තලාහේන කනත්තෙන් භූතයෙක් කරට නගී
භූත ලෝකය විචිත්‍රය, විවිධාකාර වූ සත්ත්ව කොට්ඨාසවලින් යුක්ත ය. කර්මානුරූපව පින් පව් ගෙවන්නෝ ය. විශේෂයෙන් භූත ලෝකය යැයි හැඳින්වෙන්නේ සංසාරගත පාප කර්මයන්ගේ විපාක ගෙවන්නා වූ යක්ෂ ප්‍රේතාදීහු ය. ඔවුන් අතර බුර බුරා නැඟෙන ගින්නක් වැනි වූ කුසගින්නකින් ආහාර පොදක් දිය පොදක් නැතිව දුක් විඳින්නෝ අනන්තය. ආහාර පාන දැක දැක කා ගන්නට බී ගන්නට මුඛයක් නැතුව අත් පා නැතුව දුක් විඳින්නෝ අනන්තය. ඒ අතර ශරීරයෙන් ගිනි දැල් පිට කරමින් අහසින් ගමන් කරන්නෝ ද සිටිති. විවිධ හැකියාවන් ඇත්තෝ ද කපටි කෛරාටිකයෝ ද නපුරු රෞද්‍රයෝ ය අසරණ කාලකණ්ණිහු ද අනන්තය. මිනිසා මිත්‍යා දෘෂ්ටියෙන් දැඩි ලෝභයෙන් අසීමිත තණ්හාවෙන් කටයුතු කරන විට සම්‍යක්දෘෂ්ටික දෙවි දේවතාවෝ පෘථිවිය අතහැර ඈත්වී යති. ඒ සමඟ යක්ෂ සේනාධිපතීහු ස්වකීය පිරිවර සේනාව මුදා හරිති. ඔවුන් ගේ අවශ්‍යතා අනුව යැපීම සඳහා සුදුසු පරිසරයක් ගොඩ නැඟී ඇත. මිනිස්සු ඇන කොටා ගනිති. රුධිරය ගලා යයි. හදිසි අනතුරු බහුල වෙයි. ඇට මස් ලේ නහර සමඟ රුධිරය මහ පාරේ ගලා යයි. වස විස බහුල කොට ලෙඩ රෝග බහුල කරයි. මිනිස් චිත්ත සන්තානයන් ලෝභ, ද්වේෂ, මෝහයන් ගෙන් දූෂිත කොට අපරාධ වැඩි වෙයි. මේ අමනුෂ්‍ය ලෝකය පිළිබඳ තොරතුරු අහන්නට මිනිස්සු කැමතිය. පේතවත්ථු, විමාන වත්ථු
වැනි පොත්පත් පවා අතීතයේ සිට ලියැවී ඇත්තේ ඒ නිසාය. එයින් බලාපොරොත්තු වන්නේ කර්මය හා විපාකය මිනිසාට ඒත්තු ගන්වන්නට ය. අපේ උත්සාහය ද එසේ ම ය. මේ අතර භූත ලෝකයේ සැබෑ තත්ත්වය නොදැන, ඔවුන් ද මිනිසුන් මෙන් යැයි සිතා නොදන්නාකම නිසා, හිතුවක්කාරකම නිසා, මෝහය නිසා, පරීක්ෂණ කරන්නට යන්නෝ මහත් කරදර ඇති කැර ගනිති. භූතයෝ අප අසල ම අප ජීවත්වන පරිසරයෙන් ම යැපෙමින් සැරිසරති.
රාජගිරියේ කසුන් විසි එක් හැවිරිදි තරුණයෙකි. මාස එකහමාරක් තිස්සේ දිය නෑමක් පිරිසුදු වීමක් නොකරන බැවින් හපුටු ගඳ පතුරුවයි. ඔහුගේ කෑමේ සීමාවක් නැත. ප්‍රමාණයක් නැත. වේලාවක් අවේලාවක් නැත. නිතර ම අසීමිතව කුස පුරවයි, නින්දෙන් බියට පත්ව හූ කියා ගෙන අවදි වෙයි, සිහිය විකල් වී ඇත. ඔහු ඡායාරූප ශිල්පය හදාරා විනෝදයට පින්තූර ගනිමින් කටයුතු කළ කෙනෙකි, අද්භූත දේ පිළිබඳව සොයා බැලීමේ කැමැත්තෙන් සොහොන්වල රෑ දාවල් දෙකේම පින්තූර ගැනීමේ යෙදුණි. ඔහුගේ මිතුරෝ තුන් දෙනෙක් ද මේවාට උදව් වෙති. ඔවුන් සොහොන්වලට ගොස් කරවල මස් මාළු කරවල බිත්තර බදිමින් පින්තූර ගත්හ. ඩිජිටල් කැමරාවලින් ගන්නා ඒ පින්තූරවල අද්භූත සේයා සටහන්ව ඇත. දිනක් තලාහේන කනත්තේ එසේ පින්තූර ගනිද්දී කසුන්ගේ උරහිසට බරක් දැනුණි. එතැන් සිට ඔහු මේ අසනීප තත්ත්වයට පත්ව ඇත. මවුපියෝ ඔහුට විවිධ ප්‍රතිකාර කළහ. වෛද්‍ය ප්‍රතිකාර, මනෝ වෛද්‍ය ප්‍රතිකාර, යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් වැනි අභිචාර විධි කළහ. ඒ කිසිවකින් සුවයක් නොලද බැවින් ඇතුළුකෝට්ටේ ගුප්ත ගවේෂණ මධ්‍යස්ථානය කරා ඔහු ගෙන ගියහ. ආධ්‍යාත්මීය උපදේශකවරයා හමු වී තත්ත්වය පැහැදිලි කොට ප්‍රතිචාර පැතූහ. ගවේෂකවරයා ශක්ති කිරණ එල්ල කරන විට කසුන් දිෂ්ටි ගැන්වී ගොරෝසු හඬකින් කතා කරන්නට විය. ගවේෂකවරයා ප්‍රශ්න කරන්නට විය.
“කවුද මේ ශරීරයට රිංගාගෙන ඉන්නෙ?”
“මට මතක නෑ” භූතාත්මය පිළිතුරු දුන්නේය.
“නම මොකක්ද?”
“මතක නෑ”
“කොහේද හිටියෙ?”
“තලාහේන කැරකොප්පුවේ”
“කොහොම ද ජීවත් වුණේ?”
“ඔහේ පාවි පාවී හිටියා. ඇවිදින්න කකුල් නෑ”
“කකුල් නැති බව හොඳට ම දන්නවා ද?”
“කකුල් මතක නෑ. හිතපු හිතපු තැනට සැණින් යන්න පුළුවන් නම් කකුල් මොකට ද? දැන් ඔය මහත්තයා කීවාම තමයි කකුල් මතක් වුණේ.”
“කටක් තියෙනව ද?”
“එහෙම මතකයක් නෑ.”
අහන දේට උත්තර දෙනවා.” “කන්නේ බොන්නෙ කොහොම ද?”
“එහෙම අමුතු හැඟීමක් නෑ”
“ඉතින් යැපෙන්නේ කොහොම ද?”
“කරවල මස් මාළු බදින සුවඳින්”
“ඉතින් මේ කසුන්ගෙ ඇඟට රිංගුවේ කොහොම ද?”
“මුගේ ළඟ සුවඳයි”
“මොනව ද සුවඳ?”
“කරවල සුවඳ”
“මොනවා? මෙයාගෙ ළඟ කොයින් ද කරවල සුවඳ?”
“මූ කරවල බැදල සාක්කුවෙ දාගෙන තලාහේනෙ කනත්තට ආවා.”
“ඉතින්?”
“ඉතින් මම මුගේ කරට නැග්ගා. කරට නැගලා මූ එක්ක ආවා.”
“මෙයා තනියම ද ආවේ?”
“නෑ. තව යාළුවො තුන් දෙනෙකුත් එක්ක.”
“ඉතින් අනිත් අය ළඟට නොගියෙ මොකද?”
“කරවල බැදපු සුවඳ තියෙන්නේ මූ ළඟනෙ. අනිත් තුන් දෙනා ළඟ ඒ සුවඳ නෑ. මම කැමති සුවඳ මෙයා ළඟ තියෙන නිසා මෙයා ළඟට ආවා. ඒ සුවඳට මම කැමතියි.”
“දැනුත් ඒ සුවඳ විතර ද ආහාරයට ගන්නෙ?”
“නෑ දැන් කෑම කනවා”
“කටක් නැත්නම් කොහොම ද කෑම කන්නෙ?”
“මුගේ ඇඟට රිංගලා මූ ලවා නිතරම කනවා. මූ කනකොට මුගේ ඇඟේ ඉඳගෙන ආහාරවල රසය විඳිනවා.”
“මෙයාගෙ ඇඟෙන් ඉවත් වෙලා යන්න කැමති ද?”
“එනකොට මම කන්නෙ බොන්නෙ කොහොම ද?”
ගවේෂකවරයා ප්‍රශ්න කිරීම නතර කළේය. ආහාර පානයෙන් සතුටු වෙනවා වගේ ම, ශරීරය සනසනවා වගේ ම, පින් දහම්වලින් මනස සතුටු කළ යුතු බව, මනෝ සංචේතනා ආහාරවල වටිනාකම හඳුන්වා දිය යුතු යැයි සිතා බෝධි පූජා නියම කළේය. දින විසි එකක් ගමේ පන්සලේ දී බෝධි පූජා පවත්වා නැවත ආපසු එන්නැයි නියම කළේය. බෝධි පූජා පවත්වන මුල් දිනවලදී කසුන් ඊට කැමැත්තක් නොදැක්වූ අතර සතියක් පමණ බෝධි පූජා පවත්වන විට උදේ වරුවේ දිය නා පිරිසුදු වෙන්නටත් හවස බෝධි පූජාවට යන්නට පෙර ඇඟ සෝදා පවිත්‍රව යන්නටත් පුරුදු වූ බව මවුපියෝ පැවසූහ. බෝධි පූජා අවසන් කොට නැවත පැමිණෙන විට ඔහු බොහෝ දුරට ප්‍රකෘති තත්ත්වයට පත්ව සිටියේය. එදින ද ගවේෂකවරයා කසුන් දිෂ්ටි ගන්වා භූතාත්මය සමඟ සාකච්ඡා කළේය.
“කොහොම ද බෝධි පූජාවලට ගියා ද?”
“නැහැ”
“ඒ මොකද?”
“මම පන්සල් වත්තට ගියේ නෑ. බෝධිය ළඟට යන්න මගේ හිත දුන්නේ නෑ, මම පිටතට වෙලා හිටියා. මේ අය නැවත එනකොට ආපහු ආවා.”
“දැන් කොහොම ද තමන් ජීවත්වන පරිසරය, වටපිටාව.”
“ඒ තරම් විශේෂ හොඳක් නෑ. දැන් මුගේ ළඟ කරවල බැදපු සුවඳත් නෑ. මුන්ගෙ ගෙදර කරවල මස් මාළු උයන්නෙත් නෑ. මමත් ඔහේ ඉන්නවා.”
“දැන් තමුන් මේ ශරීරයෙන් ඉවත් වෙලා යන්න ඕනැ.”
“එහෙම නම් මට මොනවාහරි ඕනෑ.”
“මොනව ද ඕනෑ?”
“හොඳ කෑමක් ඕනැ.”
“කෑමක් දුන්නොත් යනව ද?”
“ඔව්”
“හරි හොඳ කෑමක් දෙන්නම්. යන බවට පොරොන්දු වෙනව ද?”
“ඔව් යනවා යනවා මයි,”
“කොහේට ද යන්නෙ?”
“වෙන කොහේ යන්න ද? හිටපු තැනට ම යනවා.”
“කොහේට ද?”
“තලාහේනෙ කැරකොප්පුවට.”
තවත් සතියක් බෝධි පූජා පවත්වා කැවිලි පලතුරු වට්ටියක් ද රැගෙන එන්නැයි නියම කළේය. නැවත පැමිණි දිනයේ භූතාත්මය පූජා වට්ටියට සම්බන්ධ කොට ආපසු සොහොනට ම යැවීය. නොදන්වා විෂයයන් පිළිබඳ අත්හදා බලන්නට ගොස් අමාරුවේ වැටෙන අයටත් හරි හැටි ආධ්‍යාත්මය ගොඩනඟා නොගෙන භූත විද්‍යා කරන්නට යන අයටත් මේවා හොඳ පාඩම් ය.
මතුගම මහින්ද විජේතිලක
උපුටා ගැනීම සිළුමිණ