ඊළඟ දිනයේ රූපිකා ගවේෂකවරයා සමඟ පැහැදිලි කළාය. ගවේෂකවරයා එදිනත් රූපිකා දිෂ්ටි ගන්වා භූතයා සමඟ කතා කළේය.
“තෝ මොකක්ද යකෝ මේ ළමයාට කරපු අපරාධය?”
“මට මේකි ගැන ආසාවක් ඇතිවුණා. සනත්ට කියලා මේකිගෙ කෙස් ගස් ටිකක් ගෙන්න ගෙන වශීයක් කළා. මේකිව මගේ ළඟට ගෙන්න ගන්න. ඒත් මං ඊට කලින් මැරුණා.”
“තමුන්ට පුළුවන් ද එහෙම කෙනෙක් වශී කරලා තමන් ළඟට ගෙන්නගන්න.”
“හිඃ... හිඃ... හී.... මොකද බැරි, මම ඒ වගේ ලස්සන ගෑනු කී දෙනෙක් ගෙන්න ගෙන තියෙනව ද? ඒක මට සුළු දෙයක්.”
“ඕක හපන්කමක් ද උඹ හිතන්නෙ?”
“ඒ මගේ හැටි”
“උඹ දැන් මරිලා, උඹ පෙරේතයෙක්. උඹට ඒ හපන්කම් කරන්න දැන් බෑ.”
“මට බැරුවා නොවෙයි, මම ම මේ කෙල්ල ළඟට එවපු එකා දැන් මට වඩා බලවත්, එදා මැරෙන්න කලින් මම බලවත්. දැන් ඌ මට වඩා බලවත්.”
“කවුද දැන් මේ ළමයා ළඟ ඉන්නෙ?”
“ඇයි මම ජීවත්ව ඉන්දැද්දි මගේ වශී ගුරුකමට බන්ධනය කරලා එවපු එකා. ඌ මේකිව මගේ ළඟට ගෙනෙන්න කලින් මම හදිසියේ මැරුණා. දැන් ඌ මටවත් මේකිගෙ ළඟට එන්න දෙන්නේ නෑ.”
“ඇයි උඹේ හපන්කම්වලින් ඌව පන්නපන්.”
“බෑ... බෑ... මම කරපු වැරදි වැඩ නිසා මම දැන් දුර්වලවයි ඉපදිලා ඉන්නේ. මම එදා එවපු එකා මට වඩා බලවත්, ඌ දරුණුයි. ඌ මට ගහනවා, ඌ එනකොට මම දුවනවා. ඔන්න කියන කොටමත් ඌ එනවා, මම යනවා, මම යනවා” යි කී කට්ටාඩියාගේ ප්‍රේතාත්මය පැන දිව්වේ ය. ගවේෂකවරයා ඒ අලුතින් ආ භූතාත්මය සමඟ කතා කළේය. ඒ භූතයා දිව එළියට දමා තමන්ට කතා කරන්නට බැරි බව අභිරූපනයෙන් පෙන්වූයේය. නැවතත් කට්ටාඩියාගේ භූතාත්මය ගෙන්වීය.
“උඹ පලයන්. මේ ළමයට කරදර නොකර යන තැනක පලයන්” යැයි ගවේෂකවරයා තදින් කීවේය.
“මට කන්න දුන්නොත් මම යනවා”
“උඹ මොනව ද කන්නෙ?”
“මට බත් ඕනෑ හරක් මස් එක්ක”
“බෑ බෑ කන්න දෙන්න බෑ. ඕනෑනම් පින්කමක් කර පින් දෙන්නම්, හැබැයි මේ ළමයව අතහැරලා යන්න ඕනෑ.”
“බෑ... බෑ... ඒක නම් කරන්න බෑ. මම අපේ සනත් කොලුවාවත් රවටලා මේකි මගේ ළඟට ගන්නයි උත්සාහ කළේ. ඒත් හදිසියේ මට මැරෙන්න සිද්ධ වුණ නිසා ඒක කර ගන්න බැරි වුණා. ඒක දැන්වත් කර ගන්න ඕනෑ. මට මේකිව දාලා යන්න නම් කියන්න එපා. මම මේකිව මරාගෙන අරගෙන යනවා” යි ප්‍රේතයා කීවේය.
“උඹ හරිම මෝඩ පෙරේතයෙක්, උඹම එවපු එකාට බයේ දුවන බයගුලු පෙරේතයෙක්, ජීවත්ව ඉන්දැද්දිත් මන්ත්‍ර ශාස්ත්‍රයෙන් වැරැදි වැඩ කරලා දුක් විඳිනවා මදිවට තවත් පව් කරනවා, මේ උඹට අන්තිම වතාවට කියන්නේ, කරුණාකර මේ ළමයා ළඟින් ඉවත් වෙලා යන එක හොඳයි.”
“නොගියොත් තමුසෙ මට මොනව කරන්නදැයි ප්‍රේතයා ගවේෂකවරයාගෙන් ඇසීය. ගවේෂකවරයා ශක්ති කිරණ එල්ල කොට ඇදුරා ගේ භූතාත්මය දුර්වල වන තුරුම පිච්චුවේය.
“අනේ! පිච්චෙනවා පිච්චෙනවා දැවිල්ලයි දැවිල්ලයි පුච්චන්න එපා” යැයි කෑගසන්නට විය.
“උඹ වගේ අය ජීවත්ව ඉන්දැද්දිත් මන්ත්‍ර ශාස්ත්‍රයෙන් ජරා වැඩම යි කළේ, දැනුත් පෙරේතයෙක් වෙලත් ඒ වගේ මයි පරණ ගති අත හැරලා නෑ, හිටපං උඹට හොඳ දඬුවමක් කරන්නැයි අනිත් භූතයාගේ ශරීරයට බන්ධනය කළේය.
“මෙන්න මූ මට ගහනෝ, අනේ මෙතැනින් මාව අයින් කරන්නෝ, මූ ගහනෝ” යි ඇදුරා ගේ භූතාත්මය කෑ ගසන්නට විය.
“අනේ! මහත්තයා මාව නම් පුච්චන්න එපා. මම මූවත් අරගෙන සොහොනකට යනවා’ යි අතින් භූතයා ඇදුරාගේ භූතාත්මයත් ඇදගෙන යන්නට ගියේය. සතියක් ගත වන විට රූපිකාගේ ශාරීරික වේදනා අඩු වූ බව ගවේෂකවරයාට දුරකථනයෙන් දැනුම් දුන් අතර දැන් පෝෂ්‍යදායි ආහාර ගෙන ශරීර ශක්තිය වැඩි දියුණු කැර ගන්නැයි උපදෙස් දී උදේ හවස ආගමික චාරිත්‍ර විධි නොකඩවා සිදු කරන ලෙස ද කීවේ ය.
මතුගම මහින්ද විජේතිලක
උපුටා ගැනීම සිළුමිණ