Biz Log
Classifields
Biz Log
Classifields

භූතාත්මය පුතා සොයා ප්‍රංසයටම යයි

භූතාත්මය පුතා සොයා ප්‍රංසයටම යයි

“පුතා පුංචි කාලෙම පුතාගෙ තාත්තා මැරුණා. මම හරියට කුසට නොකා නොබී තමයි පුතා හදා වඩා ගත්තේ. ඒත් වයස අවුරුදු දහසයේ දී පුතා ප්‍රංසයට ගියා‍. මගේ බඩ පිස්සා‍. මං පුතාට ආදරෙයි. ඒත් මගේ මරණයටවත් පුතා ආවේ නෑ. පුතා දකින්න තියෙන ආසාවට මම ප්‍රංසයටත් ගියා” යි නාමල්ට ආවිෂ්ට වූ ඔහුගේ මවගේ භූතාත්මය කීවා ය.

“ඔබ කොහොමද ප්‍රංසයට ගියේ. කලින් ගිහින් පුරුද්දක් තිබුණා දැ‍?යි ආධ්‍යාත්මික උපදේශකවරයා ප්‍රශ්න කළේ ය.

“ගියේ කොහොමද කියලා මම දන්නේ නෑ. පුතා ගැන ගැඹුරෙන් හිතන කොට මම පුතාගේ හෝටලේ පුතා ළඟ හිටියා.”

“එසේ ගිහින් මොනවද දැක්කේ?”

“පුතා එහෙන් සුදු නෝනා කෙනෙක් කසාද බැඳලා හිටියා. ඒ වෙන කොට දරුවො දෙන්නෙකුත් හිටියා. අපටත් නොකියාම සුදු ගෑනියෙක් බැඳගෙන කියලා මට කලිනුත් ආරංචි වුණා. මම හිටියේ ඒකට වැඩි කැමැත්තකිනුත් නොවෙයි. ඒත් ඉතින් දැන් මොනවා කරන්නද කියලා මම හිතුවා.”

“ප්‍රංසයෙ ඉඳ ගෙන මොනවද කළේ?”

“මොනවා කරන්නද හෝටලේ හදලා තියෙන මස් මාළු, බැදුම් පුළුටු රහ කැර කැර කකා හිටියා.”

නාමල් ගාල්ලේ උපත ලබා ප්‍රංසයට ගොස් නව පන්නයේ ආපන ශාලාවක් පවත්වාගෙන යන හතළිස් පස් හැවිරිදි ව්‍යාපාරිකයෙකි. ඔහු බඩේ වේදනාවකින් හා කොන්දේ කැක්කුමකින් දැඩි සේ දුක් වින්දේ ය. ආපන ශාලාව තුළ දරුණු ගඳක් පැතිරීම නිසා ගනුදෙනු කරුවන් පැමිණීම ද අඩාල විය. ඔහු ප්‍රංස ජාතික කාන්තාවක හා විවාහ වී සිටි අතර රාත්‍රියට ඇගේ ශරීරය තැනින් තැන සීරී ලේ ගලන්නට විය. ශාරීරික රෝගාබාධවලට වෛද්‍ය ප්‍රතිකාර ගත්තත් කිසිදු සුවයක් නොවීය. වත් පිළිවෙත්වලින් ද සහනයක් නොවීය. අන්තර්ජාලය ඔස්සේ නිතිපතා නොවරදවා ‘සිළුමිණ’ කියවන්නට පුරුදු වී සිටි ඔහු ‘පියවි ඇසින් ඔබ්බට’ විශේෂාංගය කියවා එහි සඳහන් ඇතුල්කෝට්ටේ ගුප්ත ගවේෂණ මධ්‍යස්ථානය සොයා ගෙන ආවේ ය. දරු දෙදෙනා එහි අධ්‍යාපනය ලබන බැවින් නාමල් සිය ප්‍රංස ජාතික බිරිය සමඟ පැමිණ සිටියේ ය. නාමල් මූලික සාකච්ඡාවේදී ආධ්‍යාත්මික උපදේශකවරයාට තත්ත්වය විස්තර කළේ ය.

“මම ප්‍රංසයට ගියේ වයස අවුරුදු දහසයේ දී. මම උත්සාහයෙන් දියුණු වුණා. ප්‍රංසයේ රෙස්ටුරන්ට් එකක් පටන් ගත්තා. මීට අවුරුදු දෙකකට කලින් මගේ අම්මා මැරුණා. මට අම්මගෙ මළ ගෙදරට එන්න බැරි වුණා. ඒ වුණත් හත් දවසෙ පින්කමට ආවා. එහෙම ඇවිත් පින්කම ඉවරවෙලා ආපහු ප්‍රංසයට ගිය දවසෙ ඉඳලා තමයි මේ අසනීප. රෙස්ටුරන්ට් එකත් වැටුණා. මගේ නෝනාවත් රෑට කවුදෝ හූරනවා. මම ලංකාවෙන් ඇදුරන් අරගෙන ගිහින් ප්‍රංසයේදී තොවිලයක් කළා. ඒත් කිසිම වෙනසක් වුණේ නැහැ.  පත්තරේ දැකලා තමයි ඔබතුමා හොයාගෙන ආවේ” යි කීවේ ය. නාමල් ගේ සුදු බිරිය පියවි ඇසට නොපෙනෙන දේ පිළිගන්නේ නැත. එහෙත් විවෘත මනසකින් යුත් උගත් කාන්තාවක් වූවා ය. රාත්‍රියට කිසිම හේතුවක් නැතිව තමන්ගේ ශරීරය සීරී ලේ ගැලීමත්, කොයි තරම් පිරිසුදුව තැබුවත් ආපන ශාලාවෙන් නැ‍ඟෙන දුර්ගන්ධයත් නිසා ඇය ද නොපෙනෙන දේ පිළිබඳ නැඹුරුවීමක් දැක්වූවා ය. එසේ ම ඉතා ම සමගියෙන් සතුටෙන් ජීවත්වූ පවුල් ජීවිතය දික්කසාද වන තරමට ම ආසන්නව ගැටුම් ඇතිවීමත් නිසා ඇය ඉවසිලිමත්ව අවධානය යොමු කළා ය. පළමු දින ගවේෂණයේදී නාමල් වැනෙන්නටත් පැද්දෙන්නටත් ව‍ූයේ ය. ඒ නිසා දින විසි එකක් බෝධි පූජා පවත්වා පැමිණෙන ලෙස උපදෙස් දුන්නේ ය. ඊළඟ දිනයේ නාමල් දිෂ්ටි ගැන්වීය. ඔහු තුළින් භූතාත්මයක් මතු වී ආවේ ය. ගවේෂකවරයා භූතාත්මයෙන් ප්‍රශ්න කරන්නට පටන් ගත්තේ ය.

“කවුද මේ ශරීරයට ඇතුළුවී ඉන්නේ?”

භූතාත්මය අඬන්නට පටන් ගත්තා ය. “අනේ මාව පන්නන්න නම් එපා” යි කීවා ය.

“හරි... හරි... කවුද මේ?”

“මම ගුණවතී”

“කවුද ගුණවතී කියන්නේ?”

“මම මේ කොල්ලගෙ අම්මා”

“ඇයි ඉතින් පුතාට වද දෙන්නේ?”

“අනේ මම මගේ පුතාට වද දෙන්නේ නෑ. තාත්තා නැතිවුණ දවසේ ඉඳලා මම නොකා නොබී හදා ගත්ත මගේ බඩ පිස්සාට මම කරදර කරන්නේ නෑ.”

“ඒ වුණාට මේ ලෙඩ දුක්. ව්‍යාපාරය වැටිලා. පවුලේ අසමගිය. එහෙම මොකද වෙන්නේ?”

“කොලුවට මාව බලන්න එන්න බැරි වුණා. මරණෙටවත් එන්න බැරි වුණා.”

“ඒ වුණාට හත් දව‍ෙස පින්කමට ආවනේ.”

“ඔව් පුතා ආවා. මම එහේ ගිහින් හෝටලේට වෙලා හොඳට කකා බිබී හිටියා.”

“ඇයි මේ සුදු නෝනගෙ ශරීරය හීරිලා ලේ ගලන්නේ.”

“අනේ මම හීරුවේ නෑ‍. මගේ සුදු ලේලිව මම රෑට අත ගානවා එච්චරයි.”

“ගුණවතී මොනවා වෙලා ද මැරුණේ?”

“වයසට ගිහින් අසනීප වෙලා මැරුණා.”

“ගුණවතී මැරුණට පස්සේ මොකද වුණේ?”

“අනේ මම දන්නේ නෑ”

“ඔය ගුණවතීම ද?”

“එහෙනම් වෙන කවුද?”

“ගුණවතීට ජීවත්ව ඉන්දැද්දි පුතා ගැන හිතපු ගමන් ප්‍රංසයට යන්න පුළුවන් වුණා ද?”

“බැහැ. මැරුණට පස්සෙ තමයි එහෙම පුළුවන් වුණේ.”

“මැරුණය කියන්නේ මොකක්ද ගුණවතී?”

“අනේ මම දන්නේ නෑ. මට තේරෙන්නේ නෑ. ඒ වුණාට මම තවම ඉන්නවා.”

“ගුණවතී මැරුණා. ගුණවතීගෙ ලෙඩ හැදුණු අබලන් ශරීරය අත හැරලා ගුණවතීගෙ සම්මුති ආත්මය ඒ ශරීරයෙන් පිට වුණා. පුතා ගැන තදින් හිතපු නිසා ඒ අන්තිම සිතුවිල්ලට අනුව ප්‍රේතියක් වෙලා උපන්නා.”

“ඊය්යා... මම ප්‍රේතියක් ද?”

“ප්‍රේතියක් නිසා තමයි ඔය යන යන තැන ගඳ ගහන්නේ. ලේලිව ආදරෙන් අත ගෑවත් ඔය තියුණු නියපොතුවලට හීරෙනවා. හීරිලා ලේ ගලනවා. ලේ ගලනවා විතරක් නොවෙයි ගුණවතී ඒ ලේ ලෙවකනවා නේද?”

“...............” ප්‍රේතිය නිහඬ ය.

“ඔය ලේ කෙළ සෙම් සොටු ආහාරයට ගන්නේ ප්‍රේතයෝ ප්‍රේතියෝ තමයි. මනුස්සයෝ දෙවිවරු, ඔය ජරාවල් ආහාරයට ගන්නේ නැහැනෙ.”

“අනේ මහත්තයා මට මේ ප්‍රේතාත්මයෙන් මිදෙන්න බැරිද?”

“පුළුවන්‍. ගුණවතී හිතන්න මම දැන් ගුණවතී නොවෙයි කියලා. ගුණවතී මැරුණා. නාමල් ගෙ අම්මා මැරුණා. දැන් ඔය ඉන්නේ ප්‍රේතියක්. මේ ප්‍රේතාත්මයෙන් මිදී ඉහළ තලයකට යන්න ඕනෑ යි හිතන්න. ගුණවතී ජීවත්ව ඉන්දැද්දි සිල් සමාදන් වුණා නම් ඒ ගැන හිතන්න. බණ ඇහුවා නම් ඒ ගැන හිතන්න. දන් දුන්නා නම්, අනුන්ට උදව් උපකාර කළා නම් ඒ ගැන හිතන්න. නාමල් ගැන හිතන එක අත හරින්න. නාමල් ගැනවත් අනිත් දරුවො ගැනවත්, නෑදෑයින් ගැනවත් හිතලා වැඩක් නැහැ. තමන් කරපු හොඳ වැඩ ගැන මතක් ‍කරන්න. මම නාමල්ට බෝධි පූජා නියම කළාම ඒ දෙන්නත් එක්ක පන්සල් යන්න. බෝ මළුවට ගිහින් බෝධි පූජාවට සහභාගි වෙන්න.” නාමල්ට තවත් දින හතක් බෝධි පූජා පවත්වන්නට නියම කළේ ය. මල් වට්ටි සකස් කරන විට හිස් වට්ටියක් ද තියන්නැයි උපදෙස් දුන්නේ ය. ඒ හිස් වට්ටියට අම්මා මල් කඩලා දාවි. ඒ මල් අපට පෙනෙන්නේ නෑ.‍ ඒ වට්ටියත් මල් ආසනය මතින් තියන්න. අම්මා ඒ මල් වට්ටිය පූජා කරාවි. දවස් හතේ ම එහෙම කරන්න. අම්මත් ඔය බෝධි පූජාවට සහභාගි වෙන බව හිතන්න. මල් පහන් පූජා කර අවසානයේ තුන් සූත්‍රය සජ්ඣායනා කර දෙවිය්නට පින් දෙන්න. අම්මා ගැන හොඳට හිතලා අම්මාට පින් අනුමෝදන් කරන්න. තාත්තා මළාට පස්සේ මාව හදා වඩා ගත්තේ අම්මා ය. මගේ අම්මා බුදුන් දැක නිවන් දකින්න ඕනෑ යි ගැඹුරින් හිතා පින් අනුමෝදන් කරන්නැයි වැඩිදුරටත් උපදෙස් දුන්නේ ය. ඒ උපදෙස් අනුව නාමල් සිය බිරිය සමඟ ගමේ පන්සලේ නැවත බෝධි පූජා පැවැත්වූයේ ය. සත්වැනි දවසේ පන්සලේ වැඩ සිටින ස්වාමීන් වහන්සේලාට හීල් දානයක් ද පිරිනමා මෑණියන්ට පින් අනුමෝදන් කළේ ය. ඒ පිළිවෙත් අවසන් කොට නැවතත් ගුප්ත ගවේෂණ මධ්‍යස්ථානයට පැමිණියේ ය. එදින ද නාමල්ගේ ශරීරයට භූතාත්මය දිෂ්ටි ගැන්වීය.

“කොහොමද ගුණවතී”

“මම බෝධි පූජාවලට ගියා මහත්තයා.”

“ඒවාට අත ගසා සහභාගි වුණා ද?”

“ඔව් මහත්තයා”

“එහෙම නම් දැන් ආයෙත් පුතා එක්ක ප්‍රංසයට යන්න පුළුවන් නේද?”

“නෑ... නෑ... මහත්මයා මම ආයෙත් පුතාටවත් ලේලිටවත් කරදර කරන්නේ නෑ.”

“හොඳයි එහෙනම් කොහේට ද යන්නේ?”

“මම කොහේවත් යන්නේ නෑ.”

“එහෙම නම් ගෙදර ම ඉන්නවා ද?”

“නැහැ මහත්තයා. මම ගමේ පන්සලේ බෝධීන් වහන්සේ ළඟට යනවා.”

“‍එහෙම යන්න පුළුවන් ද?”

“මහත්තයා මම බෝධීන් වහන්සේ ළඟට ගිහින් කලින් හිටියේ තාප්පයෙන් පිට. එතැන ඉන්න අය මට ඇතුළට එන්න දුන්නේ නෑ‍. පලයං... පලයං... උඹ ගඳයි. ඇතුළට එන්න එපා” කියලා එළියට පැන්නුවා. දැන් එහෙම නෑ. මට ඇතුළට යන්න අවසර තියෙනවා. මගේ මොනවා හරි වෙනසක් සිද්ධ වෙලා තියෙනවා. ඒක නිසා මම බෝධීන් වහන්සේ ළඟ නතර වෙනවා. මම යනවා මහත්තයා” යි භූතාත්මය නික්ම ගියා ය.

මතුගම මහින්ද විජේතිලක
උපුටා ගැනීම සිළුමිණ

Share This Article