Biz Log
Classifields
Biz Log
Classifields

ලොකු කළගෙඩියක් විතර බඩක් තිබුණට කන්න කටක් නැතිව මං කන්නේ කොහොම ද?

ලොකු කළගෙඩියක් විතර බඩක් තිබුණට කන්න කටක් නැතිව මං කන්නේ කොහොම ද?

“දීලා කාලා පුරුදු නැති මිනිස්සු කොට්ඨාසයක් ලෝකෙ ඉන්නවා, තමන්ගෙ බඩ කට පුරවා ගන්න විතරයි ඒ අයට ඕනෑ. හරියට රහට ගුණට කෑම ටිකක් කන්න නැති අය අප රටේ කොයි තරම් ඉන්නව ද? අනුන්ට කෑම වේලක් නොදෙන දානයක් මානයක් නොදුන් අය අපාගත වෙලා අනන්ත දුක් විඳිනවා. මහත්තයා මමත් ඒ වගේ දුක් විඳින කෙනෙක්, මතක ඇති කාලෙක කුසට අහර ටිකක් වැටුණෙ නෑ. වතුර පොදක් පෙවුණේ නෑ” යි බණ්ඩාරගම සේපාල නමැති කාර්මික නිලධාරියෙකුට ආවිෂ්ට වූ ප්‍රේතයෙක් ගුප්ත ගවේෂණයක දී කීවේය.

“මොකක්ද තමන්ගෙ නම?” යැයි ගවේෂකවරයා ඇසීය.

“මගේ නම සුනිල්, පහළ කඩේ සුනිල් කීවා ම ඕනෑ කෙනෙක් හඳුනනවා.”

“ඇයි මේ සේපාලගෙ ඇඟට රිංගුවේ?”

“මෙයාගෙ ගෙදර නිතර ම තෙල් කෑම කනවා. ඒ නිසා මමත් මෙයා එක්ක ආවා.”

“ඇයි එහෙම ආවෙ?”

“මෙයාගෙ ළමයි දෙන්නා බත් කන්න කැමති නෑ. හැමදාම හැන්දෑවට සේපාල වැඩ ඇරිලා ගෙදර යනකොට මගේ කඩෙන් කොත්තු දෙකක් ගෙනියනවා. සේපාලව දැක්ක ගමන් මට ඒක මතක් වුණා. කොත්තුවල රහ මතක් වුණා. ඉතින් සේපාලගෙ බයිසිකලේට නැගල පිටිපස්ස සීට් එකේ වාඩි වෙලා ගියා.”

“තමුන් මැරිලා කොයි තරම් කාලයක් වුණා ද?”

“අවුරුදු හයක් විතර වෙනවා.”

“දැන් කඩේ කරන්නෙ කවුද?”

“මගෙ පුතාලා”

“මොනවා වෙලා ද මැරුණෙ?”

“වයසට ගිහින් කන්න බැරුව”

“දැන් මොනව ද කරන්නෙ?”

“දුක් විඳිනවා. අනන්ත දුක් විඳිනවා. හැම තත්පරයකම කුස ගින්නෙන් පිපාසයෙන් දුක් විඳිනවා.”

“ඉතින් පුතාගෙ කඩේ තියෙන කෑම කන්න පුළුවන් නේද?”

“මට කන්න බොන්න බෑ මහත්තයා. කරුම විපාකෙ හැටියට මට කන්න බොන්න කටක් නෑ. ලොකු කළගෙඩියක් වගේ බඩක් තියෙනවා. ඉතින් කටක් නැතුව කන්නෙ කො‍හොම ද? ඉඳිකටු තුඩක් දාන්න පුළුවන් තරමෙ පුංචි සිදුරක් කට වෙනුවට තියෙන්නෙ. නහයට තෙල් කෑමවල සුවඳ දැනෙනවා. අර පුංචි සිදුරෙන් ඒ සුවඳ උරනවා. එතකොට තවත් කුස ගින්න පිපාසය දැනෙනවා. මේක මහා ගින්නක්. කුස තුළ ඇවිලෙන ඒ ගින්නෙන් දැවි දැවී දුක් විඳිනවා. කඩේ තියෙන කෑම දැක්කම දුක වැඩියි ඒක නිසා සේපාල දවසක් කොත්තු රොටි අරගෙන යන කොට මෙයාගෙ බයික් එකේ ම නැගල ආවා.”

“මොකක්ද ඔය විඳින දුකට හේතුව?”

“මහත්තයා මම හොඳට කෑවා බිව්වා මිසක් පිනක් දහමක් කළේ නෑ. දන් කටක් පූජා කළේ නෑ. සල්ලි බාගෙ තිබුණ නිසා සැප විඳින්න තමයි හිතුවේ. අනුන්ගෙ ගෙවල්වලට රිංගුවා. බලහත්කාරකම් කළා. අරක්කු බිව්වා. නරක විදිහටමයි ජීවත් වුණේ.”

“තමුන් ජීවත්ව ඉන්දැද්දි කරපු වැඩ හොඳ ද? නරක ද?”

“නරකයි”

“නරක නම් ඇයි දැන දැනම ඒවා කළේ?”

“ඒ වෙලාවෙ සතුටට”

“ඉතින් දැන් මොකද වෙලා තියෙන්නෙ?”

“දැන් විතරක් නොවෙයි, මැරෙන්න කලිනුත් අන්තිම දුක් විඳල මැරුණේ. කන්න බැරුව කෑමට ආසාවෙන්, පිපාසෙන් වතුර බොන්න බැරුව. එක් තැන් වෙලා නැගිටගන්න බැරුව. මළාට පස්සෙ දැනුත් එහෙමයි. ප්‍රේතයෙක් වෙලා කඩේ මිදුලෙ වැටිලා හිටියේ. වාහන වලට යට වෙනවා. ආයෙත් ඒ වගේ ම උපදිනවා. නැගිට ගන්න බැරිව සේපාලගෙ නතර කරපු බයිසිකලේ එල්ලිලා තමයි පස්ස සීට් එකට නැග ගත්තේ. දැන් සේපාලගෙ කරේ එල්ලිලා තමයි යන්නෙ එන්නේ.

සේපාල ගජනායක හතළිස් පස් හැවිරිදි කාර්මික නිලධාරියෙකි. දෙදරු පියෙකි, කුස තුළ දැඩි වේදනාවකින් පෙළෙයි. නින්දෙන් ගැස්සී ඇහැරෙයි. යතුරු පැදියෙන් ගමන් කරන විට පසු පස ආසනයේ කෙනෙක් සිටින බවට බරට දැනෙයි, අනිකුත් වේලාවට උරහිසේ එල්ලී ඇති බරක් දැනෙයි. මේ අසනීප තත්ත්වයන් ගෙන් මිදෙන්නට වෛද්‍ය ප්‍රතිකාර කොට සුවයක් නැති තැන වත් පිළිවෙත්වලට යොමු විය. එයින් ද ප්‍රතිඵලයක් නැති තැන සේපාල ඇතුළුකෝට්ටේ ගුප්ත ගවේෂණ මධ්‍යස්ථානය පිළිබඳ ‘සිළුමිණ’ පත්‍රයේ ‘පියවි ඇසින් ඔබ්බට’ විශේෂාංගයෙන් දැනුම්වත් වී බිරිය සමඟ එහි ගියේය.

එහි දී සේපාලට ආවිෂ්ට වූ බත් කඩේ සුනිල් ගේ ප්‍රාණකාරයා තමන් විඳින දුක තව දුරටත් විස්තර කළේය.

“මම අරක්කු බීලා මිනිසුන්ට අපහාස කරපු හැටි බැනපු හැටි, බලහත්කාරකම් කළ හැටි මැවි මැවි පේනවා. කුසගින්නෙන්, පිපාසයෙන් පෙළෙනවා මදිවාට ඒකෙන් තවත් දුක් වේදනා දැනෙනවා.”

“ඔය වගේ තවත් අය ඉන්නවා ද?”

“අනන්තවත් ඉන්නවා. කුසගින්නෙන් පිච්චි පිච්චී නැගිට ගන්න බැරුව වැටිලා ඉන්න අය අනන්තයි.”

“ඉතින් කොයි තරම් කල් දුක් විඳින්න වේවි ද?”

“කියන්න බෑ. මේ දුකේ වේදනාවෙන් ම දැවෙනවා මිසක ඒවා හිතට හිතෙන්නෙවත් නෑ. කාශ්‍යප බුදු හාමුදුරුවන්ගෙ කාලෙ මැරිලා ප්‍රේතයෝ වෙලා උපන්න අයත් මට මුණ ගැහුණා. අනේ බුදු මහත්තයෝ මටත් තව කොයි තරම් දුක් විඳින්න වේවි ද කියලා කියන්න බෑ...” යි ප්‍රේතයා හඬන්නට වූයේය.

“දැන් ඉතින් අඬලා වැඩක් නෑ. මේ අහක ඉන්න සේපාල මහත්තයාට කරදර කරන්නෙ තමන්ගෙ ගෙදරට යන්න බැරි ද?”

“අපොයි අපොයි ඒක නම් කරන්න බෑ.”

“ඇයි බැරි”

“මගේ හාමිනේගෙ කට හොඳ නෑ”

“ඇයි එයත් හොඳ නැද්ද?”

“නෑ... නෑ... එයා හොඳයි, හරියට පින් දහම් කළා. සිල් සමාදන් වුණා. ඒ වුණාට ළමයින්ට අවවාද කරන කොට කියනවා මහ මිනිහා ඉන්නකම් වැරැදි වැඩ ජරා වැඩ කළා. බේබද්දා, දනක් පිනක් කළේ නෑ. කෙනෙකුට ආහාර වේලක් දුන්නෙ නෑ. ඒ වගේ නම් වෙන්න එපා” කියලා. ඒවා ඇහෙන කොට මගේ ශරීරය ගිනි අරගෙන ගිනිදැල් පිට වෙනවා. අනේ! අනේ! ගෙදරට නම් යන්න බෑ.”

“එහෙම නම් අපි තමුන්ට උදව් කරන්නම් ඔය දුකෙන් මිදෙන්න. මම කියන විදිහට කරන්න ඕනෑ.”

“මහත්තයා කියන ඕනෑම දෙයක් කරන්නම් මහත්තයො මේ දුකෙන් මුදවනවා නම්.”

“ඔව් මම මේ සේපාල මහත්තයාටයි නෝනටයි දැන් බෝධි පූජා විසි එකක් නියම කරනවා. ඔබත් ඒ අය එක්ක මල් කඩන්න යන්න ඕනෑ. බෝධි පූජාවට යන්න ඕනෑ. ඒ අය ගාථා කියන කොට ගාථා කියන්න ඕනෑ. අන්තිමට පින් අනුමෝදන් කරන කොට සිත සතුටු කරගෙන අනුමෝදන් වෙන්න ඕනෑ. අන්තිමට ම බෝ මළුවෙ ඉඳගෙන මෙහෙම හිතන්න.

මම වගේ සියලු සත්ත්වයෝ ම සැප කැමැත්තෝය, ඒ නිසා ඒ සියලු දෙනා ආහාර පාන, ඇඳුම් පැලඳුම් ලබා සතුටු වෙත්වා. කායිකවත් මානසිකවත් නිදුක් වෙත්වා, නිරෝගි වෙත්වා, සුවපත් වෙත්වා කියලා හිතන්න. බුදුගුණ අනන්තයි... බුදුගුණ අනන්තයි... බුදුගුණ අනන්තයි... ඒ බුදු ගුණ බලයෙන් මම සුවපත් වෙම්වා... මම සුවපත් වෙම්වා... මම සුවපත් වෙම්වා... සියලු සත්ත්වයෝ සුවපත් වෙත්වා... සුවපත් වෙත්වා.... සුවපත් වෙත්වා කියා මෛත්‍රීය පතුරුවන්න. මෛත්‍රී වැඩීම මහා දානයක් හා සමාන ආනිශංස වැඩෙනවා. ඒ වෙලාවට චිත්ත සන්තානයේ ඇතිවන කුසල චෛතසිකයන්ගේ ශක්තියෙන් ඔබ දැන් සිටින තත්ත්වයට වඩා ඉහළ තත්ත්වයකට පත් වේවි” යි ප්‍රේතාත්මය දැනුවත් කළේය.

“හොඳයි මහත්මයා. මම ඒ උපදෙස් පිළිපදිනවා” යි ප්‍රේතාත්මය පොරොන්දු විය. බෝධි පූජා අවසන් කොට සේපාල සහ පවුලේ අය නැවත පැමිණියහ. සිහිනෙන් බියවීම, උරහිසේ බර ගතිය, යතුරු පැදියේ පිටුපස ආසනයේ තව කෙනෙකු නැග සිටිනවා යැයි දැනෙන ගතිය මේ වන විට අවසන් වී තිබුණි.

එදින ද සේපාල ආවිෂ්ට වී කතා කරන්නට විය.

“මහත්තයා! මම බෝධි පූජාවලට ගියා.” ප්‍රේතයා කීවේය.

“මොනව ද දැනුණේ.”

“හිතට සතුටක් දැනුණා.”

“ඒ සතුට තමයි පින කියන්නේ. තව දුරටත් ඒ වගේ මෛත්‍රීය කරගෙන යන්න එතකොට කටක් ලැබේවි ආහාර පානත් ලැබේවි. දැන් මේ සේපාල මහත්මයාට කරදර නොකර ඉවත් වෙලා යන්න.”

“ඔව් මහත්මයා, මම දැනටත් ඉන්නේ පන්සලේ බෝධීන් වහන්සේ ළඟ. මට එතැන හොඳයි.” යැයි බත් කඩේ සුනිල්ගේ ප්‍රාණකාරයා කීවේය.

මතුගම මහින්ද විජේතිලක
උපුටා ගැනීම සිළුමිණ

Share This Article