මං ආවෙ උදව් කරන්න ඒත් වැරැදි වැඩ කරද්දී මට බලන් ඉන්න බෑ
සමහර අමනුෂ්‍යයෝ තමන්ගේ ඥාතීන්ට උදව් කිරීම සඳහා ශාස්ත්‍ර කියන්නට වරමක් ලබා දෙන්නට යැයි පැමිණ තමන්ගේ ශක්තියේ හැටියට කඹුරති. ඒ තුළින් ම තමන්ගේ යැපීම ද කැර ගෙන යති. ඒ අනුව දේවාල හෙවත් පේන කියන ස්ථාන බිහි වෙයි. මෙසේ පේන කියන ස්ථානවලින් අයහපත් දේ සිදු කරන විට නොදැනුවත් ම වාගේ හිටි හැටියේ සියල්ල අවුල් වී යති, කෙනෙක් සීමාව ඉක්මවා මුදල් උපයන්නට ගොස් විනාශ වෙති. තවත් කෙනෙක් ලෞකික සැප ලබන්නට ගොස් විනාශ වෙති. මෙසේ සිදු වන විට ඔහු හෝ ඇය පමණක් නොව උදව් කළ ඥාති භූතයා ද ආත්මීය වශයෙන් පිරිහී දුකට පත් වන අවස්ථා ද ඇත. කෑගල්ලේ ශාන්තිනී තිස් පස් හැවිරිදි රූමත් කාන්තාවකි. දියණියක ගේ හා පුතෙකු ගේ මවකි, ඇය හිටි හැටියේ සිහිසුන්ව නිතර ඇද වැටෙන්නට වූවාය. රාත්‍රියට නින්ද නොයෑම නිසා ශාරීරිකව හා මානසික පීඩාවට පත් ව වේදනා වින්දාය. ඇය කාලයක් තිස්සේ දේව වරමින් පේන කියනවා යැයි දේවාලයක් පවත්වාගෙන ගිය කාන්තාවකි. දැන් ගම පවා අතහැර ගොස් වෙනත් ප්‍රදේශයක ජීවත් වන්නීය. අනුන්ට පිහිට වූ උදව් උපකාර කළ ඇගේ “දෙවියෝ” දැන් ඇයට පිටුපා ඇත. පිටුපා සිටිනවා පමණක් නොව ඇයට දුක් කරදර ලබා දෙන්නට පටන් ගෙන ඇත. ඥාතිවරියක සමඟ පැමිණි ශාන්තිනී ආධ්‍යාත්මීය උපදේශක කසුන් නාගොඩවිතාන මහතා මුණ ගැසී තමන් පත්ව සිටින කරදරකාරී තත්ත්වය පැහැදිලි කළාය. එහෙත් දේවාලයක් පවත්වාගෙන ගිය බව හෙළිදරව් කළේ නැත. ගවේෂකවරයා රෝගී කාන්තාව වෙත ශක්ති කිරණ එල්ල කරන විට යටිගිරියෙන් හූ කියාගෙන නැගිට නටන්නට වූවාය. ගවේෂකවරයා පරීක්ෂාව නතර කොට ඇයට දින විසි එකක් ගමේ පන්සලේ දී බෝධි පූජා විසි එකක් පවත්වා නැවත එන්නැයි උපදෙස් දුන්නේ ය. බෝධි පූජා අවසන් කොට නැවත පැමිණි දිනයේ ගවේෂකවරයා දිෂ්ටි ගැන්වූ විට ශාන්තිනී ප්‍රලය වූවාය. ප්‍රලය වී අඬන්නට වූවාය. ගවේෂකවරයා ප්‍රශ්න කළේය.
“කවුද මේ ශරීරයට ඇතුළු වෙලා අඬන්නෙ?”
“මම පියදාස”
“පියදාස කියන්නෙ කවුද?”
“මම මේකිගෙ ලොකු තාත්තා”
“ඇයි මේ දුවට කරදර හිරිහැර කරන්නෙ?”
“මම මේකිට කරදර හිරිහැර කරන්න නොවෙයි. ආවේ උදව් කරන්න, ඒත් මේකි වැරැදි වැඩ කරන්න පටන් ගත්තා. මම මේකිට වරමක් දීලා සාස්තර කියන්නට” පටන් ගත්තේ උදව් කරන්න. ඒත් වැරැදි වැඩ කරන කොට ඒක මටත් බලපෑවා. දැන් මම මේකි එක්ක තරහයි.”
“තමුන් මොනවා වෙලා ද මැරුණේ?”
“වයසට”
“කොයි කාලෙ ද?”
“දැනට අවුරුදු පහළොවකට විතර කලින්.”
“කොහොම ද මරණයෙන් පස්සෙ ජීවත් වුණේ?”
“ඔහේ නිදහසේ පාවෙවි හිටියා මහත්තයා.”
“ඉතින් තමුන් ඒ නිදහස අතහැරලා මෙයාගෙ ඇඟට රිංගුවේ මොකට ද?”
“මහත්තයා මම මළාට පස්සේ මගේ ඉඩකඩම් ගේ දොර බලන්න නිතර එනවා. මේ අතරේ මේකි දෙය්යන්ට ය කියලා රෑට පානක් පත්තු කළා. දෙවියන් ගෙන් ජීවත් වෙන්න උදව් ඉල්ලලා. අන්න ඒ පානට මාව ඇදිලා ආවා. බැඳුණා. මේකි කෙම්මුර දාට ඒ පහන ළඟ කැවුම් කිරිබත් පළතුරුත් පූජා කළා. මමත් ඒවා ආහාරයට ගන්න ඇවිත් බන්ධනය වුණා.”
“මෙයා දෙවියන් ගෙන් ජීවත්වෙන්න උදව් ඉල්ලුවේ වෙනත් ආදායමක් තිබුණෙ නැද්ද?”
“නෑ මහත්තයා මේකිගෙ මිනිහා මේකිව දාලා ගිහින් තිබුණා. දරුවෝ දෙන්නා හදාගන්න බැරුව තමයි වරමක් ඉල්ලන්න පටන් ගත්තේ. ඉතින් මමත් මේකිට අනුකම්පා කරලා උදව් කරන්න හිතුවා.”
“තමුන් කොහොම ද උදව් කළේ?”
“මහත්තයා සාස්තර අහන්න එන්නෙ දුකට පත් වෙලා අසරණ වුණ අය. පූරුවෙ අකුසල විපාක ඵල දෙන කාලෙට මිනිස්සු අසරණ වෙනවා. ලොව දුකට පත් වෙනවා. එහෙම දුර්වල වෙන කොට අමනුස්සයොත් කිට්ටු වෙනවා. සමහරු කිට්ටු වෙන්නේ පළි ගන්න. ඒ වගේ දුකට පත් අය ඒ කරදරවලින් මිදෙන්න සාස්තර අහන්න එනවා. එහෙම එනකොට ඒ අයට සමීප වෙලා ඉන්න භූතයොත් එනවා. මම අන්න ඒ භූතයන් අල්ලාගෙන උන්ගෙන් විස්තර අහගන්නවා. වෙච්ච දේවල් දැන ගන්නවා. දැනගෙන කියනවා. සිද්ධ වෙච්ච දේවල් කියන කොට ඒ අය විශ්වාසය තියලා කියන කියන දේ කරනවා. ඉතින් මේකිට ආදායමක් ලැබෙනවා. පුද පූජා තියන කොට මම ඒවායෙන් යැපෙනවා.”
“ඉතින් තරහා වුණේ මොකද?”
“මේකි වැරැදි වැඩ කරන්න පටන් ගත්තා. මිනිස්සු තරහ කාරයන්ගෙන් පළිගන්න ආවාම මේකි උන්ට හදි හූනියම් කරන්න පටන් අරගෙන වැඩියෙන් හම්බ කරන්න පටන් ගත්තා. මටත් මේ වැඩවලට උදව් නොකර ඉන්න බැරි වුණා. ඒකෙන් මමත් පිරිහුණා. ඔය අතරෙ මේකි සාස්තර අහන්න එන කොල්ලන් යාළු කැරගෙන නටන්න පටන් ගත්තා. මේකිගෙන් බලය පිරිහුණා. ඔය අතර ඒ වගේ තරුණයන්ගේ පවුල් අවුල් වුණා. ඒ පවුල්වල අඹු දරුවෝ සාප කරන්න පටන් ගත්තා. ඒ සාපය මේකිට වැදුණා. මේකිත් ගෙදර ඉන්න බැරුව ගම අතහැරලා පැනලා ගියා එයින් මිනිහෙක් එක්ක. ඒ මිනිහා කැලණිය පැත්තේ මිනිහෙක්. දැන් මේකිට ළමයෙක් ලැබෙන්නත් ඉන්නවා. ශරීර සෞඛ්‍යයත් පිරිහිලා. හරියට කන්න බොන්නත් නෑ. මමත් මේකිට බැඳිලා දුක් විඳිනවා. මගෙත් බලය හීන වෙලා නිසා යන්නත් බෑ” යි භූතාත්මය අඬ අඬා කීවේය.
ගවේෂකවරයා ඇයට තවත් බෝධි පූජා දහ හතරක් පවත්වා නැවත පැමිණෙන්නැයි උපදෙස් දුන්නේය. ඒ කාලය තුළ අකුරටම කය, වචනය සංවර කැරගෙන බ්‍රහ්මචාරී ආජීව අෂ්ටමක සීලය සමාදන්ව සද්ධා ගෞරව ඇතිව බෝධි පූජාව පවත්වන ලෙස ද අවශ්‍ය උපදෙස් දුන්නේ ය. නැවත ආපහු පැමිණෙන විට තමන්ගේ මෑණියන් ද කැඳවා ගෙන එන්නැයි ද නියම කළේය. මේ කාලය තුළ ඇගේ කුස තුළ පිළිසිඳ සිටි දරුවාට ද ඇය එපා වී තිබුණි. ඒ කලලයට සම්බන්ධව සිටි ගන්ධබ්බයා ද ඇය අතහැර යෑම නිසා කලලය ද ගබ්සා වී තිබුණි. බෝධි පූජා අවසන් කොට ශාරීරික තත්ත්වය ද යහපත් වූ පසු ශාන්තිනී නැවත පැමිණියාය. එදින ඇගේ මෑණියන් ද කැඳවා ගෙන පැමිණ සිටියාය. ගවේෂකවරයා මිනිස් ජීවිතයක ඇති වටිනාකම පිළිබඳ දුවටත් මවටත් කරුණු පැහැදිලි කොට යහපත් ජීවිතයක් නැවත ආරම්භ කරන්නට අවවාද කළේය. පාප කර්ම ගෙවන්නට එළඹෙන කාල පරිච්ඡේදවල මෙවැනි දේ සිදුවන බව ද වටහා දී දියණියට සමාව දී නැවත ගමට ගොස් හොඳින් ජීවත් වෙන්නට උදව් කරන්නැයි මෑණියන්ට ද කීවේය. නිවසේ සාංඝික දානයක් පිරිනමා ලොකු තාත්තාගේ ප්‍රාණකාරයාට නම කියා පැන් වඩා පින් අනුමෝදන් කරන ලෙස ද උපදෙස් දුන්නේ ය. ඒ උපදෙස් පරිදි දානය පිරිනමා අවසන් කොට ඔවුහු නැවත පැමිණියහ. ඊළඟට පැමිණි දිනයේ ද ශාන්තිනී දිෂ්ටි ගන්වා භූතාත්මය සමඟ ගවේෂකවරයා කතා කළේය.
“දැන් කොහොම ද?”
“දැන් හොඳයි මහත්මයා. මම පින් අනුමෝදන් වුණා.”
“දැන් තමුන් පියදාස නොවෙයි. පියදාස මැරුණා. ඔය ඉන්නේ වෙන කෙනෙක්. දැන් අර ගෙවල් දොරවල් තමුන්ට අයිති නෑ. ඒවා හිතෙන් අල්ලා ගෙන ඉන්න තුරු ඒවා හිතට බරක්. වේදනාවක්, දුකක්. දැන් තමුන් සිද්ධස්ථානයකට ගිහින් පින් දහම් කටයුතු දැක බලාගෙන ඒවාට සම්බන්ධ වෙලා සතුටෙන් ඉන්න අධිෂ්ඨාන කරන්න. මම තමුන්ව කැලණිය බෝධින් වහන්සේ ළඟට යවන්න ද?”
“එපා මහත්තයා, ඔබ තුමා කරදර වෙන්න එපා. මට යන්න පුළුවන්. ඔබ තුමාට පින් සිද්ධ වේවා, මුන් වගේ අය ළඟට ඇවිත් මම ආයෙත් අමාරුවේ වැටෙන්නේ නෑ මහත්තයා. එහෙම නම් මම යනවා” යි භූතාත්මය ශාන්තිනීගේ ශරීරයෙන් ඉවත් වී යන්නට ගියේ ය. නැවත කිසි දවසක දේවාල නොකරන බව ද ශාන්තිනී කීවාය.
මතුගම මහින්ද විජේතිලක
උපුටා ගැනීම සිළුමිණ