යන්ත්‍රයක් සමඟ යකෙකු බැඳගෙන යකාට ඕනෑ විදිහට පුතා වැඩ කරනවා
කෙනෙකු කිසි වෙහෙසක් නොගෙන හිටි හැටියේ දියුණුවේ ඉහළට යන විටත්, එසේ ම නොදැනුවත් ම වාගේ පරිහානියට පත්ව පහළට කඩා වැටෙන විටත් හේතුවක් නැතිව කිසිඳු ඵලයක් හට නොගන්නා බවත් නුවණින් සිතා විමසා බලා කටයුතු කළ යුතුය. දියුණු වන විට අසීමිත තණ්හාවෙන් වැළකී දැහැමිව සාධාරණ විය යුතුය. නැතහොත් පසුතැවීමට සිදු වෙනවා නොඅනුමානය. අනුරාධපුරයේ ප්‍රසිද්ධ ව්‍යාපාරිකයන් අතර ඉහළින් ම වැජඹුණු කෙනෙකි වීරසේන. පනස් දෙහැවිරිදි වීරසේන සිවු දරු පියෙකි. වැඩි වෙහෙසක් නොගෙන ම ඉතා ඉක්මනින් දියුණුවට පත් වූ ඔහු වී මෝල් ගණනාවක අයිතිකරු විය. ලොරි රථ විස්සක ප්‍රවාහන ව්‍යාපාරයක හිමිකරු විය. එදා එසේ කෝටිපතියකු ලෙස මුදුන් මට්ටමේ වැජඹුණ වීරසේන අවුරුදු තුනක කාලයක සිට දැඩි ආර්ථික පසුබෑමකට පත් වූයේය. වී මෝල්, ඉඩකඩම් සමඟ ම විකිණී ගියේය. දැන් ඔහු සතුව ඇත්තේ එක ම එක ලොරියක්, එදා කෝටිපතියා අද අනුන්ගේ මෝල්වල හාල් කුලියට අදින තත්ත්වයට පත්ව ඇත. එදා සිටු පවුලක් සේ ජීවත් වූ අපට මෙසේ සිදු වූයේ ඇයිදැයි වීරසේන ගේ බිරිය නිර්මලා නිතර කල්පනා කළාය. සුරාව, සූදුව, වැනි දුරාචාරයන්හි ද නොයෙදෙන වීරසේන අද ලොරි රියැදුරෙකු ලෙස දහදිය හෙළමින් දුක් විඳින අයුරු දකිමින් ඇය ද දුක් වූවා ය.
වීරසේනට ද කරුණු අවබෝධ කොට දී ඔහු සමඟ ඇතුල්කෝට්ටේ ගුප්ත ගවේෂණ මධ්‍යස්ථානයට ගියා ය. ප්‍රථම දිනයේ ගවේෂණයේ දී වීරසේන ගේ ශරීරය පැද්දෙන්නට විය. ඉන් එහා දෙයක් එදින සිදු නොවූයෙන් දින විසි එකක් ගමේ පන්සලේ දී බෝධි පූජා පවත්වා නැවත පැමිණෙන ලෙස ඊට අවශ්‍ය උපදෙස් දුන් ගවේෂකවරයා තමන්ගේ ශරීරයට භූතාත්මයක බලපෑමක් ඇතැයි ද ඒ භූතාත්මය කෙරෙහි මෛත්‍රී කරුණා ගුණයෙන් පින් අනුමෝදන් කරන ලෙස ද නියම කළේය. බෝධි පූජා අවසන් කොට නැවත පැමිණි දිනයේ ශරීරයේ පැද්දෙන ගතිය ඉවත්ව තිබුණු බැවින් ගවේෂකවරයා වීරසේන හා නිර්මලී සමඟ සාකච්ඡා කළේය. අනුරාධපුර ප්‍රදේශයේ විශාල ප්‍රමාණයේ වී මෝල් හතරක් සහ ලොරි රථ විස්සක හිමිකාරයෙක් ව සිය ගණනක් සේවක පිරිසක් සමඟ ශීඝ්‍රයෙන් දියුණුවට පත්ව සිටි නමුත් දැනට අවුරුදු තුනක පමණ කාලයක සිට කලින් සිටියාටත් වඩා ආර්ථිකයෙන් පහළ වැටී සිටින බව ඔවුහු පැහැදිලි කළහ. මේ අතර තමන් විසින් කරන ලද විශේෂ වත් පිළිවෙත් ඇදහීම් තිබුණේ දැයි ගවේෂකවරයා ප්‍රශ්න කළ විට, අවුරුදු තුනකට පෙර පොලොන්නරුව ප්‍රදේශයේ දේවාලයකට ගොස් තවත් ඉහළට දියුණුවීම සඳහා කපුවා ලවා යන්ත්‍රයක් පැලඳ ගත් බවත් වීරසේනට මතක් වී එය අනාවරණය කළේය. තවත් දින හතක් බෝධි පූජා පවත්වා නැවත පැමිණෙන ලෙස උපදෙස් ලැබුණි. තුන් වැනි දිනයේ ගවේෂකවරයා කිරණ ශක්තිය එල්ල කරන විට වීරසේන ප්‍රලය වී අඬන්නට වූයේය. ගවේෂකවරයා ප්‍රශ්න කළේය.
“කවුද මේ ශරීරයට රිංගාගෙන අඬන්නෙ?”
“මම මේ වීරසේන ගෙ තාත්තා හෙන්දිරික්.”
“ඇයි මේ අඬන්නෙ?”
“අඬන්නෙ දුකට. මගේ පුතා වුණාට මූ මහා මෝඩයා. මම මළේ මීට අවුරුදු විස්සකට විතර කලින්. මම පන්සිල් ආරක්ෂා කැර ගෙන සාධාරණව ජීවත්වුණ කෙනෙක් නිසා මම මළාට පස්සෙ මට විශේෂ හැකියාවත් තිබුණා. පුතාව දියුණු කරන්න ඕනෑ කියලා මෙයාට උදව් කළා?”
“කොහොම ද උදව් කළේ?”
“පුතාට පළමුවෙන් හිතුණේ කඩයක් දා ගන්න. මේ නිර්මලී උත්සාහවන්ත කෙල්ල. වීරසේන දවසක් නිර්මලී එක්ක තමන්ගේ අදහස සාකච්ඡා කළා. මමත් අහසේ පා වෙවී ඉන්න ගමන් මේ සාකච්ඡාව අහගෙන හිටියා. ඒ වන විට නගරයේ වසා තිබුණු කඩ කීපයක් ගැනත් මේ දෙන්නා කතා බස් වුණා. මම ඒ කඩ කීපය ගැන හොඳට සොයලා බැලුවා. එදා රෑ පුතාට හීනෙන් පෙනී ඉඳලා කිව්වා “පුතේ! මෙන්න මේ කඩ කාමරය හොඳයි. මේක ගනින්” කියලා. ඒ වගේ ම පුතාත් ඒ කඩය අරගෙන ව්‍යාපාරය ආරම්භ කළා. කුලියට ගත්ත ඒ කඩය අවුරුද්දක් ගත වෙන කොට සින්නක්කර ම ගන්න පුළුවන් වුණා.”
“ඒ කොහොම ද?”
“ඒ කඩ කාමරය අයිතිකාරයාව පුතා එක්ක මිත්‍ර කරලා පුතා ගැන පැහැදීමක් ඇති කරලා සාධාරණ මුදලකට පුතාට ම විකුණන තත්ත්වයට මම අයිතිකාරයාගේ හිත පෙලඹෙව්වා.”
“ඊට පස්සෙ?”
“ඊට පස්සෙ පුතා ඉහළටම දියුණු වුණා. මේ මෝඩයාගෙ හිතට, අධික තණ්හාව ඉහට ගැහැව්වා. මේ තරම් ඉහළට දියුණු වෙලත් ඒක මදි වෙලා දේවාල ගණනෙ යන්න හිටියා. පොලොන්නරුවෙ දේවාලයකට ගිහින් රුපියල් ලක්ෂයක් දීලා යන්ත්‍රයක් පැලඳ ගත්තා. මුගේ ඔලමොට්ටලකමක මහත. ඒ කපුවා ඒ යන්ත්‍රයට යකෙක් බන්ධනය කළා උගේ වාසියට. අපේ මෝඩයාව නිතර දේවාලයට ගෙන්නා ගන්න වුවමනා විදිහට. ඒ යන්ත්‍රයත් එක්ක යකා බැන්දුණාට පස්සෙ යකාට ඕනෑ විදිහටයි පුතා වැඩ කළේ. ඒ යකා මට ඉන්න දුන්නෙ නෑ. ඌ මාව පන්නා ගත්තා. මට උදව් කරන්න ඉඩ නොලැබී ගියා. ව්‍යාපාර උපක්‍රම නැතුව ගියා. මෙයා අන්තයට ම පිරිහුණා. මේ නිර්මලී දුවගෙ නුවණ නිසයි මෙතැනට ආවෙත්.” යැයි පියාගේ භූතාත්මය කීවේය.
“ඉතින් ඒ දේවාලයෙන් එවපු යකා දැන් කෝ?” යි ගවේෂකවරයා ඇසීය.
“ඌ ගෙදර හැංගිලා ඉන්නවා. මෙහෙට එන්නේ නෑ. ඒක නිසා තමයි මට අදත් පුතාට කිට්ටු වෙන්න පුළුවන් වුණේ. අනේ මහත්තයා මේ මෝඩයට අවවාද කරලා ආරස්සා කැර දෙන්න. පින් සිද්ධ වේවි.” වීරසේන ගේ ශරීරයෙන් පියා ගේ භූතාත්මය ඉවතට යවා ඒ වන විට නිවසේ සැඟවී සිටි යක්ෂයා ගෙන්වා වීරසේනට ආවිශ්ට කොට ගවේෂකවරයා ප්‍රශ්න කළේය.
“කවුද මේ ශරීරයට ඇතුළු වෙලා ඉන්නෙ?” එහෙත් යක්ෂයා කතා කළේ නැත. දිව එළියට දමා හිස දෙපසට වනන්නට විය. දෑස් ලොකු කැර ගෙන භයංකර විලාසයක් මවා පෑවා මිසක කතා කළේ නැත. කෙළ විසිරුවමින් වේගයෙන් හිස දෙපසට වනන්නට වූයේය. ගවේෂකවරයා වේවැල් පහර දෙක තුනක් ගසා යක්ෂයා පාලනය කොට වීරසේනගේ ශරීරයෙන් එළියට ඇද පන්නා දැම්මේය. නැවතත් පියාගේ භූතාත්මය ගෙන්වීය.
“මේ කවුද?” යි ගවේෂකවරයා ඇසීය.
“මම හෙන්ද්‍රික්නෙ මහත්මයා.”
“එහෙම වෙන්න බෑ. හෙන්ද්‍රික් දැනට අවුරුදු විස්සකට කලින් මළා කියලා තමුන්ම නේද කිව්වෙ?”
“ඔව් මහත්මයා”
“බුදු දහමේ හැටියට මේ ‘මම’ ය, ‘පුද්ගලයා’ ය කියා හිතාගෙන ඉන්න ශරීරය සකස් වී තියෙන්නේ නාම රූප දෙකෙන්. මේ නාම රූප පරම්පරාවෝත් සෑම ක්ෂණයක් පාසා ම වෙනස් වෙනවා. ක්ෂණයක් පාසා ඉපිද ජරාවට පත්ව නිරුද්ධ වෙන රූප කලාප කෝටි ප්‍රකෝටි ගණනකින් සෑදී ඇති ශරීරය තුළ සිටි හෙන්ද්‍රික් මැරිලා හුඟක් කල්. දැන් ඔබ සිටින්නේ පුතා ගැන ආදරයෙන් බැඳුණු උපාදානය නිසා භූතාත්මයක ඉපදිලා ඉන්නෙ. මේ විදිහට දූ දරුවන් දේපළ වස්තුව බදාගෙන ඉඳලා වැඩක් නෑ.”
“ඔව්... ඔව්... මහත්තයා මමත් හිතෙන් දුක් විඳිනවා. මටත් මේවා අතහැරලා යන්න ඕනෑ.”
“බොහොම හොඳයි, ඔබට කුසල සිතුවිල්ලක් ඔය පහළ වෙලා තියෙන්නේ, තමන් කැමැති කොයි වගේ තැනකට ද යන්න?”
“මම ශ්‍රී මහා බෝධීන් වහන්සේ ළඟට යන්න ආසයි.”
“හොඳයි අපි ඔබව අනුරාධපුරයට යවන්නම්”
“එපා මහත්තයා කරදර වෙන්න එපා. මට ශ්‍රී මහා බෝධීන් වහන්සේ හොඳට හුරු පුරුදු තැනක්. මට තනියම යන්න පුළුවන්. මහත්තයා මගේ පුතාට අවවාද උපදෙස් දෙන්න. මම මෙච්චර කල් උදව් කළා ඇති.”
“ඔබ මොනවා ද ඔයතරම් කළ උදව්?”
“අර යකා එන්න කලින් පුතාට හොඳ ගනුදෙනු කරුවන් යොමු කළා. පුතාට ලාබ ලැබෙන විදිහට ඒ අය සහයෝගය දුන්නා. පුතා බේකරියක් දැම්මා. අවට ඉන්න පෙරේතයෝ ඒ කෑමවල රස - ඕජාව උරාගන්න නිසා මම උන් පන්නා දැම්මා. කෑම රසවත් නිසා බේකරිය දියුණු වුණා. ඒවා මගේ වැඩ. එක වතාවක් රාත්‍රියක වී මෝලක විදුලි කාන්දුවක් ඇති වුණා. මම පුතාට හීනෙන් පෙනී ඉඳලා කිව්වා වහාම අසවල් වී මෝලට යන්න ඒක ගිනි ගන්නවා කියලා පුතා නින්දෙන් නැගිටලා වහාම ඒ වී මෝලට ගිය නිසා ගින්නෙන් හානි නොවී බේරුණා. පුතා යන කොට වී මෝලෙ මුරකාරයෝ බීලා ගොරව ගොරවා නිදි. මම අන්න ඒ වගේ උදව් තමයි කළේ, දැන් ඉතින් මම අනුරාධපුරයට යනවා” යි භූතාත්මය නික්ම ගියේය. ගවේෂකවරයා නැවතත් උත්සාහයෙන් ධෛර්යයෙන් ව්‍යාපාර ආරම්භ කරන ලෙස ද අධික තණ්හාවෙන් හඹා නොයන ලෙස ද වීරසේනට උපදෙස් දුන්නේය. පවුලේ අයටත් නිවසටත් ආධ්‍යාත්මීය ආරක්ෂා යෙදීය.
මතුගම මහින්ද විජේතිලක
උපුටා ගැනීම සිළුමිණ