තාත්තාගෙන් සමාව ගන්න අයියාගේ ඇඟට රිංගුවා
“මම මගේ තාත්තාට ගැහැව්වා. තාත්තගෙ ඔළුවට පොල්ලකින් ගැහුවෙ. ඔළුව පැළිලා ලේ ගැලුවා. තාත්තව ගෙදරින් පන්නා ගත්තා. ඒ සිද්ධිය මතක් වෙනකොට මාව දැවෙනවා.” සහෝදරයකුගේ ශරීරයට ආවිෂ්ට වූ ප්‍රේතාත්මයක් කීවේය.
“ඇයි ඔබ තාත්තාට ගැහුවෙ?”
“තාත්තා පැන්ෂන් ගිය පෝස්ට් මාස්ටර් කෙනෙක්. ගණිකා නිවාසයක ඉඳලා අහුවෙලා පොලීසියෙන් උසාවි දැම්මා. ඇප දීලා ගෙදර අරගෙන ආවා. ආයෙත් ඒ වගේ සිද්ධියක් වුණා. ලැජ්ජාව ඉවසන්න බැරි තැන මම තාත්තාට ගැහුවා.”
රණවීර හතළිස් හැවිරිදි පාසල් ගුරුවරයෙකි. ඔහුගේ බිරිය විද්‍යා ගුරුවරියකි. රණවීරගේ බෙල්ලේ දැඩි වේදනාවක් හටගෙන ඇත. ඊට අමතරව හීනෙන් බියට පත්ව කෑ ගසාගෙන අවදි වෙයි. නෑම ඇඟ සේදීම ප්‍රතික්ෂේප කොට නිවසේ අඳුරු මුළුවලට වී නිදා ගනී. දැන් රැකියාවට යන්නේ ද නැත. ඔහුගේ බිරිය මානසික වෛද්‍යවරයකු වෙත ඔහු කැඳවාගෙන ගොස් ප්‍රතිකාර කළත්, දැනට මාස දෙකක් ගත වුවද කිසිම වෙනසක් සිදු වී නැත. විද්‍යා ගුරුවරියක වන ඔහුගේ බිරිය ගුප්ත විද්‍යාවත් පිළි නොගත් තැනැත්තියකි. රණවීරගේ සහෝදරයෝ ඉවසන්නට බැරිම තැන රෝගියා ඇතුළුකෝට්ටේ ගුප්ත ගවේෂණ මධ්‍යස්ථානය කරා ගෙන ආහ. ඔහුගේ බිරියත් ඔවුන් සමඟ පැමිණියාය. ආධ්‍යාත්මීය උපදේශකවරයා රෝගියා පිළිබඳ විස්තර විමසන විට රණවීරගේ බිරිය පැවසුවේ “මහත්තයාට තියෙන්නේ මානසික අමාරුවක්, ඔය ගුප්ත දේවල් මම නම් පිළිගන්නෙ නෑ. විශ්වාස කරන්නෙත් නෑ” යනුවෙනි. “එහෙම නම් මේ ලෙඩාව අරගෙන යන්න, ඔය බුලත් පඬුරුත් අරගෙන යන්නැ” ගවේෂකවරයා කීවේය.
“අනේ! මහත්තයා, මෙයා කියන දේවල්වලට අපි වෙනුවෙන් ඉවසන්න, සමාවෙන්න, දැන් මාස ගණනක් වුණා මෙයාගෙ ප්‍රතිකාරවලින් මල්ලිව සනීප කැරගන්න තිබුණනෙ. දැන් මල්ලි රස්සාවට යන්නෙත් නෑ. මහත්තයා අපට බෞද්ධ පිළිවෙත් විශ්වාසයි, සමාවෙලා අපේ මල්ලිට ප්‍රතිකාර කරන්නැයි සහෝදරයෙක් කීවේය. ගවේෂකවරයා ශක්ති කිරණ එල්ල කරන විට ම රණවීර ඇද වැටුණේය. “මානසික අමාරුවලටත් මෙහෙම කරන කොට ඇද වැටෙනවාදැයි ගුරුවරිය දෙස බලා ගවේෂකවරයා අසන විට ඇය බිම බලාගත්තා ය. රෝගියා ඉතා දුර්වලව සිටි බැවින් ඔහු දිෂ්ටි නොගන්වා ගමේ පන්සලේ දී බෝධි පූජා විසි එකක් පවත්වා නැවත එන්නැයි උපදෙස් දුන්නේය. බෝධි පූජා අවසන් කොට නැවත පැමිණි දිනයේ දිෂ්ටි ගන්වන විට රණවීර ප්‍රලය වූයේය. ගවේෂකවරයා ප්‍රශ්න කරන්නට විය.
“කවුද මේ ශරීරයට රිංගාගෙන ඉන්නෙ?”
“මම හර්ෂ”
“හර්ෂ කියන්නේ කවුද?”
“මේ රණවීර අය්යාගෙ මල්ලී”
“කොයි කාලෙ ද මැරුණෙ?”
“අවුරුදු අටකට කලින්”
“මැරුණෙ මොනවා වෙලා ද?”
“එල්ලිලා මැරුණෙ”
“ඇයි ජීවිතේ නැති කර ගත්තේ?”
“මම තාත්තට ගැහුවා. තාත්තගෙ ඔළුව පැළිලා ලේ ගැලුවා, ඒක මතක් වෙන කොට ඉවසන්න බැරුව ජීවිතේ නැති කැරගත්තා. මේකයි සිද්ධ වුණේ.”
“මගේ තාත්තා ගණිකා නිවාසෙක ඉඳලා පොලීසියට අහුවෙලා උසාවි දැම්මා. අපි ඇප දීලා අරගෙන ආවා. ඊට මාසෙකට විතර පස්සෙ ගෑනු නාන තැනක බලා ඉඳලා මිනිස්සු අල්ලගෙන ගහලා ගහලා ගෙදරට ගෙනැත් දැම්මා. ලැජ්ජාව ඉවසන්න බැරුව පොල්ලක් අරගෙන තාත්තට ගහල ගෙදරින් එළෙව්වා. ගෙදරට එන්න දුන්නේ නෑ. තාත්තාම ගෙදරින් යන්න ගියා. මම කරපු දේ අයියලයි අක්කයි අම්මයි අනුමත කළා. තාත්තා කඩ කාමරයක් කුලියට අරගෙන ජීවත් වුණා. මම මොනවා කළත් හදවතෙන් දුක් වුණා. තාත්තා පොලු පාර කාලා ඔළුවෙන් ලේ ගලන කොට ඔළුව අතගාල අතේ ලේ තැවරුණු හැටි බලපු ආකාරය මට මැවි මැවී පෙනෙන්න ගත්තා. ඒ මානසික පීඩාව දරා ගන්න බැරිව තැන තමයි මම එල්ලිලා මැරුණා” යි භූතාත්මය කීවේය.
“ඉතින් මේ රණවීරට කරදර හිරිහැර කරන්නෙ මොකද?” යි ගවේෂකවරයා ඇසීය.
“මගේ හිතේ තියෙන දුක වේදනාව මට තුනී කැර ගන්න ඕනෑ. තාත්තගෙන් සමාව ගන්න ඕනෑ. ඒකයි පොඩි අයියගෙ ඇඟට රිංගුවේ. එයාගෙ ඇඟට විතරයි මට රිංගන්න පුළුවන්. ඒකයි රිංගුවේ. ඒ මිසක පොඩි අයියට හිරිහැර කරන අදහසින් නොවෙයි.”
“හර්ෂ බෞද්ධයෙක් ද?”
“ඔව් මම බෞද්ධයෙක්.”
“බුදු දහමේ උගන්වන්නේ අතීතයත් අතහරින්න, තවම නොපැමිණි අනාගතයත් අතහරින්න. වර්තමානයේ ජීවත්වෙන්න කියලා. අතීතයේ සිද්ධ වුණ වැරදි තැන මෙනෙහි කරමින් හිටියොත් ඒ අකුසලය තවත් බරපතළ වෙනවා, වෙච්ච දේ සිද්ධ වෙලා ඉවරයි, ඒක අතීත සිද්ධියක් විතරයි. තාත්තා ඒ වගේ දේකට පෙළඹුණේ අම්මගෙ අඩුපාඩුවක් නිසා වෙන්නත් බැරි නෑ. හැබැයි හර්ෂ ජීවිතේ නැති කැර ගත්ත එක නම් බරපතළ වරදක්.” යැයි කියූ ගවේෂකවරයා තවත් සතියක් බෝධි පූජා පවත්වන ලෙසත්, දැන් ආපසු ගෙදරට පැමිණ සිටින තාත්තා ද බෝධි පූජාවට කැඳවාගෙන යන ලෙසත්, සතියකට පසු නැවත එන ලෙසත් උපදෙස් දුන්නේය. ඊළඟ දිනයේ හර්ෂගේ පියා ද ගවේෂණ මධ්‍යස්ථානය කරා දූ දරු පිරිස සමඟ පැමිණියහ. එදින ද රණවීර දිෂ්ටි ගැන්වූ විට හර්ෂගේ භූතාත්මය ආවේශ විය. භූතාත්මය අඬන්නට විය. දිගින් දිගට අඬන්නට විය.
“අනේ මගේ බුදු තාත්තේ මට සමාවෙන්නැයි දෙපා අල්ලා ගෙන අඬන්නට විය. හර්ෂගේ තාත්තා ද දුක දරා ගන්නට නොහැකිව භූතාත්මය වැහුණු රණවීර බදාගෙන හඬන්නට විය.
“පුතේ පුතා වැරදි නැහැ. මමයි වැරදි. මම පුතා වෙලා පුතා මම වුණා නම් මමත් කරන්නේ ඔය ටිකමයි. මගේ තාත්තා ඒ වගේ දෙයක් කළා නම් මමත් ගහනවා. පුතා ඒ දේ කළේ පවුලේ ගෞරවය වෙනුවෙන්, මම තරහ නෑ පුතේ” යි රණවීරගේ පියා ද හඬන්නට විය.
“පුතේ පුතා දුක්වෙන්න එපා. තාත්තා දැන් හරිම හොඳයි. පුතාගෙ මරණයෙන් පස්සේ තාත්තා ආපහු ගෙදර ආවා. දැන් තාත්තා ඉන්නේ අපිත් එක්කමයි. සමහර විට තාත්තා එහෙම වුණේ මගේ අඩුපාඩු නිසා වෙන්නත් ඇති පුතේ” යි රණවීරගේ අම්මා ද භූතාත්මයට කරුණු කීවාය. ඒ කතාවලින් පසු හර්ෂට අමුතු ශක්තියක් ලැබුණු බව පෙනෙන්නට විය.
“හරි හරි දැන් හැම කෙනෙකුට ම කාරණය පැහැදිලියි. තාත්තත් දැන් නිවැරැදි වෙලා හොඳ මිනිහෙක් වශයෙන් ජිවත් වෙනවා. හර්ෂ ඔය කාරණා හිතේ හිර කරගෙන ඉඳලා ප්‍රේතයෙක් වෙලා ඉන්නේ. දැන් හර්ෂ හිතන්න ඔබ දැන් මේ පවුලේ කෙනෙක් නොවෙයි, බාහිර ජීවියෙක්. දැන් හිත හදාගන්න. ඔබ නිවැරැදි බව හිතන්න. තාත්තා ඔබට සමාව දුන්නා. ඔබ එදා කළ දේ වැරැදි නැතැයි තාත්තාමත් පිළිගන්නවා. දැන් ඔය දුගතිගාමී භවයෙන් මිදී ඉහළ තලයකට යන්න අධිෂ්ඨාන කැර ගන්නැ” යි ගවේෂකවරයා භූතාත්මයට උපදෙස් දුන්නේ ය.
“හොඳයි මහත්මයා මම ඒකට මොකක්ද කරන්න ඕනැ?”
“දිට්ඨෙව දිට්ඨ මත්තං භවිස්සතී සුතේ සුත මත්තං භවිස්සතී මුතේ මුන මත්තං භවිස්සතී විඤ්ඤාතේ විඤ්ඤාත මත්තං භවිස්සතී” යමක් දැක්කොත් එය දැකීමත් පමණකියි අතහරින්න. ඇසුණු දේ ඇසීමක් පමණකියි අත හරින්න. යමක් මතකයට ආවොත් එය මතකයක් පමණකැයි අත හරින්න. යම් සිතක් පහළ වුණොත් එය සිතුවිල්ලක් පමණකැයි අත හරින්නැ යි බුදු රජාණන් දේශනා කැර තියෙනවා. ඒ නිසා අතීතයෙන් සිතට මතුවෙන මතකය අත හරින්න. ඒ මතකයට නැඟෙන සිද්ධිය ඉවරයි. නිරුද්ධ වෙලා ගිහින්, ආයෙත් එහි අල්ලා ගන්නට වටිනාකමක් නැතැයි සිතා අත හරින්න. මම ඔබේ පවුලේ අයට නියම කරනවා ඔබේ නමින් ගෙදර සාංඝික දානයක් දී පින් අනුමෝදන් කරන්න කියා. ඒ දානයෙන් පසු අපි නැවත හමුවෙමු යි ගවේෂකවරයා පැවැසීය. පවුලේ අය මියගිය හර්ෂ වෙනුවෙන් ඉතාම වුවමනාවෙන් ඔහුගේ භවය සුවපත් කරන අදහසින් ස්වාමීන් වහන්සේ පහළොස් නමකට සාංඝික දානයක් පිරිනමා නැවත පැමිණියහ. එදින ද රණවීරට භූතාත්මය ආවිෂ්ට විය.
“මට හරි සතුටුයි මහත්තයා. දැන් අපේ තාත්තා හරිම හොඳයි” කියා භූතාත්මය පියාගේ දෙපා අල්ලා වැන්දේය. සුදු නෙළුම් මල් වට්ටියකට සම්බන්ධ කොට භූතාත්මය කළුතර බෝධියට යැවීය.
මතුගම මහින්ද විජේතිලක
උපුටා ගැනීම සිළුමිණ