චන්දන ඇඟ ගාලා - කොණ්ඩෙ කඩා දාලා දිය කඩිත්තෙ වතුර නාපු - වඳුරු යක්‍ෂණී
දොහක් අපේ බැද්දෙ ගොයියකුට මහ භයානක සිද්ධියකට මූණ දෙන්ඩ වුණේ බැද්දෙදි පැලේ හොඳ ගානට නිදි වැදල හිටපු මේකාව මහ රෑ ජාමෙම රවට්ටගෙන මහ වනන්තරේ මැද්දට කැටුව ගොහින් වින කටින්ඩ හදල තිබුණෙ වඳුරු යක්ෂණී කියන මහා බලගතු යකින්නක්. මේ යකින්නගේ ජාමෙට ඒකි බලගතු වෙච්ච වෙලාවට මොන තරම් බලගතු එකකුට වුණත් බේරෙන්ඩ හම්බු වෙන්නේ නෑ. මොන තරං බලතු මන්තර සාස්තරේකටවත් යටත් කොරගන්ඩ ලැබෙන්නේ නෑ.
හද්ද ඉඩෝර කාලයක් වෙච්ච ඒ කාලෙ මේ කියපු අපේ ගොයිය ඇඳිරි වැටීගෙන එනකොට ගොහින් දිය කඩිත්තක් සේදියෙ උගේ ගිනි බටේ බැඳල ආව. යාන්තමට මඩ වතුර ටිකක් ඉතුරුවෙලා තිබිච්ච ඒ දිය කඩිත්තට රාත්‍රියට සත්තු ඇදුණෙ උන්ගෙ පිපාසාව නිවාගන්ඩ. කොහොම හරි බැද්දෙ එකාලත් මේ නියං සාය හොඳට දැනෙන්ඩ අරං තිබුණ හින්දම උනුත් උන්ගෙ කුස ගින්දර නිවාගන්ඩ ඕනෑ දෙයක් කොරගන්ඩ ලෑස්ති පිට හිටියෙ.
ඉතින් මේකාත් ගිනි බටේ ගැට ගහල පැලට ඇවිත් කුදගහගෙන ඉද්දි හරියටම රෑ මැදියමේ ඇහුණ වෙඩිල්ලක සද්දෙ. මූ දැනගත්ත මොකෙක් හරි සතෙක් වැටුණ විත්තිය. වැටිච්ච එකා හොයල ඇන්න ආවේ නැත්නම් ඒකා තවත් සතකුගෙ ගොදුරක් වෙන්ඩ පුළුවන් කියල මේ ගොයියා දැනන් හිටියා. ඒ හින්දම මහ රාත්‍රියෙම උගේ බේත් කොටන බටෙන් ඇන්න ඌ මූකළානට රිංගුව.
උගෙ ගිනි බටේ ගැට ගහපු දිය කඩිත්ත සේදියට යනකොටම ඇහෙන්ඩ ගත්ත දිය කඩිත්තෙ මොකෙක් හරි දඟලන සද්දෙ. මොකාද කියල කිට්ටු කොරල බලනකොට දිය කඩිත්ත පිරෙන්න වතුර පිරිල. මෙහෙම වුණේ කොහොමෙයි කියල හිතන්ඩත් කලින් අපේ ගොයිය හිතල තිබුණේ මේ දියෙ බැහැගෙන දඟලන එකා මොකාද කියල. එතකොට තමයි මුගේ සරුවාංගෙ වෙවුලන්න ගත්තෙ. මේ රෑ මැද්දෑවෙ ගැටිස්සියක් දිය කඩිත්තට බැහැල දිය නානව. දෙලෝ රත්වෙච්ච මේ ගොයියට අග මුල ඇතුව හැම දේම වැටහුණේ එතකොටයි. උන්දැ ඉක්මන් කොරල තමන් බැඳපු ගිනි බටේ තියන තැනට යන්ඩ හදද්දිම මෙන්න ඒක පත්තු වුණා. ආයේ සැරයක් කොහොමද මේක පත්තු වුණේ කියල හිතන්ඩ වෙලාවක් වුණේ නෑ. දිය කඩිත්තෙ බැහැගෙන හිටපු ගැටිස්සි මුළු වනන්තරේම දෙවනත් වෙන්ඩ මහ හයියෙන් හිනා වුණේ නැතෑ. අපේ එකාට තේරුණා මේ තමුන්ව කොටු කරගන්ඩ අමනුස්ස දෝෂයක් අටෝපු උගුලක් බව. තමන්ගෙ බේත් කොටන ගිනි බටෙන් මිරිකල අල්ල ගත්තු මේකා පය ඉක්මන් කොරල ආපහු වනන්තරෙන් එළියට බහින්ඩ පටන් ගත්ත. ඒත් විඩෙන් විඩේ මේකාගේ කරේ තියෙන ගිනි බටෙන් කවුදෝ පස්සට අදිනව. හැබැයි ඉතින් ඌ නෙවෙයි නිකමටවත් පස්ස හැරිල බැලුවෙ. ඌ දන්න කියන අදහන දෙවිවරුන් සිහිකර කර කොහොමහරි වනන්තරෙන් එළියට ගාටල තිබුණ. ඒත් වනන්තරෙන් එළියට ආව ගමන් මුන්දෑ සිහි මූර්ඡා වෙලා බිම පත බෑවිලා ඒ මදිවට නහයෙන් කටෙන් ලේ හලාගෙන. පහුවදා එළිවෙන ජාමේ බැද්දෙ එකාල දැකල බැද්දෙ කට්ටඩිරාල ගාවට නොගිනියන්ඩ මේකා මෙලොව අත ඇරල යන්ඩත් ඉඩ තිබුණා.
උපුටා ගැනීම මව්බිම