Biz Log
Classifields
Biz Log
Classifields

පෙර ආත්මයේ පගා ගත් කෙනා මේ ආත්මයේ දුක් විඳින හැටි

පෙර ආත්මයේ පගා ගත් කෙනා මේ ආත්මයේ දුක් විඳින හැටි

“අය්යෝ! බෑ.... බෑ... ඉවසන්න බෑ. මාව ගිනි ගන්නවා වගෙයි. මුළු ඇඟ ම දැවිල්ලා...යි.”

“ඇයි මේ වේදනාවෙන් කෑ ගහන්නෙ? ආධ්‍යාත්මික උපදේශකවරයා කාන්තාවකගේ ශරීරයට ආවිෂ්ටව සිටි ප්‍රේතයාගෙන් ඇසීය.

“අනේ! මහත්තයා මුළු ඇඟ ම ගිනි ගන්නවා” ප්‍රේතයා කීවේය.

“ඇයි එහෙම වෙන්නෙ?”

“මම කරපු වැරැදි වැඩ මතක් වෙනකොට ගින්නෙන් දැවෙනවා.”

“තමුන් කවුද?”

“මම විල්සන්”

“විල්සන් කියන්නේ කවුද?”

“මේ දුවගෙ තාත්තා”

“කොයි කාලෙ ද මැරුණේ?”

“දැනට අවුරුදු විස්සකට විතර කලින්”

“මොනවා වෙලා ද මැරුණේ?”

“පපුව හිර වෙලා”

“ඇයි මේ වේදනාවෙන් කෑගහන්නේ?”

“මම ජීවත්ව ඉන්දැද්දි කරපු වැරදි වැඩ මතක් වෙලා.”

“ජීවත්ව ඉන්දැද්දි මොනවා ද කළේ?”

“මම අධ්‍යාපන කන්තෝරුවක ලිපිකරුවෙක්.”

“ඉතින් මොනවා ද කරපු වැරැදි වැඩ?”

“මම අල්ලස් ගත්තා. සල්ලි ගත්තා. තෑගි බෝග ගත්තා. ලිංගික අල්ලස් ගත්තා.”

“කාගෙන් ද?”

“රාජකාරි වැඩක් කරගන්න එන ගුරුවරුන්ගෙන්, ගුරුවරියන්ගෙන්, කොන්ත්‍රාත් කාරයන්ගෙන්. ඒ වගේ මට සැලකිල්ලක් නොකළ පගාවක් නොදුන්න අයගෙ වැඩ පරක්කු කළා. මොනවා හරි අඩුපාඩුවක් හොයාගෙන ඒ අයගෙ වැඩ පරක්කු කළා. පයිල් එක යට ගැහුවා.”

“ඇයි ඒ වගේ අයුතු විදිහට සල්ලි හම්බ කළේ? වැරදි වැඩ කළේ?”

“අපේ ලොක්කොත් ඒ වගේනෙ. ඒ ගොල්ලෝ ඒ අයගෙ තනතුරෙ ලොකුකමේ හැටියට මහා පරිමාණ විදිහට ගසා කනවා. හම්බ කරනවා. ඒවා දකින කොට මටත් හිතුණා.”

“ඒ අයත් ලිංගික අල්ලස් ගන්නවා ද?”

“නැතුව නැතුව, මාරුවීම් දෙන්න. උසස්වීම් දෙන්න. ණය අනුමත කරන්න වගේ දේවල් ලොක්කො නිකම් කරන්නෙ නෑ.”

“වැරැදි වැඩ නේද?”

“ඔව් මහත්තයා. ඒවා වැරදි වැඩ. ලොක්කො කරනවාය කියා මමත් කරපු එක වැරැදියි. දැන් ඒ ගැන පසුතැවෙනවායි ප්‍රේතයා කීවේය. චින්තිකා තිස් පස් හැවිරිදි දෙදරු මවකි. ඇගේ සැමියා ඉංජිනේරුවෙකි. චින්තිකාගේ යටි බඩේ වේදනාවක්, ඇඟ පත රුදාවක්, වැසිකිළි නොයෑමත් දරුණු කම්මැලිකමක් වැලඳී වසරක් පමණ වෛද්‍ය ප්‍රතිකාර ලැබූවත් සුවයක් නොලැබුවාය. අන්තිමට ඇගේ සැමියා “සිළුමිණ” පත්‍රයේ පළවන “පියවි ඇසින් ඔබ්බට” විශේෂාංගය කියවා එහි සඳහන් ඇතුල්කෝට්ටේ ගුප්ත ගවේෂණ මධ්‍යස්ථානය වෙත බිරිය ගෙන ගියේය. එහි දී ආධ්‍යාත්මීය උපදේශකවරයා රෝගී කාන්තාව වෙත ශක්ති කිරණ එල්ල කරන විට ඇය ප්‍රලය වූවාය. ගවේෂකවරයා ප්‍රශ්න කළේය.

“කවුද මේ?” ඊට පිළිතුරු නොදුන් භූතයා අඬන්නටත් වේදනාවෙන් හූ කියන්නටත් වීය. දින විසි එකක් ගමේ පන්සලේ දී බෝධි පූජා පවත්වා නැවත පැමිණෙන ලෙස උපදෙස් දුන්නේය. බෝධි පූජා අවසන් කළ චින්තිකා සිය සැමියා සමඟ නැවත පැමිණියාය. තමන් එහි පැමිණි ආකාරයට තමන්ගේ වාරය පැමිණෙන තුරු බලා සිටියාය. මේ අතර ආධ්‍යාත්මීය උපදේශකවරයා වෙනත් රෝගියෙකු පරීක්ෂා කොට ප්‍රතිකාර පිළිවෙත් නියම කරමින් උපදෙස් දෙමින් සිටියේය. “තමන්ගේ ශරීරයට සුළු අමනුෂ්‍ය දෝෂයක් තියෙනවා. ඒත් ඔබ හොඳ කෙනෙක්. යහපත් වැඩ කළ කෙනෙක්. හොඳ අයට විශ්ව ශක්තීන්ගේ ආශිර්වාදය ලැබෙනවා. දෙවියන්ගේ ආශීර්වාද ආරක්ෂාව ලැබෙනවා” යි කීවේය. ඒ සමඟ පිටත සිටි චින්තනී ප්‍රලය වී කෑ ගසන්නට වූවාය. හිටි හැටියේ පිළිවෙත් කරන කාමරයට කඩා වැදුණා ය. අඬාගෙන ඇවිත් වැඳ වැටුණාය.

“අනේ මට සමාවෙන්නැයි ඇයට ප්‍රලය වූ ප්‍රේතයා කීවේය.

“ඇයි සමාව ඉල්ලන්නෙ?”

“මම හරියට වැරැදි වැඩ කළා” යි පාපොච්චාරණය කරන්නට සූදානම් වන විට භූතාත්මය නිහඬ කොට තමන්ගේ වාරය එළඹි විට පැමිණෙන ලෙස දන්වා කාමරයෙන් පිටතට යැවීය. ඉන් පසු ඔවුන්ගේ වාරයේ දී චින්තිකා සමඟ මේ ගැන සාකච්ඡා කළේය. ඇය පැවසුවේ තම පියා ඉතා ධාර්මිකව ජීවත් වූ බවත් මෙසේ දුගතිගාමීව ඉපැදීම ගැන පුදුම වන බවත් කීවාය. මෙය නම්බුවට බොරු කීමකි. මේ ප්‍රේතාත්මය බිරියට ආවිෂ්ට වී කියූ දේවල් අසා සිටි බැවින් ඇගේ සැමියා බිම බලාගෙන සිටියේය. තම බිරිය බොරු කියන ආකාරය අසා සිට කනගාටු වූයේය. ගවේෂකවරයා නැවතත් විල්සන් ගේ ප්‍රේතාත්මය චින්තිකාගේ ශරීරයට ආවිෂ්ට කළේය.

“තමුන් මැරුණේ කොහේදි ද?”

“ඉස්පිරිතාලෙ දි. පපුවේ වේදනාව එන කොට ඉස්පිරිතාලෙට ඇතුළු වුණා. ඒත් පපුව හිරවෙලා මැරුණා.”

“තමුන් ජීවත්ව ඉන්දැද්දි මොනව ද කළේ?”

“මම බොහෝ ම සමාජ සේවා කටයුතුවල යෙදුණා. රස්සාව කරද්දි මගේ අතින් වැරදි වැඩ සිද්ධ වුණා. ඒ නිසා විශ්‍රාම අරගෙන ගමේ සමිති සමාගම්වලට සම්බන්ධ වෙලා පොදු වැඩ කළා. ඒත් හිත හදාගන්න බැරිවුණා. මට මා ගැන ම දරාගන්න බැරි පිළිකුලක් ඇති වුණා.”

“මැරෙන වෙලාවෙ මොනව ද දැනුණේ?”

“මම රස්සාව කරද්දි මිනිස්සුන්ගේ වැඩ පරක්කු කරපු හැටි, පයිල් හංගපු හැටි මතක් වුණා. එහෙම කරන කොට ඒ අය පගාව දුන්න හැටි, කාටවත් නොපෙනෙන්න පගාව ගත්ත හැටි මතක් වුණා. එහෙම පගාවක් නොදුන්න, වාසියක් නොකළ අයව පන්නා ගත්ත හැටි මතක් වුණා. සමහරුන්ගෙන් ලිංගික අල්ලස් ගත්ත හැටි මතක් වුණා. සමහරු කරන්න දෙයක් නැතිකමට ආවත් පස්සෙ අඬපු හැටි මතක් වුණා. ඒ අතරෙ මට නින්ද ගියා වගේ දැනුණා. ඊට පස්සෙ අවදි වුණා වගේ දැනුණා. ඒ අවදි වුණේ ඉස්පිරිතාලෙ ඇඳ උඩ නොවෙයි ගෙදර. රෝහලේ දී නින්ද ගියත් අවදි වුණේ ගෙදර. ඒ එක්කම විශාල කුසගින්නක් දැනුණා. ඒ එක්ක ම මම හිටියේ වැසිකිළි වළේ.

“ඒ මොකද?”

“ඒ අසූචි කන්න. අසූචි කා ගෙන කාගෙන ගියා.”

“ඇයි මේ දුවට හිරිහැර කරන්නෙ?”

“මම හිරිහැර කරන්නෙ නෑ. දුවගේ බඩට රිංගලා බඩේ තියෙන අසූචි කනවා. දුවගෙ මාසික අපද්‍රව්‍ය කනවා.”

“කන්තෝරුව මතක් වෙන්නෙ නැද්ද?”

“සමහරදාට කන්තෝරුව මතක් වෙනවා. එතකොට ම මම කන්තෝරුවේ ඉන්නවා වගේ දැනෙනවා. මම කන්තෝරුවේ අය එක්ක කතා කළාට ඒ අයට ඇහෙන්නේ නෑ. ඒත් ඒ වෙලාවට මොකක්දෝ කුණු ගඳක් දැනෙනවා කියලා ඒ අය කියනවා. මම වැඩ කරපු මේසය ළඟට ගිය හැටියේ මාව කන්තෝරුවෙ වැසිකිළි වළට ඇදිලා යනවා.”

“එතනදි මොකද වෙන්නෙ?”

“ඒ වැසිකිළි වළේ ඉන්න අය මාව පන්නා ගන්නවා.”

“කවුද වැසිකිළි වළේ ඉන්නෙ?”

“එදා හිටපු මට වඩා ඉහළ නිලධාරී, පගාව ගත්ත අය. උන් ඒ වැසිකිළි වළේ ජරාව කකා ඉන්නවා. මම ගියා ම මාව පන්නා ගන්නවා. ඒ වැසිකිළි වළේ අසූචි ගඳ දැනුණු ගමන් මාව මගේ ගෙදර වැසිකිළි වළට ඇදිලා යනවා. නැත්නම් දුවගෙ බඩ ඇතුළට ඇදිලා යනවා.”

“ඇයි දැන් ටික වෙලාවකට කලින් මිදුලෙ ඉදලා කෑ ගහගෙන ඇතුළට ආවේ?”

“මම නිශ්ශබ්දවයි හිටියේ. මහත්තය ඒ කලින් ප්‍රතිකාර කළ මහත්තයාගෙ හොඳ කියන කොට, ඒවා ඇහෙන කොට මට දරාගන්න බැරිවුණා. ඒකයි අඬාගෙන ආවේ, පසුතැවීම, දුක, වේදනාව, වේගවත් වුණා. ඕකට තමයි කියන්නෙ කර්ම සාධක මතක් වෙන විට විපාක වේදනා විඳිනවා කියලා. ආත්මය (ආධ්‍යාත්මය) ප්‍රබල වෙන කොට හේතු අමතක වෙනවා. කර්ම සාධකයක් මතු වූ සැණින් විපාක විඳින්න වෙනවා. ඔබ ළාමක වුණොත් ප්‍රති විපාක තවත් වැඩි වෙනවා. ඒ නිසා දහමට යොමු වෙන්න. අනුන් දන් පැන් දෙන කොට පින් දහම් කරන කොට ඒවාට අත හිත දෙන්න.

පියා අතීතයේ කරන ලද අකුසල් නිසා දැන් ප්‍රේතයෙක් වී ඉපිද අනන්ත දුක් විඳින බැවින් තවත් බෝධි පූජා විසි එකක් පවත්වන ලෙස ද අවසානයේ දිනපතාම “බුදුගුණ අනන්තයි බුදුගුණ අනන්තයි, බුදුගුණ අනන්තයි ඒ බුදුගුණ බලයෙන් මම සුවපත් වේවායි සියලු සත්ත්වයෝ සුවපත් වෙත්වා යි සිහින් හඬින් මුමුණා භාවනා කරන ලෙස චින්තිකාට උපදෙස් දුන්නේය. දියණිය සමඟ බෝධි පූජාවට ගොස් ඇය, මුමුනන බුදුගුණ සහිත මෛත්‍රීයට සිත හුරු කරන ලෙස විල්සන් ගේ ප්‍රාණකාරයාට උපදෙස් දුන්නේය. ඒ දින විසි එකෙන් පසු භූතාත්මය කළුතර බෝධි පරිශ්‍රයට යැවීය.

මතුගම මහින්ද විජේතිලක
උපුටා ගැනීම සිළුමිණ පුවත්පත

Share This Article