පිරිහීමේ දොරටු හරිනු එපා
බුදුරජාණන් වහන්සේ පුද්ගලයකුගේ පිරිහීමට හේතු වන කරුණු සුත්ත නිපාතයේ උරග වග්ගයේ එන හයවන පරාභව සූත්‍රයෙන් පැහැදිලි කර තිබේ. එම සූත්‍රයේ පුද්ගලයකුගේ පිරිහීමට හේතුවන කරුණු විසි එකක් පෙන්වාදී ඇත.
ධර්මයට අක්‍රීය කිරීම, අසාඳුන්ට ප්‍රිය කිරීම, අසත් පුරුෂයන් ප්‍රිය කිරීම, සත් පුරුෂයන් අප්‍රිය කිරීම, නින්දට ප්‍රිය බව, දොඩමලු බව, වීරියෙන් තොරවීම, අලස බව, ක්‍රෝධ බහුල බව, මහලු වියට පත් මව්පියන් නොරැකීම, බොරුවෙන් මහණබමුණන් රැවටීම, සැප සම්පත් තනිව බුක්ති විඳීම, ජාතිය ධනය ගෝත්‍රය යන මේවායින් උඩඟුවීම, නෑයන්ට පහත් කොට සැලකීම, ස්ත්‍රීන් කෙරෙහි ලොල් බව, සුරාවෙහි ලොල් බව, වෙසඟන් පතා යෑම, පරඹුවන් පතා යෑම, මහළුව තරුණියක සරණ පාවා ගැනීම, ආහාර පානයෙහි ගිජුවීම, අර පරෙස්සම නැතිවීම ස්ත්‍රියක හෝ පුරුෂයකු ප්‍රධානත්වයෙහි තැබිම, දුප්පත් තෘෂ්ණාධික අයෙකු කුලයෙහි උපත ලබා රාජ්‍යයට නුසුදුසුව රජකම පැතීම.
මෙලොව පරලොව දෙකෙහි පරිහානියට හේතු වන කරුණු මෙසේ ගෙන හැර දැක්වේ. ඉහත කරුණු පුද්ගලයාගේ යහපත වනසාලනවා පමණක් නොව එය සමාජ පරිහානිය කෙරෙහි සෘජුවම බලපෑම් එල්ල කෙරේ. වත්මන් සමාජය ඉතා සීග්‍රයෙන් පිරිහීමේ දොරටු විවර කරන පිරිස දිනෙන් දින ඉහළ යයි. එයින් අත්මිදෙන්නට ක්‍රියා නොකරන පරාභවයට හේතුවන කරුණු අනුගමනය කර තාවකාලික සතුටක් ලබන ඇතැම් උදවිය සමාජය තුළ නැතුවා නොවේ. පිරිහීමේ කරුණු වලින් ගැවැසීගෙන දිවි ගෙවන්න වුන්ට මරණයට සවිමත් බවින් මුහුණ දිය හැකියැයි සිතීම දුෂ්කරය. එහි නුවණින් මරණයට මුහුණ නොදෙන කෙනාගේ ඊළඟ ප්‍රතිසන්ධිය යහපත් වේ යැයි කෙසේවත් සිතන්න බැරිය.
ධර්මයේ අධිපති ධර්ම තුනක් දක්වා ඇති බව සඳහන් කළ යුතුය. එනම් ලෝකාධිපත්‍යය, ධම්මාධි පතේයය, අත්තාධිපතේයය යනු ඒවායි. මෙයින් අත්තාධිපතේයය යනු තම හෘද සාක්ෂියට අනුව තමාගේ කායික වාචසික ක්‍රියා හැසිරවිය යුතු බවයි. ඒ අනුව හෘද සාක්ෂියට එකඟව කටයුතු කරන කල්හි පරාභව කරුණු සාරය කොටගෙන ජීවත් වන කිසිම කෙනෙකුට සාරයක් ලැබිය නොහැකි වනු ඇත. පරාභව සූත්‍රයේ සඳහන් ඉහත පිරිහීමේ කරුණු පිළිබඳ සතිමක් බවින් කටයුතු කිරීම තුළින් සුසමාහිත පුද්ගලයෙක් බවට පත් වෙන්නට ඕනෑම කෙනෙකුට හැකියාව තිබේ. පුද්ගල සදාචාරය සමාජ සදාචාරය කෙරෙහි බලපාන බැවින් පිරිහීමේ දොරටුවලින් වෙන්වී ක්‍රියා කිරීම සමස්ත සමාජයේම යහ පැවැත්ම පිණිස හේතුවන බව සඳහන් කළ යුතුමයි.
පරාභවයෙන් මිදිය හැක්කේ කෙසේද? සත්පුරුෂයා හඳුනා ගන්නේ කෙසේද?
ඒ අනුව සත් පුරුෂයා යනු කළ්‍යාණ මිත්‍රයායි. කළ්‍යාණ මිත්‍රයා හඳුනා ගත හැකි ලක්ෂණ හතරක් ව්‍යග්ග පජ්ජ සූත්‍රයේ කළ්‍යාණ මිත්තකම පැහැදිලි කර තිබේ. එනම් ශ්‍රද්ධා ශිලා, චාග, ප්‍රඥා යන ගුණයන්ගෙන් අනූන යමෙක් වේද ඔහු හෝ ඇය කළ්‍යාණ මිත්‍රයෙකි. මෙකි ලක්ෂණවලින් තොරව අසද්ධාවෙන් දුශ්ශීල බවින් දැඩි මසුරු බවින් ලෝභයෙන් යුක්තව හොඳ නරක පිළිබඳව කුසල් අකුසල් පිළිබඳව යථාර්ථය පිළිබඳව නොසලකා මෝහයෙන් අදුරදර්ශි බවින් කටයුතු කරන්නේ යමෙක්ද ඔහු පාප මිත්‍රයෙකි. ධර්මය අධර්මය සත් පුරුෂයා අසත් පුරුෂයා හඳුනා ගැනීමට නොහැකිවීමද අනවබෝධයයි. සිහි නුවණින් අප කටයුතු කළ යුතු වන්නේ තුමටද? තමන්ගේ කය පිළිබඳව වින්දන පිළිබඳව සිත පිළිබඳව, සිතුවිලි පිළිබඳව, සිහි නුවණින් ක්‍රියා කළ යුතුයි. තවත් විදිහයකින් සඳහන් කරතොත් සතර සතිපට්ඨානය පිළිබඳවම සිහි නුවණින් ක්‍රියා කළ යුතුයි. එනම් තමාගේ කය පිළිබඳව ධර්මය පිළිබඳව, සවිමත් බවින් කටයුතු කිරීමයි. අසිහියෙන් කටයුතු කිරීමට සියලු දුසිරිත් සිදුවීම් කෙරෙහි හේතු පාදකවේ. පුද්ගලයාගේ පිරිහීමට හේතු වන පරාභව සූත්‍රයේ සඳහන් ඒ කාරණා 21ම එක් එක් සන්ධර්භයන් තුළදීම පිරීම කෙරෙහි ප්‍රධාන වන බවත් ඒ සියල්ල කෙරෙහිම සවිමත් බවින් තොරව ක්‍රියාත්මක වන අනවබෝධයම ප්‍රධාන හේතුව බව සඳහන් කළ හැකියි.
අධ්‍යාත්මික ගුණ සුවඳින් තොර ජීවිතය සංසාර ගමනේදී කුමණ මගකට ඇද වැටේද?
අධ්‍යාත්මික ගුණ සුවඳින් තොර ජීවිතය ජාති, ජරා, ව්‍යාධි, දඬුවම හා මරණ යන ස්වභාවයන්ට ලක්ව නැවත නැවත සසර දුකට පත්වන නොවනුමානය. දේව දූත සූත්‍රයේදී පෙන්වා දෙන්නේ ජාතිය පළමු දේව දූතයා බවයි. දෙවැනි දූතයා ලෙස ජරාවද තෙවන දූතයා ලෙස ව්‍යාධියද සතරවන දේව දූතයා ලෙස දඬුවමද පස්වන දේව දූතයා ලෙස මරණයද දක්වා තිබේ. සංජීව කාල සූත්‍ර සංගාත රෞරව තාප ප්‍රතාඵ අවිචී අට මහා නරකයන් ගැන සඳහන් වේ. මේ අට මහා නරකයේ එක් දොරටුව උත්සද නරක හතර බැගින් තියෙනවා. මේ අනුව එක් නරකයකට උත්සද නරක දහසක් බැගින් වෙනවා. එවිට සියලු නරක එකසිය තිහකි. මේ හැම එකක්ම අකුසල් කළ සත්වයන්ගෙන් පිරී පවති. මේවායේ ආයුෂද ඉතා දීර්ඝයි. මිනිසුන්ගේ ආයුෂ අවුරුදු සියයක් හැටියට සැලකෙනවා. එයින් අවුරුදු පනහක් යටම දිව්‍ය ලෝකය වූ චාතූර් මහා රාජික දෙවියන්ට එක් දවසක් පමණයි. එසේ ගණන් කළහම ඒ දෙවියන්ගේ ආයුෂ අවුරුදු අනුලක්ෂයක් පමණ වෙනවා. එම ප්‍රමාණයෙන්ම සංජීව නරකයෙහි එක් දවසක් පමණයි. එබඳු අවුරුදු පන්සීයයක් එහි පරමායුෂ එම ගණන අපට සිතා ගැනීමත් අපහසුයි නේද? අනෙක් අපායවල ආයුෂ එමෙන් දෙගුණ තෙගුණ වේ. දිව්‍ය ලෝකවල ආයුෂ ප්‍රමාණයට වඩා අපායේ ආයුෂ ප්‍රමාණය වැඩිය. අවීචීයේ ආයුෂ එක් අන්තඃකල්පයක් බව පැවැසෙනවා. දේවදත්ත උපන්නේද මෙම අවීචීයේය. කෝකාලික ඉපිද ඇත්තේකු පදුම නරකෙහිය. අපාය ලෝක කෙදිනකවත් සත්වයන්ගෙන් හිස් වන්නේ නෑ. මේ අපාය ලෝකය කරා අලුතෙන් පැමිණෙන්න වුන්ද අපමණය.
පරාභවයට හේතුවන කරුණු යමෙක් අනුගමනය කරන්නේද?
ඔහුට අපාය මග විවර වනු ඇත. අපාය මගින් මිදී දිව්‍ය ජීවිතයක් හෝ මනුෂ්‍ය ජීවිතයක් ගෙවන්නට මග පෙන්වන්නේ බුදු මගයි. එබැවින් පරාභවයට හේතු වන පිරිහීමේ දොරටුවලින් අත්මිදී ගුණ සුවඳින් යුතු දිවියක් ගත කරන්නට අදිටන් කර ගන්න. අපා මගද දිව්‍ය මගද මනුෂ්‍ය මගද නිවන් මගද තෝරා ගත යුත්තේ ඔබමය. මක් නිසාද යත් තමාට පිහිට තමාම වන බැවිනි. වෙන කාගේ පිළිසරණක්ද?
ඇතත් නැතත් පරලොව සුදනෙනි මහත
හළොත් යෙහෙකි පව්කම් නොතබාම සිත
නැතත් එපරලොව ඉන් වන අවැඩ නැත
ඇතොත් නැතැයි පව්කළහුට වෙයි විපත
සුභාෂිතයේ සඳහන් ඉහත කවිය සිහිපත් කරමින් තිදොරින් සිදුවන අකුසලයෙන් වැළකී පංචශීල ප්‍රතිපදාව නිති සුරැකිමින් පරාභවයට හේතු වන පිරිහීමේ කරුණු වලින් වැළකී සියලු පවින් වැළකී කුසල් දහම වඩමින් සතිමත් බවින් යුක්තව ලැබු මිනිස් ජීවිතය ගෙවි යන සෑම මොහොතකම අර්ථවත්ව ගත කරන්නට යත්න දරණු මැනවි දෙලොව සැනසීමට මග එයයි.
උපුටා ගැනීම ලක්බිම පුවත් පත