ඊශ්වර දෙවියන් ගේ අවතාරය මගෙන් පළිගන්න පස්සෙන් එනවා
“මහත්මයා! මම මීට ආත්ම භව තුනකට කලින් හිමාලයේ හිටපු මහා බලසම්පන්න සෘෂිවරයෙක්. දෙවියන් හා සමාන ආධ්‍යාත්මීය ශක්තියක් මට තිබුණා. මම හිටපු කැලයේ ඊශ්වර දෙවියන්ගේ දේවාලයක් තිබුණා. ඒ දේවාලයේ හිටපු පූසාරියා මා එක්ක තරහයි. මම දවසක් ඒ දේවාලය ගිනි තියලා අළු කළා. එදා ඉඳලා ඊශ්වර දෙවියන්ගේ අවතාරය මගෙන් පළි ගන්න පස්සෙන් එනවා. ඒකට ප්‍රතිකාර ගන්නයි මම ආවේ” යි ඇතුළුකෝට්ටේ ගුප්ත ගවේෂණ මධ්‍යස්ථානයට පැමිණි රෝගියෙක් ආධ්‍යාත්මීය උපදේශකවරයා සමඟ පැවැසීය.
“කවුද කිව්වේ ඔබ සෘෂිවරයෙක් වෙලා අතීතයේ සිටියා ය කියා.” ආධ්‍යාත්මීය උපදේශකවරයා ඇසීය.
“ධ්‍යාන ලාභියෙක්. අධිමානසික ශක්තිය දියුණු කළ කෙනෙක්, ඒ උත්තමයා ඉන්නේ පිටකෝට්ටේ.”
“ඒ උත්තමයා ඔබට මොනව ද කරන්න කිව්වේ?”
“පහන් ක්‍රමයක් කියා දුන්නා. කතරගම ගිහින් දේව මණ්ඩලයට පූජාවක් තියන්න ඕනැ කිව්වා. මම ඒවාට වියදම් පවා ගෙව්වා.”
“කීයක් ගෙව්වා ද?”
“දැනට රුපියල් ලක්ෂ විස්සක් විතර වියදම් කරලා තියෙනවා.”
“ඉතින් එයාටම කියලා සනීප කැරගන්න තිබුණා නේද?”
“එයාම තමයි මට ඔබතුමා ළඟට එන්න කිව්වේ. එයා ඊශ්වර දෙවියන්ගේ අවතාරයත් එක්ක මා වෙනුවෙන් සටන් කරනවා. ඒ අතරේ මහත්තයා ළඟට ඇවිත් ප්‍රතිකාර ගන්න කියලා මාව මෙතැනට එව්වා.”
“මහත්තයාට අං තියෙනවා ද කියලා බලන්න. තමුන් අතීතයේ මහා බලසම්පන්න සෘෂිවරයෙක් ය කියලා ගොනාට අන්දලා රුපියල් ලක්ෂ විස්සක් කඩා ගෙන.”
“එහෙම කියන්න එපා මහත්තයා. එයා බලසම්පන්න කෙනෙක්.”
“ඉතින් එයාටම කියල සනීප කැරගන්නැයි ගවේෂකවරයා කීය.”
ජයතිලක පාදුක්ක ප්‍රදේශයේ පදිංචි හතළිස් පස් හැවිරිදි ව්‍යාපාරිකයෙකි. දැන් එදා වේල පිරිමසා ගන්නට නොහැකි තත්ත්වයට පත්ව සිටි. අධිමානසික බලයක් ඇතැයි කියන හොරෙකුට රැවටී ලක්ෂ ගණන් වියදම් කොට ව්‍යාපාරය ද පිරිහී පවුල් ජීවිතය ද කඩාකප්පල් කැර ගෙන ඇත. බිරිය පවා මේ විකාර බලා සිටිය නොහැකිව දික්කසාද වී දරු දෙදෙනා ද රැගෙන ඔහුගෙන් ඉවත්ව ගොස් ඇත. දැන් ජයතිලක කායිකව දැඩි වේදනාවන්ගෙන් පෙළෙයි. හීනෙන් බිය වී නන් දොඩවයි. මානසික වෛද්‍යවරු සොයා ගොස් ප්‍රතිකාර ලබයි. ඒවායෙන් ද සුවයක් නැතිව දුක් විඳී. මිත්‍රයන් දෙදෙනෙක් මොහු ගැන අනුකම්පා කොට ඇතුළුකෝට්ටේ ගුප්ත ගවේෂණ මධ්‍යස්ථානය වෙත ඔහු කැඳවාගෙන පැමිණියහ. දැනට මොහු පත්ව සිටින දුක්ඛිත තත්ත්වය පැහැදිලි කළහ.
“මහත්තයාට පුළුවන් ද දන්නෙත් නෑ. අපේ ධ්‍යාන ලාභී උත්තමයා නියම කරපු නිසයි මම ආවෙත්. මම එතුමාගෙන් ඇහුවාම මෙතනට එන්නැයි කිව්වා” යි රෝගියා තවමත් හොරා කෙරෙහි තැබූ විශ්වාසයෙන් ම කතා කරයි.
“ඉතින් ඒ උත්තමයාට කියල ම සනීප කැරගන්න තිබුණනෙ. එයාගෙ පහත් ක්‍රමය තව දුරටත් කරලා බැරි වුණොත් මගේ ළඟට එන්නැ” යි ගවේෂකවරයා කීය.
“අනේ මහත්තයා මේ අපේ යහළුවෙක්. බොහොම හොඳට දියුණු වෙලා හිටියේ. මේ පිටකෝට්ටේ හොරෙකුට රැවටිලා දැන් නැත්තටම නැති වෙලා. අනේ කරුණා කරලා තරහ ගන්නෙ නැතිව මෙයාව සනීප කැර දෙන්නැයි මිත්‍රයෝ දෙදෙනාම ඉල්ලා සිටියහ. ගවේෂකවරයා රෝගියා වෙත කිරණ ශක්තිය එල්ල කරන විට ඔහු වෙව්ලන්නට විය. ඉන් එහා දෙයක් නොවූයෙන් ගමේ පන්සලේ දී බෝධි පූජා විසිඑකක් පවත්වා නැවත එන්නැයි නියම කළේය.
“දවස් විසි එකක් ම බෝධි පූජා තියන්න ඕනැදැයි ජයතිලක ඇසීය.”
“ඔව්... ඔව්... ශක්‍රයා වැහිලා ආවත් මේ බෞද්ධ පිළිවෙත් ටික හරියට කරන්න ඕනැ” යි ගවේෂකවරයා නියම කළේය.
බෝධි පූජා විසි එක අවසන් කොට ජයතිලක මිතුරන් දෙදෙනා සමඟ නැවත පැමිණියේය. එදින ජයතිලක දිෂ්ටි ගැන්වි හූ කියන්නටත් දඟලන්නටත් වූයේය. ගවේෂකවරයා කිරණ ශක්තියෙන් භූතාත්මය පාලනය කොට ප්‍රශ්න කරන්නට විය.
“කවුද මේ කලබල කරන්නෙ?”
“නම දන්නේ නෑ. මතක නෑ.”
“කොයි කාලෙ ද මැරුණෙ?”
“අවුරුදු පහළොවකට කලින්.”
“ඇයි මේ මනුස්සයාට හිරිහැර කරන්නෙ?”
“මූ මගේ ගෙදරට පදිංචියට ආවා. මම නිදහසේ හිටපු මගේ ගෙදරට ආපු එක මට හිරිහැරයක්. කරදරයක්. මගේ නිදහස නැති කළා. මූව ගෙදරින් පන්න ගන්න මූගේ ඇඟට රිංගුවා.”
“මෙයාව පන්න ගන්න කියලා තමුන් මොනවා ද කළේ?”
“මම මුගේ පවුල අවුල් කළා. අඬදබර ඇති කළා. ගෑනිට දරුවන්ට මූව එපා කළා. ඒ ගෑනි දික්කසාද වෙලා දරු දෙන්නත් අරගෙන යන්න ගියා. මම මූව තනි කළා. කටට රහට කන්න නැති කළා. මුගේ ම කරුමෙකට මූ හොරෙකුට මාට්ටු වුණා. ඌ මූව ගොනාට අන්ද ගත්තා. නහය විදලා ඌට වුවමනා විදිහට දක්කන්නම හිටියා. ඉස්සර ජාතියක සෘෂිවරයෙක් කියලා රවටලා මුගෙන් කඩා වඩා ගන්නට හිටියා. ලක්ෂ ගණන් රවටා ගත්තා. අන්තිමේ ව්‍යාපාරය බංකොළොත් වුණා. තුන් වේල රහට කාපු එකා දැන් වැඩි පුර කන්නේ පාන්, අන්තිමට කර කියා ගන්න දෙයක් නැතුව හොරා ළඟටම යන කොට ඒ කපටියා මූට පහන් මාලාවක් දල්වන්න නියම කළා. එදා වේල කන්න නැතුව ඉන්න මෝඩයා දැන් කෑම බීමට වඩා පොල් තෙල්වලට වියදම් කරනවා. දැන් කරන්නේ මොනව ද කියලා මූ ම දන්නෙ නෑ” යි භූතාත්මය කීවේය.
“මේ වැඩ තමුන් තනියම ද කරන්නෙ?” යි ගවේෂකවරයා ඇසුවේය.
“ඔව් මම තනියම තමයි කරන්නෙ? වෙන අමනුෂ්‍යයන් මම මේ ඉඩමට ගෙදරට ඇතුළු වෙන්න දෙන්නෙ නෑ”
“හැබැයි දැන් මේ මනුස්සයා මෙහෙම ගිහින් මළොත් මෙයත් මේ ගෙදරම තමා.”
“ම්... ම්... ඒකත් එහෙම ද? ඒකට මම මොනව ද කරන්න ඕනෑ” යි භූතාත්මය ඇසීය.
“ඒකට තමුන්ගෙ ශක්තිය වැඩි කැරගන්න ඕනැ.”
“ඒ කොහොම ද?”
“තමුන් මේ ගෙදරට තණ්හාවෙන් ප්‍රේතයෙක් වෙලා ඉපදිලා දුක් විඳිනවා. මුළු කාලයම මෙයාව පන්න ගන්න දුක් විඳිනවා. ඒකත් මහා දුකක් නේද? පවුලක් කඩා කප්පල් කළා. ව්‍යාපාරයක් විනාශ කළා. මේ මනුස්සයාගෙ ධනය කපටියකුට ගන්න සැලැස්සුවා. මහා බරපතළ අකුසල් සමූහයක් දැනටත් කැරගෙන තියෙන්නේ. ඔය ප්‍රේතාත්මයේ තවත් අවුරුදු ගණනක් දුක් විඳින්න වේවි. මේ හැම දෙයක් ම ක්ෂණයක් පාසා වෙනස් වෙනවා. ජරාවට පත් වෙනවා. අපේ ශරීරත් එහෙමයි. භෞතික දේවලුත් එහෙමයි. ඔය ගේ දොරත් එහෙමයි. ඔය ගේ දොර ටික කාලයකින් දිරාපත් වෙලා කඩා වැටිලා යාවි. එතකොට තමුන්ටත් ඉන්න තැනක් නැතිව යාවි, වහාම ඔය දුකෙන් මිදිලා දෙවියෙක් වෙන්න කල්පනා කරන්න.”
“මං කැමතියි, මං කැමතියි දෙවියෙක් වෙන්න, අනේ මහත්තයා මට දෙවියෙක් වෙන්න උදව් කරන්න.”
“ඒක එක පාරට කරන්න බැහැ. වැඩ පිළිවෙළක් තියෙනවා. ක්‍රමයෙන් තමයි ඉහළට යන්න පුළුවන්. පළමුවෙන් ම මේ මනුස්සයාගෙන් පළිගන්න චේතනාව අත හරින්න. මම මෙයා ලවා පන්සලට දන් අඩුක්කුවක් පූජා කරවා තමුන්ට පින් දෙවන්නම්. ඒ පින අනුමෝදන් වෙලා කැලණිය බෝධීන් වහන්සේ ළඟට යන්න. එතැන සමහරු ගාථා කියනවා. පිරිත් කියනවා. ඒ අය ළඟට වෙලා අහගෙන ඉන්න. බුදු ගුණ මෙනෙහි කරන්න, සමහරු මල් පහන් ගිලන් පස පූජා කරනවා. ඒවාට අත හිත යොමු කැර සිත සතුටු කැර ගන්නැ” යි භූතාත්මය දැනුවත් කළේය. මේ කල්‍යාණ මිත්‍රයන් දෙදෙනාගේ උදව් ඇතුව පන්සලට දන් අඩුක්කුවක් පූජා කර මේ ගෙදරට අරක් ගෙන ඉන්න භූතාත්මයට යහපතක් වේවා. පිනට දහමට යොමු වේවා. ඉහළ තලයකට යන්නැ යි පින් අනුමෝදන් කරන ලෙස උපදෙස් දුන්නේය. දානය පිරිනමා ජයතිලක සිය මිතුරන් දෙදෙනා සමඟ නැවත පැමිණියේ වෙනදාට වඩා ප්‍රබෝධයෙනි. එදින පළතුරු වට්ටියක් ගෙන්වා භූතාත්මය එයට සම්බන්ධ කොට කැලණියට යැව්වේය. හසරක් අවබෝධයක් නැතිව දේවාල පස්සේ යන අයට ද හොඳ පාඩමකි.
උපුටා ගැනීම සිළුමිණ