මිනිසුන් තෘප්තිමත් නොවන්නේ තණ්හාව නිසයි
අසීමිත ආශා නිසා සමාජයේ ගැටුම් ඇති වෙලා, මානව සම්බන්ධතා බිඳ වැටිලා, වෛරය, ඊර්ෂියාව, තණ්හාව, ක්‍රෝධය පැතිරිලා මිනිස් ජීවිත පවා විනාශ වෙනවා. ඒ නිසා තෘප්තියෙන් තොරව ජීවත් වීම මිනිස් ජීවිතවලට සෘජුවම බලපෑම් කරනවා.
වර්තමානයේ පවතින්නේ අධි තරගකාරී සමාජ ක්‍රමයකි. එහි ජීවත් වන මිනිසුන්ට සැබෑ තෘප්තිමත් ජීවිතය යනු කුමක් ද? යන්න පවා අමතක වී තිබේ. එහි ප්‍රතිඑලයක් වශයෙන් අධික තණ්හාවෙන් ආත්මාර්ථකාමිත්වය පෙරදැරිව කෙසේ හෝ තමන්ගේ අරමුණු ඉෂ්ට කර ගැනීමට උනන්දු වන මිනිස්සු අවසානයේදී විනාශයට පත් වෙති. මෙබඳු කාරණා හේතුවෙන් තෘප්තිමත්භාවයෙන් තොර වීම සමාජ ගැටලු රාශියක් ඇති වීමට ප්‍රබල සාධකයක් වී තිබේ. පහත දැක්වෙන්නේ බුදු දහම තුළ තෘප්තිමත් ජීවිතයක් ගත කිරීමට ඉවහල් වන කාරණා පෙන්වා දී ඇති අන්දම පිළිබඳ කැලණිය විශ්වවිද්‍යාලයේ, පාලි හා බෞද්ධ අධ්‍යයනාංශයේ විශ්‍රාමික මහාචාර්ය, දේවාලේගම මේධානන්ද හිමියන් සමඟ සිදු කළ ධර්ම සාකච්ඡාවකි.
ස්වාමීන් වහන්ස, බුදුදහමට අනුව තෘප්තිමත් ජීවිතයක් කියලා කියන්නේ කුමක් ද?
ලෝකයා නිතරම අතෘප්තියෙන් පෙළෙනවා. ඔවුන් කිසිම දෙයකින් අවසාන තෘප්තියක් ලබන්නේ නැහැ. ඒක මනුස්ස ස්වභාවය. මිනිස්සු තණ්හාව නිසා තමයි තෘප්තිමත් වෙන්නේ නැත්තේ. තණ්හාවෙන් යුක්තව සංසාරයේ ජීවත් වන කෙලෙස්වලින් පිරුණු මිනිසුන් අවසාන වශයෙන් පුර්ණ තෘප්තියකට පත් වෙන්නේ නැහැ. පුර්ණ තෘප්තිය තිබෙන්නේ නිවනේ විතරයි.
බුදු රජාණන් වහන්සේ නිවනෙන් මෙපිට තාවකාලික තෘප්තියක් ලබා ගන්න පුළුවන් බව දේශනා කර තිබෙනවා. ඒ ගැන පැහැදිලි කළොත්?
බුදු රජාණන් වහන්සේ අත්ථි සුඛ, භෝග සුඛ, අණන සුඛ හා අනවජ්ජ සුඛ කියලා ගිහියන්ට අදාළ සැප 04ක් දේශනා කරලා තිබෙනවා. අත්ථි සුඛය කියලා කියන්නේ කෙනකුට තමන්ගේ ස්වයං පෝෂිතභාවය ගැන ඇති කර ගත හැකි සතුට. භෝග සුඛය කියන්නේ දැහැමින් ලත් ධනය පරිභෝජනය කිරීමෙන් ලබන සතුට. අණන සුඛය කියලා කියන්නේ කවරකුට හෝ අල්ප වශයෙන් හෝ බොහෝ වශයෙන් ගෙවිය යුතු ණය නැති නිසා ඇති වන සතුට. අනවජ්ජ සුඛය කියන්නේ කයින්, වචනයෙන්, සිතින් පව්කම් නොකිරීම නිසා නිවැරැදි දිවිපෙවෙතක් ගත කිරීමෙන් ලබන සතුට. මේ දේවල්වලින් ඈත් වෙලා කටයුතු කරන පුද්ගලයන් කිසිසේත්ම සතුටක් ලබන්නේ නැහැ.
පැවිද්දන් සිව්පසයෙන් තෘප්තිමත් වෙන්න ඕනෑ. පැවිද්දා තමන්ට පිඬු සිඟාවෙන් ලැබෙන ඕනෑම කටුක ආහාරයකින් තෘප්තිමත් වෙන්න ඕනෑ. ඒ සඳහා පැවිද්දාට උසස් මානසික ශික්ෂණයක් සහ දියුණුවක් තියෙන්න ඕනෑ. ගොරෝසු කටුක වස්ත්‍රයකින් කළ සිවුරකින් පවා සතුටු වෙන්න ඕනෑ. ගසක් යට, පැල්පතක, මඩුවක හෝ ඕනෑම කටුක ස්ථානයක ජීවත් වෙන්න පුළුවන් වෙන්න ඕනෑ. ඕනැම ආකාරයකට සකස් කළ බෙහෙත් වර්ගවලින් සතුටු වෙන්න ඕනෑ. පැවිද්දා මේ දේවල්වලින් සතුටු වෙන්න ඕනෑ. ලැබුණු සිවුරකින්, ලද පිණ්ඩපාතයකින්, ලද කුටියකින්, ලද ගිලන්පසකින්, ලද බෙහෙතකින් සතුටු වෙමින් හංසයන් මෙන් නිදහස් ජීවිතයක් ඇති කර ගන්න කියලා බුදු රජාණන් වහන්සේ තමන්ගේ භික්ෂූ ප්‍රජාව උදෙසා දේශනා කර තිබෙනවා.
අතෘප්තිය නිසා මිනිසුන්ගේ ජීවිතවලට අහිතකර බලපෑම් ඇති වෙනවා. උදාහරණයක් විදිහට මිනිසුන් තමන් නොදැනීම විනාශ වෙනවා. ඒ නිසා තෘප්තිමත් නොවීම මිනිස් ජීවිතවලට සෘජුවම බලපාන බව පැහැදිලි වෙනවා. ඒ ගැන ඔබ වහන්සේගේ අදහස කුමක් ද?
යමක් ලැබුණට ඒ දෙයින් සෑහීමකට පත්වෙන්නේ නැතුව තව තව දේවල් එකතු කර ගන්න ගිහින් මිනිසුන් එකිනෙකා අතර ගැටුම් ඇති කර ගන්නවා. අතෘප්තිය නිසා මිනිසුන් පස් පව්, දස අකුසල් කරනවා. කොයිතරම් දේවල් ලැබුණත් ඒවා මදියි කියන ආකල්පය මත ඉඳන් මිනිසුන් මානසික මට්ටම දුර්වල කර ගනිමින් වැරදි චර්යාවන්ට යොමු වෙනවා. ඒ නිසා අන්තිමේදී මිනිසුන් නොදැනුවත්වම විනාශයට පත් වෙනවා.
අතෘප්තිය නිසා මව්පියන්, සහෝදර සහෝදරියන්, රජවරුන්, සිටුවරුන් අතර ගැටුම් ඇති වීම, කලකෝලාහල ඇති වීම, එකිනෙකාට පහර දීම, එකිනෙකා ඝාතනය කිරීම ආදී දේවල් සිදු වන බව බුදු රජාණන් වහන්සේ දේශනා කරලා තිබෙනවා. මිනිස්සු අතෘප්තිය නිසා නොමඟට යනවා.
“අසීමිත තණ්හාවෙන් සොයන විට, ඒවා ලැබෙනවා, ලැබෙන විට ඇගයීම් කරනවා, ඇගයීම් කරන විට තව තවත් ඒවාට වහල් වෙනවා. ඒ නිසා අවි ආයුධ දරමින් ඒවා ආරක්ෂා කිරීමට පෙලඹෙනවා, අවසානයේදී ගැටුම් ඇති වෙනවා කියලා“ බුදුරදුන් මහා නිධාන සුත්‍රයේ දක්වා තිබෙනවා. අසීමිත ආශා නිසා සමාජයේ ගැටුම් ඇති වෙලා, මානව සම්බන්ධතා බිඳ වැටිලා, වෛරය, ඊර්ෂියාව, තණ්හාව, ක්‍රෝධය පැතිරිලා මිනිස් ජීවිත පවා විනාශ වෙනවා. ඒ නිසා තෘප්තියෙන් තොරව ජීවත් වීම මිනිස් ජීවිතවලට සෘජුවම බලපෑම් කරනවා. අද කාලේ තෘප්තිමත් ජීවිත ගත කරන්න බැරි වුණාම මිනිස්සු තමන්ගේ ජීවිත නැති කර ගන්නවා. ඒ නිසා සෑම පුද්ගලයෙක්ම තමන්ගේ ජීවිතවල වටිනාකම දැනගෙන ධාර්මිකව තෘප්තිමත් වෙන්න අධිෂ්ඨානය ඇති කර ගන්න අවශ්‍ය වෙනවා.
ඔබ වහන්සේට හැඟෙන ආකාරයට වර්තමාන සමාජයේ මිනිස්සු තෘප්තිමත් ජීවිතයකට ඇලුම් නොකරන්නේ අධි තරගකාරීත්වය නිසා ද?
ඇත්තටම ඔව්, වර්තමානයේ තිබෙන ආර්ථික ක්‍රමය, දේශපාලන ක්‍රමය, සමාජීය ක්‍රමය, සහ අධ්‍යාපන ක්‍රමය තුළින් මිනිස්සු අතෘප්තියට තල්ලු කරලා තිබෙනවා. අතෘප්තිය නිසා සමාජයේ මානසික දියුණුවත් නැති වෙලා ගිහින්. අද කාලයේ මිනිස්සු පන්සිල් රකින්නේ නෑ. කරණීය මෙන්ත සූත්‍රය හැමදාම සජ්ඣායනා කළත් ඒ දේවල් පිළිපදින්නේ නෑ. පන්සිල් පද පහ කොයිතරම් කිව්වත් ඒ දේවල් පිළිපදින්න කියලා කිසිම තැනකින් අණ කරන්නේ නෑ. සමාජයේ ගැටලු ඇති වෙන්න මේ දේවල් සෘජුවම බලපානවා.
අද කාලේ ඉන්න මිනිස්සු අධි තරගකාරීත්වය කියන දේට ඇබ්බැහිවෙලා. මිනිසුන්ව ඒකෙන් ගලව ගන්න පවා අමාරුයි. පාසල් අධ්‍යාපනයේ සිටම දරුවන් තරගකාරී අධ්‍යාපන රටාවකට යොමු වෙලා. ඒ නිසා දරුවන් වැඩිහිටියන් වුණාම නිරායාසයෙන්ම තරගකාරී ජීවිතයකට යොමු වෙනවා. අධි තරගකාරීත්වය නිසා මිනිසුන්ට තමන් කවුද කියන එක අමතක වෙලා තියනවා. ඒක සමාජ ප්‍රශ්න ඇති වෙන්න බරපතළ විදිහට බලපාලා තියනවා. අද කාලේ මිනිස්සු “කොයිතරම් මුදල් හම්බ කරත් මදියි, මොන දේ කරලා හරි තමන්ගේ ආසාවන් ඉෂ්ට කර ගන්න ඕන" කියන මතයේ ඉන්නවා. මේ දේවල් හිතට අරගෙන ඉන්න මිනිස්සු තෘප්තිමත් ජීවිතය අමතක කරලා ජීවත් වෙන්න පුරුදු වෙලා ඉන්නවා. ආසාවල් පිටිපස්සේ ගිහින් හෙම්බත් වෙලා ඉන්න මිනිස්සු මනුෂ්‍යත්වය අමතක කරලා ජීවත් වෙනවා. ඒක සමාජය පිරිහෙන්න බලපානවා.
තෘප්තිමත් ජීවිතයක් ළඟා කර ගැනීම සඳහා ඔබ වහන්සේ සමාජයට දෙන උපදේශය කුමක් ද?
ලද පමණින් සතුටු වීම, පහසුවෙන් පෝෂණය කළ හැකි කෙනෙක් වීම, වැඩ අඩු කෙනකු වීම, සිත සැහැල්ලුවෙන් තබා ගැනීම යන දේවල්වලින් තෘප්තිමත් ජීවිතයක් ගත කරන්න පුළුවන් බව බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තිබෙනවා. මේ දේවල්වලින් පුද්ගලයින්ගේ ඉන්ද්‍රිය සංවරය ඇති වෙලා ස්වයං හික්මීම තුළින් තෘප්තිමත් ජීවිතයත් ළඟා කර ගැනමට අවශ්‍ය මානසික මට්ටම ඇති වෙනවා. තෘප්තිමත් ජීවිතයක් ළගා කර ගන්න මුල්ම අඩිතාලම දාන්න ඕන පාසල් අධ්‍යාපනයෙන්. මම අනෙකාට වඩා වැඩියෙන් ලකුණු ගන්නවා කියන දේ අද අධ්‍යාපන ක්‍රමවේදය තුළින් දරුවන්ගේ හිත්වලට දාලා තියනවා. දරුවන්ගේ හිත්වලට දාන්න ඕන, ඔයා තමන්ට හැකි උපරිමයෙන් මහන්සි වෙලා වැඩ කරන්න. එතකොට ඔයාටත් හොඳ මට්ටමකට පත් වෙන්න පුළුවන් කියන එක. ඒ වුණාට අද දරුවන්ගේ මව්පියන් දරුවන්ගේ සිත් අධි තරගකාරීත්වයට යොමු කරන්නන් වෙලා ඉන්නවා. අවසානයේදී තරගකාරී අධ්‍යාපනයෙන් හෙම්බත් වුණු දරුවන් මානසික රෝගීන් බවට පත් වෙනවා. තමන්ගේ විවාහය තුළින් අවංකවම තෘප්තිමත් වෙන්නේ කීයෙන් කී දෙනා ද? තෘප්තිමත්ව පවුල් ජීවිත ගත කරන්න බැරි හින්දා ලංකාවේ පවුල් ජීවිත කීයක් බිඳ වැටිලා තියනවද? ඇත්තටම මේක සාමාජයේ දැඩි අර්බුදකාරී ප්‍රශ්නයක් වෙලා තියනවා.
දරුවන්ට කුඩා කාලයේ ඉඳන්ම සරල සැහැල්ලු ගති පැවතුම්වලින් ධාර්මිකව ජිවත් වෙන්න පුරුදු කරන්න ඕන. ඒ සඳහා අදාළ පොත් පත් කියවන්න පුරුදු කරන්න ඕන. දරුවන්ව දහම් පාසල් අධ්‍යාපනයට යොමු කරවන්න ඕනෑ. සෑම පුද්ගලයෙක්ම තමන්ට ළඟා කර ගැනීමට හැකි දේවල් පිළිබඳ පැහැදිලි අවබෝධයකින් ඉන්න ඕනෑ. නිකරුණේ හැල්මේ දුවන පුද්ගලයන් නොවෙන්න වග බලා ගන්න ඕන. තමන්ට ලැබී තිබෙන මිල මුදල්, වත්කම්, නැති නාස්ති නොකරගෙන, ඒ දේවල් නිසි ලෙස කළමනාකරගෙන තමන්ගේ බලාපොරොත්තු ධාර්මිකව ඉටු කර ගන්න උනන්දු වෙන්න ඕනෑ. ලද දෙයින් සතුටු වෙලා ජීවත් වෙන්න හුරු වුණොත් මුළු සමාජයටම සතුටින් ජීවත් වෙන්න අවශ්‍ය ආත්ම ශක්තිය ළඟා කර ගන්න පුළුවන්.කැලණිය විශ්වවිද්‍යාලයේ පාලි හා බෞද්ධ අධ්‍යයනාංශයේ විශ්‍රාමික මහාචාර්ය දේවාලේගම මේධානන්ද හිමි