පවුල් ජීවිතයේ අසරණවූ දියණියගේ පිහිටට මිය ගිය පියා එයි
“මගේ කෙල්ල අසරණ වෙලා. හොඳට ම අසරණ වෙලා. මට මගෙ දුව අතහැරලා යන්න බෑ. මට යන්න කියන්නත් එපා. මම යන්නෙත් නෑ.”
“කවුද මේ ශරීරයට ඇතුල් වෙලා ඉන්නේ.”
“මේ සමන්මලී දුවගේ තාත්තා. ජයසේන.”
“හොඳයි අපි යන්න කියන්නේ නෑ. ඒ වුණත් සති දෙකකට තාවකාලිකව ඉවත් වෙලා කැලණියට යන්න. මම එහෙම යෝජනා කරන්නේ සමන්මලීගේ යහපතටමයි. දුවට ආදරයක් කරුණාවක් තියෙනවා නම්, මේ සති දෙක විතරක් ඉවත් වෙලා ඉන්න සති දෙකකින් ආයෙත් එන්නැ” යි සමන්මලීගේ ශරීරයට ආවිශ්ටව සිටින ඇගේ පියාගේ භූතාත්මෙයන් ආධ්‍යාත්මීය උපදේශකවරයා කරුණාවෙන් ඉල්ලා සිටියේ ය. භූතාත්මය ඊට එකඟ විය.
සමන්මලී කඩුවෙල ප්‍රදේශයේ පදිංචි තිස් පස් හැවිරිදි වැදගත් තරුණ කාන්තාවකි. එකොළොස් හැවිරිදි පුතෙකුගේ මවකි. ඇගේ සැමියා සමන් පෞද්ගලික අංශයේ රැකියාවක නිරත වන්නෙකි. සමන්මලී මුදල් හදල් යාන වාහන වස්තු සම්පත්වලින් අඩුවක් නැති මවුපිය උරුමයෙන් දේපළ හිමිකාරියක් වූවා ය. සමන්මලීට මේ වනවිට දිනපතා ම පාහේ මිය ගිය පියාගේ භූතාත්මය ආවිශ්ට වී කෑකෝ ගසන්නටත් වරෙක අඬන්නටත් විය. වරෙක ඇඳුම් ඉරාගෙන අඩ නිරුවතින් හැසිරෙන අවස්ථා ද විය. මේ හැම දේකට ම වඩා බරපතළ වූයේ හිටි හැටියේ පිහියක් රැගෙන සිය සැමියා කපා කොටා මරන්නට තැත් කිරීමයි. බොහෝ විට පිහියක් අමෝරා ගෙන මහ පාර දිගේ සැමියා පන්නා ගෙන එයි. ගමේ උදවිය ඇයට පිස්සු යැයි කීම පවුලේ අයටත් විශේෂයෙන් ම අධ්‍යාපනය ලබන දරුවාටත් ලැජ්ජාවට කාරණයක් විය. වෛද්‍ය ප්‍රතිකාර, මනෝ වෛද්‍ය ප්‍රතිකාර ලබාදුන් නමුත් සුවයක් නම් නොවී ය. “සිළුමිණ” පත්‍රයේ සිත්මල් යාය අතිරේකයේ පළමුවන ‘පියවි ඇසින් ඔබ්බට’ විශේෂාංගය නොකඩවා කියවන පාඨකයෙක් වූ සමන් සිය බිරිය ඇතුල්කෝට්ටේ ගුප්ත ගවේෂණ මධ්‍යස්ථානය කරා ගෙන ගියේ ය. එහිදී ආධ්‍යාත්මීය උපදේශකවරයා ඉදිරියේ ඇය ප්‍රලය වී හූ කියන්නටත් කෑ ගසන්නටත් වූවා ය. ඇය තුළ අමනුෂ්‍ය දෝෂයක් නැති බවත්, මෙය පෞද්ගලික හේතුවක් මත සිදුවූ ප්‍රබල මානසික පීඩාවකින් මනස විකෘතිවීමක් බව ගවේෂකවරයා වටහා ගත්තේ ය. එහෙත් සමන්මලී තමන්ගේ ආරක්ෂාවට පැමිණ සිටින මිය ගිය පියාගේ භූතාත්මය තමන්ට ආවේශ වන බව තදින් පිළිගෙන තිබෙන නිසා එක්වරම මෙය භූත දෝෂයක් නොවේ යැයි කියන්නට ගවේෂකවරයා ඉක්මන් වූයේ නැත. ඇය පිළිගෙන සිටින ආකල්පය තුළින් ම ඇයට ප්‍රතිකාර කරන්නට තීරණය කළේ ය. ඇයට මස් මාළු කරවල බිත්තර සහ තෙල් බැදුම් ආහාරයට නොගන්නා ලෙස අවවාද කොට ගමේ පන්සලේ දී බෝධි පූජා විසි එකක් පවත්වා නැවත පැමිණෙන ලෙස උපදෙස් දුන්නේ ය. එසේ ම ඇයට ආවිශ්ට වන පියාගේ භූතාත්මය තාවකාලිකව සති දෙකකට කැලණියට යවන බව ද ඇයටත් පවුලේ අයටත් කීවේ ය. ඒ දෙසතිය තුළ සමන්මලීට පියා ආවිශ්ට වූයේ නැත. බෝධි පූජා අවසන් කොට ඇය නැවත පැමිණියාය. එදින සමන්මලී නැවත ප්‍රලය වූවා ය.
“මම ඇවිත් ඉන්නේ මගේ දුවගේ ආරක්ෂාවට, මාව පන්නන්න කාටවත් බෑ. මම යන්නෙත් නෑ” යි භූතාත්මය තදින් ම කීවේ ය. භූතාත්මය ශරීරයෙන් ඉවත් කොට ඇය සමඟ සාකච්ඡා කළේ ය. සමන්මලීගේ මනසට මහත් පීඩාවක් දෙන සිදුවීමක් නිසා ඇගේ මළගිය පියා පැමිණ ඇති බවත් ඒ පෞද්ගලික සිදුවීම විස්තරාත්මකව ලියාගෙන තමන් සතියකින් පැමිණෙණ ලෙස නියම කළේ ය. සමන්මලී තමන්ට මානසිකව පීඩා දෙන පෞද්ගලික ප්‍රශ්නය ලියා ගෙනැවිත් ගවේෂකවරයා අතට දුන්නා ය.
“මට හොඳට සල්ලි තියෙනවා. ඒ සල්ලිවලින් මගේ මහත්තයා හොඳට සැප විඳිනවා. ඒකට කමක් නැහැ. මගේ සල්ලි වලින් මමත්, මහත්තයාත්, පුතාත් සැප විඳින්න ඕනෑ. එතැන ප්‍රශ්නයක් නෑ. ඒත් මගේ මහත්තයා හොර ගෑනියක් ළඟට යනවා. මට හොරෙන් මගේ ම සල්ලි වියදම් කරමින් මට වංචා කිරීම ගැන මහත්තයා එක්ක මගේ යටි සිතේ තරහක් තියෙනවා. මගේ තනි නොතනියට, මගේ උදව්වට මගේ ගෙදර ඉන්න මගේ අම්මාටත් මේ ප්‍රශ්නය කිව්වේ නෑ. ලැජ්ජා නිසා. මේ අතරෙ දවසක් අර ගෑනිගෙ මිනිහා මාව හොයාගෙන ආවා. ඇවිත් මට කිව්වා අන්න අර අහවල් හෝටලයට මේ ජෝඩුව ගියා කියලා. මම ඒ වෙලාවෙම ඒ හෝටලයට ගියා. දෙන්නම මගේ අතට ම අහුවුණා. මම එතැන කලබල නොකර ගෙදර ආවා. සමන් එදා ගෙදර ආවේ බීලා. මම ඇහුවා මොකක්ද ඔය කරන ජරා වැඩේ කියලා. අහපු හැටියේ මේ මිනිහා මට ගැහැව්වා. මාව බේරගන්න ආපු මගේ අම්මවත් ඒ වෙලාවෙම ගෙදරින් එළෙව්වා. මට සිහිය නැතුව වැටෙනකම් ගැහැව්වා. මම රෝහල් ගත වෙලා ප්‍රතිකාර ගත්තා. ඉස්පිරිතාලෙට ඇවිත් මගෙන් සමාව අරගෙන අපි සමගියෙන් ජීවත් වෙමුයි කියලා ගෙදර ආවා. දැන් නම් මහත්තයා වෙනස් වෙලා ඉන්නේ. ඒත් එයාගෙ දැඩි නීති රීති පාලනයට මම කැමැති නැහැ. අපි හැම දෙයක් ම කරන්නේ මගේ තාත්තා මට හම්බ කරලා කියලා ගිය දේවලින්, තාත්තා මට හරිම ආදරෙයි. මම හැමදාම හැන්දෑවට මගේ දුක තාත්තට කියනවා. තාත්තා මගේ ඇඟට ඇවිත් පිහියක් අරගෙන මහත්තයාව කපන්න පන්නනවා. තාත්තා මගේ ඇඟට එනවා කියලා මට හිතෙනවා” යි ඇගේ ලිපියේ සඳහන් විය.
ආධ්‍යාත්මීය උපදේශකවරයා බෞද්ධ මනෝ විද්‍යාවට අනුව සමන්මලීටත්, සැමියාටත්, දරුවාටත් සමබරව උපදෙස් දුන්නේය. ඒ වගේ ම බෞද්ධ පිළිවෙත් කරන අපි බුදුදහමට අනුව කටයුතු කළ යුතුයි, බුදුරජාණන් වහන්සේ දේශනා කළේ හේතූන් නිසා හට ගන්නා ඵල ක්‍රියාකාරිත්වයක් නිසා සියල්ල ඉපදීමත් පැවතීමත්, මරණයත් සිදුවන බවකි. එය පටිච්ච සමුප්පාදයෙන් පැහැදිලි වෙනවා. තමන්ගේ පෞරුෂය තමන්ම ගොඩ ගොඩ නගාගන්න ඕනෑ. තමන්ගේ පෞරුෂය, ආරක්ෂාව, දියුණු උදාකැර ගැනීම දෙවියන්ට, අමනුෂ්‍යයන්ට පවරන්න එපා. දැන් ඔබ ඔබේ ආරක්ෂාව මිය ගිය තාත්තාට පවරලා. භාරදීලා, තාත්තා ඔබට දැක්වූ ආදරය නිසයි ඒ. ඔබේ මනස ඊට අනුව සකස් වෙලා. ඔබ මේ නා විටත් මනෝ වෛද්‍ය ප්‍රතිකාර ලබනවා. ඒකට කමක් නැහැ. නුවණත් මෙහෙයවන්න. මනෝ විද්‍යාවේ චොයිස් තියරි (Choice Theory) යනුවෙන් හඳුන්වන තේරීමේ න්‍යාය අනුවත් ඔබ සිතිය යුතු යි. ඔබේ ප්‍රශ්නය ගැන පිටස්තර කෙනෙකුට කීවොත් ඔහු කියන්නේ “දරුවා වෙනුවෙන් අතීත සිද්ධිය අමතක කර (අතහැර) කටයුතු කරන්න” කියායි. ඔබේ මහත්තයාගෙන් ඇහුවොත් “දරුවා වෙනුවෙන් ඒ සිද්ධිය අමතක කර වැඩ කරමු” යි කියාවි, ඔබේ සමීප ඥාතියෙකුගෙන් ඇහුවොත් “දරුවා වෙනුවෙන් ඉවසා කටයුතු කරන්න” කියාවි, මේ හැම කෙනෙකුගේ ම විසඳුම එකයි. ඔබ ඒ පොදු සාධකය පිළිගන්න ඕනෑ. එයයි සාධාරණය. බෞද්ධ මනෝ විද්‍යාවේ තීරණයක් ඒකමයි. මම ඔබ දෙදෙනාට යෝජනා කරනවා දරුවාත් සමඟ අනුරාධපුර අටමස්ථානය වඳින්න, යන්න. ඔබතුන් දෙනා පමණයි යන්න ඕනෑ. ඒ සිද්ධස්ථාන නරඹා වන්දනා කරන්න. දින තුනක් හොඳ නිදහස් පිරිසිදු නවාතැනක නතර වී සතුටින්, සැහැල්ලුවෙන්, ශ්‍රද්ධාවෙන් ඇවිදලා එන්න” යි උපදෙස් දුන්නේ ය. ශ්‍රී මහා බෝධීන් වහන්සේට අටපිරිකරක් පූජාකොට තාත්තාට පින් අනුමෝදන් කොට එතුමාට සිටින තැනින් තවත් ඉහළට යන්න ප්‍රාර්ථනා කරන්නැයි ද කීවේ ය. සමන්මලී දැන් සතුටින් කල් ගෙවයි. බෙහෙත් නතර කොට ඇත.
මතුගම මහින්ද විජේතිලක
උපුටා ගැනීම සිළුමිණ