ලේලිගේ කුරිරුකම් වලට පළිගන්න ආ නැන්දම්මා
අන්ත දුගී දුප්පත්ව සිටි ඇතැම් අය අහම්බෙන් කඩා වැටුණු වාසනාවත් නිසා අතීතය අමතක කොට ඉහළින් පියාඹන්නට ගොස් පස්ස බිම ඇනුණු අවස්ථා සමාජයේ කොතෙකුත් අසන්නට ඇත. ජීවනී උපන්නේ මූදු කරේ වැල්ලේ පැල්පතකය. වැසිකිළියක් පවා නැති නිවසක ජීවත් වූ ඇය හිරු නැඟෙන්නට පෙර ඒ අවශ්‍යතාවත් සඳහා වැල්ලට දිවුවත් ඇගේ රූප ශෝබාවට වසඟ වූ ව්‍යාපාරිකයකු නිසා අද ඇය ඇහි බැම දෙතොල් කම්මුල් හිසකෙස් හැඩ ගන්වන්නට පමණක් මසකට රුපියල් විසිපන්දහසක් රූපලාවණ්‍ය වෙනුවෙන් වැය කරන තත්ත්වයට ඉහළ ගොස් ඇත. ජීවනීට පැණි පෙරන්නට මහ මන්දිර ගොඩ නැඟුණේ සිරිසේන ගේ මෑණියන් ද නිසාය. ඒ ජීවනීගේ නැන්දම්මා ය, අන්තිමේ රෝගාතුරව නැන්දම්මාට නොසැලකුවා පමණක් නොව ඇගේ මිනියවත් මහා මන්දිරයට ගෙන එන්නට ඉඩ නොදී අවසන් කටයුතු මල් ශාලාවක සිදු කරවන්නට තරම් මේ ලේලිය කුරිරු වූවාය. තාත්තා ගේ මරණයෙන් පසු අනුන්ගේ රබර් කිරි කපා ඒ කුලියෙන් හරිහැටි කුසට නොකා සිරිසේන ඇති දැඩි කළ මෑණියන් තමන්ට ඇදුණු ලොතරැයියක විශාල මුදල පවා සම්පූර්ණයෙන්ම සිරිසේනට දුන්නේ පුත්‍ර ස්නේහයෙන්මය. ඒ දිරිය මව සිරිසේනට ගොඩ නඟා දුන් රාජ්‍යයේ ඔටුණු පළන් මේ දුෂ්ට ගැහැනිය අර උතුම් මාතාවට වෙනස්කම් කරමින් සිනාසෙන විට කෝටිපති සිරිසේන ඇහැකන පියාගෙන සිටීම නිසා ඥාතීන්ගේ දෝෂාරෝපණයට ද ලක්වූයේය. ජීවනී පනස් හැවිරිදි ය. දියණිය චම්පා දහඅට හැවිරිදි ය. ජීවනීට නින්දෙන් බියවී, ඇහැරීම හා ඇඟපත රුදාව වැලඳීම නිසා විවිධ ප්‍රතිකාරවලට රුපියල් ලක්ෂ විස්සකට වඩා වැය කළත් සුවයක් නොවීය. මේ අම්මාටත් දුවටත් පියාගේ මියගිය මෑණියන් ආරූඪ වී ලෙඩ කරන බව පවසති. දුවට මියගිය ආච්චි ආරූඪ වූ විට ජීවනීට එළව එළවා පහර දෙන්නීය. සිරිසේනට ව්‍යාපාර ගණනාවක් ඇත. ලොරි රථ දහසයකි, ඇඟලුම් හල්වල සේවක සේවිකාවන් ප්‍රවාහනයට යෙද වූ බස් රථ විස්සකි, මේ කෝටිපතියාගේ මුදල්වලටවත්, වෛද්‍ය ප්‍රතිකාරවලටවත් සුවපත් කළ නොහැකි වූ බිරිය හා දියණිය අවසානයේ ඇතුල්කෝට්ටේ ගුප්ත ගවේෂණ මධ්‍යස්ථානය කරා කැඳවා ගෙන ගියහ. එහි දී ගවේෂකවරයා ශක්ති කිරණ එල්ල කරන විට ජීවනීත් චම්පාත් සිහිසුන්ව වැටුණි. දින විසි එකක් ගමේ පන්සලේ දී බෝධි පූජා පවත්වා නැවත එන්නැයි උපදෙස් ලැබුණි. ඊළඟ දිනයේ සිරිසේනත්, ජීවනීත්, චම්පා දුවත් සමඟ ජීවනීගේ අම්මාත් අක්කාත් පැමිණියහ. එහෙත් ගවේෂණය සඳහා සිරිසේනත්, බිරියත්, දුවත් පමණක් ප්‍රතිකාර කාමරයට ගත් අතර අනිත් දෙදෙනාට පිට වෙන්නට නියම කළේය. එදින ජීවනී ආවිෂ්ට වූවාය. ගවේෂකවරයා ප්‍රශ්න කළේය.
“කවුද මේ ශරීරයට රිංගා ගෙන ඉන්නෙ?”
“මම කමලාවතී”
“කවුද මේ කමලාවතී කියන්නෙ?”
“මේ ගෑනිගෙ නැන්දම්මා” යි කී භූතාත්මය ගවේෂකවරයාගේ දෙකකුල් අල්ලා ගෙන අඬන්නට වූවාය.
“අනේ බලන්නකො මහත්තයා මට වෙච්ච දේ” යි නැවතත් කීවාය. ගවේෂකවරයා නැවත ප්‍රශ්න කළේය.
“ඇයි මේ ලේලිට කරදර කරන්නෙ?”
“මම මේකිත් එක්ක තරහයි. මං පළිගන්නවා.”
“ලේලිත් එක්ක තරහයි කියමුකෝ, ඇයි මේ මිනිපිරීට හිරිහැර කරන්නෙ?”
“ඇනේ නෑ. මේ දැරිවිට මම අබමල් රේණුවක වරදක් කරන්නේ නෑ. මේ දැරිවි හදාවඩා ගත්තෙත් මමනෙ?”
“පුතා?”
“මතක් කරන්න එපා. ගෑනිට බයේ හැම දේකට ම නිශ්ශබ්දව ඉන්නවා.”
“ඒත් ඉතින් තමන්ගෙ පුතා නේද?”
“ඔව් මහත්තයා සිරිසේන පුංචි කාලෙම තාත්තා මළා. මම අනුන්ගෙ කිරි කපලා මූව හදා වඩාගත්තේ. මූ පරණ යකඩ එකතු කරලා විකුණන්න පටන් ගත්තා. ඔය අතරෙ මට ලොතරැයියක් ඇදුණා. මම ඒකත් පුතාට දුන්නා. ඊට පස්සෙ තවත් දියුණු වුණා. පුතා දියුණු වෙනකොට මම කොයිතරම් සතුටු වුණා ද? ඒ අතරෙ මූ වැල්ලෙ ගෑනියක් එක්ක යාළු වුණා. උන්ට වැසිකිළියක්වත් තිබුණෙ නෑ. තාත්තා වැල්ලෙ කසිප්පු වික්කා. අපි වැදගත් අය. මම ඒ සම්බන්දෙට විරුද්ධ වුණා. ඒත් මූ මේකිගෙ ලස්සනට වහ වැටිලා කසාද බැන්දා. ඒත් කමක් නැහැ කියලා මේකිට මගේ දුවෙකුට වගේ මම සැලකුවා. ඒත් මේකි මට වෙනස්කම් කළා. ඒ මදිවට ඒකිගෙ අම්මවත් ගෙන්නා ගෙන මට පේන්නත් එක්ක ඒ ගෑනිට ඉහළින් සැලකුවා. මට හරියට කෑම ටිකවත් දුන්නේ නෑ. අන්තිමට බැරිම තැන “පුතේ මාව කොහේ හරි ගිහින් දාපං” කියලා පුතාට කිව්වා. ඒ පාර පුතා මගේ වැඩට වැඩකාරියක් ගෙනත් දුන්නා. ලේලි ඒ වැඩකාරිට මගේ වැඩ කරන්න දුන්නේ නෑ. ඒකිගෙ වැඩ කරවා ගත්තා. මට අංශබාධය හැදිලා එක්තැන් වුණා ම පුතා බොරැල්ලේ නර්සින් හෝම් එකක මාව නතර කළා. මම එහේදි මැරුණා. මගේ පුතාට ලොරි දාසයක් තියෙනවා. බස් විස්සක් තියෙනවා. පරණ යකඩ ඉන්දියාවට යවනවා. මගේ පුතා කෝටිපතියෙක්, මේකිගෙ හිතේ මේවා වැල්ලෙන් ගෙනාපු ඒවා කියලා. මගේ මිනියවත් ගෙදරට ගේන්න පුතාට ඉඩ දුන්නෙ නෑ. හත් දවසෙ තුන්මාසෙ පින්කම්වත් හරියට කළේ නෑ. පන්සලට දානෙ ටිකක් ගිහින් දුන්නා විතරයි. මම මේකිගෙන් පළිගන්නවා. මට කරපු අසාධාරණකම්වලට. මේකිගෙන් පළිගන්න එක සාධාරණ නැද්ද මහත්තයා” යි කමලාවතීගේ භූතාත්මය කීවාය. සිරිසේනත් දියණියත් මේ සියල්ල අසා සිටියහ. මෙය අසා සිටි දියණිය ගවේෂකවරයා ඇමතුවාය.
“අනේ අයියේ! ආච්චි ඔය කියන දේවල් ඔක්කොම ඇත්ත. ආච්චි අම්මා හරිම හොඳයි. මාව හැදුවෙත් ආච්චි. ඒත් අම්මා ආච්චිට කන්නවත් දුන්නේ නෑ. අම්මගෙ අසාධාරණකම්වලට තාත්තා නිශ්ශබ්දයි. මට ඉගෙනීමත් එපා වුණා. මම නේපාල් රටේ වෛද්‍ය විද්‍යාලයට තේරුණා. මම ඒත් ගියේ නෑ තරහටම, මට අම්මට ගහන්නමයි හිත. මට ඇති අමනුෂ්‍ය දෝෂයක් නෑ. මට මානසික ප්‍රතිකාරත් අරන් දුන්නා. මම ඒත් බෙහෙත් බිව්වෙ නෑ. මට අම්මාව පේන්න බෑ ආච්චිට කරපු අසාධාරණවලට. මට ඇති ලෙඩක් නෑ. අම්මා හොඳ නෑ. අම්මගෙ අම්මත් හොඳ නෑ. ආච්චි අමාරුවෙන් හදාවඩා ගන්න තාත්තා, අමාරුවෙන් ගොඩ නඟා දුන්නු දේපළ. අන්තිමට ආච්චිගෙ මිනියවත් ගෙදරට ගේන්න දුන්නෙ නෑ” යි තරහෙන් කීවාය. ප්‍රතිකාර කාමරයෙන් පිටත සිටි ජීවනීගේ අම්මා ද අක්කාව ද ප්‍රතිකාර ස්ථානයට කැඳවීය. ගවේෂකවරයා නැවත භූතාත්මය ඇමතීය.
“හොඳයි ඔබට තවත් කියන්න දෙයක් තියෙනවානම් කියන්නැයි භූතාත්මයට කීවේය.
“තවත් මොනව ද මහත්තයා මගේ දෑතෙ හයියෙන් හදාවඩා ගත්ත පුතා, මට ඇදුණු ලොතරැයියෙන් දියුණු වුණ පුතා. නොගැළපෙන තැනකින්, රූපෙට වශී වෙලා මේකිව අරගෙන ආවා. මුලදි මම විරුද්ධ වුණත් ගෙදරට ගෙනාවට පස්සෙ මම කිසිම වෙනස්කමක් කළේ නෑ. මගේ ම දුවක් වගේ බාර ගත්තා. චම්පා දුවව හැදුවෙ කවුද? අම්මා විලාසිතා කරද්දි මමයි හදාවඩා ගත්තේ. කැත කුණු අත ගෑවේ, ඒවා ඔක්කොම අමතක කරලා මම අසනීප වුණාම කන්න ටිකවත් දුන්නෙ නෑ. ඉක්මනින් මරා ගන්න හිතලා, මම පළිගත්තා. දූ ලව්වා ම ගැහැව්වා. මම තවත් පළිගන්නවා” යි කීවාය. ගවේෂකවරයා භූතාත්මය ඇමැතීය.
“ඔබ තුමිය උත්තම කාන්තාවක්. දිරිය මවක්, ස්වාමියා මළාට පස්සේ දුක් විඳල හරියට කුසට අහරක් නොගෙන පුතාව හැදුවා. තමන්ට ඇදුණු ලොතරැයිය සම්පූර්ණයෙන්ම පුතාගෙ යහපතට පිරිනැමුවා. මිනිපිරීව ආදරෙන් හැදුවා. ඔබතුමිය ළඟ පාරමිතා ගුණ පිවිතුරු ගුණ තිබුණා. ලේලි වැරැදියි, මේ උගත් දියණිය පවා පිළිගන්නවා. මේ වගේ වසල ගති ඇති ගැහැනියක් නිසා ඔබේ පිවිතුරුකම නැතිකර ගන්න එපා. ඔබ දැන් කමලාවතී නොවෙයි, දැන් කමලාවතී මැරිලා. ඔබ වෙනත් භවයක වෙනත් කෙනෙක්, මේ වගේ වසල ගති ඇති අය ඉන්න පළාතක ඉන්න එපා. ඔබේ උත්තම ගතිගුණ දියුණු කැරගෙන දිව්‍ය ලෝකයකට යන්න. මම පුතාට කියන්නම් ගෙදර හොඳ දානයක් දී පින් අනුමෝදන් කරන්න කියලා. ඒ පින් අනුමෝදන් වෙලා අනුරාධපුරයට යන්න. ගිහින් සිද්ධස්ථානවල සිදුකරන පින් දහම්වලට අත හිත දී සාදු කියා පින් රැස් කරන්නැ” යි කීවේය.
“හොඳයි මහත්තයා. මට තේරෙනවා. මම කැමතියි” ඊළඟට ජීවනීගේ ශරීරයෙන් භූතාත්මය ඉවත් කළ ගවේෂකවරයා ඇය ඇමතුවේය. “කෙනෙක් උපතින් වසලයෙක් වෙන්නේ නෑ. බ්‍රාහ්මණයෙක් වෙන්නෙත් නෑ. ඒකයි බුද්ධ දේශනය, ඒත් මේ වගේ උතුම් අම්මා කෙනෙකුට නොසලකා හැරපු එක මහා වසල වැඩක්. තමුන්ගෙ අම්මාට මේ බෑණා එහෙම කළොත් තමුන් ඒකට සතුටු ද? දැන් ඔය විඳින්නේ තමුන් කළ අකුසලයට විපාක. කවදා හරි තමුන්ටත් ලේලි කෙනෙකුගෙන් හෝ බෑණා කෙනෙකු ගෙන් ඒ ටික අනිවාර්යයෙන්ම සිද්ධ වෙනවා. තමුන්ගෙ අම්මාත් ඒ වගේ ම අම්මා කෙනෙක්. දුවට හොඳ නරක උගන්නලා නැහැ. වරදට පොලඹවලා ඒ මැරිච්ච අම්මාගේ පින්තූරයක්වත් හොයා ගෙන උදේ හවස වැඳලා සමාව ගන්න. ඒ වගේ ම මේ සිරිසේනටත් උදේ හවස වැඳලා සමාව ගන්න. තමුන් ඔය සැප විඳින්නේ ඒ මැරුණු අම්මා ගොඩ නගපු දේවලින්, නැත්නම් ශාප වෙනවා. දුක් විඳලයි මැරෙන්න වෙන්නේ. ගෙදර දෙන දානය හොඳට දෙන්න ඕනෑ” යි අවවාද කළේය. ඊළඟට සිරිසේන ඇමතුවේය, “තමුන් පුදුම පිරිමියෙක්, කාටවත් වරදක් නොකරන යහපත් කෙනෙක් වුණත් බිරියට බයේ නිශ්ශබ්දව හිටපු එක වැරැදියි. බලන්න මේ දුවට කොයි තරම් හොඳට හොඳ නරක තේරෙනවා ද? පිරිමියෙක් වුණාම කෙළින් ඉන්න ඕනෑ. ඇත්තටම මම මේ ප්‍රතිකාරය කළේ දුගතිගාමීව දුක් විඳින මැරිච්ච අම්මාව ඒ දුකින් මුදවන්නයි. මේ දුවව සුවපත් කරන්නයි. ගෙදර සාංඝික දානයක් දී අම්මාට පින් අනුමෝදන් කැර නැවත එන්නැ” යි සිරිසේනට කීවේය.
දානයෙන් පසු ඔවුහු නැවත පැමිණියහ. කලින් පැවැති රෝගාබාධ හා සිහිනෙන් බියවීම් සම්පූර්ණයෙන් සුවපත් වූ බව පැවසූ ජීවනී තමන්ට ආරක්ෂක යන්ත්‍රයක් අවශ්‍ය බවත්, ඒ සඳහා රුපියල් ලක්ෂ දහයක් ගෙවන්නට සූදානම් බවත් ගවේෂකවරයාට කීවේය. “බැහැ බැහැ තමුන් වගේ කෙනෙකුට ලක්ෂ දහයකට නොවෙයි කෝටි දහයකටවත් ඒ වගේ ආරක්ෂාවක් දාන්නේ නෑ. තමුන්ගේ වැරැදි චර්යාවන් අත්හරින්න. ස්වාමියාට ගරු කරන්න. නිතර බෝධි පූජාවලට යන්න. පන්සිල් රකින්න, පෝයට සිල් සමාදන් වෙලා මැරුණු නැන්දම්මාට පින් දෙන්න, එතකොට බය වෙන්න දෙයක් නෑ. ආරක්ෂා අවශ්‍ය නෑ. ධම්මෝ හවේ රක්ඛති ධම්මචාරි, ධර්මයේ හැසිරෙන අය ධර්මය විසින් රකිනු ලබයි, යන්ත්‍ර අවශ්‍ය නෑ, තමුන්ගෙ චර්යාවන් හරියන තුරු ඔය අම්මාව ගෙදරට ගෙන්න ගන්න එපා. හොඳ නරක දන්නෙ නැත්නම් මේ දුවගෙන් අහගන්න. වැරැදි වැඩ කළොත් ආයෙත් දඬුවම් ලැබේවි. නැවත භූත බලපෑම් ලැබේවි” යැයි අවවාද කළේය.
මතුගම මහින්ද විජේතිලක
උපුටා ගැනීම සිළුමිණ