Biz Log
Classifields
Biz Log
Classifields

සිද්ධස්ථානයට ඇල්මෙන් එය සුරැකීමට භූතයෙක් වෙලා ඉපදිලා

සිද්ධස්ථානයට ඇල්මෙන් එය සුරැකීමට භූතයෙක් වෙලා ඉපදිලා

“මුන් පන්ස‍ෙල් තියෙන දේවල් කකා බිබී පන්සල වනසනවා. දුප්පත් මිනිස්සු වතුර ටිකත් පෙරළ අරගෙන බොහොම සද්ධාවෙන් මහාසංඝරත්නය වෙනුවෙන් දානෙ ටික උයාගෙන ගේන්නෙ. සමහරු බොහොම අමාරුවෙන් එදා වේල හොයාගත්ත දුප්පත්තු. ඒත් බොහොම හොඳට ගෞරවෙයන් දාන ටික උයා පිහා ගෙන නිවාඩු දාගෙන අරගෙන එන්නේ. මුන් ඒව කාල පන්සල ඇතුළේ අරක්කු සිගරැට් බොනවා. ඒ මදිවට අහල පහළ කොල්ලන් පන්සලට ගෙන්න ගෙන ගංජා ගහනවා. රූපවාහිනිය දාගෙන කතා බලනවා. ඉතින් මට මේවාට කේන්ති යනවා.” යි ඇතුල්කෝට්ටේ ගුප්ත ගවේෂණ මධ්‍යස්ථානයේ දී ආවිෂ්ට වූ භූතයෙක් කීවේය. සමහරු තමන් ගේ දූ දරුවන්ට වාගේ ම ගෙවල් දොරවල් ගොඩනැඟිලිවලට ද ආදරය කරති. මරණයට පත්වන්නේ ද මේ ආසාවන් අත් හැර නොගෙනය. ඒ වාගේ සමහරු තමන් ගේ පන්සලට, පල්ලියට, කෝවිලට ආදරය කරන්නෝ ද සිටිති. එය සාමාන්‍ය ආදරයක් නොව දැඩි බැඳීමකි. ඒ වගේ උදවිය මැරුණත් ඒ ඒ පන්සල්වල, කෝවිල්වල, පල්ලිවල ම ප්‍රේතයන් වී උපදිති. එහි ගිහි පැවිදි යැයි වෙනසක් ද නැත.

කුරුණෑගල ප්‍රදේශයේ එක්තරා විහාරස්ථානයක දායක පිරිසක් භූත දෝෂයක් වැලඳුණු ඇබිත්තයන් දෙදෙනෙකු රැගෙන ඇතුල්කෝට්ටේ ගුප්ත ගවේෂණ මධ්‍යස්ථානය කරා පැමිණියහ. එක් ඇබිත්තයෙක් සමන් ය. අනෙක් ඇබිත්තියා පුණ්‍යසිරිය. පන්සලේ රාත්‍රි කාලයට කවුදෝ ඇවිදින අඩි සද්දයක් ඇහෙන බවත්, සමහර දාට කවුදෝ එහා මෙහා යන ඡායාවක් පෙනෙන බවත්, දන් ශාලාවේ දාන උපකරණ බාස්කට්, පිඟන්, කෝප්ප සෙලවෙන හඩ ඇසෙන බවත්, මේ ඇබිත්තයන් දෙදෙනා හීනෙන් බිය වී කෑගසන බවත් පැවසීය. පළමු දින ගවේෂණයේ දී පුණ්‍යසිරි ආවිෂ්ට වී අඬන්න පටන් ගත්තේ ය. ගවේෂකවරයා ප්‍රශ්න කිරීම් ආරම්භ කළේ ය.

“කවුද මේ අඬන්නේ?”

“මම ගුණදාස”

“කවුද මේ ගුණදාස කියන්නේ?”

“මම මේ පන්සලේ හොඳ දායකයෙක්. මේ අපේ පන්සල. අපේ පරම්පරාවම දායකකම් කළේ මේ පන්සලට. මේ පන්සල වෙනුවෙන් අපි ඇප කැපවී වැඩ කළ උදවිය.”

“බොහොම හොඳයි. ඉතින් මේ අඬන්නේ මොකද?”

“අඬන්නේ දුකට. මම මේවා කරන්නේ පන්සලේ ආරක්ෂාවට. දියුණුවට. එහෙම කරන මාව පන්නා දමන්න නේද මේ හදන්නේ. අන්න ඒ දුකටයි අඬන්නේ.” ඒ සමඟ ම පුණ්‍යසිරිගේ ශරීරයේ සිටි භූතයා සමන්ගේ ශරීරයට ආවිෂ්ට වී පුණ්‍යසිරිට බණින්න විය.

“මෙන්න මේ මිනිහා තමයි මේ පන්සල ඇතුළේ වැරදි වැඩ ඔක්කොම කරන්නේ. මුන් දෙන්නා එකතුවෙලා අරක්කු සිගරැට් බොනවා. දත් බත් ගිල ගිල කරන්නෙම වැරදි වැඩ. අහල පහල එවුන්වත් ගෙන්නගෙන ගංජා සුරුට්ටු ගහනවා. මේ පන්සල අපේ. අපි ඒක රැකගන්න ඕනෑ. මම කරන්නේ අන්න ඒ රාජකාරිය. මුන් දෙන්නා පන්සල නැති කරනවා. මූ තමයි ඔක්කොම කරන්නේ” යි පුණ්‍යසිරි දෙසට අත දිගුකොට පෙන්වීය.

“ඉතින් තමුන් විතරක් ඕකට දුක් විඳින්නේ ඇයි? ලොකු හාමුදුරුවෝ පන්සලේ නැද්ද?”

“ඉන්නවා. ඉන්නවා... අනේ උන්වහන්සේ හොඳට ම වයසයි. උන් වහන්සෙගෙ කණෙන් රිංගලා මේ වල් පරයො දෙන්නා පන්සල නැති කරනවා.”

“තමන් හොඳ දායක මහත්තයෙක් බව ‍පන්සලට ආදරේ උපාසක මහත්තයෙක් බව පේනවා.”

“ඔව් ඔව් අන්න මහත්තයාට හොඳට තේරෙනවා මා ගැන. මහත්තයා මුන් දානෙ කෑවාට මගේ තරහක් නෑ. ඒවා කාලා තියෙන වැඩක් කරගෙන ඉන්නෙ නැතුව ජරා වැඩ කරනවාට තමයි මට තරහ.”

“මේ ලෝකෙ හොඳ මිනිස්සුත් ඉන්නවා නරක මිනිස්සුත් ඉන්නවා. ඒක තමයි ලෝකෙ හැටි. හොඳ මිනිස්සු ම ඉන්නවා නම් ආගම දහමක් ඕනැත් නැහැනෙ. දැන් ඔබ තුමා විශාල සේවයක් කළා. මේ දායක සභාව දැනුවත් කළ එක ලොකු සේවයක්. දායක සභාව අවශ්‍ය පියවර ගනීවි. දැන් ඔබ තුම‍ාගේ වගකීම අවසානයි. රාජකාරිය ඉවරයි. ඉතුරු ටික, කළ යුතු දේ මේ උදවිය කරාවි. ඔබතුමා වගේ කෙනෙක් ඉන්න ඕනැ දිව්‍ය ලෝකයේ. දිව්‍ය සම්පත් විඳින්න ඕනෑ. දැන් මේ පන්සල ගැන ආසාව නිසා ඔබ ඉන්නේ ප්‍රේතාත්මයක. ලැජ්ජා නැද්ද? දේවත්වයට යන්න කටයුතු කරන්න.”

“මම ඒකට මොනවාද කරන්න ඕනෑ.”

“ඔබ බෞද්ධයෙක් නම් බුදු හාමුදුරුවෝ දේශනා කළ ආකාරයට වැඩ කරන්න.”

“බුදුහාමුදුරුවෝ කියලා තියෙන්නේ කොහොමද?”

“කුල්ලූපමං වො භික්ඛවේ ධම්මං දේසිස්සාමි” මහණෙනි, මේ ධර්මය කොල්ලෑවකට, ඔරුවකට මම උපමා කරනවා. ධර්මය අව‍බෝධ කැර ගත්තා නම්, ත්‍රිලක්ෂණය වටහා ගත්තා නම් ධර්මය අතහරින්න. ග‍ඟෙන් එගොඩ වුණා නම් ඔරුවත් අත හරින්න. ඔරුව කර තියා ගෙන ඇවිදින්න එපා! ඒ වගේ ධර්මයත් අතහැර සැහැල්ලුවෙන් ඉදිරියට යන්න කියලයි තියෙන්නේ. දැන් ඔබතුමා තමන්ගේ යුතුකම ඉටු කළා. ලොකු හාමුදුරුවොයි දායක සභාවයි ඉතුරු ටික කරාවි. ඔබ තුමා පන්සල බදාගෙන ඉඳලා හරියන්නේ නෑ. තමන් ගේ විමුක්තිය හොයාගෙන යන්න.”

"ඔව් ‍මට තේරුණා මහත්තයා. මම දැන් මොනවද කරන්න ඕනැ?"

“පළමුවෙන් පන්සලට තියෙන දැඩි තණ්හාව අතහරින්න. පන්සල ඔබට පමණක් නොවෙයි අයිති. පොදු වස්තුවක්. ඊළඟට මේ දෙන්නා ගැන තියෙන වෛරය අතහරින්න. දැන් දායක සභාව ඒක භාර ගනීවි. දායක සභාව දැනුවත් කිරීමේ කුසලය ඔබ සිද්ධ කළා ඒ ඇති. මම මේ අයට නියම කරනවා බෝධි පූජා විසි එකක්. මුළු ගමම ඇවිත් ඔබට පින් දේවි. ඔබේ සේවය අගය කරාවි. සති තුනකට පසුව මේ අය එනකොට පන්සලේ ලොකු හාමුදුරුවන්වත් වැඩම කැර ගෙන එන්න මම නියම කරනවා. ඔබ බෝධීන් වහන්සේ ළඟට වී ඉඳලා එදාට එන්නැ” යි ගවේෂකවරයා කීවේය.

නියම කළ පරිදි දායක සභාවේ වෙහෙස වීමෙන් බෝධි පූජා විසි එකක් ඉතා ම උනන්දුවෙන් සිදු කැරිණි. ගුණදාසගේ භූතාත්මය ප්‍රකත්ත වී තිබුණි. ඊළඟ දිනයේ දායක සභාවේ පිරිස පැමිණෙන විට පන්සලේ ලොකු හාමුදුරුවෝ ද වැඩම කළහ. එදින ද ඇබිත්තියෝ දෙදෙනා වරින් වර ප්‍රලය වී කතා කරන්නට වූහ. ඇබිත්තයෝ යැයි කීවාට ඔවුන් දෙදෙනා අවුරුදු 25 - 18 තරුණයෝ ය. තමන් ගේ වැරදි චර්යාවන් දායක සභාව ඉදිරියේ අනාවරණය වීම නිසා ලොකු ඇබිත්තයාත් පොඩි ඇබිත්තයාත් ලැජ්ජාවට පත්ව සිටිය ද භූත දෝෂය ඉවත් කැර ගත යුතු නිසා ඔවුන් දෙදෙනා ද දායක සභාවේ අය සමඟ පැමිණෙති. එදින ද භූතයා සමන්ට ආවිෂ්ටව කතා කළේ ය.

“කවුද මේ” ලොකු හාමුදුරුවෝ ඇසූහ.

“මම ගුණදාසනෙ හාමුදුරුවනේ.”

“අනේ මේ අපේ හොඳ දායක මහත්තයෙක් නෙ. මොකද මේ වගේ දුගතියක ඉපදිලා.”

“පන්සලට ආදරේ හින්දානෙ හාමුදුරුවනේ.”

“පන්සලට ආදරෙයි කියලා තමන් දුගතිගාමී වීම මහා පාඩුවක්. දුකක්.”

“මට දැන් තේරෙනවා ස්වාමීනි.”

“ඔය ටික තමයි මම තමුන්ට කලින්ම පැහැදිලි කළේ” යි ගවේෂකවරයා ද ඒ කතාවට මැදිහත් විය.

“ඔව් මහත්තයා මම බෝධි පූජාවලට යනකොට මගේ පෙර පින් මතු වුණා. මට දැන් හිතෙනවා මීට වඩා ඉහළ තැනකට යන්න. පන්සල අනිත් අය බලා ගනීවි. අනේ මහත්තයා මට මේ දුකෙන් මිදෙන්න ඕනැ.”

“එහෙම නම් දැන් මේ ළමයි දෙන්නගෙ ඇ‍ඟෙන් ඉවත් වෙන්න.”

“හොඳයි මහත්තයා මම මීට පස්සෙ මේ වල් පරයින්ගෙ ඇඟට යන්නේ නෑ. මම පන්සලේ බෝධිය ළඟට යනවා.”

“මම මේ දායක මහත්වරුන්ට කියන්නම්. ගමේ අය එක්වෙලා පන්සලේ සාංඝික දානයක් පිරිනමා ගුණදාසට පින් දෙන්න කියා. ගුණදාස ඒ පින් අරගෙන අනුරාධපුරය වැනි සිද්ධස්ථානයකට ගොස් පිනට දහමට අත හිත දී කටයුතු කරන්න. එතකොට තවත් ඉහළට යන්න පුළුවන්.”

“හොඳයි මහත්මයා මට කාරණා පැහැදිලි කළාට උදව් කළාට බොහෝම ස්තුතියි” කී භූතාත්මය ලොකු හාමුදුරුවන්ටත් ගවේෂකවරයාටත් වැඳ නික්ම ගියේය. ගමේ දායකයෝ සාංඝික දානය සූදානම් කොට පිරිනමන විට ඇබිත්තයෝ දෙදෙනා පන්සල අතහැර ගොස් තිබුණි.

මතුගම මහින්ද විජේතිලක

උපුටා ගැනීම සිළුමිණ

Share This Article