Biz Log
Classifields
Biz Log
Classifields

මං කවුරු වුණත් වැඩක් නෑ මං ආවේ පළිගන්නයි

මං කවුරු වුණත් වැඩක් නෑ මං ආවේ පළිගන්නයි

“මේ ශරීරයට ඇතුළුවෙලා ඉන්න භූතාත්මය කවුද?” යි ආධ්‍යාත්මික උපදේශකවරයා අසයි.

“මම කවුරු වුණාම මොකද? මම කවුද කියන එකෙන් මහත්තයාට වැඩක් නෑ. මම ඇවිත් ඉන්නේ මුගෙන් පළිගන්නැ.” යි භූතාත්මය කීවේය.

“පළිගන්න තරම් මෙයා මොනවද කරපු වැරදි?”

“මූ මට කරපු වැරැද්ද තමයි මම මගේ පාඩුවේ මගේ ගෙදරට වෙලා ඉන්න කොට මාව ගෙදරින් එළවන්න කටයුතු කළා. මාව බැඳලා මූදෙ දාන්න කටයුතු කළා. මුගේ ළඟට සාස්තර අහන්න ආපු මගේ දුවට බලපෑම් කළා. ඒකිව යාළු කැර ගත්තා. ඒකිට ඒකිගෙ මිනිහව එපා කළා. මූ ඒ වගේ එකෙක්. ලස්සන කෙල්ලෙක් මුගේ දේවාලෙට ආවොත් මූ කොහොම හරි ඒ කෙල්ලව දැළේ දා ගන්නවා. මුගේ වැරදි වැඩ හින්දා මූට මාව බැඳලා මූදෙ දාන්න බැරි වුණා. මම එදා ඉඳලා මු‍ගෙන් පළිගන්න වැඩ කරනවා. මම විතරක් නොවෙයි තවත් අය ඉන්නවා. දේවාල හදා ගෙන සාස්තර කියනවැයි කියලා මුන් කරන වැරදි වැඩ ලෝකෙට කියන්න ඕනැ. තමන් ළඟට අසරණ වෙලා එන මිනිස්සුන්ගෙන් අසාධාරණ විදිහට රුපියල් පනස් දහස හැට දහස අය කරනවා. ඒත් වැඩේ හරියට කරන්නෙත් නෑ, මුන් කට්ටාඩි නොවෙයි මංකොල්ලකාරයෝ. මිනිස්සු මුන්ට රැවටිලා කබලෙන් ළිපට වැටෙනවා.” යි පෙරේරාට ආවේශ වූ භූතාත්මය කපටි දේවාලකාරයන් සමඟ අමනාපයෙන් කීවේය.

මාතලේ පෙරේරා හතළිස් දෙහැවිරිදි විවාහකයෙකි. දෙදරු පියෙකි. ඔහුගේ පවුල් ජීවිතය අවුල් වී ඇත. මානසික අසනීපයකට මිතුරෙකුගේ ඉදිරිපත් වීමෙන් ප්‍රතිකාර ලබමින් සිටි පෙරේරා මාතලේ ප්‍රදේශයේ ප්‍රසිද්ධ කෙනෙකි. ඊශ්වර දෙවියෝ තමන්ගේ නෑදැයෙකැයි කියා යාග හෝම කරමින් රෝගීන් සුවපත් කරන්නට යැයි දේවාලයක් පවත්වා ගෙන යයි. හිස රැවුල වවාගෙන, ගුරු පැහැති සළුවක් හැඳ ඇට මාලයක් ගෙල පැලඳ සිටී. මොහුට සුව නොවන මානසික අවුලක් ඇතැයි මොහුගේ මිතුරෙක් ඇතුල්කෝට්ටේ ගුප්ත ගවේෂණ මධ්‍යස්ථානය කරා මොහු කැඳවාගෙන ආවේය. “මහත්මයා! මේ මගේ යාළුවා. මෙයාට පොඩි කාලෙ ඉඳල ම මානසික අවුලක් තිබුණා. ඔළුවෙ අමාරුවක් තිබුණා. අදෘශ්‍යමාන ශක්තියක්, බලයක් ඇතැයි පෙන්වා ගෙන මිනිස්සුන්ට ශාන්තිකර්ම කරන්න පටන් ගත්තා. දැන් මෙයාගෙ බිරිඳයි දරුවයි දෙන්නත් ඈත් වෙලා. මෙයාගෙ තවත් දුර්වලකමක් තියෙනවා. ගෑනුන්ට ගෑනු ළමයින්ට බොහෝ ම කැමතියි. ඒ පැත්තෙනුත් ඒ තරම් හොඳ නැහැ. ඒත් යාළුවා නිසා අහක දාන්නත් බැහැ.

පළමු ගවේෂණයේ දී ම රෝගියා සිහිසුන්ව වැටී දඟලන්නට වූයේය. භූතාත්මය අකීකරු බවක් පෙන්වන්නට වූ බැවින් දින විසිඑකක් ගමේ පන්සලේ බෝධි පූජා පවත්වා එන්නැයි එහි දී කළ යුතු පිළිවෙත් කීපයක් ද නියම කළේ ය. මාසයකට පසු යහළුවන් දෙදෙනා නැවත පැමිණියහ. එදින රෝගියා ප්‍රලය වූයේය. ගවේෂකවරයා ප්‍රශ්න කිරීම් ආරම්භ කළේය.

“කවුද මේ ශරීරයට ඇතුළුවෙලා ඉන්නේ?”

භූතාත්මය හූ කියාගෙන බිම පෙරළෙන්නට වූයේ ය. දඟලන්නට වූයේ ය. වේවැල් පහර දෙකක් ගසා පාලනය කරන්නට සිදු විය.

“මේ කවුද?” ගවේෂකවරයා තදින් ඇසීය.

“මම කවුරු වුණා ම කාටවත් මොකද? මූ ආවා මාව එළවන්න. ඒවා කොහෙද මාත් එක්ක. මුගේ ඇ‍ඟෙන් මම නම් යන්නේ නැහැ. මූට ගෑනියෙකුයි දරුවෙකුයි ඉන්නවා. ඒ දෙන්නාට හරියට සලකන්නෙත් නෑ. ඒ වුණාට ලස්සන කෙල්ලන්ට ප්‍රතිකාර කරන්න සාත්තර කියන්න මූ හරිම කැමතියි. ඒ පැත්තෙන් බොහෝ ම වැරදි වැඩ කරනවා. ලෙඩ දුක් කරදරවලට ගොදුරු වෙලා එන අයට ඒ වගේ කරදර හිරිහැර කරන එක කොයි තරම් වැරදිද? මම මූට දඬුවම් කරනවා. මහත්තයා මහත්තයාගෙ වැඩක් බලා ගන්න. මම මූව බලා ගන්නම්.”

තවත් දින දහහතරක් බෝධි පූජා පවත්වා එන්නැයි උපදෙස් දුන්නේ ය. ඊළඟ දිනයේ ද ගවේෂකවරයා ඉදිරියේ රෝගිය ප්‍රලය විය. ගවේෂකවරයා රෝගියාගේ මිතුරාගෙන් තවදුරටත් තොරතුරු විමසීය.

“මහත්තයා මෙයා වාද්දුව පැත්තේ කට්ටඩියෙක් එක්ක එකතු වෙලා මෙයාගෙ මැරුණු සීයව බන්ධනය කර ගෙන සාස්තර කියන්න පටන් ගත්තා. දවසක් තරුණ ලස්සන ගෑනු කෙනෙක් ප්‍රතිකාර ගන්න ආපු වෙලාවේ මෙයා ආවේශවෙලා නටන්න ගත්තා. එදා ඉඳලා මෙයාගෙ ඔළුව නරක් වුණා. විකාර කරන්න ගත්තා. වාද්දුවේ කට්ටඩියාටත් සනීප කරන්න බැරි වුණා.” යි මිතුරා කීවේය. ගවේෂකවරයා රෝගියා ගේ ශරීරයෙන් භූතාත්මය ඉවත් කොට අවවාද කළේ ය.

“තමුන් දෙවියන්ගෙ නාමයෙන් දේවාල හදාගෙන වැරදි කරලා තියෙනවා. තමුන් වගේ ජරාවැඩ කරන අයට මම ප්‍රතිකාර කරන්නත් කැමති නෑ. මේ යාළුවාගේ අවංක උත්සාහයට ගරු කරලයි මම ප්‍රතිකාර කරන්නේ. නැත්නම් පන්න ගන්නවා. තමන්ගෙම සීයව බන්ධනය කර ගෙන මිනිස්සුන්ට ප්‍රතිකාර කරන්න පටන් අරගෙන වැරදි වැඩ කරන කොට සීයා කොහොම හරි ඉවත් වෙලා ගිහින්. දැන් තමුන් පන්නන්න හදපු භූතයෙක් ඇඟට රිංගලා.”

“අනේ මහත්තයා, මට සමාවෙන්නැ” යි ගවේෂකවරයා ඉදිරියේ දණ ගසා වැන්ද රෝගියා “මීට පස්සේ වැරදි වැඩ කරන්නෙ නැහැ කියලා මම පොරොන්දු වෙනවා. අනේ මහත්තයා මාව සනීප කරන්නැ” යි ඉල්ලුවේය.

“තමුන් විකාර කරලා යෝගියෙක් වගේ ඇඳ පැලඳ ගෙන හිටියාට අදෘශ්‍යමාන බලවේග සමඟ වැඩ කරන්න ආවාට ගියාට බැහැ. තමන් මෙච්චර දවසක් කරපු වැරදි පිළිඅරගෙන නිවැරදි වෙන්න ඕනෑ, තව සතියකින් ආපහු එන්න. එදාට බිරිඳයි දරුවයි දෙන්නාත් එක්ක ගෙන එන්න ඕනෑ” යි ගවේෂකවරයා කීවේය. සතියකට පසු ඔහු සිය බිරිඳ හා දරුවා ද සමඟ නැවත පැමිණියේ ය. එදින ද රෝගියා ප්‍රලය වූයේ ය. ගවේෂකවරයා භූතාත්මය සමඟ සාකච්ඡ කළේ ය.

“දැන්වත් මේ ශරීරය අත හැර යන්න සූදානම් ද?”

“බෑ.... බෑ.... මූව දාලා යන්න බෑ.”

“එහෙම කියලා හරියන්නේ නෑ. තමුන් පිටවෙලා යන්න ඕනෑ.”

“ඒක හරි අසාධාරණයි. මහත්තයා අසාධාරණ වැඩ කරන්න එපා. මම මගේ පාඩුවේ කාටවත් කරදර නොකර මගේ ගෙදර ඉන්න කොට මූ මාව බැඳලා මූදෙ දාන්න හදපු එක සාධාරණ ද? අනිත් එක මගේ දුව මුගේ දේවාලයට ආපු වෙලාවේ ඒකිව යාලු කැර ගෙන උන්ගෙ පවුලත් අවුල් කරපු එක හරිද? ඒ වගේ පාහරයෙක්ව ද මහත්තයා ආරස්සා කරන්න හදන්නේ?”

“මගේ ළඟට ප්‍රතිකාර ගන්න එන අයට මම ප්‍රතිකාර කරන්න ඕනෑ. එයා කරපු වැරදිවලට කර්මානුරූපව දඬුවම් ලැබේවි. තමනුත් දුගතිගාමී භවයක ඉඳගෙන පළිගන්න හිතන්න එපා. මම මෙයාට ආයෙත් ඒ වගේ වැඩ නොකරන්න අවවාද කරන්නම්. මම දැන් මෙයාගෙ ශරීරයෙන් තමුන්ව ඉවත් කරනවා. මෙයා ආයෙත් වැරදි වැඩ කළොත් නැවත ඇවිත් ඕනැ දඬුවමක් කරන්න අවසර දෙනවා.”

“හොඳයි එහෙනම් කමක් නෑ.” භූතාත්මය රෝගියාගේ ශරීරයෙන් ඉවත්කොට ඔහුගේ බිරිඳ හා දරුවා ඉදිරියේ ම ගවේෂකවරයා අවවාද කළේ ය. “තමුන් බොරුවට යෝගියෙක් වගේ ඉඳගෙන කරපු වැරදි වැඩ තමුන්ගේ හිත දන්නවා. මෙතන ඉන්න අනිත් අයත් දන්වා. මමත් දන්නවා. දැන් ඉතින් තමුන්ගේ බිරිඳ සහ දරුවා එක්ක සමගියෙන් ඉන්න ඕනෑ. නොදන්නා යාග හෝම කරන්න ගිහින් කැලේ ඉන්න අමනුෂ්‍යයන් ගෙන්න ගන්න එපා. තමුන්ගෙ වැරදි වැඩ ගැන කළකිරිලා සීයාගේ භූතාත්මයත් ඉවත් වෙලා ගිහින්. ආයෙත් වැරදි වැඩ කළොත් තමුන්ට ගැලවිල්ලක් නෑ. ඉවත්වෙලා ගිය භූතාත්මය ආයෙත් ඇවිත් තමුන්ව මරලා යන්න පුළුවන්. ඒ නිසා මීට පස්සෙ හොඳ මිනිහෙක් වගේ උදේ හවස තෙරුවන් වැඳලා ජීවත්වෙන්න උත්සාහ කරන්න. වැරදි වැඩ කරලා ආයෙත් මගේ ළඟට නම් ප්‍රතිකාර ගන්න එන්න එපා” යි කී ගවේෂකවරයා “මේ වගේ අය මීට පස්සෙ නම් මා ළඟට එක්කර ගෙන එන්නත් එපා” යි ඔහුගේ මිතුරාට ද කීවේය. භූතාත්මය රෝගියාගේ ශරීරයෙන් ඉවත් කොට ඔහුට ආධ්‍යාත්මීය ආරක්ෂාවක් දැම්මේය.

මතුගම මහින්ද විජේතිලක
උපුටා ගැනීම සිළුමිණ පුවත්පත

Share This Article