Biz Log
Classifields
Biz Log
Classifields

මේ රටේ ළමයි නැති ගෑණු ඕන තරම් ඉන්නවා

මේ රටේ ළමයි නැති ගෑණු ඕනතරම් ඉන්නවා

“මම වයස අවුරුදු විසිහතරෙන් කසාද බැන්දේ. ඒ කාලෙ බන්දු මට හරිම ආදරෙන් හිටියේ. අපි කොයි තරම් සතුටෙන් සැහැල්ලුවෙන් ජීවත් වුණා දැයි ප්‍රීතිකා සිය සැමියා සමඟ ගෙවූ ආනන්ද ජනක අතීතය සිහිපත් කරමින්, පපු මඬල පිරී පැවතුණ දුක්ඛ වේදනාවේ සුසුම විශ්වයට පිට කැර හැරියා ය.

“ඇයි ඒ සතුටට මොනවාද වුණේ?” ආධ්‍යාත්මීය ගවේෂකවරයා ඇගෙන් ප්‍රශ්න කළේ ය.

“මට ළමයි නැහැ මහත්මයා. දැනට අට වතාවක් ගබ්සා වුණා” යි ඇය දෝතින් මුහුණ වසා‍ ගෙන ඉකි බිඳින්නට වූවා ය. ඇයට අඬන්නට ඉඩ තබා බන්දු කතාව පටන් ගත්තේ ය.

“මහත්තයා අපේ ආදරයට ප්‍රශ්නයක් වෙලා නෑ. ඒත් මෙයා ගෙ අසනීපය මුළු පවුලට ම ප්‍රශ්නයක්. ප්‍රීතිකා කිව්වා වගේ දැනට අට වතාවක් ලැබෙන්න ආ දරුවෝ නැති වුණා. එහෙම අමාරු වුණා ම මෙයාව ඉස්පිරිතාලෙ එක්ක ගෙන යනවා. ආපහු ගෙදර ආපු ගමන් දිව අඟල් හතරක් විතර එළියට දාගෙන අසිහියෙන් වගේ දෙපැත්තට ඔලුව වනනවා. ඇදුරෙක් ගෙන්නලා ආරක්ෂා නූලක් දැම්මා ම සනීප වෙනවා. ආයෙත් මාසෙකින් හමාරකින් ගැබ් ගත්තා ම නැවතත් අර විදිහට ම අසනීප වෙනවා. දැන් ඇඟපත වේදනාව හීනෙන් බියට පත්ව කෑ ගසාගෙන අවදිවීම, යටි බඩේ වේදනාව නිසා දුක් විඳිනවා.” ආධ්‍යාත්මීය උපදේශකවරයා ප්‍රීතිකා වෙත ශක්ති කිරණ එල්ල කළේ ය. ප්‍රීතිකා අඟල් හතරක් පමණ දිගට දිව එළියට දමා, දෑස් ලොකු කැර උගුරෙන් ගොරහැඩි හූ හඬක් කියා ගෙන සිහිසුන්ව වැටුණා ය.

දින විසි එකක් ගමේ පන්සලට ගොස් බෝධි පූජා විසි එකක් පවත්වා එන්නැයි උපදෙස් ලැබුණි. බෝමළුවට ගොස් මළුව ඇමද පිරිසුදු කොට මල් අසුන් සෝදා පිරිසුදු කොට ඉතා සද්ධාවෙන් මල් පහන් ගිලන්පස පූජා කොට වන්දනා කරන ලෙසත්, අවසානයේ පැන් බඳුනක් අතට ගෙන සබ්බ පාපස්ස ගාථාවේ අදහස මෙනෙහි කරමින් එකසියඅට වරක් සජ්ඣායනා කොට බෝධීන් වහන්සේ පැදකුණු කර නහවා දෙවියන්ටත් මළ ගිය ඥාතීන්ටත් පින් අනුමෝදන් කරන ලෙස ද උපදෙස් දුන්නේ ය. ප්‍රීතිකා අහංගම ප්‍රදේශයේ පදිංචිකාරියකි. මේ අද්භූත රෝග තත්ත්වයට විවිධ ප්‍රතිකාර කළත් සුවයක් නොලද බැවින් “සිළුමිණ” පත්‍රයේ පළවන “පියවි ඇසින් ඔබ්බට” විශේෂාංගය කියවා ඇතුල්කෝට්ටේ ගුප්ත ගවේෂණ මධ්‍යස්ථානය කරා සිය සැමියා සමඟ පැමිණ ප්‍රතිකාර පැතුවා ය. ලැබුණු උපදෙස් පරිදි බෝධි පූජා අවසන් කොට ඔවුහු නැවත පැමිණියහ. එදින ද ඇය දිෂ්ටි ගැන් වූ කල හූ කියන්නටත් දඟලන්නටත් වූවා ය. කෑ ගැසීමත් දැඟලීමත් පාලනය කළ ආධ්‍යාත්මීය උපදේශකවරයා ඇගෙන් ප්‍රශ්න කරන්නට විය.

“කවුද මේ දිව එළියට දාගෙන හූ කියන්නේ?”

“මම මල්කාන්ති” යි භූතාත්මය කීවාය.

“කවුද මේ මල්කාන්ති කියන්නෙ?”

“මේ කෙල්ලගෙ නැන්දා. මාමගෙ බිරිය.”

“ඔබට මොනවද වුණේ?”

“අවුරුදු හතකට ඉස්සෙල්ලා එල්ලිලා මැරුණා.”

“ඇයි එහෙම කැර ගත්තේ?”

“මට මගේ ජීවිතේ එපා වුණා මහත්තයා. එපා වුණා නොවෙයි මේකිගෙ අම්මා මට ජීවිතේ එපා කළා.”

“ඇයි එහෙම කළේ?”

“මහත්තයා මට අවුරුදු තිහෙන් වින්සන්ව කසාද බැන්දේ. අපි දෙන්නා ආදරෙන් හරි ම සන්තෝසෙන් ජීවත් වුණා. ඒත් මට ළමයි ලැබුණේ නෑ මහත්තයා. ප්‍රතිකාර වත් පිළිවෙත් කළත් හරි ගියේ නෑ. වැඩක් වුණේ නෑ. ඒත් අපි ලස්සනට ඉන්න ඕනැයි කියලා උත්සාහයෙන් ජීවත් වුණා. වින්සන් හරි හම්බ කරන දේ මදියි කියලා මම රට රස්සාවකට ගියා. මම එවපු සල්ලි වලින් ඉඩමක් අරගෙන ලස්සනට ගෙයක් හැදුවා. බස් එකකුත් ගත්තා. දැන් ඉතින් නිදහසේ ඉන්න ඕනැ කියලා ආපහු ලංකාවට ආවා. මම ආපහු එනකොට මගේ මිනිහා වෙන ගෑනියෙක් එක්ක යාළු වෙලා. ළමයෙකුත් ඉන්නවා. මට දරා ගන්න බැරුව ගියා. ඒ හොර මඟුල්වලට උදව් කළෙත් මේකිගෙ අම්මා.”

“ඇයි වින්සන් දික්කසාද නූනේ?” යි ගවේෂකවරයා ඇසීය.

“ඌ කපටියා. දික්කසාද වුණොත් මගේ දේපළ ඌට නැතුව යනවනෙ. ඒ දේපළ අර ගත්තේ මගේ නමට. එහෙම නූනා නම් මුන් මාව මහමඟට දානවා. මේකිගෙ අම්මා තමයි ඔක්කොම වින්නැහි සිද්ධ කළේ. ඒකි නිතර ම අපේ ගෙදර එනවා. උඹ වඳ ගෑනි. උඹෙන් වැඩක් නෑ. අපේ පරම්පරාව ගෙනියන්න දරුවෙක් දෙන්න උඹට බැරි වුණා. මූසලී. මගේ මල්ලිව විනාශ කළා. උඹ පලයං. උඹෙන් වැඩක් නෑ කියලා මට අපහාස කළා. අන්තිමට මේ ගෑනි ඈත එනවා දැක්කා ම මම හැංගුණා. නෑදියන් ගේ වුවමනා උත්සවත් මම මග හැරියා. මේ ගෑනි ඒ වගේ තැන්වලදිත් මට වෙනස්කම් කළා. වඳ බඩ්ඩක් ඇවිත් ඉන්නෙ කියලා මට අපහසා කළා. ඒ නිසා මම නෑදෑයින්ගේ උත්සවයකටත් සහභාගි වුණේ නෑ. මේ ගෑනිගෙ නපුරු කමට නෑයොත් කැමති නැහැ. මේ ලෝකෙ ළමයි නැත්තේ උඹට විතරක් නොවෙයි නංගියේ, උඹ ඕවා ගණන් ගන්න එපා කියලා සමහරු මගේ හිත හැදුවා. ඒ වුණත් මගේ මිනිහත් ඒ වෙලාවට දෙකොන වහගෙන මට අපහාස කරන්න අක්කට ඉඩදීලා හිටියා. ඌටයි උගේ අක්කාටයි ඕනෑ වුණේ මාව ගෙදරින් පන්නලා හොර ගෑනිවයි ළමයවයි මගේ ගෙදරට ගේන්න. ඉවසලා ඉවසලා බැරිම තැන මට ජීවිතේ එපා වුණා. ළමයි නැති මට වඩා මුන්ටයි ප්‍රශ්නය වුණේ. මමත් කල්පනා කරලා මුන්ට හොරෙන් මගේ නමට තිබුණු දේපළ, ගේ දෙ‍ාර, බස් එක, මගේ මල්ලි නමට ලියුවා. ඊට පහුවෙනිදා පාන්දර ළිඳට දාන කඹය අරගෙන එල්ලිලා මැරුණා. මේකිත් අර අම්මට ම හරියන ගෑනි. මේකිට ළමයි හැදෙන්න මම ඉඩ දෙන්නේ නෑ. මට කරපු අපරාදෙට මම පළිගන්නවා.”

“ඔබ මොනවද කරන්නේ?”

“මම මේකිගෙ බඩට රිංගලා පිළිසිඳ ගන්නා ළමයින්ගෙ යුෂ ලේ උරා බොනවා.”

තවත් බෝධි පූජා හතක් පවත්වා නැවත එන ලෙස ද එදිනට අම්මාත් මාමාත් කැඳවා ගෙන එන ලෙස ද ගවේෂකවරයා නියම කළේ ය. ඊළඟ දිනයේ ප්‍රීතිකාත් ඇගේ සැමියාත්, ප්‍රීතිකාගේ මවත් මාමාත් ගුප්ත ගවේෂණ මධ්‍යස්ථානය වෙත පැමිණයහ. ගවේෂකවරයා කතා කළේ ය.

“දැන් මේ අම්මයි මාමයි දෙන්නා ප්‍රීතිකාට වෙලා තියෙන කරදරයට, විපතට, හේතුව ‍දන්නවා නේද?”

“ඔව් මහත්තයා සම්පූර්ණ විස්තරය මේගොල්ලන්ට මම කිව්වා.” යි බන්දු නිහැඬියාව බින්දේය.

“ඉතින් මොකද කිව්වේ?”

“ප්‍රීතිකාගෙ අම්මා කිව්වා මල්කාන්ති නැන්දගෙ ආත්මය බැඳලා මූදෙ දාමු කියලා. මම හොදට ම දොස් කිව්වා. කරපු අපරාධ මදි නිසා ද තවත් අපරාධ කරන්නේ. අම්මලා කරපු වැරදි නිසා දැන් දුව දුක් විඳිනවා. දැන් ප්‍රීතිකා ඉන්නෙත් එදා මල්කාන්ති නැන්දා හිටපු වේදනාවෙන්. ඇයි මේ තරම් නපුරු වැඩ කළේ. තවත් නපුරු වැඩ කරන්න කියන්නේ කියලා.”

“ඔව් බොහොම හරි, රටේ ලෝකේ ළමයි නැති අම්මලා ඕනෑ තරම් ඉන්නවා. මල්කාන්ති විතරක් නොවෙයි දැන් ප්‍රීතිකාත් ඒ තත්ත්වයට පත්වෙලා. අම්මලා කරන අපරාධ ළමයින්ටත් ගෙවන්න වෙලා. සහෝදරයො පවුල් කන කොට අම්මලා අක්කලා ඒ ජීවිතවලට ඇඟිලි ගහන්න යන වරදේ බරපතළකම දැන් වැටහෙනවා නේද? දෙන්නෙක් විවාහ වුණා ම ඒ දෙන්නට නිදහසේ ජීවත් වෙන්න ඉඩ දෙන්න ඕනෑ, පපුව හොඳ නැති නැන්දම්මලා නෑනලා නිසා පවුල් කොයිතරම් අවුල් වෙනවාද’ යි කී ගවේෂකවරයා ප්‍රීතිකාට යළි දිෂ්ටි ගැන්වීය. මල්කාන්තිගේ භූතාත්මය අවදි වී ආවාය.

“මම අහගෙන හිටියේ මහත්තයා කියපු ටික. බොහොම හරි. මේ ගෑනි තමයි ඔක්කොම කළේ.”

“ඔව් මල්කාන්තිට විශාල අසාධාරණයක් සිද්ධවෙලා තියෙන බව පැහැදිලිව පෙනෙන්න තියෙනවා. ඒත් මල්කාන්තිත් කල්පනා කරන්න සංසාර ගමනෙදි කරපු පව් නිසා තමයි දරුවන් නොලැබී ගියේ. ඒක පෙර අකුසල කර්ම විපාකයක් කියලා හිතන්න. මේ ප්‍රීතිකා ගෙ අම්මාටත් සංසාර ගමනෙදි ඔය විපාකය ආත්ම දහස් ගණනාවක් විඳින්න වේවි. වඳ ගෑනියෙක් වෙලා උපදින්න වේවි. වඳ ගෑනි - වඳ ගෑනි කියලා අපහාස විඳින්න වේවි. අම්මා කරපු අපරාධ නිසා දැන් දුව දුක් විඳිනවා. ඒ මදිවාට තවත් කතා කරන්නේ මල්කාන්තිගේ භූතාත්මය අල්ලා බැඳලා මූදෙ දාන්න. කොයි තරම් නපුරු අදහසක් ද? ඒ වගේ ම වින්සනුත් අක්කගෙ කීමට වැඩ කරන්න ගිහින් අමාරුවෙ වැටුණා. ළමයි නැති වුණත් වින්සන්ටයි මල්කාන්තිටයි හොඳට කාලා ඇඳලා ලස්සනට ජීවත් වෙන්න තිබුණා. දැන් ඒකත් අහිමි වෙලා. ගේ දොර ඉඩම, බස් එක මල්කාන්තිගෙ මල්ලිට අයිති වුණා. බිරිඳ නැති වුණා. මේ හැම දේකට ම වගකියන්න ඕනෑ වින්සන් ගෙ අක්කා. අපට කරන්න දෙයක් නෑ. අසරණ වෙලා ප්‍රතිකාර ‍ෙහායා ගෙන එන නිසා ප්‍රීතිකාට උදව් කරන්න පුළුවන්” යැයි කී ගවේෂකවරයා යළිත් භූතාත්මය ඇමතුවේ ය.

“මල්කාන්ති ඔබට අපි මල්කාන්ති කියලා ඇමතුවාට ඇත්තට ම ඔබ මල්කාන්ති නොවෙයි. මරණ මොහොතේ චේතනාව හේතු කොට ගෙන උපන්න මළ යක්ෂණියක්. ඒ වුණාට ඔබ ළඟ හොඳ ගතිගුණත් තිබෙන බව පෙනෙනවා. ඔබේ කර්ම විපාක ගෙවුණාම ඉදිරි භවවලදී ඔබට දරුවන් ලැ‍ෙබ්වි. මෙන්න නෑනා ඇවිත් ඉන්නවා. ටිකක් එයා එක්ක කතා කරන්න. ඕනෑ නම් බණින්නැයි ගවේෂකවරයා භූතාත්මයට කීවේ ය. භූතාත්මය අඬන්නට වූවා ය. ඉන් පසු කතා කළාය.

“ඇයි අක්කේ ඔයා මට මෙහෙම කළේ. මට මගේ ජීවිතය එපා කළේ?”

“අනේ! නංගි මට සමාවෙන්න. මම කළ වැරැද්ද මට දැන් තේරුම් ගියා. මේ මහත්තයා කියන දේවල් අහගෙන හිටියා ම මට මම කළ වැරදි මැවි මැවී පෙනෙනවා. මට සමාවෙන්න නංගී” යි ප්‍රීතිකාගේ මව කීවාය.

“දැන් ඉතින් වින්සන් එක්ක කතා කරන්න.”

“මට ඌ එක්ක කතාවක් නෑ. මහත්තයාට ඕනෑ දෙයක් ඌට කියන්න. මම කැමති නෑ ඌ එක්ක කතා කරන්න. හරියට ඉන්න හිටින්න තැනක් නැතුව ඉන්න කොට මම මූට මාලිගා හදලා දුන්නා. වාහන අරන් දුන්නා. මූ අක්කගෙ කීමට රැවටිලා මෙච්චර ආදරෙන් හිටපු මට හතුරුකම් කළා. ඌ උගේ අලුත් ගෑනිත් එක්ක දරුවවත් හදාගෙන හිටපු දෙන්. දැන් මුගේ අතේ සතේ නැති හින්දා ඒ ගෑනිටත් එපා වෙලා ඇති.”

“ඉතින් මල්කාන්ති දැන් මට සවන් දෙන්න. මල්කාන්තිට වෙච්ච අසාධාරණ ඔක්කොම මම පිළිගන්නවා. ඒ වුණාට මේ අම්මා කරපු වරදට දුවෙගන් පළිගන්න එක නම් හරි නෑ. ප්‍රීතිකාට ඒවාට කරන්න දෙයක් නැහැනෙ. ඒ වගේ ම මේ බන්ධුත් සාධාරණ පුද්ගලයෙක්. ඒ නිසා ප්‍රීතිකාගෙන් පළි නොගෙන ඉවත් වෙලා යන්න. මම මේ අයට කියන්නම් සාංඝික දානයක් පිරිනමා මල්කාන්තිට පින් අනුමෝදන් කරන්න කියලා.” යි ඒ අනුව සාංඝික දායක් දෙන්නට උපදෙස් දුන‍්නේ ය. සාංඝික දානයෙන් පසු ඔවුහු නැවත පැමිණියහ. එදින ද භූතාත්මය ආවිෂ්ට වී කතා කළාය.

“මහත්තයාට පින් සිදු වේවා. මට පින් අනුමෝදන් වුණා. මම මගේ හිත හදා ගත්තා. පළිගැනීමේ අදහස් දැන් මගේ ළඟ නෑ මහත්තය. මම ආයෙත් ප්‍රීතිකාගේ ඇඟට එන්නේ නෑ. දැන් මේ අය අහංගම යන කොට මමත් ඒ වාහනෙන් ම ගිහින් කළුතර බෝධීන් වහන්සේ ළඟ නතර වෙනවා.” යි කීවා ය.

මතුගම මහින්ද විජේතිලක
උපුටා ගැනීම සිළුමිණ පුවත්පත

Share This Article