පවුලේ අය රණ්ඩු වෙද්දී මට හරි සතුටුයි
“අපිත් මිනිස්සු වගේ තමයි, අපටත් කෑම, බීම, ඉඳුම් හිටුම් ඕනෑ. මිනිස්සුන්ටත් මොන රාජකාරියේ යෙදුණත් කෑම බීම නැතුව බැහැනෙ, ඔය ගැන බුදු හාමුදුරුවොත් කියලා තියෙනවා” යි බලවත් ප්‍රේතයෙක් මිනිසෙකුට ආවිෂ්ටව කීවේය.
“මොනවා ප්‍රේතයෝ බුදු හාමුදුරුවෝ ගැනත් දන්නවා නේද? කොතැන ද උන් වහන්සේ එහෙම දේශනා කර තියෙන්නෙ? යි ආධ්‍යාත්මීය උපදේශකවරයා ප්‍රේතයාගෙන් ඇසීය.
“ඇයි මහත්තයා ඒක නාම කිං? සබ්බේ සත්තා අහාරට්ඨිතිකා කියලා දේශනා කර තියෙන්නේ. සියලු සත්ත්වයන්ට ම ආහාර අවශ්‍යයි. ඒකයි පළමුවැනි වුවමනාව කියලා.”
“බණ දහම් දැන ගෙනත් මොකද මේ දුගතියක ඉපැදුණේ?”
“බණ දහම් ඇහුවට, පාඩම් කළාට ඒ දැනුම විතරක් මදි මහත්තයා. පිළිපදින්නත් ඕනෑනෙ. මම ජීවත්වුණේ තරහෙන් වෛරයෙන්, කේන්තියෙන්, මරණාසන්නයේදීත් ඒ සිතුවිලිමයි ක්‍රියාත්මක වුණේ. ඉතින් මේ වගේ දුගතිගාමී ආත්ම භාවයක ඉපදෙන්න සිද්ධ වුණා. කර්මයට අනුව විපාකය ලැබුණා. දැන් දුක් විඳිනවා” යි ප්‍රේතයා කීවේය.
“දැන් ඔබේ ආහාරය මොනව ද?”
“මිනිස් සිත තරහෙන්, වෛරයෙන්, නිතර කේන්ති ගිහින් ක්‍රියාත්මක වෙන කොට ඒක ලේ ධාතුවටත් බලපානවා. ලේ ධාතුව කළු වෙනවා. රත් වෙනවා. කේන්ති ගියහම ශරීරයේ ලේත් කෝප වෙනවා. ඒ ලේ ධාතුවෙන් ඉතා සියුම් රශ්මියක්, කිරණක් නිකුත් වෙනවා. ඒ නිකුත් වෙන රශ්මිය මම වගේ අයට ප්‍රියයි, සුවඳයි, රසයි, ඒ සුවඳ උරා ගන්නවා. ඒ ද්වේෂයේ සුවඳින්, රසයෙන්, අපේ සියුම් ශරීර පෝෂණය වෙනවා. මිනිස්සු රණ්ඩු වෙනවාට මම වගේ භූතාත්ම හරිම කැමතියි. අපිට රණ්ඩු කරවන්නත් පුළුවන්. ඇයි? අපට අවශ්‍ය ආහාර ලබා ගන්න ඕනෑනෙ. ඔය මිනිස්සු කතාවටත් කියන්නේ මට ඒ වේලාවෙ යකා වැහුණයි කියලා. ඔන්න ඕකට තමයි.”
කැලණියට නුදුරු ගමක පදිංචි සුමනදාස හැට දෙහැවිරිදි විශ්‍රාමික ගුරුවරයෙකි, ඔහුගේ බිරිය ද විශ්‍රාමික ගුරුවරියකි. මොවුන්ට දියණියන් තිදෙනෙකු හා පුතුන් දෙදෙනෙකු සිටිති. මේ පවුලේ අය නිතර ම ගහබැණ ගනිති. රණ්ඩු කරති. ළමයි පස් දෙනා ද සම්මුඛ පරීක්ෂණයකට ගියත් එතැන අය සමඟ ගැටී අමනාප වීම නිසා රැකියාවක් පවා සොයා ගත නොහැකිව සිටිති. මවුපිය දෙදෙනා ද එසේ ම ය. බඩුවක් මිල දී ගන්නට කඩේකට ගියත් එතැන අය සමඟ ගැටෙති. බහින් බස් වෙති. අහල පහල අය සමඟ ද අමනාපය. මොවුන් ගේ හැටි දන්නා නිසා අසල්වාසීහු ද ඇයි හොඳයියක් නැත. ගෙදර අය එකෙකුට එකෙක් සමඟියක් නැති නිසා කතා බහක් නැති පාළු ගෙයක ස්වභාවයක් ගෙන ඇත. කතා කළොත් ඒ වචන දිග්ගැහී රණ්ඩුවකි. කෙසේ නමුත් මොවුන් ගේ තත්ත්වය දන්නා බුද්ධිමත් සමීප නෑයෙකුගේ මෙහෙයවීමෙන් මේ පවුලේ හත් දෙනා ඇතුළුකෝට්ටේ ගුප්ත ගවේෂණ මධ්‍යස්ථානය වෙත කැඳවගෙන පැමිණියහ. ආධ්‍යාත්මික උපදේශකවරයා විස්තරය අසා ශක්ති කිරණ එල්ල කරන විට සුමනදාස ප්‍රලය වී “මම මුන්ව මරාගෙන මැරෙනවා” යි කෑගසාගෙන සිහිසුන්ව වැටුණේය. ගමේ පන්සලේ දී බෝධි පූජා විසි එකක් පවත්වා නැවත පැමිණෙන ලෙස ගවේෂකවරයා ඔවුන්ට උපදෙස් දුන්නේය. ඒ අනුව ඔවුන් බෝධි පූජාව සඳහා මල් තැබුවේ ද සූදානම් වුණේ ද බහින් බස් වෙමිනි. එහෙත් මේ පවුලේ අය නිතර අමනාපයෙන්, තරහෙන්, රණ්ඩු කරමින්, ජීවත්වීමේ අප්‍රසන්නතාව වටහා ගෙන සිටි නිසා බෝධි පූජාවලට ගියහ. බෝධි පූජා අවසන් කොට ඔවුහු නැවත පැමිණියහ. ඒත් පවුලේ අය අතර අසමගිය ගහබැණ ගැනීම අඩුවක් නොවූ බව අනාවරණය වීය. එදින ද සුමනදාස ප්‍රලය වී අරූව මරණව, මූව මරණව, අරකිව මරණවා, මේකිව මරණවා යි දත් සපමින් තරහකින් ඔවුනොවුන්ට බැණ වදින්නට විය. ඔවුන්ට තවත් දින හතක් බෝධි පූජා පවත්වන ලෙස ගවේෂකවරයා නියම කළේය. ඊට අමතරව පවුලේ අය ගෙදර දොරවල් වසා දමා වෙන වෙනම ඥාතීන්ගේ ගෙවල්වල නතර වී මේ බෝධි පූජා පවත්වන ලෙස ද උපදෙස් දුන්නේය. ඒ උපදෙසට අනුව ඔවුන් ඥාතිවරුන්ගේ ගෙවල් කීපයක නතර වී ඒ ඒ ගම්වල පන්සල්වලට ගොස් එම සතියේ බෝධි පූජා පැවැත්වූහ. එසේම වෙන් වෙන්ව නේවාසිකව ඉඳිමින් වෙන් වෙන්ව බෝධි පූජා පවත්වා සතියකට පසු නැවත ගුප්ත ගවේෂණ මධ්‍යස්ථානය කරා පිරිස පැමිණියහ. මේ කාලය තුළ එවැනි රණ්ඩු සරුවල් ගහබැණ ගැනීම් සිදු නොවූ බව ද සතුටින් ප්‍රකාශ කළහ. එදින ද ගවේෂකවරයා ශක්ති කිරණ එල්ල කරන විට සුමනදාස ප්‍රලය විය. වෙනදා මෙන් නපුරු ගති පෙනෙන්ට නොවීය. ගවේෂකවරයා ප්‍රශ්න කිරීම් ආරම්භ කළේය.
“කවුද මේ ශරීරයට ඇතුළු වෙලා ඉන්නෙ?”
“මාව බන්ධනය කරලා තියෙන්නෙ”
“ඔය මම අහපු ප්‍රශ්නයට උත්තරය නෙමෙයිනේ. මම ඇහුවෙ ඔය කවුද කියලා.”
“කියන්නෙ නෑ. ඒක කියන්න තහනම් කරලයි එව්වේ.”
“කවුද එව්වෙ?”
“ඒකත් කියන්න බැහැ”
“මොකටද එව්වේ?”
“මේ පවුලෙ අයව මරන්න.”
“ඇයි ඉතින් මෙච්චර කල් එක් කෙනෙක්වත් මරාගන්න බැරි වුණේ?”
“මෙතැන මට හොඳට කෑම තියෙනවා. මැරුවොත් ඒ කෑම මට නැතිව යනවා. ඒ නිසා මැරුවෙ නෑ.”
“මොනවද ඔය තරම් කැමති ආහාරය”
“මුන් ළඟ පුදුම සුවඳක් තියෙනවා. මේ අයගෙ ශරීරවලින් වහනය වන සුවඳට මම හරිම කැමැතියි. මම ඒ සුවඳ ආහාරයට ගන්නවා.”
“මොකක්ද ඔය විශේෂ සුවඳ?”
“ද්වේෂයේ සුවඳ. ද්වේෂයේ සුවඳ. මේ අයට කේන්ති ගියාම මේ ශරීරවල ලේ රත්වෙලා නිකුත් වෙන සුවඳ මම උරා ගන්නවා. මාව එව්වේ මේ අයව මරන්න. කෝප කළාම බැණ ගන්නවා. ගහ ගන්නවා. මරා ගන්න තරමට ඒ රණ්ඩු දුරදිග යන්න මම ඉඩ තියන්නේ නෑ. මට ආහාර ඕනෑ වුණාම කේන්ති ගන්වා රණ්ඩු කරවනවා. ඉතින් දූලා දූලා රණ්ඩු කරනවා. පුතාලා පුතාලා රණ්ඩු කරනවා. දූලා පුතාලා රණ්ඩු කරනවා. මහ ජෝඩුව රණ්ඩු කරනවා. දරුවොයි මහ දෙන්නයි රණ්ඩු කරනවා. ඒ වෙලාවට මේ ශරීරවල ලේ රත් වෙලා පිටවෙන සුවඳ මම ආහාරයට ගත්තා.”
“ඉතින් මේ පහුගිය සුමානෙ එහෙම වුණේ නෑ නේද?”
“ඔව් මහත්තයා. මහත්තයා කිරණ අල්ලන කොට මම දුර්වල වුණා. ඒ වගේ ම මේ අය බෝධි පූජාවලට ගියාම මමත් ගියා. ඒ වෙලාවට මගෙත් වෙනසක් ඇතිවුණා.”
“ඒ කොහොම ද?”
“බෝධි පූජා කරන කොට, ගාථා කියන කොට තුන් සූත්‍රය කියන කොට, මෛත්‍රී භාවනාවේ යෙදෙන කොට, අර ලේ සුවඳ දැනුණේ නෑ. ඒ වගේ ම පිට ගෙවල්වලට යන්න මට අවසර නැති නිසා ඒවාට ගිහින් මේ අය කේන්ති යවන්න බැරිවුණ නිසා මට ආහාර අඩුකමකුත් ඇතිවුණා. අනිත් කාරණාව මහත්තයා, අර බෝ මළුවෙ ඉඳගෙන මේ අය බුදුගුණ කියන කොට මම කරන්නෙ පව්කාර වැඩක් නේද කියලත් මට හිතුණා. ඕක තමයි මගේ ඇතිවුණ වෙනස.”
“ඔව්! ඔව්! ඔබ කරන්නේ මහා පව්කාර වැඩක්. පෙර අකුසල් නිසා දුගතියක ඉපදිලා, ඒ මදිවට දැනුත් පව් කරනවා. පවුලකට ම දුක් දෙනවා. කට්ටඩියකුට අහුවෙලා බන්ධනයකට බැඳිලා අනුන්ට දුක් දෙනවා. මොන තරම් හිරිහැරයක් ද බන්ධනයක අහුවෙලා ඉන්න එක. තමන්ගෙ නිදහසත් නැති කරගෙන. සුගතිගාමී වෙන්න හිතන්න, දුගතියෙන් මිදෙන්න හිතන්නැ” යි භූතාත්මයට උපදෙස් දුන්නේය.
සුමනදාසටත් පවුලේ අයටත් වෙනම උපදෙස් දුන්නේය. පාන්දර හතරට අවදි වී නිවසේ හත් දෙනාම බුද්ධ වන්දනාව කැර තුන් සූත්‍රය සජ්ඣායනා කරන ලෙසත් මෛත්‍රිය වඩන හැටිත් විස්තර කළේය. යළිත් රාත්‍රියට ද එසේම කරන ලෙසත් කීවේය.
මම නිදුක් වෙම්වා, නීරෝගී වෙම්වා, සුවපත් වෙම්වා යි තමන්ට මෛත්‍රී වඩා මා මෙන් ම සියලු සත්ත්වයෝ ද සැප කැමැත්තෝ බව සිතා සියලු සත්ත්වයෝ නිදුක් වෙත්වා, නීරෝගී වෙත්වා, සුවපත් වෙත්වා යි දිගින් දිගට අනන්තය දක්වා වෙසෙන සියලු සත්ත්වයනට මෛත්‍රිය පතුරුවා පවුලේ එක් එක් අය වෙන වෙන ම ගෙන ඔවුන් කෙරෙහි ද එසේ ම මෛත්‍රී කරන්නට උපදෙස් දුන්නේ ය.
මේ වන විට අමනුෂ්‍යයා ඉවත්ව යන්නට කැමැති වී සිටි බැවින් ආධ්‍යාත්ම ශක්තියෙන් බන්ධනය පුපුරුවා හැර භූතයා නිදහස් කැර දැම්මේය. පවුලේ සියලු දෙනාටත් නිවසටත් ආධ්‍යාත්මීය ආරක්ෂා දැම්මේ ය.
උපුටා ගැනීම සිළුමිණ