මං නංගිගෙ ඇඟට ආවෙ මට කියන්න තියෙන දේ කියා ගන්නයි
“අනේ! මහත්මයා මුළු ලෝකෙ ම අන්ධකාරයෙන් වැහිලා. මගේ ඇස් පෙනෙන්නේ නැහැ” යි පුෂ්පාට ආවිෂ්ට වූ භූතාත්මය කීවාය.
“ඔබ මිය ගියේ කොයි කාලෙ ද?” ගවේෂකවරයා ඇසීය.
“අවුරුදු තිස් හතරකට කලින්.”
“ඒ ගත වූ කාලය තුළ වෙහෙර විහාරවලදී පහන් ආලෝක පූජා පවත්වා නැද්ද?”
“පැවැත්තුවා, පැවැත්තුවා, ශ්‍රී මහා බෝධීන් වහන්සේ ළඟ, රුවන්වැලි චෛත්‍ය රාජයා ළඟ, කතරගම කිරිවෙහෙර වහන්සේ ළඟ, අලුත්ගම කන්දේ විහාරයේ දී, ගමේ පන්සලේදී කොයි තරම් පහන් පූජා පැවැත්තුවා ද මම.”
“හොඳයි, ඒ බුදු පියාණන් වහන්සේ විෂයයෙහි පූජා කළ එක පහනක, පහන් දැල්ල සිහිපත් කරන්න. ඒ පහන් දැල්ල දිහා බලන්න. බුදුගුණ අනන්තයි. බුදු ගුණ අනන්තයි. බුදු ගුණ අනන්තයි, ඒ බුදු ගුණ බලයෙන් මගේ දෑසට පෙනුම ලැබේවා සිතන්න, ඔබ අතීතයේ සිදු කළ පහන් පූජාවල ආනිසංසයෙන් දැන් ඔබේ දෑස් පෙනෙනවා. දැන් ඔබේ දෑස් නිරෝගී බව සිතන්න. පහන් දැල්ල දිහා ම බලන්න.”
“ම්....... ම්..... ම්........ සාදූ.... සාදූ,.... මහත්තයා. දැන් මට පෙනෙනවා, හොඳට පෙනෙනවා. මහත්තයාවත් පෙනෙනවා. මහත්තයාගේ ඛේරා එකත් (ආලෝක කිරණ) පෙනෙනවා” යි භූතාත්මය කීවා ය.
පුෂ්පා අම්බලන්ගොඩ ප්‍රදේශයේ පදිංචි හැට හැවිරිදි දෙදරු මවකි. ඇගේ සැමියා ව්‍යාපාරිකයෙකි. ඇය නිතර අසනීප වූවා ය. සිහිනෙන් බිය වී කෑ ගසාගෙන අවදි වූවා ය. සවස හයට ඇගේ ශරීරය වෙවුලන්නට විය. ඒ වේලාවට ඇගේ දෑස් නොපෙනී ගියේ ය. යළිත් පසු දින උදේ දෑස්වල පෙනුම හොඳින් පැවතුණි. මේ අසනීපවලට වෛද්‍ය ප්‍රතිකාර ලැබුවද සුවයක් නම් නොවීය. විවිධ වත් පිළිවෙත්වලින් සහනයක් නොලැබුවා ය. පුෂ්පාගේ සැමියා ඇතුල්කෝට්ටේ ගුප්ත ගවේෂණ මධ්‍යස්ථානය වෙත පුෂ්පා කැඳවා ගෙන ගියේ ය. එහිදී පුෂ්පා ප්‍රලය වූවාය. අන්ධයෙකු සේ දෑත් විහිදා ගෙන අඬන්නටත් කෑ ගසන්නටත් වූවාය.
“ඇයි මේ අඬන්නේ?” යි ගවේෂකවරයා ඇසීය.
“මගේ දෑස පෙනෙන්නේ නෑ.”
“කවුද මේ?”
“මම කාන්තිලතා”
“කවුද කාන්තිලතා කියන්නේ?”
“මේ පුෂ්පා නංගිගෙ අක්කා.”
“මොනවා වෙලාද මැරුණේ?”
“පපුවේ අමාරුවක් හැදුණා. දෑස් නොපෙනී ගියා. හිටි හැටියේ මැරුණා.”
“මැරිලා කොහේද හිටියේ?”
“දන්නෙ නෑ. කොහෙද කියලා පෙනුණෙ නෑ. ඔහේ හිටියා.” දින විසි එකක් ගමේ පන්සලේ බෝධි පූජා පවත්වන ලෙස ද එහි දී එක් පහනකට මහත තිරයක් දමා දල්වා ඒ පහන් දැල්ල දෙස බලාගෙන “ආලෝකය, ආලෝකය” යැයි සිතන ලෙස පුෂ්පාට උපදෙස් දුන්නේය. භූතාත්මයට ද බෝධි පූජාවට යන ලෙස කීවේය. සති තුනකට පසු පුෂ්පා නැවත පැමිණියා ය. එදින ගවේෂකවරයා පුෂ්පා සමඟ සාකච්ඡා කළේ ය. කාන්තිලතා තම සහෝදරිය බවත්, ඇය විද්‍යා ගුරුවරියක බවත් අවසාන කාලයේ රෝගාතුරව, දෑස් නොපෙනී දුක් විඳ මිය ගිය බවත් විස්තර කළාය. එදින ද දිෂ්ටි ගැන්වූ විට පුෂ්පා ප්‍රලය වූවාය. ගවේෂකවරයා ප්‍රශ්න කළේය.
“දැන් කොහොමද?”
“පහන් පූජාවේ පුණ්‍ය ශක්තිය මතු වුණා. මහත්මයා උපදෙස් දුන්නාට පින් සිදු වේවා. දැන් මට හොඳට පෙනෙනවා.”
“ඇයි මේ නංගිගේ ශරීරයට රිංගලා කරදර කරන්නේ?”
“මහත්මයා, මම පින්දහම් කළ කෙනෙක්. විද්‍යා ගුරුවරියක්, ගමේ පන්සලේ දහම් පාසලේත් ඉගැන්නුවා. ඒ වුණාට මට පින් මදි. මගේ දුව දුක් විඳිනවා. දුවට උදව් කරන්න ඕනෑ.”
“ඉතින් දුව ළඟට නොගිහින් මේ නංගි ළඟට ආවේ මොකද?”
“එතැන අරයා ඉන්නවා. මට ඒ ගෙදරට යන්න බෑ. මම එයා එක්ක තරහයි. මට එතනට යන්න බෑ.”
“කවුද එයාය කිව්වේ.”
“මගේ මිනිහා පියදාස.”
“ඇයි තමන්ගේ ස්වාමි පුරුෂයා එක්ක තරහා?”
“මට එයාගෙ මූණ බලන්න බෑ. මම මැරිලා අවුරුදු එක හමාරයි ගියේ. එයා වෙන ගෑනියක් ගෙනාවා. ඒකි මගේ දුවට වෙනස්කම් කළා. ඌ ඒ ගෑනීව ගේන කොටත් ඒ ගෑනිගේ බඩේ ළමයෙක් හිටියා. මූ දන්නේ නෑ. මුගේ හිතේ ඒ ළමයා මුගෙයි කියලා. මූ මගේ ඉඩමෙන් භාගයක් ඒ ළමයගෙ නමට ලිව්වා. ඒකයි මම තරහා.”
“ඔව් නීතියේ හැටියට බිරිය මළාම එයාගෙ දේපළවලින් බාගයක් ස්වාමි පුරුෂයාට අයිති වෙනවා. අනිත් බාගය දුවට අයිතියි. ස්වාමි පුරුෂයාට අයිති බාගය තමයි අනිත් බිරිඳගෙ දරුවට ලියලා දීලා තියෙන්නේ.” යි ගවේෂකවරයා පැහැදිලි කළේය.
“මහත්තයා මගේ ඉඩම මගේ දුවට අයිති වෙන්න ඕනෑ. මූ ඒ බාගයත් දුවට නොදී අර ළමයට දුන්නේ මොකටද? ඒ ළමයා මුගෙත් නොවෙයි මූ නොදන්නවට. ඒ ගෑනිට වෙන මිනිහෙක් නිසා ලැබුණු දරුවට මගේ ඉඩමෙන් බාගයක් දුන්නෙ මොකද? ඒකයි මට තරහා.”
“ඔව් ඔබ කියන දේ මට තේරෙනවා. ඒ වුණත් දැන් ඒ දේ වෙලා ඉවරයි. ඔය හිෙත් තියෙන තරහ වෛර අතහැර දමන්න. ඒකයි ඔබේ පරණ පින් මතු නොවන්නේ.”
“මහත්තයා මට ඌ එක්ක පුදුම තරහක් තියෙන්නේ. මම මැරිලා අවුරුදු තිස් තුනක් ම සැරිසරුවේ මගේ නෑදෑයින්ගේ ගෙවල්වල. යාළුවන්ගෙ ගෙවල්වල. මොරටුව පැත්තේ. දුව දුක් විඳිනවා දැකලා තමයි නංගිගෙ ඇඟට ආවේ. මට පින් ඕනෑ. මගේ දුවට උදව් කරන්න මීට වඩා හොඳ තැනකට මම පත්වෙන්න ඕනෑ. මට මගේ දුව බලන්න ඕනැ.” කාන්තිලතා ගෙ භූතාත්මය කීවා ය.
“හොඳයි අපි ඊළඟ දවසට දුවව මෙහෙට ගෙන්වමු” යි කී ගවේෂකවරයා පුෂ්පාට තවත් දින හතක් බෝධි පූජා පවත්වන ලෙස ද ඒ පන්සලට හීලට දන් අඩුක්කුවක් ගෙන ගොස් පූජා කොට අක්කාට පින් අනුමෝදන් කරන ලෙස ද උපදෙස් දුන්නා ය. පුෂ්පා ද ඒ උපදෙස් අනුව කටයුතු කොට සතියකට පසු නැවත පැමිණියා ය. එදින ද ඇය ප්‍රලය වූවාය. එදින කාන්තිලතා ගේ දියණිය ද පැමිණියා ය.
“අනේ මගේ රත්තරං දුව. මම අවුරුදු තිස් ගාණකට පස්සෙයි දැක්කේයි භූතාත්මය (පුෂ්පා) ඇය වැලඳගෙන අඬන්නට වූවාය දියණිය ද හඬන්නට වූවාය.
“දුවට අරූ වෙනස්කම් කරනවද දුවේ?”
“නෑ අම්මේ මම දැන් වෙනම ඉන්නේ. මගේ ඉඩම් කොටසෙ වෙන ම ගෙයක් හදාගෙන මගේ මහත්තයත් එක්ක සතුටෙන් ඉන්නවා. අම්මා ඔය පරණ තරහා මරහ හිතේ තියාගෙන දුක් විඳින්න එපා” යි දුව කීවා ය.
“ඔව් දුවේ! අරූ ගැන නම් මතක් කරන්න එපා. මට පින් මදි දුවේ. මට පින් දෙන්න. මම දුවට උදව් කරනවා.”
“හොඳයි අම්මේ! ඒ වගේ ම අම්මා, පුංචි අම්මාට කරදර කරන්න එපා. අම්මා එයාගෙ ඇඟට ආවාම ඒක කරදරයක් දුකක්. පව් අම්මේ මීට පස්සෙ පුංචි අම්මාට කරදර කරන්න එපා.” යි දුව කීවාය.
“ඔව් අමනුෂ්‍යයින්ටත් මනුෂ්‍යයින්ටත් එකට ජීවත් වෙන්න බෑ. තරහා වෛරයකින් හෝ ආදර කරුණාවකින් හෝ මිනිස් ශරීරයකට අමනුෂ්‍යයෙක් ඇතුල් වුණොත් ඒ මිනිස් ශරීරය ලෙඩ වෙනවා.” ගවේෂකවරයා ද කරුණු පැහැදිලි කළේ ය.
“අනේ! මගෙ රත්තරන් නංගී මම නංගිගෙ ඇඟට ආවේ මට කියා ගන්න ඕනෑ ටික කියාගන්න. මීට පස්සෙ නංගිට මම කරදර කරන්නේ නෑ. නංගී මට සමාවෙන්නැ” යි භූතාත්මය කීවා ය. දියණියගේ නිවසේ දී අටපිරිකර සහිත සාංඝික දානයක් පිරිනමා මෑණියන්ට පැන් වඩා පින් අනුමෝදන් කරන ලෙස දියණියට උපදෙස් ලැබුණි.
“අනේ! දුවේ! අරූට නම් එන්න කියන්න එපා. පින්කම දවසට දුවගෙ ගෙදරට.” යැයි භූතාත්මය කීවාය. “ඔව්! තාත්තාට කරුණු පැහැදිලි කොට ඒ දවසට ගමෙන් පිට වී සිටින ලෙස කියන්නැ” යි ගවේෂකවරයා ද දියණියට උපදෙස් දුන්නේ ය. දානයෙන් පසු ඔවුහු නැවත පැමිණියහ. එදින ද පුෂ්පා ප්‍රලය වී කතා කළාය. “මහත්තයා බොහෝම පින් සිද්ධ වෙනවා. උපදෙස් දී මගේ යහපතට උදව් කළාට. මම මීට පස්සේ නංගිට කරදර කරන්නේ නෑ. ආයෙත් එයාගෙ ඇඟට එන්නෙ නෑ. එදා පින්කම බොහෝම හොඳට සිද්ධ වුණා. මම ඒ පින් අනුමෝදන් වුණා. ඉස්සරට වඩා සැහැල්ලු, ප්‍රීතිය ආහාරයට ගන්නා තත්ත්වයකට මම පත්වුණා. ඔබ හැම දෙනාට ම මම පින් අනුමෝදන් කරනවා. සාදූ.... සාදූ.... මම කැලණියට යනවා.” යි කාන්තිලතා ඉස්කෝලෙ හාමිනේගේ භූතාත්මය ඉවත්ව ගියාය.
මතුගම මහින්ද විජේතිලක
උපුටා ගැනීම සිළුමිණ පුවත්පත