මියගියත් මුනුපුරා අත්නොහළ මිත්තණිය
කොළඹ නගරයේ ජනාකීර්ණ ප්‍රදේශයක උපත ලද රුක්ෂාන් දහ අට හැවිරිදි ය. ඔහු උපදින විට සාමාන්‍ය ව්‍යාපාරයක් කළ ඔහු ගේ පියා දැන් සෑහෙන ධනවතෙකි. මව ද පියාගේ කටයුතුවලට පූර්ණ කාලීනව සහය වූවාය. රුක්ෂාන් පදිංචියට ආසන්න සාමාන්‍ය පාසලේ අධ්‍යාපනය ලැබීය. මේ දරුවාගේ සමීප ඥාතියා වූයේ ආච්චි අම්මා ය. ඇය අසනීප වී මිය ගියා ය. මෙයින් අවුරුදු හතරකට පෙර සිට රුක්ෂාන් ගේ කොඳු නාරටිය ඇද වෙන්නට විය. කට ඇද විය. කතාව ගොත ගසන්නට විය. මවු පිය දෙදෙනාගේ ලෝකයේ පුතා නැත. පුතා ජීවත් වූයේ ආච්චිගේ ලෝකයේ ය. එහෙත් දැන් දැන් එන පොට හොඳ නැතැයි බියට පත් මවුපියෝ දවසේ ව්‍යාපාර කටයුතු නිමා කොට හැන්දෑවට පුතා සමඟ ගොස් වෛද්‍ය විශේෂඥයන් මුණ ගැසුනි. ස්කෑන් වාර්තාවලින් අද අනාවරණය කරන ආබාධය දෙසතියකින් නැවත බලන විට වෙනත් එකකි. එක එක හේතු පෙන්වනු ලබයි. රෝගය එතැන ම ය. රෝගය ඖෂධ ප්‍රතිකාරවලින් සුව නොවන විට තොවිල් පවිල් හා වත් පිළිවෙත් කරන්නට විය. දැන් සමහර වෙලාවට රුක්ෂාන්ගේ ඉහත කී පංචේන්ද්‍රියයන් ගේ එක් එක් ඉන්ද්‍රිය අක්‍රියව ඇති සේ බාහිරව පෙනෙන්නට විය. වරෙක දෑස් නොපෙනෙන කෙනෙකු සේ ඇසි පිය නොහෙළා බලා සිටින්නට විය. තවත් වරෙක කන නෑහුනා සේ සිනාවෙයි. තවත් විටෙක මොන මොනවාදෝ කියවයි. දැන් මේ කාර්ය බහුල වූ මවුපිය දෙදෙනාට ඉහ මොළ රත්ව ඇත්තේ ය.
මීට අවුරුදු හතරකට පෙර ආච්චි ද පරලොව ගොස් සිටි බැවින් දරුවාගේ වගකීම පවරා යන්නට කෙනෙකු ද නොවීය. දරුවාගේ දකුණු පැත්ත පණ නැති විය. පාසල් ගමන ද නතර විය. රුපියල් ශත සෙවීම ජීවිතයේ එක ම කාර්යය කොට ගෙන සිටි මේ මවුපියන්ට පොතක් පතක් පත්තරයක් බලන්නටවත් වේලාවක් නොතිබුණි. දිනපතා පත්තර බලන අසල් වැසියෙක් ඇතුල්කෝට්ටේ ගුප්ත ගවේෂණ මධ්‍යස්ථානය පිළිබඳ මේ දෙදෙනා දැනුවත් කළේ ය. ඔවුහු ඒ අනුව පුතණුවන් ද රැගෙන ගුප්ත ගවේෂණ මධ්‍යස්ථානය කරා ගොස් ආධ්‍යාත්මීය ගවේෂකවරයා මුණ ගැසිණි. එදින රුක්ෂාන් වෙත ගවේෂකවරයා ශක්ති කිරණ එල්ල කරන විට ඔහු වෙව්ලන්නට විය. කතා කරන්නට උත්සාහ කළත් ගොත ගතිය වැඩිවීම නිසා කතා කළ නොහැකි විය. දින විසි එකක් ගමේ පන්සලේ බෝධි පූජා විසි එකක් පවත්වා නැවත එන්නැයි උපදෙස් දුන්නේ ය.
“මහත්තයා! මේ බෝධි පූජාවට අපි යන්නම ඕනැද?” පියා ඇසීය.
“ඇයි එහෙම ඇහැව්වේ?”
“අපි නොගිහින් වෙන කෙනෙකුට මුදල් ගෙවලා ඒ බෝධි පූජාව තිබ්බොත්?” “ඒ බෝධි පූජාව තියන එක්කෙනාට හොඳයි. ළමයා සනීප වෙන එකක් නෑ, ඇයි මහත්තයලට යන්න බැරි?”
“අපි බිස්නස් කරන්නේ. ඒවට යන්න වෙලාවක් නෑ. ඒකයි එහෙම කීවේ.”
“මහත්තයා මිනිස්සු හම්බ කරන්නේ ජීවත් වෙන්න. ඒ මිසක් ජීවත් වෙන්නෙ හම්බ කරන්න නොවෙයි. ඉන්නෙත් එක ම පුතානෙ. ඔය හම්බ කරන්නෙ මේ එක ම දරුවටනෙ. මේ ළමයා පිස්සෙක් වුණොත් ඔය සල්ලිවල වටිනාකමක් තියෙනවද? මහත්තයලට පුළුවන් නම් බෝධි පූජා තියන්න. නැත්නම් මට නම් කරන්න දෙයක් නෑ.” යි ගවේෂකවරයා කීවේ ය. මේ දෙදෙනා රාත්‍රි නවයට පමණ දරුවා සමඟ ගොස් බෝධි පූජා පැවැත්වූහ. වෙනදා වේලාපහින් නින්දට පුරුදුව සිටි රුක්ෂාන්ට මේ නිදිවැරීම ද නුරුස්සන්නක් විය. කෙසේ හෝ දින විසි එක බෝධි පූජා පවත්වා නැවත පැමිණය හ. එදින ගවේෂකවරයා මේ මවුපියන් සමඟ පුතාගේ දින චරියාව, අධ්‍යාපනය පිළිබඳ සාකච්ඡා කළේ ය. රුක්ෂාන්ගේ පියා විස්තරය කීවේ ය.
“මහත්මයා, අපි දෙමටගොඩ පුංචියට බිස්නස් එකක් කරගෙනයි හිටියේ. මේ පුතා උපන්නාට පස්සේ අපේ බිස්නස් එක හොඳට දියුණු වුණා. ඒ පුතාගෙ වාසනාව කියල හැමෝ ම කිව්වා. නෝනගෙයි මගෙයි සම්පූර්ණ කාලය ම බිස්නස් එකටමයි යෙදෙව්වේ. පුතා හැදුණ ආච්චිත් එක්ක. අපට පුතා එක්ක කතා කරන්නවත් කාලයක් තිබුණෙ නෑ. අපි හැමදාම ගෙදර එන කොට පුතා නිදි. ඒ වුණාට පුතාට වුවමනා හැම පහසුකමක් ම සපයා දුන්නා. පුතාගෙ වැඩ ටික ඔක්කොම කළේ ආච්චි. මගේ නෝනගෙ අම්මා. මේ වෙන කොට පුතා ගියේ ගෙවල් ළඟ ඉස්කෝලෙට. රටේ මේ තරම් ජාත්‍යන්තර පාසල් තියෙද්දි අපි ළඟ සල්ලිත් තියෙද්දි පුතා මේ පොඩි ඉස්කෝලෙට යන එක අපට මදිකමක් වගේ දැනිලා පුතාව ජාත්‍යන්තර පාසලකට දැම්මා. අද ඉංග්‍රිසි අත්‍යවශ්‍ය බවත් අපට තේරුණා. පුතාට වයස දහතුනේදි විතර අට වසර පන්තියේ ඉගෙන ගනිද්දි තමයි ජාත්‍යන්තර පාසලට යැව්වේ. හැබැයි පුතාට ඉංග්‍රිසි දැනුම තිබුණෙ ම නෑ, පුතා පන්තියෙන් කොන් වෙලා තිබුණා. පුතාට ඉංග්‍රිසි දැනුම නැති නිසා ශ්‍රේණියෙන් පහළට දාලා ඒත් මදිව පහ වසරට දාලා තිබුණා. දැන් පුතාගෙ වයස අවුරුදු දහසයයි. එයා ඉගෙන ගන්නෙ අවුරුදු 10 - 11 පොඩි ළමයි එක්ක. පුතාට ලැජ්ජ හිතිලා පන්තිවලට සහභාගි වෙලා නෑ. ගුරුවරු කතා කළාම ඒ අය එක්ක රණ්ඩු කරලා. අනිත් ළමයින්ගෙ මවුපියෝ නිතර පාසලට ගිහින් තොරතුරු බලනවා. අපි දෙන්නට වෙලාවක් නෑ. පුතා අසරණ වෙලා අඬ අඬා ඉන්නවා. ඔය අතරේ පුතාගෙ ආච්චිත් මැරුණා. පුතා තවත් අසරණ වුණා.” යි විස්තරය කීවේ ය. එදින ගවේෂණයේ දී රුක්ෂාන් ප්‍රලය විය. ගවේෂකවරයා ප්‍රශ්න කළේ ය.
“කවුද මේ ළමයගෙ ශරීරයට රිංගලා කරදර කරන්නේ?”
“කරදර? මහත්තයට පිස්සුද? මම මේ රත්තරං කොලුවට කරදර කරන්නේ නෑ. මම මේ පුතාගෙ ආච්චි.”
“මොකක්ද නම?”
“ශීලාවතී”
“ඇයි මේ දරුවා වෙනස් වෙලා?”
“අනේ මහත්තයෝ මේ දරුවව හදා වඩා ගත්තේ මම. මගේ ළඟමයි හැදුණේ. මම මළාට පස්සෙ දරුවා තනිවුණා. පාළුවේ ගෙදරට වෙලා හිටියා. මුන් දෙන්නගෙ හිතේ කන්නයි අඳින්නයි දුන්න ම ඇතිය කියලා. දරුවා බලාගත්ත අතේ බලාගෙන හිටියා. ඉංග්‍රිසි ඉස්කෝලෙට දැම්මම තවත් අසරණ වුණා. ගෙදරට වෙලා තනි වෙලා “අනේ ආච්චියේ.... අනේ ආච්චියේ... ආච්චි කොහෙද ගියේ, මට පාළුයි ආච්චියේ. අනේ ආච්චියේ ගෙදර එන්න. ආච්චි ඉන්න තැනකට මාවත් අරගෙන යන්න කිය කියා අඬමින් හිටියා. මම දරුවා ළඟට ආවා. මුන් දෙන්නට සල්ලි.... සල්ලි... සල්ලි මත්තෙම නැහුණා. මම දැන් දරුවා ළඟට වෙලා ඉන්නවා. මට මේ අසරණයව දාලා යන්න බෑ.” යි භූතාත්මය කීවා ය.
“ආච්චි මැරුණෙ මොනවා වෙලාදැ?” යි ගවේෂකවරයා ඇසීය. “අංශ බාගෙ හැදිලා. දකුණු පැත්ත පණ නැති වෙලා. හරි සාත්තුවක් කරන්න කෙනෙක් නැතුව මැරුණා.” “ආච්චි දැන් මේ දරුවා රෝගියෙක්. ආච්චි මෙයාගෙ ළඟට ආවා ම ආච්චිට තිබුණු රෝග ලක්ෂණ පුතාටත් හැදිලා. මෙහෙම ගියොත් මේ දරුවා මැරිලා යාවි. නැත්නම් සදාකාලික පිස්සෙක් වේවි.”
“ඔව් මහත්තයා, මට තේරෙනවා.”
“ආච්චි හොඳයි. ආච්චිට අවබෝධයක් තියෙනවා. ආච්චි කැලණි බෝධින් වහන්සේ ළඟට යන්න. ඉඳහිට ඇවිත් බලලා ගියාට කමක් නෑ. මම ළමයා සුවපත් කරන්නම්. මේ දෙන්නටත් අවවාද කරන්නම්.”
“හොඳයි මහත්තයා මම මේ දැන් යනවා” යි භූතාත්මය කැමැත්තෙන් ම ඉවත්ව ගියාය.
ගවේෂකවරයා මවු පියන්ට කරුණු පැහැදිලි කළේ ය. “දැන් තේරුණා නේද තත්ත්වය. ළමයෙක් කර්මානු රූපව මවු කුසට ආ මොහොතේ පටන් එයාට ආදරය කරුණාව ඕනෑ. කලලයේ හට ගන්නා හෘදයවත්ථු රූපයත්, ජීවිතින්ද්‍රිය සම්බන්ධ සිතත් නිතර ක්‍රියාත්මය. අපේ පියවි ඇසට නොපෙනුණාට. දරුවා උපන්නට පස්සෙත් එහෙමයි. දරුවගේ සිතටත්, ඇස කන නාසය දිව ශරීරයටත් කෑම බීම විතරක් මදි. ගෙයි මැද සාලෙ නවීන පන්නයේ බඩු භාණ්ඩ ගෙනැත් දැම්මට මදි. අපේ මිනිස්සු මේවා ගැන හිතන්නේ නෑ. සල්ලි ගැනමය හිත. සල්ලිවලට කරන්න බැරි දේවල් බොහෝමයි.” මේ වන විට රුක්ෂාන්ගේ අසනීප තත්ත්වය සියයට හැත්තෑපහක් පමණ සුවපත්ව තිබුණා. “මේ දරුවා සමඟ අම්මයි තාත්තයි සුමානයක්වත් එකට ඉන්න ඕනෑ, දවස් තුනක් දරුවා එක්ක වන්දනා ගමනක් යන්න. මේ දරුවට මනෝ සංවේතතා වර්ධනයට අවශ්‍ය ආහාර ලැබිලා නෑ. ආදරය කරුණාව ලැබිලා නෑ.” යි උපදෙස් දුන්නේ ය.
මතුගම
මහින්ද විජේතිලක
උපුටා ගැනීම සිළුමිණ පුවත්පත