Biz Log
Classifields
Biz Log
Classifields

අන්ත්‍රාවයි! රූමතියන් ප්‍රවේශමෙන්!

අන්ත්‍රාවයි! රූමතියන් ප්‍රවේශමෙන්!

ජීවී හෝ අජීවී හෝ සුන්දර දෙයක් දුටුවේ නම් එය සිතට ඉෂ්ටාරම්මණයකි. පෙර කුසලයක විපාකයකි. එක් වරම එය පිළිකුල් කරන්නට ගියොත් එතැන සිදු වන්නේ ගැටීමකි. සිතට ද්වේෂය පහළ වීමකි. මෙය කාම ලෝකයක් බැවින් එවැනි සුන්දර දෙයක් හෝ කෙනෙක් හෝ දුටු සැණින් ඒ සෝමනස්ස සහගත චක්ඛු විඤ්ඥාණය මට පහළ වූයේ පෙර කුසලයක විපාකයක් නිසා මය. ඒ නිසා එයට ද්වේෂ නොකර සුවපත් වේවා, යහපතක් වේවා යි අවංකව ම සිතන්න, ඊළඟට එය තමන්ට අයිති කැර ගන්නට සිතෙයි. එය ඇලීමකි. ලෝභ චෛතසිකය සිත තුළ ක්‍රියාත්මක වීමකි. එය මට ලබා ගත නොහැකි යැයි පසු තැවීමක් ද සමහර විට ඇති විය හැකිය. ඒ ඊර්ෂ්‍යාවයි, අමනාපයයි, කුහකකමයි. ඒ ද්වේෂය සිත තුළ ක්‍රියාත්මක වීමකි. මේ ලෝභයත් ද්වේෂයත් දෙකට ම හේතුව මෝහයයි. මෝඩකමයි. ලෝකයේ යථා ස්වභාවය නොදන්නාකමයි. එය දකින මමත්, දකින දෙයත් ක්ෂණයක් පාසා ජරාවට පත්වන රුප කලාපයන්ගෙන් හට ගෙන ඇති බව මෙනෙහි කරන්න. එය මහා කුසලයකි. මැදහත් සිතින් බලන්න, සන්තාන ගත අකුසල් ප්‍රහීන වනු ඇත. එසේ නොකොට අවිද්‍යාවෙන් මෝහයෙන් අන්ධ වී අනුන් සතු දේ අයිති කැර ගන්න යෑමෙන් මහත් විනාශ සිදු වේ, මහත් අකුසල් සිදු කැර ගනී. අපාය ගාමී වේ. සසර දිග් කැර ගනී. මේ දේවාලකාර ඇදුරෙක් රූමත් ගැහැනු දරුවෙකු විනාශ කළ පාපකාරී සිද්ධියකි. නුනුවණින් දේවාල පස්සේ දුවන්නන්ට පාඩමකි.

පොළොන්නරුවේ සුරම්‍යා ඉතාමත් සුරූපී තරුණියකි. එහෙත් විවාහයක් හරි ගියේ ම නැත. ඇගේ පියා නලින් වී මෝල් හිමි මහා පරිමාණ ව්‍යාපාරිකයෙකි. දැන් ඒ ව්‍යාපාර සියල්ල බංකොළොත් වී ඇත. සුරම්‍යා දැන් අසිහියෙන් මෙන් නිතර හඬ නඟා සිනාසෙන්නීය. ඇගේ සහෝදරයන් දෙදෙනා සමඟ අඬ දබර ඇති කැර ගත්තීය. රාත්‍රි 1 - 2 ට පමණ හීනෙන් බිය වී හූ කියන්නීය. ඇගේ මවුපිය දෙදෙනා අතර ද ආරාවුල් අඬදබර අඩුවක් නැත. ඉහළ ආර්ථිකයක් සහිත යාන වාහන තිබුණු පවුලක් බංකොළොත් වූ විට ඇතිවන තත්ත්වය ඔබට සිතා ගත හැකි යැයි සිතමු. සුරම්‍යාගේ අස්වාභාවික හැසිරීම් නිසා ඇයට මනෝ වෛද්‍ය ප්‍රතිකාර ලබා දුන්න ද කිසිඳු සුවයක් නොවීය. මාස හයක් පමණ එක දිගට බොහෝ පෙති ගිල්ලුවත් සුරම්‍යා ප්‍රකෘති තත්ත්වයට ආවේ නැත. පවුලේ පරිහානියට විවිධ අභිචාර විධි සිදු කළත් එයින් ද පලක් වූයේ නැත. නලින් අවසානයේ දී ඇතුළුකෝට්ටේ ගුප්ත ගවේෂණ මධ්‍යස්ථානය කරා බිරියත් දියණියත් සමඟ පැමිණියේ ය. ආධ්‍යාත්මීය උපදේශකවරයාගේ ප්‍රථම ගවේෂණයේදීම සුරම්‍යා ආවිෂ්ට වී අඬන්නන්, හූ කියන්නන් කෑ කෝ ගසන්නටත් වූවාය. ගවේෂකවරයාට තර්ජනය කරන්නට වූවාය.

“කෝ කවුද මාව පන්නන්න? මම මහසෝන් අවතාරයක්, මම මේකිව අරගෙන මිසක් යන්නේ නෑ, මාව පන්නන්න කිසිම ජගතෙකුට බැහැ” යි දත් සපමින් දරුණුවට තර්ජනය කරන්නට විය. කලබලකාරී තත්ත්වයේ මුරණ්ඩු භාවය නිසා ගවේෂකවරයා ඔවුන්ට ගමේ පන්සලේ දී දින විසි එකක් බෝධි පූජා පවත්වා එන්නැයි ඊට අදාළ වත් පිළිවෙත් නියම කළේය. ඒ අනුව බෝධි පූජා පවත්වන විට සුරම්‍යා අඩියෙන් අඩිය බෝ මළුවේ පය පැකිළී වැටෙන්නට වූවාය. මේ බව ගවේෂකවරයාට දුරකථනයෙන් දැනුම් දුන් විට බෝධීන් වහන්සේ පැදකුණු කිරීම නතර කොට එක් තැනක හිඳගෙන බෝධි පූජාව පවත්වන ලෙස උපදෙස් දුන්නේය. එසේ වුවද බෝධි පූජාවට යන විට පවා මෙසේ ඇද වැටීම් නිසා සුරම්‍යා තුවාල ලැබූ හෙයින් බෝධි පූජා නතර කොට දින හතකින් ආපසු මධ්‍යස්ථානයට ගෙන්වීය. එදින ද සුරම්‍යාට ආවිෂ්ට වූ භූතාත්මය ගවේෂකවරයාටත් නලින්ගේ පවුලේ අයටත් තර්ජනය කරන්නට විය.

“තොපි බුදු පිළිම තියාගෙන මාව එළවන්න ද යකෝ හදන්නෙ? තොපේ බුදු පිළිමවලට මාව පන්නන්න බෑ” යි ඉතා ම අසභ්‍ය වචනයෙන් බැණ වදින්නට විය.

“උඹ ඔය තරම් චණ්ඩියෙක් නම් මහසෝන් අවතාරයක් නම් උඹට පුළුවන් දෙයක් දැන් කරපං, තෝ පෙරේත තඩියෙක්. ජීවත්ව ඉන්දැද්දි පව් කරලා පව් කරලා මළ පෙරේතයෙක් වෙලා ඉපදු‍ණා මදිවට දැනුත් මේ ජීවිතවලට කරදර කරලා පව් පුරවා ගන්නවා. හොඳයි දැන් උඹට පුළුවන් ඕනෑම දෙයක් මට කරපං” යැයි ගවේෂකවරයා පවසා එක එල්ලේ සුරම්‍යා දෙස බලා සිටින්නට විය.

“භූතාත්මය ද ඉතා ම රෞද්‍ර ලෙස ගොරවමින් ගවේෂකවරයා දෙස දෑස් ලොකු කොට ගෙන බලා සිටි අතර හිටි හැටියේ කෑ ගසන්නට විය.

‘අනේ මාව පිච්චෙනවා. පිච්චෙනවා’ යි අඬන්නට විය. ගවේෂකවරයා ප්‍රශ්න කරන්නට විය.

“තෝ කවුද? ඇත්ත කියාපිය.”

“මම කවුද කියලා මට මතක නෑ.”

“කවුද තෝව එව්වේ?”

“කපුවා. දේවාලෙ කපුවා.”

“මොන දේවාලෙ කපුවා ද?”

“මේ මිනිහා ඉස්සර දේවාලෙකට ගියා. අන්න ඒ නුවර දේවාලෙ කපුවා.” භූතාත්මය නිහඬ කළ ගවේෂකවරයා මේ සිද්ධිය ගැන නලින්ගෙන් ඇසීය.

“ඔව් මහත්තයා, පොළොන්නරුවේ වී මෝල් හිමියන් අතර මහා තරගයක් තියෙන්නේ. දේවාල පස්සෙ යනවා. පුද පූජා තියනවා. මමත් මගේ වී මෝල් ව්‍යාපාරය දියුණු කැර ගන්න නුවර දේවාලෙකට ගියා. ඒ කපුවා අපේ ගෙදරට ඇවිත් ශාන්ති කර්ම යන්ත්‍ර මන්ත්‍ර කටයුතු කළා. මේ මිනිහා දරුවෝ දෙ‍න්නෙකුගේ තාත්තා කෙනෙක්. අවුරුදු හතළිස් පහක දරු පවුල් කාරයෙක්. මාස දෙක තුනක් යන කොට මේ මිනිහා මගේ දුවට ඇඟෑලුම්කමක් දක්වන බව අපට තේරුණා. සම්බන්ධයක් ගොඩ නඟන්න හදන බව වැටහුණා. අපි උපක්‍රමශීලීව මිනිහගෙ සම්බන්ධය නතර කළා. මේ මිනිහා ඒත් දුරකථනයෙන් කතා කරන්න හිටියා. දැනට අවුරුදු තුනකට කලින් අපේ දුව ඌ එක්ක පැනලා ගියා. එහෙට ගිහින් කුරුණෑගල ගෙයක් අරන් ජීවත් වුණා. දුවගෙ පොත්වල රුපියල් ලක්ෂ පණහකට වඩා තිබුණා. ඒත් ඒ. ටී. එම්. කාඩ් අරගෙන ගිහින් තිබුණෙ නෑ. අපිට දුව ඉන්නා තැනක් හොයා ගන්න බැරුව ගියා. ඒත් අපි දැනගත්තා මේ ගොල්ලෝ සල්ලි ගන්න බැංකුවට ඒවි කියලා. අපි රැකගෙන හිටියා. බැංකු ම‍ැනේජර්ලා පවා දුවව හොඳට අඳුනනවා. දවසක් අපට පණිවුඩයක් ආවා මෙන්න දුව බැංකුවට ආවා කියලා. අපි වහාම ඇවිත් කපුවට ගහලා දුවව ගෙදර අරගෙන ආවා. ගෙදරට ආවාම දුවට පිස්සු හැදුණා. සිහිය විකල් වුණා. මේ අතරෙ මිනී ඔලුවක් අපේ තාප්පෙන් ඇතුළට දාලත් තිබුණා. අපි ලැජ්ජා නිසා පොලිසි ගියෙත් නෑ. දුවට කරපු ප්‍රතිකාරවලින් සනීපයක් නැති නිසා පත්තරේ දැකලා අපි ඔබතුමා ‍හොයා ගෙන ආවා” යි නලින් කීවේය. ගවේෂකවරයා යළිත් සුරම්‍යා දිෂ්ටි ගැන්වීය.

“උඹලා මොනවා කෙරුවත් මම උඹලගේ බුදුන්ට බය නෑ. ඔය බුදු පිළිමවලට බය නෑ” යි භූතයා කෑ ගසන්නට විය.

“උඹ කවුරු වුණත් අපට කමක් නෑ. උඹ දැන ගනිං බුදු හාමුදුරුවොයි කියන්නේ මේ තුන් ලෝකෙම ඇත්ත ඇති හැටියෙන් දැන ගත්ත, ඒ දැක ගත්ත දෙය ලෝකයාට කරුණාවෙන් දේශනා කළ උත්තමයා. උන් වහන්සේ අපේ ශාස්තෘවරයා. උන් වහන්සේ වැඩ ඉන්නේ ඔය පිළිමය ඇතුළේ නොවෙයි, අපේ චිත්ත සන්තානය තුළ, හදවත තුළ, දැන් උඹට පුළුවන් දෙයක් කරපං” යැයි ගවේෂකවරයා කීවේය.

“එහෙනම් තමුසෙට මොනව ද කරන්න පුළුවන්.”

“අපේ බුදුහාමුදුරුවෝ අපට මෛත්‍රී කරන්න ඉගැන්නුවා. එදා නාලාගිරි ඇතා පවා දමනය වුණේ ඒ මෛත්‍රී ශක්තියට. ඒ නාලාගිරි ඇතා බුදු හාමුදුරුවන් ළඟ දණ ගැහුවේ බයට නොවෙයි. ඇතාගේ හදවතට චිත්ත සන්තානයට බුදු පියාණන් වහන්සේ එල්ල කළ මෛත්‍රී ශක්තිය දරාගන්න බැරිවුණා. ඔරොත්තු දුන්නෙ නෑ. ඒක දරාගන්න බැරුව කඳුළු පෙරාගෙන දණ බිම ඇහුණා”

“ඉතින් තමුසෙ මට මොනව ද කරන්නෙ?”

“මමත් උඹ ගැන හිතනවා. පාප කර්මවල විපාකයෙන් දුක් විඳින මෝඩ සත්ත්වයෙක් කියලා කරුණාවෙන් හිතනවා. එහෙම නැතුව උඹ ගැන මගේ පුද්ගලික තරහක් නෑ. දුෂ්ට, පාපකාරී කපුවෙකුගෙ බන්ධනයට අහුවෙලා තවත් පව් කරන, තවත් අවුරුදු ලක්ෂ ගණනක් දුක් විඳින්න හදන මෝඩ පෙරේතයෙක් කියලා විතරයි හිතන්නේ. මගේ වෛරයක් නෑ. ඒ වගේ ම මේ පවුලේ අය දුකට පත්වෙලා මගේ ළඟට ආවේ අසරණ වෙලා. මම ඒ අයට පිහිට වෙන්න ඕනෑ. මම උඹට කරුණාවෙන් මෛත්‍රී කරනවා. උඹේ දුෂ්ට නපුරු ගතියට උඹට ඒක දරා ගන්න බැරි වෙන කොට උඹේ හදවත දැවෙනවා වගේ දැනෙනවා” යි ගවේෂකවරයා භූතාත්මය වෙත ආධ්‍යාත්මීය ශක්ති කිරණ එල්ල කරන්නට විය.

“පිච්චෙනවා. පිච්චෙනවා. අනේ! පුච්චන්න එපා, ඒ වුණත් මම මේකිව නම් දාලා යන්නෙ නම් නෑ.”

ගවේෂකවරයා සෑහෙන වේලාවක් භූතාත්මය පුච්චා සුරම්‍යාගේ ශරීරයෙන් එළියට ඇද දැම්මේ ය. පවුලේ අයටත් නිවසටත් ආධ්‍යාත්මීය ආරක්ෂා යොදා දිනපතා නිවසේ කළ යුතු පිළිවෙත් නියම කළේය. හසරක් නැතුව දේවාල පස්සේ යන, ඇදුරන්, කපුවන් පස්සේ යන අය විශේෂයෙන් රූමත් බිරින්දෑවරුන්, හා දියණිවරුන් ඉතා ම ප්‍රවේශමෙන් ආරක්ෂා කැර ගත යුතු බව ද පැවැසීය. මෙවැනි ලිපි පෙළක පරමාර්ථය ද භූත කතාවක් ලිවීම නොව පාඨකයාට එවැනි පණිවුඩයක් දීම ය.

මතුගම මහින්ද විජේතිලක

උපුටා ගැනීම සිළුමිණ

Share This Article