Biz Log
Classifields
Biz Log
Classifields

පන්සලේ සම්මාදම් මුදල් ගසා කෑ නිසා මට මෙහෙම වුණා

පන්සලේ සම්මාදම් මුදල් ගසා කෑ නිසා මට මෙහෙම වුණා

සතර දිගින් විහාරස්ථානයට වැඩම කරවන මහා සංඝයා වහන්සේ ගේ ප්‍රයෝජනය පිණිස ය, හිත සුව පිණිස ය, උන් වහන්සේලාගේ යැපීම පිණිස ය යන අදහසින් දායකකාරකාදීන් විසින් පූජා පරිත්‍යාග කරන ලද සාංඝික දේවල් තමන්ගේ ප්‍රයෝජනයට ගන්නා අය බලු කපුටන්ව උපදින බව පොතපතෙහි සඳහන් වේ. මේ එසේ දුගතිගාමී වූ පුද්ගලයකු ගේ කතාවකි. කළුතර දිස්ත්‍රික්කයේ ප්‍රසිද්ධ ගමක පදිංචි සඳුණි විසි අට හැවිරිදි රූමත් තරුණියකි. ඇය දෙස වරක් බැලූ කෙනෙකු නැවත කීප වරක් බලන තරමට ම ඇය ලස්සන ය. ප්‍රසන්න ය. එහෙත් ඇයට විවාහයක් හරි යන්නේ ම නැත. ඇය බලන්නට මනාලයන් පැමිණියත් ඔවුන් කැමැති වන්නේ නැත. සමහරු කියන්නේ ඇගේ ඇස් දෙක ඉතා භයංකර අන්දමින් දුටු බව ය. සමහරු කියන්නේ සංග්‍රහ සඳහා වතුර බන්දේසියක් අල්ලා ආරාධනය කරන්නට ආ විට ඇය ළඟින් දරන්නට බැරි මහා දුර්ගන්ධයක් නිකුත් වූ බව ය. තවත් කෙනෙක් කියන්නේ මනාලිය බලා සතුටු වී කැමැත්තෙන් ගියත් රාත්‍රියට ඇය යක්ෂණියක් ලෙස දත් විළිස්සා ගෙන හීනෙන් පැමිණ බිය වැද්දූ බව ය. තව සමහරුන් ඉදිරියේ වතුර බන්දේසිය බිම වැටී අසුබ ලකුණු පහළ වූ බව කියති. මේ ආදි විවිධ හේතු නිසා ඇයට විවාහයක් හරි ගියේ ම නැත. ඊට අමතරව ඇගේ ශරීරයෙන් අස්වාභාවික අන්දමින් දහදිය දමන්නට විය. හිටි හැටියේ බඩ පුරවා දමා ඉදිමි පෙනෙන්නට විය. නින්දේ දී යහනේදී ම මළ මුත්‍රා පිටවෙන්නට විය. මේ කාරණා නිසා ඇගේ මව ඇය සමඟ සාත්තර අහන්නට දේවාල ගණනේ ගියාය. ඒ හැම තැනකින් ම කියැවුණේ ඇගේ මියගිය පියා මළ යක්ෂයෙක් වී බලපෑම් කරන බව ය. මේ තත්ත්වයෙන් මිදෙන්නට තොවිල් පවිල්. යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම්, සෙත් කවි, බෝධි පූජා නිරන්තරව සිදු කළත් කිසිදු සුවයක් සහනයක් නොලැබුණි.

සඳුනිගේ මව දියණිය සමඟ ඇතුල්කෝට්ටේ ගුප්ත ගවේෂණ මධ්‍යස්ථානය සොයා ගෙන ගියා ය. එහි දී ආධ්‍යාත්මීය උපදේශකවරයා මුණ ගැසී පවතින දුක් කරදර පැහැදිලි කළාය. ඊට සවන් දුන් ගවේෂකවරයා සඳුනි වෙත ශක්ති කිරණ එල්ල කළේ ය. ඇය හූ කියා කෑ ගසා ගෙන බිම පෙරළෙමින් “මට යන්න බෑ... මට යන්න බෑ...” යි හඬා වැළපෙන්නට වූවාය. දින විසි එකක් ගමේ පන්සලේ බෝධි පූජා පවත්වා නැවත එන ලෙස නියම කළ ගවේෂකවරයා බෝධි පූජා පැවැත්විය යුතු ආකාරය ද විස්තර කොට දුන්නේ ය. ඊළඟට පැමිණි දිනයේ ද සඳුනි ප්‍රලය වී දඟලන්නට වූවාය. ගවේෂකවරයා කිරණ ශක්තිය අල්ලා පාලනය කොට වේවැළ ද පෙන්වා භූතාත්මය අවනත කොට ගෙන ප්‍රශ්න කරන්නට විය.

“කවුද මේ ශරීරයට ඇතුළුවෙලා ඉන්නෙ?” භූතාත්මය අඬන්නට වූයේය.

“අනේ මහත්තයා මාව පන්නන්න එපා” යි තවත් අඬන්නට වූයේය.

“අඬලා හරියන්නේ නෑ. අහන දේට උත්තර දෙන්නැ” යි ගවේෂකවරයා කීවේය.

“මොනව ද මහත්තයට දැනගන්න ඕනැ?”

“තමුන් කවුද?”

“මම ඇඩ්වින් අප්පුහාමි”

“ඇඩ්වින් අප්පුහාමි මේ සඳුනිගෙ කාගෙ කවුද?”

“මම සඳුනිගෙ තාත්තා”

“ඇයි දුවට මේ වගේ හිරිහැර කරන්නෙ? මේ වගේ පහත් දුගතිගාමී භවයක ඉපදිලා ඉන්නේ මොකද?”

“මහත්තයා මම හරි අසරණයි. කන්න බොන්න නෑ. කන්න බොන්න නැතුවා නොවෙයි, කෑම තියෙනවා කටට ගන්න ගමන් ඒ කෑම ගිනි අඟුරු වගේ වෙනවා. අහකට දමන්නත් බෑ. ගිලින්නම ඕනැ. කටත් පිච්චෙනවා. උගුරත් පිච්චෙනවා. බඩ පපුවත් දනවා. වතුරත් එහෙමයි බොන කොට ලෝදිය වගෙයි.”

“ඇයි එහෙම වෙන්න හේතුව? මොකක්ද කරපු අකුසලය?”

“මහත්තයා මම ගමේ පන්සලේ ප්‍රධාන දායකයා. පන්සලට එකතු වන සම්මාදන් මුදල් තිබුණේ මගේ ළඟ. පන්සලට අයිති දේපළ ආදායම්වලින් ලැබෙන මුදල් තිබුණෙත් මා ළඟ. පන්සලේ කඩ කාමර කුළියට දීලා තිබුණා. ඒවයෙ කුළී මුදල් තිබුණෙත් මා ළඟ. පන්සලට අවශ්‍ය වියදම් කළෙත් මම. හාමුදුරුවෝ ඒ ඔක්කොම මට බාර දීලා තිබුණේ මට. විශ්වාසය තියලා. මම ඒ මුදල් මගේ ප්‍රයෝජනයටත් ගත්තා. මම හරි මෝඩ මිනිහෙක්. ඒ වගේ වැරදි වැඩ කළා. ඊට පස්සෙ හාමුදුරුවන් මගේ හොරකම් තේරිලා මුදල් ගැන ප්‍රශ්න කළා. මම අමනාප වුණා. හිත යට අමනාපය තියාගෙන හාමුදුරුවන් පන්සලෙන් පන්නලා මට හිතවත් මට ඕනැ විදිහට වැඩ කරගෙන යන්න පුළුවන් හාමුදුරු කෙනෙක් ගෙන්න ගන්න හිතුවා. ඒ අනුව පන්සලේ හාමුදුරුවන් පන්සලෙන් පන්නන්න වැඩ කළා.”

“මොන වගේ වැඩ ද කළේ?”

“හාමුදුරුවන්ගේ වැරදි ගමේ ප්‍රචාරය කළා. හාමුදුරුවෝ ගෑනු එක්ක සම්බන්ධයි. අරක්කු බොනවා වගේ බොරු කතා ප්‍රචාරය කළා. පන්සල ඇතුළේ අරක්කු බෝතල් හංගලා තිබ්බා. පන්සලේ ඇඳන්වල මෙට්ට යට ගෑනුන්ගෙ යට ඇඳුම් හංගලා තිබ්බා. දායකයන්ට කිව්වා අන්න අහවල් තැන්වල තියෙන්නේ මොනව ද කියලා ගිහින් බලන්න ය කියා. ගමේ මිනිස්සුත් සංවිධානය වෙලා ගිහින් බැලුවා. අතට ම බඩු අහු වුණා ය කියලා හාමුදුරුවන්ට බැණලා පන්සලෙන් එළෙව්වා. හාමුදුරුවොත් කරකියා ගන්න දෙයක් නැතුව අසරණ වෙලා පන්සල අතහැරල පිටවෙලා යන්න ගියා. මම වෙනත් හාමුදුරු නමක් හොයාගෙන ඇවිත් මට වුවමනා විදිහට වැඩ කරගෙන ගියා. මම පන්සලේ ආදායම මට වුවමනා විදිහට පරිහරණය කළා.”

“ඊට පස්සේ මොකද වුණේ?”

“මාස තුනක් ගියේ නෑ. මට අංශබාගෙ හැදුණා. ඒ අසනීපයෙන් ම මැරුණා” යි භූතාත්මය කීවේය.

“තමුන්ට ලැජ්ජා නැද්ද? හිරිකිත නැද්ද? මිනිස්සුන්ගෙ සම්මාදම් සල්ලිවලින් කන්න බොන්න.”

“මම සම්මාදන්වලින් ලැබෙන සල්ලි ගත්තෙ නැහැ. මහත්තයා, පන්සලේ දේපළවලින් ලැබෙන ආදායම තමයි ගත්තේ.”

“ඒ කොයි දේ වුණත් ඒ ආදායම තමුන්ගෙ නොවෙයිනෙ. පන්සලට, මහා සංඝයාට ලැබෙන්න තියෙන දේවල්නෙ තමුන් හොරා කෑවේ.” තවත් දින හතක් බෝධි පූජා පවත්වා නැවත එන්නැයි සඳුනිටත් මවටත් උපදෙස් දුන්නේය. සතියකට පසු ඔවුහු නැවත පැමිණියහ. එදින ද සඳුනි දිෂ්ටි ගැන්වූ විට ඇඩ්වින් අප්පුහාමිගේ ප්‍රාණකාරයා දිෂ්ටි ගැන්වී අඬන්නට පටන් ගත්තේය.

“අනේ මහත්තයා මට මගේ නෝනවයි දුවයි දාලා යන්න නම් බෑ...” යි අඬන්නට වූයේය.

“මේ හොඳින් අහගන්නවා. තමුන් ජීවත්ව ඉන්දැද්දි පව් කරපු කෙනෙක්. සෑහෙන කාලයක් ඒ පව් ගෙවන්නට වේවි. තෙරුවන් කෙරෙහි සද්ධාවෙන් මිනිස්සු පන්සලට පූජා කළ දේපළවලින් පන්සලේ පැවැත්මට මහා සංඝයාගේ පැවැත්මට ලැබුණු ආදායම හොරා කෑවා. දැන් ඒවායේ අකුසල විපාක වශයෙන් ගින්දර කනවා. ලෝදිය බොනවා. දැන් තමුන් මේ දුවටත් අම්මාටත් හිරිහැර කරදර කරලා ලෙඩ දුක් දීලා තවත් පව් සිද්ධ කරගන්නවා. කරුණාකරලා මේ දුවත්, බිරියත්, ගෙවල් දොරවලුත් හිතින් අතහැරලා කැමති බෝධීන් වහන්සේ නමක් ළඟට යන්න හිත හදා ගත්තොත් හොඳයි. තමන් ඉස්සර අතීතයේ කරපු පව් නිතර මෙනෙහි කරන්න එපා. බෝධීන් වහන්සේ ළඟ සිද්ධ වෙන පින් දහම්වලට හිත දීලා පුද පූජාවලට අත ගහලා සිත පිනට කුසලයට යොමු කරන්න ඕනෑ. එතකොට හිතට යම් සතුටක් සහනයක් ලැබේවි.”

“මහත්තයා මට එතකොට මේ දුකෙන් මිදෙන්න පුළුවන් ද?”

“ඒක තමුන්ගෙ වැඩක්. කරපු අකුසල් තමන් ගෙවන්න ඕනෑ. ඒත් තව තවත් අකුසල නොකර මේ ගෙදර අයට දුක් නොදී පින් දහම්වලට හිත යොමු කළොත්, යම් ධර්මයක් අවබෝධ කැර ගත්තොත් ඒ කුසල්වලටත් ඉෂ්ට විපාක ලැබේවි. ඒ තත්ත්වය තමන් ම ගොඩ නඟා ගන්න ඕනෑ. සමහර විට තමන්ට මෙතැනට එන්න සිද්ධ වුණොත් සංසාරයේ කරපු යම් පිනක් කුසලයක් නිසා වෙන්නත් පුළුවන්. ඒ නිසා කැමති බෝධියක් ළඟට යන්න. එතකොට යම් තරමකින් හෝ සුවපත් වේවි.”

“හොඳයි මහත්තයා, මට දැන් කර්මය හා විපාකය අත්දැකීමෙන් ම වැටහුණා. ඔබතුමාට පින්සිදු වෙනවා. නෝනා! දුවේ! මම ආයෙත් ඔයාලට කරදර හිරිහැර වෙන විදිහට ගෙදර එන්නේ නෑ. මම යනවා. ආයෙත් එන්නේ නෑ. මම කළුතර බෝධීන් වහන්සේ ළඟට යනවා” යි භූතාත්මය ඉවත්ව ගියේය.

සාංඝික දේපළ වැරදි අන්දමින් භුක්ති විඳින අයට, මහජන දේපළ එසේ භුක්ති විඳින අයට පාඩමකි.

මතුගම මහින්ද විජේතිලක
උපුටා ගැනීම සිළුමිණ

Share This Article