මිනිස් නොමිනිස්
ලෝකවාසී සත්වයන් අතරින් ශ්‍රේෂ්ඨම සත්වයා නම් මිනිසාමය. විටෙක අතිශයින් හීන බවට පැමිණෙන්නේද මිනිසාමය. එබැවින් “ මිනිසා තමයි හඳුනාගත නොහැකිම සතා” යැයි කියමනක් අප අසා ඇත. ඒ අනුව බුදුරජාණන් වහන්සේ දේශනා කර වදාළේ රූප හා වර්ණයන් නිසාම මිනිසා මනාව හඳුනාගත නොහැකි බවයි. “වර්ණයෙන් හෝ රූපයෙන් මිනිසා හඳුනාගත නොහැකිය. දැකීම් පමණකින් විශ්වාස නොකළ හැකිය. සංයම වූ අයගේ තවුස් පිරිකරවලින් සංයම නොවූ අය මොලොව හැසිරෙති” යනුවෙන් බුදුරජාණන් වහන්සේ වදාළ සේක.
බුදුරජාණන් වහන්සේ සැවැත්නුවර මිගාරමාතු ප්‍රාසාදය හෙවත් පූර්වාරාමයෙහි වැඩ සිටි සමයේ දිනක් කොසොල් රජතුමා එහි අවුත් බුදුරජාණන් වහන්සේට වැඳ පසෙකින් හිඳ ගත්තේය. එවිට ජටිලයෝ හත් දෙනෙක් ද අච්ෙලකයෝ හත් දෙනෙක් ද නිගණ්ඨයෝ හත් දෙනෙක්ද ඒක සාටකයෝ හත් දෙනෙක්ද බුදුරදුන් වැඩි සිටින ස්ථානයෙන්ම ගමන් කළහ. එවිට කොසොල් රජතුමා නැගිට ඔවුන් වැඳ “මම කොසොල් රජ වෙමියි.” තෙවරක් කීවේය. රජතුමා ඔවුන් ගිය පසු “ඔවුහු රහත් වෙතියි” යි බුදුරදුන්ට සැල කළේය. එම අවස්ථාවේ දී බුදුරජාණන් වහන්සේ මිනිසා හඳුනා ගන්නා ආකාරය රජුට පැහැදිලි කළ සේක. මේ ලෝකයේ මිනිස්සු විවිධය. භින්නරුචිකයෝය. එබැවින් එසේ වූ අයගෙන් සුචරිතවත් පුද්ගලයකු හඳුනා ගැනීම කජු කෑමක් වැනි යැයි සිතිය නොහැකිය. එය මදක් සුපරීක්ෂාකාරීව කළ යුත්තක්ම මිස කළ නොහැක්කක්ම නොවේ. සුචරිතවත් පුද්ගලයකු අපගේ ජීවිතයට අවශ්‍ය වනුයේ ලෞකික හා ලෝකෝත්තර යන දෙයාකාරයෙන් ම ජීවිතය යහ මගට යොමු කිරීමටය. බෝසතුන්ද යහපත් මිතුරෙකුගේ ආශ්‍රය නිසා එක් ආත්ම භාවයක නියත විවරණය ලැබූ බව බෞද්ධ සාහිත්‍යයෙන් පෙනේ. එබැවින් අප වැනි සාමාන්‍ය ජනයා ගැන කියනුම කවරේද? අංගුත්තර නිකායේ අම්බ සූත්‍රයේ දී පුද්ගලයන් සතර දෙනකු පිළිබඳව සඳහන් වේ. එහිදී ඔවුන් සතර දෙනා අඹවලට උපමා කර ඇත්තේ මෙලෙසය.
- පැසුණක් සේ පෙනෙන අමු වූ අඹ.
- පැසුණක් සේ පෙනෙන පැසුණු අඹ.
- අමු වූවක් සේ පෙනෙන අමූ වූ අඹ.
- අමු වූවක් සේ පෙනෙන පැසුණු අඹ.
සාමාන්‍ය ව්‍යවහාරයේ පවතින්නේ ද ‘ අඹ යාළුවෝ’ නැතහොත් ‘මැංගෝ ෆේරන්ඩ්ස්’ කියාය. මෙම උපමාවෙන් දැක්වෙන පුද්ගලයන් සතර දෙනා අඹ පුද්ගලයන් ලෙස හැඳින්විය හැකිය. අඹ ඵල අතර ඇතැම් ඵල පැසුණු සේ පෙනුණ ද කපා බැලූ කල අමු වූ අඹ ඇත. එනම් පුද්ගලයකු බැලූ බැල්මට යහපත් කෙනකු සේ පෙනුණ ද ක්‍රියාවෙන් කයද බස් වහරින් වචනය ද සිතිවිල්ලෙන් සිත ද අයහපත් වූ තැනැත්තාය.
පෙර කලෙක සැවැත් නුවර වෙදේහිකා නම් ගෘහණියක් සිටියාය. ඇයට කාළී නම් දැස්සක් සිටියාය. වෙදේහිකා ගෘහණිය ප්‍රියමනාප යැයි නගරය පුරාම කීර්ති ඝෝෂාවක් පැතිරී තිබුණි. එහෙයින්ම ඇයගේ දාසිය ඒ බව විමසීය යුතු යැයි දිනක් දවල් වී අවදි වූවාය. එවිට වෙදේහිකා ගෘහණිය දවල් වී අවදි වීමට හේතුව විමසූ විට කිසිවක් නැතැයි දාසිය පිළිතුරු දුන්නාය. එවිට ‘පවිටු දාසිය යැයි” රවා බැලුවාය. දවෛනි දවස ද දාසිය පමා වී අවදි වූවාය. එදින ගෘහණිය දාසියට බැණ වැදුනාය. තුන් වන දවස ද දාසිය පමා වී අවදි වූවාය. එදින කෝපයට පත් ගෘහණිය දොර පොල්ලක් ගෙන දාසියගේ ඔළුවට පහර දුන්නාය. ඒ නිසා ඔළුව පැළුණු දාසිය ඒ බව නගරය පුරාම කියා සිටියාය. ඇය දැකීමෙන් ප්‍රියශීලී වූවද ද්වාරාත්‍රයෙන් ප්‍රියශීලී නොවූ තැනැත්තියකි. මේ පළවෙනි වර්ගයේ අඹ පුද්ගලයාය. එසේම ඇතැම් ඵල පැසුණු සේ පෙනෙන්නාක් මෙන්ම කපා බැලූ කලද පැසුණු අඹ ඇත. එනම් දැකීමෙන් මෙන්ම ද්වාරත්‍රයෙන් ද යහපත් පුද්ගලයාය. මේ දෙවන වර්ගයේ අඹ පුද්ගලයාය. ඇතැම් ඵල අමු වූවක් සේ පෙනෙන්නාක් මෙන්ම කපා බැලූ කල ද අමු වූ අඹ ඇත. එනම් දැකීමෙන්ද ප්‍රියජනක බවක් නැති ද්වාරත්‍රයෙන් ද ප්‍රියමනාප බවක් නැති පුද්ගලයාය. මේ තෙවන පැසුණු අඹ ඇත. එනම් දැකීමෙන් සිතකළු ස්වභාවයක් නැති වුවද ඔහුගේ හෝ ඇයගේ ක්‍රියාකලාපවලින් මෙන්ම සිතින් හා වචනයෙන් ප්‍රිය වූවක් මනාප වූවක් වීමය. මේ සතර වන වර්ගයේ අඹ පුද්ගලයාය. මෙබඳු විවිධත්වයෙන් යුතු මිනිස් වර්ගයා සිටින බැවින් දැකීම් මාත්‍රයෙන් කෙනෙකු හඳුනා ගැනීම පහසු නොවේ. එබැවින් බුදුරජාණන් වහන්සේ සත්තජටිල සූත්‍රයේදී පුද්ගලයකුගේ සීලාදී කරුණු සතරක් දැන ගත හැකි මග වදාළ සේක. එම කරුණු සතර නම්,
- සීලය හෙවත් හැදියාව
- පිරිසිදු බව
- ඥාන ශක්තිය
- ප්‍රඥාව
ඒ අනුව සීලය දැන ගත යුතු වන්නේ එකට විසීමෙනි. ඇසුරු කිරීමෙනි. සීලය යනු හැදියාවයි. ශීලාචාරකමයි. පුද්ගලයකුගේ දුසිල්වත් බව හා සුසිල්වත් බව හෙවත් යහපත් හැදියාවන් හා නරක හැදියාවන් දැකීමෙන් හා පෙනීමෙන් දැන ගත නොහැකිය. එය දැන ගත යුතු වන්නේ ඇසුරු කිරීමෙනි. ඇසුරු කිරීම ද දවසක් දෙකක් නොවේ. එය ටික කාලයක් දිගට කළ යුත්තකි. එසේම මනා සිහි ඇති නුවණැත්තන් විසින් ම දැන ගත හැක්කක් බව බුදුරජාණන් වහන්සේ වදාළ සේක. “භේදවන ගහ දෙපෙත්තෙන් දැනේ” යැයි කියමනකුදු ඇත. ඒ අනුව කෙනෙකුගේ හැදියාව හෙවත් සීලය දැන ගත හැක්කේ ඔහුගේ හෝ ඇයගේ ක්‍රියා කලාපවලිනි. එම ක්‍රියාකලාපයන් ටික කාලයක් නැවත නැවතත් විමසා බැලිය යුතුය. එමෙන්ම දෙවන කාරණය නම් පිරිසිදු බවයි. එය දැන ගත හැක්කේ කතා ව්‍යවහාරයෙනි. එනම් වදන් හසුරුවීමෙනි. එය සිදු කරන්නේ මුවෙනි. මුව යහපතක් මෙන්ම අයහපතක් ද සිදු කරයි. මුව තුළට දමන දේ නිසා ද මුවින් පිට කරන දේ නිසාද යහපත හා අයහපත අත්‍යන්තයෙන්ම සිදු වේ. මුව තුළට දමන දේ නම් ආහාරපාන යි. ආහාර පාන ගැනීම ශරීරයට සුබදායකය. බඩ ගින්නෙන් සිටින විට ආහාර මඳක් ගැනීම අතිශයින් සැප එළවයි. එසේම යහපතක්මය. එය දුඃඛදායක වන්නේ ලෙඩාටය. උදාහරණයක් වශයෙන් දියවැඩියාවෙන් පෙළී සිටින කෙනකුට පැණි රස කෑම අහිතකරය. මේ අනුව මුව තුළට දමන දේවලින් යහපත හා අයහපත යන දෙකම සිදු වේ. මෙය මුව පදනම් කර ගත් දෙයකි. මුවින් පිට කරන දේ නම් වචනයි. වචන භාවිත කිරීම නම් අදහස් හුවමාරු කරන මාධ්‍යයක් වේ. එය කතා ව්‍යවහාරයයි. එමගින් කෙනෙකු පහද වන්න මෙන්ම රිදවන්න ද කළ හැකිය. එබැවින් මුව පදනම් කරගත් කතා ව්‍යවහාරය ද යහපත හා අයහපත යන දෙකම ළං කරයි. කතා ව්‍යවහාරය, ඉදිරියේ සිටීම හා ඉදිරියේ නැති වීමේදී යනුවෙන් ආකාරද්වයෙන් ම සිදු වේ. තමා ඉදිරියේද සිටිය දී කී කතාව ම නැති තැන දීද ඒ අයුරින්ම කියන්නේ නම් එය කෙනකුගේ පිරිසිදු බවේ සංකේතයයි. ඉදිරියේදී එකක්, නැති වූ විට අනෙක් පවසන්නේ නම් එය කෙනෙකුගේ අපිරිසිදු බව ලෙසත් හඳුනා ගත යුතුය. එය දිගු කලකින් ම මිසක් කෙටි කාලයකින් දැන ගත නොහැකිය. කෙනෙකුගේ ඥාන ශක්තිය දැන ගත හැක්කේ විපත් පැමිණි විටය. විපතට පත් පුද්ගලයා කළ යුතු දේ නොකළ යුතු දේ කුමක් දැයි දැන ගන්නේ ඥාන ශක්තියෙනි. එසේ නොදන්නා පුද්ගලයා දොරක් නැති ගෙයකට ඇතුළු වූ පුද්ගලයා හා සමාන වේ. දොරක් නැති ගෙයක් නම් අනාරක්ෂිතය. දොරක් වසා ආරක්ෂා වී සිටින්නට දොරක් නැති හෙයිනි. එමෙන්ම කළබලයට පත් වේ. ඒ අනුව විපතේදී කළබල නොවී කළ යුත්ත නිසි අයුරින් සිදු කරන්නා ඥාන ශක්තිය ඇත්තෙකු බව දැනගත යුතුයි. සතර වන කාරණය වන ප්‍රඥාව දැන ගත යුත්තේ සාකච්ඡා කිරීමෙනි. සාකච්ඡා කිරීමේදී කෙනෙකුගේ ප්‍රඥාව දැන ගත හැකිය. ප්‍රඥාව නැත්තාගේ කතාව හරියට ජලයෙහි ඇති පන්දුව මෙන් උඩට විසි වේ. එනම් ප්‍රඥාව නැත්තාගේ කතාව බොල්ය. හිස්ය. අර්ථ ශූන්‍යයය. ප්‍රඥාවන්තයාගේ කතාව හිස් නොවූ අර්ථ සහිතය. එබැවින් පුද්ගලයකුගේ ප්‍රඥාව දැනගත හැක්කේ සාකච්ඡා කිරීමෙනි.
මිනිස තුළ ඇති මෙම ගති පැවැතුම් දැන ගත හැක්කේ ඇසුරු කිරීම, කතා ව්‍යවහාරය ආදී කාරණාවලිනි. එහෙයින් කෙනෙකුගේ රූපයට වර්ණයට පමණක් වහල් නොවී උක්ත කාරණාවන්ගෙන් යුක්තව විමසා බලා සත්පුරුෂයෝ උභයාර්ථය සාදා ගනිත්වා!
කොළඹ මාලිගාකන්ද විදේයාදය පිරිවෙනේ නේපාලයේ සෝමරතන හිමි
උපුටා ගැනීම ලක්බිම පුවත්පත