ඊර්ෂ්‍යාව නිසා ලැබෙන දෙයක් නැත. සැනසීම අහිමි වේ.
මිනිස් සිත තුළ හටගන්න එක්‌දහස් පන්සීයක් තරම් වූ කෙලෙස් සතුරන් අතරින් 'ඉස්‌සා' නැත්නම්, ඊර්ෂ්‍යාව කියලා කියන්නේ ඉතා භයානක කෙලෙස් සතුරෙක්. චිත්ත අභ්‍යන්තරයෙන් හටගන්න ඊර්ෂ්‍යාව යම් සැනසිල්ලක් අපේ සිතේ තිබුණ ද ඒක වහා විනාශ කරලා දානවා. ඒ විතරක් නොවෙයි මෙලොව පරලොව අපට මහා පරිහානියක් උරුම කරලා දෙනවා. සංසාරෙම අඳුරෙන් අඳුරට අපව තල්ලු කර දමනවා. අනුන්ගේ සැප සම්පත්වලට යාන වාහන ඉඩකඩම් කීර්ති ප්‍රශංසා තනතුරු ආදියට අකමැති බව ඒවා නොඉවසන ගතියට තමයි ඊර්ෂ්‍යාව කියලා කියන්නේ. ඇතැම් අය ඉන්නවා අනුන්ගේ ලස්‌සනට ඊර්ෂ්‍යා කරනවා. අනුන්ගේ වත්තක් කුඹුරක් හොඳට හැදුනොත් ගහක ගෙඩියක් හොඳට හැදුනොත් ඒකටත් ඊර්ෂ්‍යා කරනවා. හූල්ලනවා. හදි හූනියම් දේපළ විනාශ කරවීම්, ගිනි තැබ්බවීම් කරවනවා. වස විස කැවීම් හා නානාවිධ උපක්‍රම කරමින් අනුන් විනාශ කරන්න හදනවා. ඒවා හරි නොගියාම අනුන්ගෙ අඩුපාඩු කියන්න ගන්නවා. අනෙකාගේ කතාවේ බහේ ඇඳුමේ පැළඳුමේ එහෙමත් නැත්නම් කන බොන විදියේ ගමනෙ බිමනේ හරි ඇඟපතේ හරි අඩුපාඩුවක් දකිනවා. ඒ අඩුපාඩු අනුන් එක්‌ක කිය කිය සතුටු වෙනවා. ඇයි මේ ඊර්ෂ්‍යාව හින්දා. නොඉවසිල්ලෙන් බලාන ඉන්නේ අනුන්ගේ සැප සම්පත් විනාශ වෙනකල්. බැරි වෙලාවත් තමුන් ඊර්ෂ්‍යා කරන උදවියට නපුරක් කරදරයක් වස්‌තු විනාශයක් වුණොත් ඇතැම් දෙනා සාද පවත්වලයි ඒ සතුට භුක්‌ති විඳින්නේ.
ඊර්ෂ්‍යා කරන කිසිම කෙනෙක් කියන්නේ නැහැ තමන් අනුන්ට ඊර්ෂ්‍යා කරන බව. එයා කියන්නේ "මං, කාටවත් ඊර්ෂ්‍යා කරන්නේ නැහැ. ඒ වුණාට මිනිස්‌සු මට ඊර්ෂ්‍යා කරනවනේ" කියලයි. තමුන්ගේ හිතේ තියන ඊර්ෂ්‍යාව තමුන්ට පේන්නේ නැහැ. මේක කොච්චර හීන දීන තිරශ්චීන ක්‌ලේශයක් ද කියනවා නම් පවක් වුණත් බලන්න. සතුන් මරන කෙනාට ඒකෙන් මස් ලැබෙනවා. සොරකම් කරන කෙනාට ඒකෙන් මුදල් ලැබෙනවා. ඒත් ඊර්ෂ්‍යා කරන කෙනාට මොනවද ලැබෙන්නේ. කිසිම දෙයක් නැහැ. හැබැයි සිතේ සැනසිල්ල නම් අහිමි වෙලා යනවා. ඉතා බිහිසුණු ප්‍රතිවිපාක කිහිපයක් එයා වෙත ළඟා වෙනවාය කියලා අංගුත්තර නිකායේ කෝධන සූත්‍රයේදී බුදුන් වහන්සේ වදාළා. පිරිසක් ඉන්නවා අනුන්ගේ ලස්‌සනට ඊර්ෂ්‍යා කරනවා. එහි ප්‍රතිඵලයක් විදියට ඒ උදවියට ලැබෙන ප්‍රතිවිපාකය තමයි තමුන්ගෙ ලස්‌සන පිරිහිලා යන එක. මොකද? ඊර්ෂ්‍යාව නිසා ලේ ධාතුව අපිරිසිදු වෙලා එන්න එන්නම ඒ ඇත්තෝ දුර්වර්ණ වෙනවා. කැත වෙනවා. තවත් සමහරු අනෙකාගේ සැනසිල්ලට නින්දට ඊර්ෂ්‍යා කරනවා. උපක්‍රම කර කර අනුන්ගේ සැනසිල්ල නැති කරන්න හදනවා. එහෙම කරන එකේ ප්‍රතිවිපාක විදිහට තමුන් ළඟ යම් සැනසිල්ලක් තිබුණ ද ඒක අහිමි වෙලා යනවා. හරියකට නින්දවත් යන්නේ නැහැ. ඇයි ඒ හිත ඊර්ෂ්‍යාවෙන් පිරිලා නිසා. ඒ වගේම යමෙක් අනුන්ගේ ඉගෙනීමට ඊර්ෂ්‍යා කළොත් වෙන්නේ තමන්ගේ නැණ නුවණ පිරිහිලා යන එකයි. ඇතැම් දෙනා අනෙකාගේ වස්‌තුවට ඊර්ෂ්‍යා කරනවා. එහි ප්‍රතිවිපාක විදියට තමා සන්තකව යම් වස්‌තුවක් තියනවද ඒක නොසිතූ විදියට විනාශ වෙලා යනවා. අනුන්ගේ කීර්ති ප්‍රශංසාවලට පරිවාර සම්පත්තියට ඊර්ෂ්‍යා කළාම තමන්ගේ කීර්ති ප්‍රශංසා වලටයි හානි සිද්ධ වෙන්නේ. තමන්ගේ පරිවාර සම්පත්තියයි පිරිහිලා යන්නේ"ය කියලා බුදුරජාණන් වහන්සේ වදාළා. ඉන් පැහැදිලි වෙනවා අනුනට ඊර්ෂ්‍යා කරන එක තමන්ටම හානි කරගන්නවා වගේ වැඩක් බව. අනුන්ට එල්ල කරන ඊර්ෂ්‍යාව දෙගුණ තෙගුණ වෙලා ආපහු තමා වෙතට එනවා. එහෙම ඇවිල්ලා මෙළොව වශයෙන් මහා පරිහානියකට අපව ඇද දමනවා. ඒ විතරක් ද නෑ. සිතෙන්, කයෙන්, වචනයෙන් ගොඩාක් අකුසල් කරගෙන ඒ ඇත්තෝ මරණෙන් මත්තේ සතර අපායේ උපදින බවයි. බුදුරජාණන් වහන්සේ පෙන්වා වදාළේ. බුදුරජාණන් වහන්සේ මඡ්ජිධිම නිකායේ චුල්ලකම්ම විභංග සූත්‍රයේදී වදාළා.
"ඇතැම් අය අනුන්ගේ (පරලාභ සත්කාර) ලාභ සත්කාරවලට (ඉස්‌සති) ඊර්ෂ්‍යා කරනවා. (ඉස්‌සං බධති) ඊර්ෂ්‍යාවෙන් බැඳෙනවා. එහෙම ඊර්ෂ්‍යා කරලා අකුසල් කරගෙන අපාය දුර්ගති විනිපාත නිරයේ උපදින බව පැවසූහ. එහෙම අපායට නොගිහින් ඒ ඇත්තෝ යළි මිනිසත් බවක් ලැබුවොත් අල්පේශාක්‍ය වෙලයි උපදින්නේ. ඒ කිව්වේ හීන දීන කිසි ආලෝකයක් තේජසක් නැති තැන්වල. ඉන් පැහැදිලියි ඊර්ෂ්‍යාව මෙලොව පරිහානිය පිණිස පවතින ක්‌ලේශයක් වුණොත් නොවෙයි මරණින් මත්තේ අපායගාමී වෙන්නත් බලපාන ක්‌ලේශයක් බව. එහෙම අපායකට නොගිහින් යළි මිනිසත් බවක් ලැබුවත් අර ඊර්ෂ්‍යා කිරීමේ විපාක විදියට අල්පේශාක්‍ය ජීවිතයි ලැබෙන්නේ. ඒ නිසා මේකේ ආදීනව හොඳට හඳුනාගත යුතුමයි. අපේ හිතෙත් ඊර්ෂ්‍යාවක් හට ගන්න බැරිද? පුළුවන්. ඒක සාමාන්‍ය දෙයක්. නමුත් ඒකට වර්ධනය වෙන්න දෙන්න හොඳ නෑ. ඒක අනුවණ කමක්. හටගත්ත ගමන් ඒක හඳුනගන්න ඕන. "ඕන්න මගේ හිතේ ඊර්ෂ්‍යාවක් හටගත්තා. මේක බොහෝම හානිදායක ක්‌ලේශයක්. බුද්ධාදි උතුමන් වහන්සේලා නරක යෑයි වදාළ දෙයක්. සත්ත්වයා අඳුරට පරිහානියට ඇද දමන ක්‌ලේශයක්. ඒ නිසා මම මේක සිතෙන් පලවා හරිනවා." නුවණ තියන කෙනා ඊර්ෂ්‍යාවේ ආදීනව දැක ඒක හිතෙන් අයින් කර ගත යුත්තේ එලෙසයි. ඒ විතරක් නොවෙයි ඊර්ෂ්‍යාවට ප්‍රතිපක්‍ෂ ගුණාංගය වන මුදිතාව එයා සිත තුළ පුරුදු කරනවා. මුදිතාව කියන්නේ අනුන්ගේ සැපත සතුටේදී අනුන්ගේ ජයග්‍රහණයේදී තමනුත් සතුටු වෙන එකටයි. අවංක හදවතින් අනුන්ට දියුණුව ප්‍රාර්ථනා කරන එකයි. අපටත් පුළුවන් නම් අනුන්ට දියුණුව පතන්න, අනුන්ගේ දියුණුවේදී පෙරළා සතුටු වෙන්න. ඒක කොයි තරම් වටිනවද? එහෙම වුණොත් අපට හැමදාම සතුටෙන් සොම්නසින් ඉන්න ලැබෙනවා. මුදිතාව පුරුදු කළොත් කිසි වියදමක් නැතුව සතුට අප වෙත ළඟා වෙනවා. ඒ විතරක් නොවෙයි මුදිතාව පුරුදු කරන සිතක ඊර්ෂ්‍යාවට ඉඩක් නෑ. ඊර්ෂ්‍යාව පෑල දොරෙන් පිටවී යනවා. ඒත් සැබෑවටම අනෙකාගේ දියුණුවේදී සතුටු වන මුදිතා සිත් ඇත්තෝ මේ ලෝකේ දුර්ලභයි. ඔබත් උත්සාහ ගත යුතු වන්නේ ඒ දුර්ලභ අය අතර කෙනෙක් වෙන්නටයි.
එහෙම වුණොත් ඔබේ ජීවිතය තුළ සතුට දෝරේ ගලාවි. ඒ විතරක් නොවෙයි, මුදිතා සිත නිසාම පරලොවත් ඔබට ලොකු රැකවරණයක් ලැබෙනවා. බුදුරජාණන් වහන්සේ චුල්ලකම්ම විභංග සූත්‍රයේදීම වදාළ "මේ ලෝකයේ ඇතැම් අය ඉන්නවා අනුන්ගේ ලාභ සත්කාරවලට ඊර්ෂ්‍යා කරන්නේ නැහැ. මුදිතා ගුණය පුරුදු කරනවා. අනුන්ගේ දියුණුවේදී සතුටු වෙනවා. එහෙම ඇත්තෝ මරණින් මත්තේ ස්‌වර්ග ලෝකයට යනවාය කියා. ස්‌වර්ග ලෝකවලට නොයා යළි මිනිසත් බවක් ලැබුවොත් අනුන්ට ඊර්ෂ්‍යා නොකරපු එකේ ප්‍රතිඵලයක් විදියට එයාට මහේශාක්‍ය ජීවිත ලැබෙනවාය කීවා" ඊර්ෂ්‍යාව වෙනුවට මුදිතා සිත පුරුදු කොට ඉන් මෙලොව සැනසිල්ල ලබන්න පරලොව සැනසිල්ල ලබන්න කෙලවර උතුම් නිවනින් සැනසිල්ල ලැබීම පිණිසමත් ඔබ සැමට මෙම දහම් කරුණු උපකාරයක්‌ම වේවා.
පූජ්‍ය රාජසිංහගම තිලකධම්ම හිමි සිරි/නිකේතාරාමය, හලාදිවෙල පිළිමතලාව
උපුටා ගැනීම දිවයින