ගිය ආත්මෙ මං පස්සර මාමාට ලක්ෂ 3ක් ණයට දුන්නා
මේ ලෝකයේ රහස් නැත. රහසින් කිසිම දෙයක් කරන්නට නොහැකි ය. විශ්වය සියල්ල බලා සිටී. ඔබ කොයි තරම් දෙයක් හොර රහසේ කිසිවෙකු නොදනී යැයි සිතා සිදු කළ ද ඔබේ මිය ගිය මව් පියෝ සහෝදර සහෝදරියෝ ඥාති මිත්‍රාදීන්ගේ ප්‍රාණකාරයෝ බලා සිටිති. මිය ගිය සතුරෝ ද බලා සිටිති. ඔබ යම් දෙයක් හොරෙන් යැයි සිතා සිදු කළ ද එහි අයිතිකාරයන්ගේ පැරණි මිය ගිය ඥාතීන්ගේ ප්‍රාණකාරයෝ ද බලා සිටිති. කොයි තරම් සුදු ඇඳුම් ඇඳගෙන පෙනී සිටිය ද එය පෙනෙන්නේ අපට පමණ ය. අපට පෙනෙන්නේ අප පමණ ය. එහෙත් විශ්වය සියල්ල දකී. බුත්තල ප්‍රදේශයේ පදිංචි මංගලිකා සහ සරත් විවාහක අඹු සැමියෝ ය. දෙදෙනාම අවුරුදු පනස් පහක් පමණ සම වයසේ ය. දරුවන් සිවු දෙනෙක් පමණ වෙති. නිතර ම මේ අඹු සැමියන් අතර ආරාවුල් අඬ දබරවලින් අඩුවක් නැත. සුළු වචනයක අඩු පාඩුවක් වුව ද මේ දෙදෙනාට එය ගහ බැණ ගන්නට තරම් හේතුවෙයි. කාලයක් තිස්සේ පවතින මේ තත්ත්වය අනුව මොවුන් පදිංචි නිවෙසේ කිසිම සංහිඳියාවක් සතුටක් නැත. දරුවන්ට ද හිස රදයකි. කතා කළොත් චරු චුරුවකි. බරබරයකි. දෙස් දෙවොල් කියා ගැනීමකි. මේ ගැන විටින් විට “මොකක්ද දෙයියනේ මේ අපට වෙලා තියෙන්නේ” යි උනුනුන් කතා කැරගත් අවස්ථා ද නැතුවා නොවේ. හඳහන් බලා වත් පිළිවෙත් ගණනාවක් ද සිදු කොට ඇත. දිනක් “මෙන්න මෙතැනටවත් ගිහින් බලමු ද?” යි ඇතුල්කෝට්ටේ ගුප්ත ගවේෂණ මධ්‍යස්ථානය ගැන සැමියා දැනුම්වත් කළා ය. ඒ අනුව මේ දෙදෙනා ගුප්ත ගවේෂණ මධ්‍යස්ථානය කරා පැමිණි ආධ්‍යාත්මීය උපදේශකවරයා මුණ ගැසී ප්‍රතිකාර පැතූහ. පළමු දිනයේ ගවේෂකවරයා ශක්ති කිරණ එල්ල කරන විට මංගලිකා වෙව්ලන්නට වූවා ය. ඉන් එහා දෙයක් සිදු නොවූයෙන් දින විසි එකක් ගමේ පන්සලේ බෝධි පූජා පවත්වා එන්නැයි උපදෙස් දුන්නේ ය. ඊළඟ දිනයේ ද මංගලිකා ගැහෙන්නට ගත්තා ය. ඇගේ පිටුපසින් සුදු සරමක් හැඳගත් අමනුෂ්‍යයෙක් සිටින බව ගවේෂකවරයා දැක්කේ ය. ඒ භූතාත්මය ග්‍රහණය කොට මංගලිකාට දිෂ්ටි ගන්වා ගවේෂකවරයා ප්‍රශ්න කළේ ය.
“කවුද මේ?”
“මම පියදාස ජයතිලක”
“කවුද පියදාස ජයතිලකය කියන්නේ?”
“මංගලිකාගේ මිනිහා”
“බොරු කියන්න එපා. මංගලිකාගෙ ස්වාමි පුරුෂයා මේ ළඟ ඉන්නේ, සරත්.”
“මම කලින් කසාදෙ මිනිහා.”
“මොනවා වෙලාද මැරුණෙ?”
“වාහන අනතුරකින්”
“කොයි කාලෙද?”
“අවුරුදු පහළොවකට විතර කලින්.”
“ඔබ මැරුණෙ කොහොමද?”
“මගෙ පුතාට දවසක් රෑ අසනීප වුණා. මම ත්‍රීවීල් එකක් ගේන්න හන්දියට ගියා. රෑ මම පාර හරහා පනිද්දී වේගයෙන් ආපු ලොරියක හැපුණා. හැපිලා පාර අයිනට විසි වුණා. මම මැරුණු බව ගෙදර අය දන්නේ උදේ.”
“කොහේදිද ලොරියෙ හැපුණේ?”
“බුත්තල කතරගම ප්‍රධාන පාරෙ.”
“ඊට පස්සෙ මම ගෙදර ආවා. ගෙදර සිද්ධ වෙන දේවල් බල බලා හිටියා. මම මංගලිකාටත් පුතාටත් කතා කළා. කොයි තරම් කතා කළත් මේ අයට ඇහුණෙ නෑ.”
“මැරුණට පස්සේ පින් ලැබුණේ නැද්ද?”
“මම මැරිලා හත් දවසෙ, තුන් මාසෙ පින්කම් කළා. ඒ වුණාට මට ඒ පින් දැනුණේ නෑ.”
“ඒ මොකද?”
“මහත්තයා, ඒ දවස්වල මම හිටියේ ලොරිය හැපුණු වේදනාවෙන්. ඒ අමාරුකම් මිසක් හිතට පින් දැනුණෙ නෑ.”
“ගෙදර ඉඳෙගන මොකද කළේ?”
“ඔහේ පාවෙවී හිටියා. තුන් මාසෙ පින්කමෙන් පස්සෙ මංගලිකා පින්කම් කළේ නෑ. මමත් මුන් කරන දේවල් බල බලා හිටියා. ඔය අතරේ මෙයා මේ මිනිහව කසාද බැන්දා.”
“ඉතින් කේන්ති ගියා ද?”
“පළමුවෙන් නම් කේන්ති ගියා. පස්සෙ මඟ හැරුණා.”
“තමන්ගෙ බිරිය වෙන කෙනෙක් කසාද බඳින කොට එන ෙක්න්තිය කොහොමද? මග හැරුණේ?”
“මංගලිකාගෙ දෙමවුපියොයි නෑයොයි කිව්වා “උඹ කොහොමද දුවේ තනියම ජීවත් වෙන්නෙ? මැරුණ කෙනා මැරුණා. උඹටත් රැකවරණයක් තියෙන්න එපා යැ. මේ දරුවව හදාගන්නත් එපායැ. මේ දරුවට වෙනස්කමක් නොකරන කෙනෙක් කසාද බැඳ ගනින්” කියලා. මගේ දෙමවුපියොත් සහෝදරයොත් ඔය ටික ම කිව්වා. ඉතින් ඒ කතාව ඇත්ත තමයි කියලා මටත් හිතුණා. ඒත් මම ඇහැ ගහගෙන හිටියා මුන් මගේ කොල්ලට වෙනස්කමක් කරයි ද කියලා. හැබැයි මුන් එහෙම නම් කළේ නෑ. ඒත් මගේ හිතේ පුංචි ඉරිසියාවක් තිබුණා. මුන් දෙන්නා සතුටින් ඉන්න කොට මම මුන්ට සන්තෝසෙන් පවුල් කන්න දුන්නෙ නෑ. කරදර කළා. රණ්ඩු කෙරෙව්වා. ඒත් වෙන් වෙන්න දුන්නෙත් නෑ. මම මැරුණු දවසෙ ඉඳලම ගෙදරමයි හිටියෙ. වෙන කොහේවත් ගියේ නෑ.”
“ඔබේ දරුවට මේ අයගෙන් වෙනස් කමක් වරදක් හිරිහැරයක් වෙන්නේ නැහැනෙ. ඒ නිසා මේ අයට නිදහසේ ජීවත්වෙන්න ඉඩ දීලා කරුණාකර ඉවත්වෙලා යන්න. ඔය දුගතිගාමී ආත්මයෙන් මිදිලා ඔයිට වඩා හොඳ තැනකට යන්න.”
“යන්න කලින් මම පස්සර මාමාව හම්බ වෙන්න ඕනෑ” යි භූතාත්මය කීවේය. එදින ගවේෂණය නතර කොට තවත් දින හතක් බෝධි පූජා පවත්වා ‘පස්සර මාමා’ යි කියූ පුද්ගලයා ද සමඟ නැවත එන්නැයි උපදෙස් දුන්නේ ය.
“ඊළඟ දිනයේ මංගලිකා, සරත්, දෙදෙනා පස්සර මාමා ද කැඳවා ගෙන ආහ. එදින ද මංගලිකා ප්‍රලය වී කතා කරන්නට වූවා ය.
“ආං... පස්සර මාමා ඇවිල්ලා.”
“බොහෝම හොඳයි” යි භූතාත්මය කීවේ ය.
“මොකටද මේ පස්සර මාමාව ගෙන්නුවේ?” යි ගවේෂකවරයා ප්‍රශ්න කළේ ය.
“මට පස්සර මාමාට කාරණයක් කියන්න තියෙනවා. ඒක දන්නේ මමයි පස්සර මාමයි විතරයි. ඒ නිසා ඒ සිද්ධිය මම මළාට පස්සේ යට ගියා.”
“හොඳයි... හොඳයි... දැන් ඉතින් කතා කරගන්න”
“පස්සර මාමේ... උඹ මගෙන් සල්ලි වගයක් ඉල්ලා ගත්තා මතකද? උඹ ලොරියක් ගන්න කියලා මගෙන් ලක්ෂ තුනක් ඉල්ලා ගත්තා. ඒක ආපහු දුන්නේ නැහැනෙ. මේක කිසි කෙනෙක් දන්නෙ නෑ. මම මංගලිකාටවත් කිව්වේ නෑ. මම මැරිලත් දැන් අවුරුදු පහළොවකට වැඩියි. දැන් ඔය ණයට අවුරුදු දහ අටක් විතර වෙනවා. බැංකුවක තිබුණා නම් දැන් ඒක ලොකු ගාණක් වෙලා. උඹ දැන් හොඳට දියුණුයිනෙ. ව්‍යාපාර දියුණු වෙලා බොහොම හොඳට ඉන්නවා. දැන් ඒ මුදල මගේ පුතාට දීපං. ඒක කියන්නයි උඹව ගෙන්නුවේ” යි භූතාත්මය කීවේ ය. මේ සිද්ධිය ඇත්ත දැයි ගවේෂකවරයා පස්සර මාමාගෙන් ඇසීය. භූතාත්මය පැවසූ සියලු කාරණය සත්‍ය බව ඔහු පිළිගත්තේ ය. සිද්ධිය ඇත්ත නම්, භූතාත්මය කී පරිදි ඒ මුදල බැංකුවක තිබුණා නම් මේ වනවිට විශාල මුදලක් වන බැවින් මිය ගිය මිත්‍රයා වෙනුවෙන් මිත්‍රයාගේ පුතාට සාධාරණය ඉටු කරන්නැයි ගවේෂකවරයා කීවේ ය. පස්සර මාමා එය පිළිගත්තේ ය. මිත්‍රයා එදා කළ උදව්ව තමන්ගේ දියුණුවට ඉවහල් වූ බව පිළිගත් ඔහු පියදාස ජයතිලක ගේ පුතාට එනම් මංගලිකාගේ වැඩිමහල් පුතාට ඩිමෝ බට්ටෙක් (ලොරියක්) මිලට අරගෙන දෙන බව පැවසීය.
“ඔව් ඔව් ඉක්මනින් ඒක ඉෂ්ට කරපන්. නැත්නම් මම උඹව නැති කරනවා” යි භූතාත්මය කීවේ ය. මංගලිකාගේ නිවසේ සාංඝික දානයක් පිරිනමා මිය ගිය කලින් සැමියාට නම කියා පැන් වඩා පින් අනුමෝදන් කරන ලෙසත් ගවේෂකවරයා උපදෙස් දුන්නේ ය. ඒ දානයට තමන් ද උදවු කරන බවත් පස්සර මාමා ද කීවේ ය. මාසයකට පමණ පසු මංගලිකා ගේ නිවසේ සාංඝික දානයක් පැවැත්වූ අතර පස්සර මාම එදින ම මංගලිකාගේ වැඩිමහල් පුතාට අලුත් ම ඩිමෝ බට්ටා ලොරියක් බාර දුන්නේ ය. ඉන්පසු මේ පිරිස ඒ ලොරියෙන් ම නැවත ගුප්ත ගවේෂණ මධ්‍යස්ථානයට පැමිණියහ. මංගලිකා එහිදී නැවතත් දිෂ්ටි ගැන්වීය. “මහත්තයා; මට හරි සතුටුයි, දැන් මගේ හිත නිදහස්. ඔබ තුමාට බුදු බවම ලැබෙන්න ඕනැ. දැන් මගේ පුතාට මගෙන් යුතුකම් ඉෂ්ට වුණානෙ. දැන් මා හොඳ තැනකට යවන්නැයි භූතාත්මය ගවේෂකවරයා ගෙන් ඉල්ලුවේ ය.
මතුගම මහින්ද විජේතිලක
උපුටා ගැනීම සිළුමිණ පුවත්පත