Biz Log
Classifields
Biz Log
Classifields

දෙවියෙක් වෙන්න හිතා වුණේ භූතයෙක්

දෙවියෙක් වෙන්න හිතා වුණේ භූතයෙක්

“මම දෙවියෙක් වෙන්න හිතා ගෙන කොයි තරම් කාලයක් තිස්සේ උදේ හවස දෙවියන්ට පුද පූජා කළා ද? ස්තෝත්‍ර ගායනා කළා ද? ඒත් මගේ ඒ බලාපොරොත්තුව ඉෂ්ට වුණේ නෑ” යි මළගිය ප්‍රාණ කාරයෙක් අඬන්නට වූයේය.

දෙවියන්ට මිනිස්සුන්ගේ කුරවල් වෙච්ච, වස විස බෙහෙත් ගහපු කොමඩු, අඹ, ජම්බලවලින්, කිරිබත්වලින් වැඩක් නෑ. දෙවියෝ ආහාරයට ගත්තේ අමෘතය. දෙවියන්ට වුවමනා සද්ධා බුද්ධි සම්පන්න මිනිසුන් දාන, ශීල, භාවනා කටයුතුවල යෙදී අනුමෝදන් කරන පින්, පුණ්‍ය ශක්තිය, මිනිස්සු අනුන්ගේ යහපත සඳහා දාන මාන පින්කම් කරන කොට පන්සිල්, දස සිල්, ආරක්ෂා කරන කොට ඒ මිනිසුන්ට දෙවියොත් වඳිනවා. ආශීර්වාද කරනවා. මිනිස්සු දාඩිය දාගෙන උඩ පනින නටන දේවාල අස්සට දෙවිවරු වඩින්නේ නෑ. කොණ්ඩය කඩාගෙන, බෙල්ල කරකවමින් විකාර කරන්නේ දෙවියෝ නොවෙයි, මළ පෙරේතයෝ, මෝඩයෝ ඕවාට රැවටෙනවා. ශීල, සමාධි, ප්‍රඥා කියන ප්‍රතිපත්ති පූජාවල යෙදෙන අයට දෙවියෝ ආශීර්වාද කරනවා. එහෙම ආශීර්වාද කළත් නොකළත් ඒ වගේ ගුණ ධර්ම ප්‍රතිපත්ති වඩන අය තුළ දේව ගති වර්ධනය වෙනවා. මරණයෙන් පසු බලසම්පන්න දේවත්ව ලබනවා” යි ඇතුළුකෝට්ටේ ගුප්ත ගවේෂණ මධ්‍යස්ථානය කරා ප්‍රතිකාර ගැනීමට පැමිණි රෝගියෙකුට ආවිෂ්ට වූ භූතාත්මයකට ආධ්‍යාත්මීය ගවේෂකවරයා කරුණු පැහැදිලි කළේය.

බලදේව පන්නල ප්‍රදේශයේ පදිංචි හතළිස් හැවිරිදි විවාහකයෙකි. තුන් දරු පියෙකි. ඔහුගේ නිවස තුළ රාත්‍රියට කවුදෝ ඇවිදින අඩි සද්දයක් ඇසෙන්නට විය. උගුර පාදන රැල් බුරුල් අරින හඬ ඇසෙන්නට විය. බුදු පහන හා දෙවියන්ට පහන් දල්වන තැන ඇති භාණ්ඩ සෙලවෙන හඬ ඇසෙන්නට විය. ඔහු හීනෙන් බිය වී කෑ ගසා ගෙන අවදි වෙයි. නිවසේ අඳුරු තැන්වලින් දිස්වෙන ඡායාවල් දැක බියට පත්වෙයි. තම දෑතින් බෙල්ල මිරිකාගෙන කෑ ගසයි. ආහාර අප්‍රියාවෙන් පෙළෙයි. මේ තත්ත්වයෙන් මිදෙන්නට දෙහි කැපීම්, තොවිල් පවිල් ශාන්ති කර්ම සිදු කළත් පලක් නොවීය. ඇදුරන් කෙරෙහි විශ්වාසය තබා මේ වන විට රුපියල් ලක්ෂ පහකට අධික මුදලක් නිශ්ඵලව දිය කර යවා ඇත.

මේ කිසි දෙයකින් සුවයක්, සැනසිල්ලක් නොලැබු බලදේව “සිළුමිණ” පත්‍රයේ පළවන ‘පියවි ඇසින් ඔබ්බට’ විශේෂාංගයේ සඳහන් ඇතුළුකෝට්ටේ ගුප්ත ගවේෂණ මධ්‍යස්ථානය සොයා ගෙන බිරිය සමඟ පැමිණියේය. ආධ්‍යාත්මීය ගවේෂකවරයා මුණ ගැසී තමන් පත්ව සිටින හිරිහැර කරදර පිළිබඳ විස්තර කොට ප්‍රතිකාරයක් පැතීය.

එදින ගවේෂකවරයා ශක්ති කිරණ එල්ල කරන විට බලදේව ආවිෂ්ට වී අඬන්නට විය. නොනවත්වා එක දිගට අඬන්නට වූ නිසා ගවේෂණය නතර කොට දින විසි එකක් ගමේ පන්සලේදී බෝධි පූජා පවත්වා නැවත එන්නැයි උපදෙස් දුන්නේය.

බෝධි පූජා අවසන් කොට නැවත පැමිණි දිනයේ ද බලදේව ප්‍රලය විය. ගවේෂකවරයා ප්‍රශ්න කරන්නට විය.

“කවුද මේ ශරීරයට ආවේශ වෙලා ඉන්නෙ?”

“මම බලදේවගේ තාත්තා.”

“මොකක්ද නම?”

“ධර්මරත්න”

“ඇයි ධර්මරත්න මේ තරම් අඬන්නෙ?”

“මහත්තයා මම දෙවියෙක් වෙන්න බලාපොරොත්තුවෙන් බොහොම දේවල් කළා. ඒත් දෙවියෙක් වෙන්න බැරිවුණා. ඒ දුකටයි අඬන්නෙ.”

“ඔබ දෙවියෙක් වෙන්න මොනව ද කළේ?”

“මම දෙවියන්ට මල් පහන් පූජා කළා. කැවිලි පලතුරු පූජා කළා.”

“ඔබ ඒවා කරලා තියෙන්නේ පගාවක් දෙනවා වගේ, දෙවියෝ ය කියන්නෙ ඉතා පිරිසිදු සියුම් ජීවී කොටසක්, ඒ අයට අපේ කුරවල් වෙච්ච පලතුරු අවශ්‍ය නෑ. ඒ අය සතුට භුක්ති විඳින (ප්‍රීති භක්ෂක) අය. අපි පින් දහම්වල යෙදිලා, දාන, ශීල, භාවනා කටයුතුවල යෙදිල අනුමෝදන් කරන පිනටයි ඒ අය සතුටු. හරි තමුන්ට දෙවියෙක් වෙන්න බැරි වුණා ය කියලා ඇයි මේ බලදේවට හිරිහැර කරන්නෙ?”

“මහත්තයා! මම දෙවියන් වෙනුවෙන් ම කැපවෙලා කටයුතු කළ කෙනෙක්. මම මගේ ළමයින්ට නම් දැම්මෙත් එහෙමයි. බලදේව, රණදේව, ජයදේව, දේවිකා, සුරංගනී, වගේ නම් තමයි ළමයින්ට දැම්මෙත්. ඉතින් ළමයි ලවා පින් කරවන්නයි සද්ද බද්ද ඇති කරන්නේ. ඡායාවක් වගේ පෙනෙන්න එන්නේ.”

“තමුන්ට තියෙන්නේ දේව මානසිකත්වයක්, දේව ගැතියෙක් වෙලා දෙවියෙක් වෙන්න බෑ. බෞද්ධයෝ දේව ගැත්තෝ නෙමෙයි, දේව ප්‍රියලා. දෙවියන් ප්‍රිය කරන දාන, ශීල, භාවනාවල යෙදෙන අය. හරි තමුන්ට දෙවියෙක් වෙන්න මම උදව් කරන්නම්. හැබැයි මම කියන දේවල් කරන්න ඕනැ.”

“හරි හරි මහත්තයා! කියන ඕනැ දෙයක් කරන්නම් මාව දෙවියෙක් කරනවානම්.”

“හොඳයි මම මේ බලදේවට ගමේ පන්සලේදී බෝධි පූජා දහ හතරක් තියන්න නියම කරනවා. තමනුත් ඒ බෝධි පූජාවලට යන්න ඕනෑ. බුද්ධරත්නයට, ධර්මරත්නයට, සංඝරත්නයට ඉතාම ගෞරවයෙන් වන්දනා කරන්න ඕනෑ. මේ අය තුන් සූත්‍රය කියන කොට තමනුත් කියන්න ඕනෑ. දෙවියන්ට පින් අනුමෝදන් කරන කොට තමනුත් පින් දෙන්න ඕනෑ. එතකොට සතුටු වෙන්න ඕනෑ. මේ දවස් දහ හතර බෝධීන් වහන්සේ ළඟට වෙලා ඉන්න ඕනෑ. බෝධි පූජාවලට එන අයගෙ දුක් කරදර ඉවත් වී සැප සතුට උදාවෙන්න කියලා ආශීර්වාද කරන්න ඕනෑ. ඒ වගේ ම දැන් තමුන් ඉන්නේ දෙවියෙක් වෙත ආශාවෙන්. තණ්හාවෙන්, ඒ තණ්හාව තියෙනකම් තමුන්ට දෙවියෙක් වෙන්න බෑ. ඒ තණ්හාව අතහැරලා දාන්න. හැම දෙනාට ම සුවපත් වේවා කියා මෛත්‍රී කරන්න. දුකට පත් අය දැක්කා ම කරුණාව උපදවාගෙන නිදුක් වේවා කියා ආශීර්වාද කරන්න. සැපට පත් අය දැක්කා ම ඊර්ෂ්‍යා නොකර අනේ හොඳයි කියලා මුදිතා ගුණයෙන් ආශීර්වාද කරන්නැ” යි කීවේය.

තවත් දින දහහතරක් බෝධි පූජා පවත්වා එන්නැයි බලදේවට උපදෙස් දුන්නේය.

සති දෙකකට පසු නැවත පැමිණි විට ද බලදේව දිෂ්ටි ගැන්වීය. ඔහු පියාගේ ප්‍රාණකාරයා ආවිෂ්ට විය. ගවේෂකවරයා භූතාත්මය සමඟ කතා කළේය.

“කොහොම ද? බෝධි පූජාවට ගියා ද?”

“ඔව් ගියා මහත්මයා”

“මොකද වුණේ?”

“දෙවියෙක් වුණේ නම් නෑ. ඒත් හිතට ලොකු සහනයක් ලැබුණා.”

“දෙවියෙක් වෙන්න ත්‍රිහේතුක කුසල කර්ම විපාකයක් ක්‍රියාත්මක වෙන්න ඕනෑ. තණ්හාව කියන්නේ අකුසල මූලයක්. දෙවියෙක් වීම සඳහා හිතේ තියෙන තණ්හාව ඉවත් වෙන තුරු දෙවියෙක් වෙන්න බෑ. ඒ අකුසල සිතුවිල්ල අතහරින්න. සිත පිනට දහමට යොමු කරන්න. ජීවත්ව ඉන්දැද්දි පින් නොකර දැන් කොහොම ද පින් කරන්නෙ? දානමාන දෙන්න බැරි වුණාට මෛත්‍රී, කරුණා, මුදිතා, උපේක්ඛා, සිතුවිලි ගොඩ නඟන්න. අද බෝධීන් වහන්සේලා ළඟට එන්නේ බෝධි පූජා පවත්වන්නේ දුකට පත් වුණ අය. කරදරයකට පත් වුණ අය. ඒ වගේ තැනකට ගිහින් එතැනට එන අයට මෛත්‍රී කරන්න. නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා කියලා නිරතුරුව හිතන්න, ගෙවල් දොරවල් දූ දරුවන් හිතින් අතහැරලා දෙවිවරු ළඟ තියෙන ගුණ පුරුදු කරන්න. දෙවියන් විදිහට හැසිරෙන්න. අසරණ වෙලා පිහිට ඉල්ලා ගෙන එන අයට ආශීර්වාද කරන්න. එතකොට නිකම්ම දේව ගති මතුවෙලා ඒවි.”

“හොඳයි මහත්මයා මම එහෙම කරන්නම්. මාව ඒ වගේ තැනකට යවන්නැÓයි භූතාත්මය කීවේය.

“තමුන් ජීවිත කාලයෙන් වැඩි හරියක් පොල්තෙල් පත්තු කළා. මල් පූජා කළා. කැවිලි පළතුරු පූජා කළා. කෝ ඒ දෙවිවරු. ඒ දෙවිවරුන්ගේ වරදක් නොවෙයි. තමුන්ගේ මිථ්‍යාව, අවිද්‍යාව, මෝහය, දෙවියෝ ය කියන්නේ කුසල විපාක විඳින පිරිසක්. පගාවට රස්සාවල් ගන්න පුළුවන්, පගාවට උසස්වීම් ගන්න පුළුවන්, පගාවට නීතියෙන් බේරෙන්න පුළුවන්, ඒත් පගාවට උසස් ආධ්‍යාත්මීය තත්ත්වවලට යන්න බෑ. තමන්ගේ ආධ්‍යාත්මය තමන් ම උසස් කැරගෙන ඉහළට යන්න ඕනෑ.”

නිවසේ සාංඝික දානයක් දී මියගිය පියාට පින් අනුමෝදන් කරන්නැයි බලදේවට උපදෙස් දුන්නේය. පියාගේ නම කියා පැන් වඩා පින් අත්පත් කරවන ලෙස ද කීවේය.

ඒ අනුව කටයුතු කොට නැවත පැමිණෙන විට බලදේවට ආවිෂ්ට වන භූතාත්මය යහපත් තත්ත්වයකට පැමිණ සිටියේය. භූතාත්මය සුදුමල් වට්ටියකට සම්බන්ධ කොට කැලණියට යැව්වේය. බලදේවගේ නිවසේ ඇති සියලු දේවරූප ඉවත් කොට බුදු පිළිම වහන්සේට පමණක් පහන් දල්වන ලෙස උපදෙස් දුන්නේය. දැන් බලදේවගේ නිවසේ තිබූ භූත උවදුරු ඉවත්ව ඇත.

මතුගම මහින්ද විජේතිලක
උපුටා ගැනීම සිළුමිණ

Share This Article