මත්පැන් නොබොන මල්ලී මත්පැනට පෙලඹවූ මියගිය අයියා
“මට බොන්න ඕනෑ. බොන්නෙ නැතුව මට ඉන්න බෑ. නොබිව්වොත් අමාරුයි. මහා වේදනාවක් දැනෙනවා. අනේ මට බොන්න දියල්ලා...” යි මිනිස් ශරීරයකට ආවිෂ්ට වූ ප්‍රේතයෙක් හඬා වැළපෙන්නට විය.
“මොකට ද බොන්නෙ?”
“මම ජීවත්ව ඉන්දැද්දි බිව්වා. නොබී හිටියොත් ඇඟට පණ නෑ. අප්‍රාණික ගතියක් දැනුණා. ඒ හින්දා මම හැමදාම බිව්වා. උදේටත් හවසටත් බිව්වා.”
“බිව්වම මොකද වෙන්නෙ?”
“පුදුම සතුටක්, ගතියක් දැනෙනවා. ඒක මට වචනයෙන් කියන්න බෑ. අමුතුම ගතියක් හිතට එනවා.”
“මිනිහෙක් වෙලා ජීවත් වෙද්දි මොනව ද වෙන කළේ?”
“මට මතක නෑ. බොන එකම තමයි මතක, වෙන කිසි දෙයක් මතකයට එන්නේ නෑ.”
“තමුන් කොහොම ද බොන්නෙ?”
“මල්ලිගෙ ඇඟට රිංගලා බොනවා.”
“මත්පැන් බොන්න ඔබට ඝන ශරීරයක් තියෙනවා ද?”
“නැහැ මට ඝන ශරීරයක් නෑ. ආහාරපානවල තන්මාත්‍ර (සියුම්) කොටස තමයි උරා ගත්තේ” යි භූතාත්මය කීවේය.
කළුතර දිස්ත්‍රික්කයේ ප්‍රසිද්ධ නගරයක විසූ සුමින්ද හතළිස් පස් හැවිරිදි දෙදරු පියෙකි. කලින් තදබල මත්පැන් විරෝධියකු වූ සුමින්ද දැන් මත්පැනට වහල් වී සිටී, හමුදා සේවයේ යෙදුණු ඔහුගේ අධික මත්පැන් පානය නිසා ඔහු සේවයෙන් විශ්‍රාම ගන්වා ඇත. දැන් ඔහුට දිනකට අරක්කු බෝතල් තුන් කාලක් අවම වශයෙන් වුවමනා ය. ඔහුගේ ශරීරයට හිටි හැටියේ දැඩි වේදනාවක් දැනෙන අතර කිහිප වතාවක්ම සියදිවි හානි කැර ගැනීමට ද උත්සාහ කොට ඇත. කොයි තරම් මත්පැනට ඇබ්බැහි වුවද ඔහු හොඳ කෙනෙකි. මෑතක සිට උදාවී ඇති මේ තත්ත්වයෙන් ඔහු මුදාගන්නට ඔහුගේ බිරිය නොගත් උත්සාහයක් නැත. වෛද්‍ය ප්‍රතිකාර ද තොවිල් පවිල් ආරක්ෂාවක් ද සිදු කළත් කිසිඳු වෙනසක් දක්නට නොලැබුණි. ඇතුළුකෝට්ටේ ගුප්ත ගවේෂණ මධ්‍යස්ථානයේදී ආධ්‍යාත්මික උපදේශකවරයා ඔවුන් සමඟ සාකච්ඡා කිරීමෙන් පසු ආධ්‍යාත්මීය කිරණ ශක්ති එල්ල කරන විට සුමින්ද වෙව්ලන්නට විය. ඔහුගේ ශරීරයට රිංගා ගත් අමනුෂ්‍යයකුගේ බලපෑමත්, දැඩි සේ මත්පැනට ඇබ්බැහි වීම නිසා සිදුව ඇති ශාරීරික දුර්වලත්වයත් ඊට හේතු වී තිබුණි. පවතින තත්ත්වය පැහැදිලි කළ ගවේෂකවරයා දින විසි එකක් ගමේ පන්සලේ දී බෝධි පූජා පවත්වා නැවත පැමිණෙන ලෙස ද අනිවාර්යයෙන්ම මත්පැනින් වැළකී පන්සිල් ආරක්ෂා කරමින් බෝධි පූජා පවත්වන දින විසි එක පිරිසිදුව ඒ කටයුතු කරන ලෙස ද උපදෙස් දී ආරක්ෂක නූලක් ද ඔහුට දැම්මේය. බෝධි පූජා අවසන් කොට ඊළඟට පැමිණි දිනයේ ද සුමින්ද ප්‍රලය වූයේය. ගවේෂකවරයා ප්‍රශ්න කරන්නට විය.
“කවුද මේ ශරීරයට රිංගාගෙන ඉන්නෙ?”
“මම ජයන්ත” යැයි භූතාත්මය උත්තර දුන්නේය.
“ජයන්ත කියන්නෙ කවුද?”
“මේ සුමින්දගේ අයියා”
“ඇයි මේ මල්ලිගේ ශරීරයට රිංගාගෙන කරදර කරන්නෙ?”
“මම කරදර කරන්නෙ නෑ. මල්ලිගේ ඇඟට වෙලා ඉන්නවා.”
“ඇඟට වෙලා ඉන්නෙ මොකට ද?”
“අරක්කු ටිකක් බොන්න.”
“ඒ කොහොම ද?”
“මල්ලි අරක්කු බොනවා. මල්ලිගේ බඩේ ඉඳගෙන මල්ලි බොන අරක්කු මම බොනවා.”
“අමනුෂ්‍යයෝ තමන්ට ඝන ශරීරයක් නැතුව කොහොම ද ඝන ආහාර දියර වර්ග ආහාරයට ගන්නෙ”
“අපි ආහාරයට ගන්නේ ඒ අය කන බොන දේවල සියුම් කොටස. (තන්මාත්‍ර කොටස)"
"තමුන් මැරිච්ච කෙනෙක්. මොකට ද අරක්කු බොන්නෙ?”
“මම ජීවත්ව ඉන්දැද්දි හොඳට බිව්වා. බිව්වාම හිතට පුදුම ගතියක් දැනෙනවා. ඒ නිසා මම දිගින් දිගට බිව්වා. ඒකට ඇබ්බැහි වුණා. මළාට පස්සෙත් ඒ පුරුද්ද අතහරින්න බැරුව ගියා, මට බොන්න ඕනැ වුණ නිසා මල්ලිගේ ශරීරයට රිංගුවා.”
“මල්ලි මත්පැන්වලට විරුද්ධ කෙනෙක්. කොහොම ද එයා මත්පැනට පොලඹවා ගත්තෙ?”
“මම දන්නේ නෑ. මට ඒවා මතක නෑ. මට මතක අරක්කුම විතරයි. දැන් මට මල්ලිව අතහැරලා යන්න බෑ. මම යන්නෙත් නෑ. ගිහිල්ලා කොහොම ද බොන්නෙ?” මොකද ඔය මහත්තයා මට බොන්න අරගෙන දෙනව ද? නැහැනෙ” යි භූතාත්මය කීවේය.
සුමින්දට ප්‍රකෘති සිහිය ලබාදුන් ගවේෂකවරයා ඔවුන්ට තත්ත්වය පැහැදිලි කළේය. “අමනුෂ්‍යයන්ගේ කිරණ මිනිස් ශරීරයට වැදුණම ඉන්ද්‍රිය පද්ධතිය දුර්වල වෙනවා. ඉන්ද්‍රිය දුර්වල වුණාම මනස දුර්වල වෙනවා. මනස දුර්වල වුණාම කල්පනාව අඩු වෙනවා. කළ යුතු දේ අමතක වෙනවා. මඟ හැරෙනවා. කළ යුත්ත නොකළ යුත්ත, කිය යුත්ත නොකිය යුත්ත අමතක වෙනවා. එතකොට ව්‍යාපාර බිඳ වැටෙනවා. එහෙමයි ඒවා සිද්ධ වෙන්නේ. ඉතින් මේ ඔබේ සහෝදරයා ජයන්තගේ තත්ත්වය කොහොමදැයි සුමින්දගෙන් ඇසීය. සුමින්ද ජයන්තගේ වගතුග කීවේය.
“මහත්තයා අයියා කිසිම රස්සාවක් කළේ නෑ. එදා ඉඳලම බොන එකම තමයි කළේ. අම්මාව රවටා ගෙන සල්ලි ගන්නවා. අන්තිමට ගෙදර තියෙන බඩු විකුණන්නත් පටන් ගත්තා. දවසක් මගේ මෝටර් සයිකල් එක අරගෙන ගිහින් වැටිලා බයිසිකලේටත් හානි වුණා. ඊට පස්සෙ මම අයියාට ගෙදරට එන්න එපා කියලා තහනම් කළා. ඒත් අපට හොරෙන් අම්මා අයියාව ගෙදරට ගෙන්න ගන්නවා. අන්තිමේ හොඳටම බීලා යාළුවෙක් එක්ක මෝටර් සයිකලේක යද්දි හැපිලා දෙන්නාම මළා. ඒ 2001 අවුරුද්දේ දැන් මටත් මොනවා වුණා ද කියලා මම ම දන්නේ නෑ. බීමට ඇබ්බැහි වුණා. මට රස්සාවෙන් විශ්‍රාම ගන්නත් සිද්ධ වුණා” යි සුමින්ද කීවේය. තවත් බෝධි පූජා දහ හතරක් පවත්වා නැවත පැමිණෙන ලෙස ගවේෂකවරයා සුමින්දටත් ඔහුගේ බිරියටත් උපදෙස් දුන්නේ ය. ඒ බෝධි පූජා අවසන් කොට නැවත පැමිණි දිනයේ ද සුමින්ද ආවේෂ වූවේය. ගවේෂකවරයා භූතාත්මය ඇමතුවේය.
“දැන් ඉතින් මේ ශරීරයෙන් ඉවත් වෙලා යන්න ඕනැ.”
“බෑ... බෑ... ඒක නම් කරන්න බෑ. එතකොට මම බොන්නෙ කොහොම ද?”
“ඔබ වගේ මත්පැනට කෑදර වූ තවත් ප්‍රේතයෙක් ඉන්නවා ද?”
“ඔව්... ඔව්... හරියට ඉන්නවා. රෙස්ට් හවුස්වල, බාර්වල, තැබෑරුම් ළඟ ඒ වගේ අය ඉන්නවා.”
“ඒ අය කොහොම ද බොන්නෙ?”
“මිනිස්සු අරක්කු බීපු වීදුරු ලෙව කනවා. ඒ අය කාලා ඉතුරු කරපු මස් මාළු කටු ලෙව කනවා. බීපු අය කාරලා කෙළ ගැහුවාම ඒවා බොනවා.”
“ඉතින් ඔබටත් එහෙම කරන්න පුළුවන් නේද?”
“බැහැ... එහෙම බීලා මට මදි. මල්ලි බොන කොට මට හිතේ හැටියට බොන්න පුළුවන්කම තියෙද්දි මම මොකටද වීදුරු ලෙව කන්න යන්නෙ? මට යන්න බැහැ”
“එහෙම කියලා බැහැ, දැන් මේ ශරීරය අතහැරලා පිටවෙලා යන්න ඕනෑ.”
“මේ... මම මෙච්චර වෙලා හොඳින් කතා කළා. උඹ කවුද මාව පන්නන්න. උඹ උඹේ වැඩක් බලා ගෙන හිටපන්.”
“මමත් මෙච්චර වෙලා උඹට හොඳින් කිව්වා. හොඳින් බැරිනම් නරකින් බලමු” යි ගවේෂකවරයා කිරණ ශක්තියෙන් භූතාත්මය පිච්චුවේය.
“පුච්චන්න එපා. පුච්චන්න එපා. බුදු මහත්තයෝ පිච්චෙනවා. ඉවසන්න බෑ” යි භූතයා විළාප දෙන්නට විය. ඊළඟට භූතාත්මයට මෛත්‍රී සුව කිරණ එල්ල කළේය.
“සනීපයි, දැන් හරිම සනීපයි. පුදුම සිසිලසක් දැනෙනවා.”
“ඒකට කැමැති ද?”
“ඔව් පුදුම සුවයක් දැනෙනවා.”
තවත් බෝධි පූජා දින හතක් පවත්වන ලෙස ද බෝධි පූජා අවසානයේ “බුදුගුණ අනන්තයි, බුදු ගුණ අනන්තයි, බුදු ගුණ අනන්තයි ඒ බුදු ගුණ බලයෙන් මම සුවපත් වෙම්වා. සියලු සත්ත්වයෝ සුවපත් වෙත්වා. දුකට පත් සත්ත්වයෝ සුවපත් වෙත්වා. දුකින් මිදෙත්වා යි මෛත්‍රී භාවනාවේ යෙදෙන ලෙස ද සුමින්දටත් බිරියටත් උපදෙස් දුන්නේය. දිනපතා නිවසේදීත් බුද්ධ වන්දනාවෙන් පසු පැයක්වත් එසේ මෛත්‍රී භාවනාවේ යෙදෙන්නැයි අවශ්‍ය උපදෙස් දුන්නේය. ඒ දින හතෙන් පසු සුමින්ද බොහෝ දුරට සුවපත් වූ අතර ඔහුගේ මුහුණ ද ප්‍රසන්න තත්ත්වයට පත්ව තිබුණි. ඔවුන් නැවත පැමිණි දිනයේ ගවේෂකවරයා සුමින්ද ආවිෂ්ට කොට කතා කළේය.
“දැන් කොහොම ද?”
“දැන් නම් අරක්කුවලට වඩා සුවයක් මෛත්‍රී කිරණවලින් මට දැනෙනවා මහත්තයා” යි භූතයා කීවේය.
“නිතර ඒ සුවය ලබන්න අනුරාධපුරයට යන්න. ඒ සිද්ධස්ථානවල තැන් තැන්වල භාවනා කරන අය ඉන්නවා. ඒ අය ළඟට ගිහින් වැඳලා ඔයිටත් වඩා සුවයක් ලබන්න පුළුවන්. අනුරාධපුරයට යන්න කැමැති ද?”
“කැමැතියි මහත්මයා” සුදු නෙළුම් මල් වට්ටියක් ගෙන්වා භූතාත්මය එයට සම්බන්ධ කොට අනුරාධපුරයට යැව්වේය.
මතුගම මහින්ද විජේතිලක
උපුටා ගැනීම සිළුමිණ