දානයක් දී බාරය නිදහස් කරන්න ඉඩ නොදුන් වරදට භූතයෙක් වී දඬුවම් කරයි
ජයනි කොළඹට නුදුරුව පදිංචි හතළිස් හැවිරිදි දෙදරු මවකි. ගණකාධිකාරිවරියකි. ඇගේ ස්වාමි පුරුෂයා සේසිරි ප්‍රසිද්ධ සමාගමක අධ්‍යක්ෂවරයෙකි. උසස් යැයි සම්මත සමාජයේ ජීවත්වන ඉංග්‍රීසි කතා කරන, ඉංග්‍රීසියෙන් ම, ජිවත් වන සිංහල පවුලකි, ඇඳුම පැලඳුම ද එසේ ම ය. “ඩෙනිම්” සංස්කෘතියේ ය. දැනට වසරක පමණ කාලයක සිට ජයනි යක්ෂාරූඪ වී ගෙදර යකා නටන්නට වූවාය. සැමියා ගණන් ගත්තේ නැත. ඇස් ගෙඩි උළුප්පා ගෙන කොණ්ඩය සපා ගෙන සැමියාට පහර දෙන්නට පන්නා ගෙන යයි. “තොගෙන් පළිගන්නවා, තෝ මරනවා” කියා පහර දෙන්නීය. සේසිරි බංගලාව වටේ පණ බේරාගන්නට දුවන හැටි අහිංසක දරු දෙදෙනා බලා සිටිති. දරුවන්ට නම් කරදරයක් හිරිහැරයක් නැත. ධනාත්මක චින්තනය දේශනා කරන විට අශ්වයෙකු සේ හිස කෙළින් කැර ගෙන සිටින ඔහුට දැන් මේ ගෙදර ජීවත්ව සිටින්නට සිදු වී ඇත්තේ හිස පහත් කැරගෙනය. බිරිය මනෝ වෛද්‍යවරුන් වෙත ඉදිරිපත් කොට ප්‍රතිකාර ලබාදුන් නමුත් සුවයක් වූයේ නැත. රහසිගතව ඈත ප්‍රදේශවලින් ඇදුරන් ගෙන්වා තොවිල් කළත් වැඩක් වූයේ නැත. අවසානයේ ඇතුල්කෝට්ටේ ගුප්ත ගවේෂණ මධ්‍යස්ථානය සොයා ගෙන ගියහ. පළමු දිනයේ ආධ්‍යාත්මීය උපදේශකවරයා ශක්ති කිරණ එල්ල කරන විට කිසිඳු වෙනසක් සිදු වූයේ නැත. ඔවුන් තුළින් මතුවන, ඔවුන්ට ස්වභාවිකව ඇති අහංකාර මානය පමණක් පැහැදිලි විය. ගවේෂකවරයා වෙනසක් නොපෙන්වා දින විසි එකක් ගමේ පන්සලේ බෝධි පූජා පවත්වා එන්නැයි උපදෙස් දුන්නේය. බෝධි පූජා පවත්වන්නට පැමිණි පිරිස් ඉවත්ව යන තුරු බලා සිට බෝධි පූජාව පැවැත්වූහ.
තුන් වැනි දිනයේ රාත්‍රී 11.30 ට පමණ ගවේෂකවරයා ගේ දුරකථනය නාද විය. එහා කෙළවරේ සේසිරිය. ඔහු හඬා වැටෙමින් “අනේ! මහත්තයෝ මට උදව් කරන්න. තෝ ආවොත් මරනවා කියා ගෙන නෝනා පිහියත් අරගෙන නාන කාමරයට ගිහින් දොර වහගත්තා. අනේ! මොනවා කර ගනීවි ද දන්නේ නෑ” යි කීවේය. ඔහුට වතුර වීදුරුවක් අතට ගන්නැයි උපදෙස් දුන් ගවේෂකවරයා මෛත්‍රී කිරණ ශක්තිය ආශීර්වාදයෙන් නිකුත් කළේය. කෙසේ හෝ එයින් වතුර ටිකක් බිරියගේ මුහුණට ඉස ටිකක් පොවන්නැයි කීවේය. ඒ සමඟ ම බිරිය නාන කාමරයෙන් පිටතට ආවාය. සේසිරි පැන් ටිකක් මුහුණට ඉස්සේය. පැන් ටිකක් බොන්නට දුන්නේය. ඇය කැමැත්තෙන් ම බීවාය. ඉන් පසු නිශ්ශබ්දව නින්දට ගියා ය. දෙවැනි දිනයේ පැමිණි විට ගවේෂකවරයා ඉදිරියේ ජයනී හූ කියන්නටත් කෑ ගසන්නටත් වූවාය. නැවතත් දින හතක් බෝධි පූජා පවත්වන ලෙස උපදෙස් දී සිත ඒකාග්‍ර වන ලෙසටත් සන්සුන් වන ලෙසටත් එහි දී ඉටු කළ යුතු පිළිවෙත් පැහැදිලි කොට දුන්නේය. ඊළඟට පැමිණි දිනයේ ජයනි පැවසුවේ රාත්‍රියට නින්දේ දී හීනෙන් දේවරූප පෙනෙන්නට වූ බව ය. එහි දී ගවේෂකවරයා මේ යුවළ සමඟ සාකච්ඡා කළේය. දෙවියන්ට සම්බන්ධ යමක් සිදු වී ඇත්දැයි ඔවුන්ගෙන් විමසීය.
“ඔව් මහත්මයා මීට අවුරුදු දෙකකට කලින් මගේ දුවට ඩෙංගු උණ හැදුණා. දුවට එතකොට වයස අවුරුදු එකොළහයි, දුව මාරාන්තික තත්ත්වයට පත්වුණා. වෛද්‍යවරුන් කිව්වා දැන් නම් අඩමානයි, ආගම දහම පැත්තේ දේවල්වත් දැන් කරන්න කියලා. මම නවගමුවෙ පත්තිනි දේවාලයට ගිහින් පත්තින මෑණියන්ට බාරයක් වුණා. "මගේ දුව සනීප කර දෙන්න. දුවත් එක්කම ඇවිත් බාරය ඔප්පු කරනවා කියලා". ඒ වගේ ම මගේ දුව සනීප වුණා. වෛද්‍යවරු බැහැ කියපු ලෙඩා සනීප වුණේ හාස්කමකින් කියලා මට සම්පූර්ණයෙන් ම විශ්වාසයි. මට වුවමනා වුණා කිරි අම්මාවරුන්ගේ දානයක් දීලා බාරය නිදහස් කරන්න, ඒත් මහත්තයා ඒකට ඉඩ දුන්නේ නෑ, “ඔය දේවල් මනෝ විකාර, දෙය්යෝ යක්ෂ භූතයෝ කියලා දෙයක් නෑ” කියලා කිව්වා. මෙයා ධනාත්මක චින්තනය පිළිගත්ත කෙනෙක්. ධනාත්මක චින්තනය පිළිගන්නවා විතරක් නෙවෙයි අනිත් අයට දේශනත් තියෙනවා. මෙයාගෙ යාළුවොත් ඒ වගේ අය. ඉතින් මට ඒ බාරය ඔප්පු කරන්න බැරි වුණා. මට නම් තදින්ම විශ්වාසයි දුව සනීප වුණේ දේවාශීර්වාදයෙන් කියලා. නැත්නම් වෛද්‍යවරුන් බැහැ කියපු ලෙඩා සනීප වුණේ කොහොම ද?”
“ඊට පස්සෙ මම රෑට හීනෙන් බය වෙන්න පටන් ගත්තා. දේව රූප පෙනෙන්න පටන් ගත්තා. මම හරි ම හිතේ අමාරුවෙන් හිටියේ බාරය ඔප්පු කර ගන්න බැරිවීම ගැන. වෛද්‍යවරු පවා කීවා ආගම දහමේ කටයුතු කරලා බලන්න කියලා. මෙයාගෙ ධනාත්මක චින්තනයෙන් සනීප කරන්නත් බැරිවුණා. අන්තිමට මෙයාත් හීනෙන් බය වෙන්න පටන් ගත්තා. මම හීනෙන් බය වුණේ මගේ යටි හිතේ පැවතුණු දේ නිසයි කියලා මෙයා මට කිව්වා. ඊට පස්සේ මෙයත් බය වෙන්න පටන් ගත්තා. මම ඇහුවා මම බය වුණේ යටි හිතේ තිබුණු දේට. ඔයා බය වෙන්නේ මොකද? කියලා.”
“ඊට පස්සෙ මෙයා මට මනෝ වෛද්‍ය ප්‍රතිකාර අරගෙන දුන්නා. ඒවායෙන් ප්‍රතිඵලයක් නැතිවුණාම හොරෙන් හොරෙන් තොවිල් කළා. හොරෙන් කළේ ධනාත්මක චින්න යාළුවන්ට ආරංචි වෙයි ද කියලා. ඒවායෙනුත් බැරි තැන තමයි මහත්තයාව හොයා ගෙන ආවේ” යි මුළු විස්තරය ම කීවාය.
“දැන් එහෙනම් මහත්තයත් හීනෙන් බය වෙනව ද?” ගවේෂකවරයා ඇසීය.
“ඔව් මහත්තයා මම අවුරුද්දක් දුක් වින්දා. මෙයාත් බය වෙන්න හිටියට පස්සේ තමයි වත් පිළිවෙත් මතක් වුණේ” යි ජයනි නෝක්කාඩු ස්වරූපයෙන් කීවාය.
“හොඳයි ලබන සෙනසුරාදා ගෙදර කිරිඅම්මා වරුන්ගේ දානයක් දී ඉරිදා නැවත එන්නැයි ද, විශේෂයෙන් ම ඒ කිරි අම්මාවරුන්ට එක් අයෙකුට රුපියල් දහසකට වඩා වටිනා පිරිකරක් දෙන්නැ” යි ද උපදෙස් දුන්නේය. දානය පිරිනමා ඊට පසු දින නැවතත් මේ දෙදෙනා පැමිණියහ. දැන් ජයනි ආවේශ වෙන්නේ නැත. ඇය දැන් හීනෙන් බය නොවන බවත් එහෙත් මහත්තයා නම් තවමත් හීනෙන් බිය වී කෑ ගසන බවත් කීවා ය. ගවේෂකවරයා දෙදෙනාට ම කරුණු පැහැදිලි කළේය.
“තමුන් තමුන්ට ම අවංක වෙන්න ඕනෑ. දෙවියෝ නැහැ කියලා කියන්න මොනවා ද තමුන්ට තියෙන සාධක. බුදු දහමේ තවත් බොහෝ ආගම්වලත් දෙවියන් ගැන සඳහන් වෙනවා. බුදු දහම කාටවත් බොරු කරන්න බැහැ. දෙවියන් නැතැයි කියන්නට තමුන්ට තියෙන දැනුම මොකක්ද? තමන්ට වැරදුණාම දෙවියන් පස්සේ දුවනවා. ඔය දෙබිඩි පිළිවෙත හොඳ නෑ. තමන් කෙරෙහි විශ්වාසය තබා එන අනුගාමිකයන් රවටන්න හොඳ නෑ. ඒ අය අමාරුවේ දාන්න හොඳ නෑ. දෙවියෝ නෑ කියන්න විද්‍යාත්මක පරීක්ෂණයක් කළා ද? විද්‍යාවටත් තවමත් හොයා ගන්න බැරිවුණ දේවල් තියෙනවා. ඔය වගේ බාගෙට උගත්තු නිසා සමාජය නොමඟ යනවා. ඉංගිරිසි කතා කළාට නවීන විලාසිතා කළාට උගතුන් වෙන්නේ නෑ. ඒක අහංකාරය හා මානය. මෝහය. මිනිස්සු හැම දේටම කලින් තමන්ට අවංක වෙන්න ඕනෑ. ඒ වගේ අය විශාල මානසික සුවයක් විඳිනවා. නෝනා දෙවියන්ට බාරයක් වුණා. සනීප කරන්න බැහැ කියලා දොස්තරුත් කියපු දුව ඊට පස්සේ සනීප වුණා. දැන් දෙවියන්ට ලකුණු වැටෙනවා. ඒ විතරක් නොවෙයි නෝනාගේ විශ්වාසය හා චිත්ත ශක්තියක් බලපෑවා. අම්මා කෙනෙක් වශයෙන් දාරක ප්‍රේමයෙන් දෙවියන් ඉදිරියේ හඬා වැටුණා. දෙවියන්ගේ ආශීර්වාද ලැබුණා. හැබැයි පත්තිනි මෑණියෝ පළි ගන්නේ නෑ. මතු බුදු බව පතන උත්තමාවියක්. බාරය ඔප්පු නොකළා කියා දෙවියෝ ඇවිත් හීනෙන් බය කරන්නේ නෑ. දෙවියෝ කාරුණිකයි. හැබැයි ඒ දෙවියන්ගේ පාර්ශ්වයේ තවත් අය ඊට පහළ මට්ටම්වල ඉන්නවා. ඒවා ඒ අයගෙ වැඩ වෙන්නත් බැරි නැහැ. ඒ ඔක්කොටම වඩා තමන්ගෙ හිත දන්නවා. බාරය ඔප්පු නොකළ බව. තමන්ගෙ වැඩේ කෙරුණාම නිශ්ශබ්ද වුණ බව.”
“අනේ ඔව් මහත්තයා, මට සමාවෙන්න. මගේ හිතේ මහා අහංකාරයක් තිබුණු බව මම පිළිගන්නවා. මට ඇත්ත වැටහුණා. ඒත් ඒක පෙන්වන්න ලැජ්ජා හිතුණා. මමත් හැමදාම නින්දට යද්දි “අනේ දෙය්යනේ! මට නම් අමනුෂ්‍ය දෝෂයක් හැදෙන්න එපා” යි ප්‍රාර්ථනා කළා යි සේසිරි ද ඇත්ත ඇති සැටියෙන් ම පාපොච්චාරණය කළේය.
“ඒක තමයි ඔය බොරු අහංකාරය නිසා දෙන්නටම දැන් රස්සාවලුත් නැති වෙලානෙ. දැන් උදේ හවස පන්සිල් සමාදන් වී තෙරුවන් වඳින්න පුරුදු වෙන්න. ධර්මය ඉගෙන ගන්න. හරියට ධර්මය ඉගෙන ගත්තොත් දෙවියෝයි කියා කෙනෙකු නැති බවත් වැටහේවි. බුදු හාමුදුරුවෝ දේශනා කළ විදර්ශනා මාර්ගයේ යන්න. හැබැයි ඊට කලින් සද්ධා - ශීල - සති - සමාධි වඩන්න ඕනෑ. පින් පව් තියෙන තුරු මේ සංසාර ගමන දිගින් දිගට යනවා. පින් පව් කරන තුරු දෙවියොත් ඉන්නවා. යක්ෂ ප්‍රේතයොත් ඉන්නවා. සමාධි භාවනාවෙන් ඔබ්බට විදර්ශනා භාවනා වඩන විට සත්ත්ව, පුද්ගල කියා දෙයක් නැති බව නුවණට වැටහෙනවා. දෙවියෝත් මිනිස්සුත් සියලු ම සත්ත්වයෝත් නාම - රූප පරම්පරාවක් බව වැටහේවි. හැබැයි කුසල් අකුසල් (සංස්කාර) පවතින තුරු දෙවියෝ ඉන්නවා. යක්ෂ ප්‍රේතයෝත් ඉන්නවා. අපායත් තියෙනවා. විදර්ශනාව දියුණු වෙන කොට “මම” කියලා කෙනෙකුත් නැති බව වැටහෙනවා. ඒ ආධ්‍යාත්මීය ගමනේ දී ලෝභය, ද්වේශය මෝහය ටිකෙන් ටික දිය වෙලා යාවි, මානය අහංකාරය ගැන ලැජ්ජා හිතේවි. හැබැයි ඊට කලින් දෙවියෝ නැතැයි කියන්න මහත්තයාගේ ආධ්‍යාත්මය දියුණු වෙලා නෑ. ඇත්ත ම කියනවා ඉන්නේ “මිත්‍යා දෘෂ්ටියේ”, “අවිද්‍යාවේ” හොඳයි දැන් ගෙදර ගිහින් අලුතෙන් ජීවිතය ආරම්භ කරන්නැයි උපදෙස් දුන්නේය.
මතුගම මහින්ද විජේතිලක
උපුටා ගැනීම සිළුමිණ