කිරි අම්මාගේ ආදරය නිසා මිනිබිරී ලෙඩ වී
“අනේ මගේ අම්මේ! මට පෙනෙනවා. මට පෙනෙනවා. පාට පාට ලෝකයක් මට පෙනෙනවා, මට හරිම සතුටුයි, අම්මේ සතුට දරා ගන්න බෑ... ඉහි... ඉහි...” යි අවුරුදු විසි පහක් තිස්සේ දෑස් අන්ධව සිටි තරුණියක් සතුටු කඳුළු හෙළමින් සිය මෑණියන් බදාගෙන හඬන්නට වූවාය. ඇගේ මව ද සතුට දරා ගත නොහැකිව දියණිය තුරුලු කර ගෙන හඬන්නට වූවාය. අමනුෂ්‍ය ලෝකයේ කර්මානුරූපව කිසිවක් කැර කියා ගත නොහැකි අසරණයෝ ද සිටිති. විවිධ හැකියාවන් ඇති අය ද සිටිති. ඔවුන්ගේ විවිධ ක්‍රියාකාරකම් නිසා මිනිසුනට ද විවිධ අපහසුතා සිදු වේ. සංගීතා සුරූපී තරුණියකි. විසි හය හැවිරිදි ඇය මව සමඟ තනිව ජීවත් වූයේ ඇය කුඩා කලම පියා මිය ගිය බැවිනි. ඇය කොයි තරම් ප්‍රසන්න වුවද වයස අවුරුද්දේ දී පමණ කිසිම හේතුවක් නැතිව දෑස ම අන්ධ වූවාය, බටහිර හා දේශීය වෛද්‍යවරුන් ගණනාවකගෙන් ප්‍රතිකාර ලබා දුන්න ද ඇගේ දෑස සුවපත් කළ නොහැකි විය. මොළයේ ලේ කැටියක් හිරවීම නිසා ඇගේ දෑස් නොපෙනෙන තත්ත්වයට පත්ව ඇතැයි බටහිර වෛද්‍යවරු පවසා ඇත. මේ දෑස් නොපෙනී යෑමත් සමඟ හිටි හැටියේ සිහිසුන්ව මුවින් සෙම දමා ගෙන වැටෙන්නට ද වූවාය. අසරණ මව කෙසේ හෝ දරු සෙනෙහසින්ම ඇය හදා වඩා ගත්තාය. මාසයකට කිහිප විටක් සිහි නැතිව වැටීම අපස්මාරය යැයි වෛද්‍යවරු නිගමනය කළහ. කෙසේ නමුත් මේ දිරිය දියණිය ද වයසින් වැඩෙත්ම බ්‍රේල් ක්‍රමයෙන් ඉගෙනුම ලබා අ.පො.ස. උසස් පෙළ ද සමත් වූවාය. දැන් ඇගේ වයස අවුරුදු විසිහයකි. දැන් දැන් ඇගේ සිහිසුන්ව වැටීම දිනපතා සිදු වෙන්නට විය. ශරීරය කෙට්ටු වෙන්නට විය. සිහිනෙන් බිය වෙන්නට විය. දිනක් මේ මෑණියෝ දියණිය කැටුව ගුප්ත ගවේෂණ මධ්‍යස්ථානය කරා පැමිණියාය. ආධ්‍යාත්මීය උපදේශකවරයා සමඟ දියණියගේ රෝගාබාධ පිළිබඳ විස්තර කළාය. පළමු දින ගවේෂණයේ දී සංගීතා සිහිසුන්ව වැටුණාය. ඇය ශාරීරිකව ද මානසිකව ද දුර්වලව සිටින බැවින් පෝෂ්‍යදායක ආහාර පාන ගැනීමටත්, දින විසි එකක් ගමේ පන්සලේ බෝධි පූජා පවත්වා නැවත පැමිණෙන ලෙසත් නියම කළේය. ඊළඟට පැමිණි දිනයේ සංගීතා ප්‍රලය වූවාය. අඬන්නට වූවාය. ගවේෂකවරයා ප්‍රශ්න කිරීම් ආරම්භ කළේය.
“කවුද මේ ශරීරයට ඇතුළු වෙලා අඬන්නෙ?”
“මම මේ දුවගේ කිරි අම්මා”
“ඇයි අඬන්නෙ?”
“මාව මේ කෙළීගෙ ඇඟෙන් ඉවත් කරන්න එපා. මම මේ දුවට ආදරෙයි. මේ දැරිවි ඉපදිලා අවුරුද්දෙන් මම මළා. ඒ අවුරුද්ද ඇතුළත මම මේ දැරිවිව අතගගා හුරතල් කළා. මගේ ඇස් අන්ධ වෙලා හිටපු නිසා අත ගගා හුරතල් කළා. අනේ මහත්තයා මාව පන්නන්න එපා.”
“කිරි අම්මා මේ ළමයාට ආදරේ ද?”
“නැතුව. නැතුව. ආදරේ නිසා නේන්නම් ළඟටම වෙලා ඉන්නෙ.”
“ඒක පුදුම ආදරයක්. කිරි අම්මගෙ ආදරේ නිසා මේ ළමයා ලෙඩෙක් වෙලා දුක් විඳිනවා. මෙයා දැන් තරුණියක්. ජීවිතේම අන්ධකාර වෙලා. කිරි අම්මා කරන්නේ මහා අපරාධයක්, කරුණාකරලා මේ ශරීරයෙන් ඉවත් වෙන්න.”
“බෑ... බෑ... මම යන්නේ නෑ.” ගවේෂකවරයා සංගීතාගේ ස්වධිෂ්ඨාන චක්‍රය අවදි කොට කිරි අම්මාගේ භූතාත්මය එළියට ඇද දැම්මේය.
ඒ සමඟම “අනේ අම්මේ මට පෙනෙනවා, පෙනෙනවා. හොඳට පෙනෙනවා. මුළු ලෝකෙම පෙනෙනවා මට හරි සතුටුයි. මට ඒ සතුට දරා ගන්න බෑ” යි මෑණියන් බදාගෙන සංගීතා අඬන්නට වූවාය. ඇගේ මව ද සතුටු කඳුළු හෙළුවාය.
මිනිසුන්ගේ ශරීරය වටා ශක්ති ශරීරයක් (ඕරා) තියෙනවා. ඒ ශක්ති ශරීරය දුර්වල වුණාම අමනුෂ්‍යයෝ ශරීරයට රිංගනවා. ඒ නිසා ආධ්‍යාත්මීය කටයුතුවලින් ශක්ති ශරීරය තවත් ශක්තිමත් කර ගන්න ඕනෑ. දැන් දවසක් හැර දවසක් මාස එක හමාරක් බෝධි පූජා තියන්න. දිනපතා ගෙදර උදේ හවස තුන් සූත්‍රය කියන්න. දස දිසා පිරිත කියන්න. පන්සිල් ආරක්ෂා කරන්න. මේ ටික නොවරදවාම ඉෂ්ට කර නැවත එන්නැයි උපදෙස් දුන්නේය. මාස එකහමාරකට පසු මේ අම්මා නැවතත් සංගීතාගේ කණවැල අල්ලා ගෙන ගුප්ත ගවේෂණ මධ්‍යස්ථානය කරා පැමිණියාය. ඔවුන් දුටු හැටියේ “මොකද? හරියට පිළිවෙත් ටික කළේ නෑ නේදැ?” යි ගවේෂකවරයා ඇසීය.
“අනේ මහත්තයා මම මේ හැම දෙයක් ම කරන්නේ බොහොම අමාරුවෙන් කිරි කපලා. ඒ වගේ ම පහුගිය ටිකේ ම හවසට වැස්ස. බෝධි පූජාව හරියට තියා ගන්න බැරි වුණා” යි සංගීතාගේ මව කීවාය.
“මේ හැම දෙයක් ම සිද්ධ වෙන්නේ පෙර අකුසල කර්මවල විපාක වශයෙන්. රෝගීන් සුවපත් කරන්න දෙවියන්ටවත් මටවත් බැහැ. මට පුළුවන් මඟ පෙන්වන්න විතරයි. තමන්ගෙ කර්ම විපාක තමන් ම ගෙවන්න ඕනැ. සල්ලි දීලා ගෙවන්නත් බෑ. අකුසල විපාක මර්දනය වෙන්න කුසල කර්මවල යෙදෙන්න ඕනැ. මේක මහා බරපතළ අකුසල විපාකයක්. අවුරුදු විසි පහක් තිස්සේ නොපෙනුණ දෑස් පෙනුණා. ආයෙත් දෑස අන්ධ වුණා. ජීවත්වීමේ දී අමාරුකම් ඇති වෙනවා. ඒවා දරාගෙන පිළිවෙත් කරන්න ඕනැ. මේ ළමයගෙ දෑස පෙනෙන්න ගත්තා කියන්නේ පොඩි දෙයක් ද? කම්මැලි වෙන්නත් බෑ. නියම කරනා පිළිවෙත් ටික හරියට කරන්න.” යැයි අවවාද කළ ගවේෂකවරයා නැවතත් සංගීතා දිෂ්ටි ගැන්වීය.
“ඇයි මේ ළමයාට ආයෙත් හිරිහැර කරන්නෙ?” යි ගවේෂකවරයා ඇසීය.
“අනේ මහත්තයා මම දැරිවිට ආදරෙයි. හරිම ආදරෙයි. දැරිවි ගැන හිතපු ගමන් ඇඟ ඇතුළට ඇදිලා යනවා” යි භූතාත්මය කීවාය.
“මේ අප ජීවත්වන පරිසරය තුළ හැම තැනම අමනුෂ්‍යයෝ පිරිලා. අනන්තයි, අනන්ත වූ කල්ප කාලාන්තරයක් ආශාවන්ගෙන්, තරහ අමනාපකම්වලින් මැරුණු හැම කෙනෙක්ම අප අවට සැරිසරනවා. අපි ශක්තිමත් නූනොත් ඒ අය අපේ ශරීරවලට රිංගනවා. ආගමික වතාවත්වල යෙදෙන්න ඕනෑ. සද්ධාවෙන්, සීලයෙන්, සතියෙන්, සමාධියෙන්, අන්තිමට විදර්ශනාවෙන් ශක්තිමත් වෙන්න ඕනෑ. අපි ආධ්‍යාත්මීය වශයෙන් ශක්තිමත් වෙන කොට අපේ ශරීරය වටා පවතින ශක්ති වළල්ල ඕරා එක බලවත් වෙනවා. එතකොට අමනුෂ්‍යයන්ට රිංගන්න බෑ. මේ කිරි අම්මාත් දුවට තියෙන දැඩි ආදරය නිසා ඇදී එනවා. ඇලීම, ආදරය, ආශාව නිසා එහෙම වෙනවා. ඒ කිරි අම්මාට වෛර කරන්න එපා. මෛත්‍රීයෙන් කරුණාවෙන් පින් අනුමෝදන් කර එයාව හොඳ තැනකට යවමු. ඒ අතර සංගීතාට මම කලින් නියම කරපු පිරිත් සූත්‍ර සජ්ඣායනය කර ශක්ති වළල්ල තවත් ශක්තිමත් කැර ගන්න” යැයි ද තවත් දින දහහතරක් බෝධි පූජා පවත්වා, නිවසේ පිරිත් සූත්‍ර සජ්ඣායනය කර නැවත එන ලෙස ද උපදෙස් දුන්නේය. ඒ පැමිණෙන විට සුදු නෙළුම්වල් වට්ටියක් ද රැගෙන අනුරාධපුරයට යෑමට සූදානම්ව එන ලෙස ද කීවේය. මෙවර නියම කළ පිළිවෙත් අකුරට ම ඉටු කළ මවත් දියණියත්, මාමා කෙනෙකු සමඟ ත්‍රිරෝද රියකින් ඊළග දිනයේ පැමිණියහ. එදින ද ගවේෂකවරයා ශක්ති කිරණ එල්ල කරන විට සංගීතා ප්‍රලය වූවාය.
“කවුද මේ?” ගවේෂකවරයා ඇසීය.
“මම මේ දැරිවිගෙ කිරි අම්මා” “කොහොම ද පහුගිය දවස්වල?”
“පහුගිය දවස්වල මමත් දූලා එක්ක බෝධි පූජාවලට ගියා.”
“ඉතින් මොකද වුණෙ?”
“මට ගේට්ටුවෙන් බෝමළුවට ඇතුළුවෙන්න දුන්නෙ නෑ.”
“කවුද?”
“එතන ඉන්න මම වගේ ම, ඒත් මට වඩා බලවත් අය මාව පැන්නුවා. පලයං... පලයං... පව්කාරි... පෙරේතයා කියලා.”
“ඉතින්?”
“ඒ වුණාට තාප්පයෙන් පිට ඉඳගෙන මම බෝධිය වැන්දා. ඊට සුමානෙකට විතර පස්සෙ මට බෝ මළුවට ඇතුළු වෙන්න අවසර ලැබුණා.”
“ඔව් ඒ කිරි අම්මා තුළ ඇති වුණ ශ්‍රද්ධාව නිසා. කිරි අම්මාට දෙවියන් අතරටත් යන්න පුළුවන්. ඔය ගඳ ගහන ප්‍රේතාත්මය වෙනුවට දිව්‍යාංගනාවක් වෙලා දිව්‍ය සැප ලබන්නත් පුළුවන්.”
“ඒ කොහොම ද?”
“අනුන්ට කරදරයක්, පාඩුවක්, අපහාසයක් නොවන විදිහට කටයුතු කරන කොට එහෙම ඉහළට යන්න පුළුවන්.”
“ඉතින් මම කාටවත් එහෙම නරකක් කරන්නේ නැහැනෙ”
“ඇයි නැත්තෙ? මේ සංගීතා දුවගෙ මුළු ජීවිතයම අදුරු වෙලා තියෙන්නෙ. කිරි අම්මා එයාගෙ ඇඟට රිංගන නිසා”
“අනේ... මහත්තයා, එහෙනම් මම ඒ වරද නොකර ඉන්නම්, මට ඉන්න හොඳ තැනක් හොයා දෙන්න.”
“නරක ද අනුරාධපුරය පැත්තට ගියොත්?”
“අනුරාධපුරේ? අනේ සාදු... සාදු... ජයසිරි මහ බෝ හාමුදුරුවන් වැඳගන්න ඇත්නම්, මහා සෑය වැඳගන්න ඇත්නම් කොයි තරම් වාසනාවක් ද?”
“කලින් අනුරාධපුරේ ගිහින් තියෙනව ද?”
“හුඟාක් ඉස්සර ගිහින් තියෙනවා”
“එහෙම නම් ජයසිරි මහා බෝධීන් වහන්සේ ගැන සිහිපත් කරන්න”
“හොඳයි හොඳයි සාදු... සාදු...” භූතාත්මය වැඳගෙන කීවාය.
සංගීතා ගෙන ආ සුදු නෙළුම් මල් වට්ටියට කිරි අම්මාගේ ප්‍රාණකාරයා සම්බන්ධ කළේය. සංගීතාටත්, මවටත්, මාමාටත් ආරක්ෂා නූල් දැම්මේය. ඒ සමඟ ම යළිත් සංගීතාගේ දෑස් පෙනෙන්නට විය. දෑස් පෙනුණා යැයි මෙතෙක් නිවසේ සිදු කළ උදේ හවස ආගමික චාරිත්‍ර නොකඩවා කැර ගෙන යන ලෙස ද නැවත ඒවා අත් හළොත් යළිත් භූත උවදුරු පැමිණිය හැකි බවට ද අවවාද කොට සුදු නෙළුම් මල් වට්ටිය සමඟ ඔවුන් අනුරාධපුරයට යැවීය. සුදු නෙළුම් මල් වට්ටිය පූජා කරන අයුරු ද පැහැදිලි කැර දුන්නේය.
මතුගම මහින්ද විජේතිලක
උපුටා ගැනීම සිළුමිණ