Biz Log
Classifields
Biz Log
Classifields

තම ලෙයින් හැදුණු දරුවා තමාගේ නොවෙයි කී භූතයා

 තම ලෙයින් හැදුණු දරුවා තමාගේ නොවෙයි කී භූතයා

මිනිස්සු බොරු කියති, තමන්ගේ වැරැදි වසා ගන්නට බොරු කියති, කොයි තරම් හොර රහසේ වැරැදි වැඩ කළත් බොරු කීවත් මේවා විශ්වයට බොරු නොවේ. විශ්වයට රහස් නැත. විශ්වය අවදියෙන් සියල්ල බලා සිටී, මෝහයෙන් අන්ධ වූ මෝඩයෝ සිය රහස් සැඟවී ඇතැයි සිතා සිටිති. ඔවුන් මැරෙන විට ද මරණයෙන් පසුව ද මේ උපාදානයන් රැගෙන යති, මරණයෙන් පසු ද බොරු කියන අවස්ථා දකින්නට ඇත. රසිනී තිස් අට හැවිරිදි එක් දරු මවකි. අවුරුදු හයක් වයස්ගත පිරිමි දරුවා ඇගේ පළමු කසාදයේ ළමයා ය. පළමු සැමියා මිය ගොස් වසර තුනකට පසු රසිනී ජයකාන්ත සමඟ නැවත විවාහ වූවාය. මේ දෙදෙනාම රැකියාව කරන්නේ ද එකම ආයතනයේ ය, රසිනිගේ පළමු විවාහයේ දරුවාට කිසිම වෙනසක් නැතිව ජයකාන්ත ආදරය දක්වයි, ඒ දරුවා ද ඔහුට තාත්තා යැයි අමතයි. රසිනිගේ පළමු සැමියා මිය යන විට දරුවාට අවුරුදු දෙකකට වඩා වයසක් නොවීය. මොවුන් පදිංචිව සිටියේ පාණදුරයේ ය. රසිනිගේ නිවසේ නිතර දුර්ගන්ධයක් පවතී. ඇය ජයකාන්ත සමඟ නිතර මත ගැටුම් ඇති කැර ගනී. දෙදෙනා අතර අඬදබර නැති දවසක් නොවීය. රසිනිගේ මේ දෙවැනි විවාහයත් දෙදරා යන තැනට කටයුතු යෙදෙමින් පවතී. ජයකාන්ත රසිනිගෙන් වෙන්වී මොරටුවේ කාමරයක් කුළියට ගෙන පදිංචියට ගියේය. එහෙත් කාර්යාලයේ දී දෙදෙනා සමඟියෙන් කටයුතු කරති, ජයකාන්ත වෙන ම පදිංචියට ගියේ රසිනි ගේ නිවසේ දී පවතින තත්ත්වය වෙනස් වේදැයි අත්හදා බලන්නට ය.

දෙදෙනා ම ඇතුළුකෝට්ටේ ගුප්ත ගවේෂණ මධ්‍යස්ථානය කරා ගියහ. ආධ්‍යාත්මීය උපදේශකවරයා මුණ ගැසී තම පවුල් ජීවිතයට එළඹ ඇති තත්ත්වය විස්තර කොට සහනයක් විසඳුමක් පැතීය. පළමුවර ශක්ති කිරණ එල්ල කරන විට රසිනී වෙව්ලන්නට වූවාය. එදින ඉන් එහා දෙයක් මතු කැර ගන්නට නොහැකි විය. ඒ නිසා තව දුරටත් දෙදෙනාට වෙන්ව ජීවත් වෙමින් ගමේ පන්සලේ දී බෝධි පූජා විසි එකක් පවත්වා නැවත එන්නැයි ඊට අදාළ උපදෙස් දුන්නේ ය. ඊළඟට නැවත පැමිණි දිනයේ දිෂ්ටි ගැන්වූ විට රසිනී අඬන්නට වූවාය. ඇඬීම නතර නොකොට ම එක දිගට ම අඬන්නට වූයෙන් තවත් දින හතක් බෝධි පූජා පවත්වා එන්නැයි නියම කළේය. සතියකට පසු නැවත පැමිණි දිනයේ රසිනී ප්‍රලය වූවාය. ගවේෂකවරයා ප්‍රශ්න කරන්නට විය.

“කවුද මේ ශරීරයට ඇතුළුවෙලා කරදර කරන්නෙ?”

“මම අමිල”

“කවුද අමිල කියන්නෙ?”

“මේ රසිනිගේ මහත්තයා”

“රසිනිගේ මහත්තයා මේ ළඟ ඉන්නේ. බොරු කියන්න එපා.”

“බොරු නොවෙයි, කලින් විවාහයේ ස්වාමි පුරුෂයා.”

“මොනවා වෙලා ද මැරුණේ?”

“මට වහ බොන්න සිද්ධ වුණා.”

“ජීවිතය නැති කැර ගැනීම මහා පාපයක්. දැන් අමිල මැරිලා. කරුණාකර මේ අයට කරදර නොකර ඉවත් වෙලා යන්න.”

“මම කොහේ යන්න ද? මුන් ගෙන් පළි අරගෙන මිසක් මම යන්නේ නෑ. මුන් හින්දා තමයි මට ජීවිතේ නැති කැරගන්න සිද්ධ වුණේ? ඔය දරුවාත් මගේ නොවෙයි.”

“තමුන් දැන් මැරිලා. ඔය ඉන්නේ අමිල නොවෙයි, දැන් තමුන් ප්‍රේතයෙක්, දුක් විඳින ප්‍රේතයෙක්.”

“මොනවා වුණත් මම මුන්ගෙන් පළි අරගෙන මිසක් යන්නේ නෑ. මම දැනටත් කරන්න ඕනැ දේවල් කරලයි තියෙන්නේ. මාව මරලා මුන්ට දැන් යහතින් ඉන්න මම ඉඩ දෙන්නේ නෑ” යි භූතාත්මය කීවේය.

ගවේෂකවරයා භූතාත්මය රසිනිගේ ශරීරයෙන් ඉවත් කොට පියවි සිහියට පත් කොට භූතයාගේ කතාවේ සත්‍යය කුමක්දැයි විමසීය. පළමුව ම මේ දරුවා අමිලගේ ම මව රසිනී හඬා වැළපෙමින් හත් අතේ දිවුරමින් පැවසුවාය. ඇගේ ප්‍රකාශය සත්‍ය බව ගවේෂකවරයා පිළිගත්තේ ය, ඊළඟට ඇය අමිල ගැන කීවාය.

“මහත්තයා අමිල හරීම නරක චරිතයක් තියෙන කෙනෙක්. මම රැවටිලා එයාට අහුවුණේ. අමිල ගාර්මන්ට් මැනේජර් කෙනෙක්, කළමනාකරණ උපාධියක් එයාට තිබුණා. අපි දෙන්නා විවාහ වුණේ යාළු වෙලා. ඒත් ඇහැට කනට පෙනෙන කෙල්ලක් ගෑනියක් දැක්කොත් කොහොම හරි ප්‍රයෝජන ගන්නමයි බැලුවේ. මමත් එයා හැදෙයි කියා බැලුවා. අද හැදෙයි හෙට හැදෙයි කියලා බැලුවා. බැරි ම තැන මමත් රස්සාවක් හොයා ගත්තා. ඒත් අප එක ගෙදරමයි ජීවත්වුණේ. ඒත් මේ මිනිහා අවලමේ යන එක නතර කළේ නෑ. දවසක් කවුදෝ කෙනෙක් මට ටෙලිෆෝන් කළා. එයාගෙ නෝනත් එක්ක අමිල වැරැදි සම්බන්ධයක් පවත්වනවා. අපේ දරු පවුල විනාශ වෙන්න නොදී ඔයාගෙ මහත්තයා හදා ගත්ත කියලා. ඉතින් මේ වෙන කොට මටත් දරුවෙක් ඉන්නවා. මගේ දරුවා වෙනුවෙන් මමත් ජීවත් වෙන්න ඕනෑ. මම නිතර අමිලට අවවාද කළා. ඒවා කනකට ගත්තේ නෑ. ඒ නිසා හැමදාම අඬ දබර. මම ඇඬු කඳුළෙන් ජීවත් වුණේ. ආයෙත් දවසක් අර මනුස්සයා මට ටෙලිෆෝන් කළා. ඉක්මනින් මොරටුවට එන්න. අද අතට ම අල්ලා දෙන්නම් කියා. එදා මමයි අම්මයි අමිලගේ අයියවත් අඬ ගහගෙන ඒ මනුස්සයාගෙ ගෙදරට ගියා, අපි ගියාම ඒ ගෙදර වැඩ කරන ගෑනි දොර ඇරියා. මේ දෙන්නා කාමරයක දොර වහගෙන හිටියෙ. අර මනුස්සයා එක පාරට ම දොර කැඩුවා. අමිලගේ අයියා පැනපු ගමන් අමිලට කම්මුල් පහරක් ගහලා අපි යමු නංගී යන්න කියලා පිටවෙලා ආවා. ඊට පස්සේ අමිල ගෙදර ආවෙ නෑ. වහ බීලා මැරුණා. ඊට පස්සේ අපි අවුරුදු පතා ගෙදර දානයක් දීලා අමිලට පින් දුන්නා. අවුරුදු තුනකට පස්සේ මම ජයකාන්ත එක්ක විවාහ වුණා. මෙයා මම වැඩ කරන කන්තෝරුවෙමයි වැඩ කරන්නේ. මෙයා මගේ දරුවාට එයාගෙ දරුවකුට වගේ ම ආදරෙයි. ඒත් අපට සන්තෝසෙන් ඉන්න ඉඩ ලැබුණේ නෑ යි රසිනී කෙටියෙන් විස්තර කළාය. ගවේෂකවරයා නැවතත් ඇය දිෂ්ටි ගැන්වීය. ගවේෂකවරයා අමිලගේ ප්‍රාණකාරයාගෙන් නැවත ප්‍රශ්න කළේය.

“තමුන් මේ අයට කරදර නොකර යනවා ද නැද්ද?”

“බෑ... බෑ... මුන්ගෙන් පළි අරගෙන මිසක් යන්නේ නෑ. මුන් නිසයි මට මැරෙන්න සිද්ධ වුණේ?”

“බොරු කියන්න එපා. තමුන්ගෙ වැරැදි නිසයි, මට මැරෙන්න සිද්ධ වුණේ?”

“එදා මේකි අපේ අයියත් එක්ක අර මොරටුවේ ගෙදරට කඩා පැන්නේ නැත්නම් මම තාමත් ජීවත් වෙනවා.”

“අවලං වැඩ කරලා වස බීලා මැරිලා දැන් ඒ වරද අනුන්ට පවරනවා.”

“එහෙම කියන්න එපා මහත්තයා. මට මැරෙන්න සිද්ධ වුණේ මේකි නිසා. මේකි එදා අපේ අයියවත් එක්කරගෙන මොරටුවට ආපු නිසානෙ මට වහ බොන්න සිද්ධ වුණේ. ඒකයි මම පළිගත්තේ.”

“තමුන් මහා පාපකාරයෙක්. තමුන්ගෙම ලෙයින් හැදුණු දරුවා තමුන්ගෙ නොවෙයි කියන්න තරම් දරුණු බොරුකාරයෙක්, මේ රසිනි දිවුර දිවුරා කියනවා මේ දරුවා තමුන්ගෙ කියා. තමුන්ට පුළුවන් ද මේ බණ පොතේ අත ගසා දිවුරන්න දරුවා තමුන්ගෙ නොවෙයි කියලා.”

“බෑ... බෑ... මම දිවුරන්න කැමති නෑ.”

“බලනවා මේ ජයකාන්ත තමුන්ගෙ දරුවට තාත්තා කෙනෙක් වෙලා. ඒ දරුවට ආදරෙන් සලකනවා. තමුන් කරපු පාප කර්මවල විපාක ආත්ම ගණනක් ගෙවන්න වේවි. දුක් විඳින්න වේවි. බලු වැඩ කරලා දැන් සමඟියෙන් සතුටෙන් ජිවත් වෙන රසිනිට ඉරිසියා කරනවා. දැන් මේ අයගෙන් ඉවත් වෙලා සිද්ධස්ථානයකට ගිහින් හිත නිදහස් කැර ගන්නැ” යි ගවේෂකවරයා භූතාත්මයට කීවේය.

“බෑ... බෑ... මුන්ව වෙන් කරලා මිසක් මම යන්නේ නෑ.”

“එහෙනම් යන්නේ නැද්ද?”

“නෑ... නෑ... යන්නෙම නෑ” ගවේෂකවරයා ශක්ති කිරණ මඟින් භූතාත්මය දවාලීය.

“අනේ... එපා... එපා... පිච්චෙනවායි කියද්දීත් පුච්චා දුර්වල කොට අවුරුදු සියයකට පමණ නැගිටින්නට බැරි තත්ත්වයට පත්කොට ඇගේ ශරීරයෙන් එළියට ඇද දැම්මේය. පවුලේ අයටත් නිවසටත් ආධ්‍යාත්මීය ආරක්ෂා දැමීය.

මතුගම මහින්ද විජේතිලක
උපුටා ගැනීම සිළුමිණ

Share This Article