ආදරය වෙනුවට මෛත්‍රිය
වර්තමානයේ මනුෂ්‍යයන් තුල ඇතිවන බොහෝ මානසික පීඩාවන්ට එක් හේතුවක් වී ඇත්තේ ආදරය මුල් කරගෙන පැන නගින ගැටලු බව පෙනේ. ඔබ ඔබගේ ජීවිතයේ අඩුම තරමින් එක් වතාවක්‌වත් මෙසේ පවසා තිබේද? නැතහොත් සිතින් හෝ එවැනි සිතිවිල්ලක් ඇති කරගෙන තිබේද? " මම ඔබට ආදරෙයි" ඔබ මට ආදරේද?" තරුණ දරුවන් අතර, ස්‌වාමියා හා බිරිය අතර, මව්පියන් හා දරුවන් අතර මෙවැනි වදන් හා සිතිවිලි කොපමණ නම් හුවමාරු වෙනවාද? මෙයින් අදහස් කරන්නේ කුමක් දැයි මොහොතක් ගැඹුරින් කල්පනා කළ යුතුය. මම ඔබට ආදරය කරමි. එමෙන්ම ඔබත් මට ආදරය කළ යුතුයි. මෙහි අදහස නැවත යමක් බලාපොරොත්තු වීමය. ඔබ බලාපොරොත්තු වන දේ ඔබට නොලැබුණහොත් සිදුවන්නේ කුමක්‌ද? මින්පසු මම ඔබට ආදරය නොකරමි. මට කැමති නැති කෙනෙකුට මම ආදරය කරන්නේ කුමක් සඳහාද? ඔබ එසේ සිතන්නට පුළුවන. ලෞකික ආදරය ආත්මාර්ථකාමී බව මෙයින් හඳුනාගත හැක. තමන්ගේ බලාපොරොත්තු ඉටු නොවන තැන ආදරය ඉවත් කර ගැනීමට බොහෝ දෙනා පෙළඹෙති. ගුණවත් දෙමාපියන් සහ දරුවන් අතර ඇති ආදරය පිළිබඳව ඔබ සිතන්නේ කුමක්‌ද? හැබෑවටම එය පිරිසිදුය. සීවලී මහ රහතන් වහන්සේගේ අම්මා වූ සුප්පා දේවිය වරක් මෙසේ ප්‍රකාශ කළාය. ගුණවත් අම්මා කෙනෙකුට දරුවෙක් දස මසක් නොව සත් අවුරුද්දක් නමුත් කුස තුල දරාගෙන සිට මෙලොවට බිහි කළද එය දුකක් නොවන බවය. මේ නිසා සත් අවුරුදු සත් මාසය ගණනේ ගැබ්බරව දුක්‌විඳ එක් දරුවෙක් නොව තව සත්දෙනෙක් නමුත් ලබාගන්න කැමති බවය" තමන්ටත් වඩා දරුවා පිළිබඳ ඇතිවන "ආදරය" වෙනුවෙන් දරුවා නිසා හට ගන්නා දුක දුකක් ලෙස අල්ලා නොගනී. සුදොවුන් මහ රජතුමා බුදුරදුන්ට සඳහන් කළේ පුත්ත පේමං භන්තේ ඡචිං ජින්දති ජවිං ඡෙත්වා චම්මං ජින්දති " ස්‌වාමීනි දරු සෙනෙහස සම්, මස්, ඇට සිදුරු කරගෙන නහර ඔස්‌සේ ගලාගෙන ගොස් හදවත පත්ලේම තැන්පත්ව තිබෙන බවයි. "ඒ උපමාවෙන් පෙන්වූයේ සාමාන්‍ය පුද්ගලයන් ආදරය පිළිබඳ ඇති කර ගන්නා සිතුවිලිවලට වඩා ඉහල හා උසස් වූ මානසික ස්‌වභාවයකි. එම මානසික ස්‌වභාවය තුල සිත පවත්වා ගන්නා විට යමෙක් තුල පහල වන සිතිවිලි කතා කරන වචන හා ඉටු කරන ක්‍රියාවන් ආත්මාර්ථකාමී බවෙන් දුරස් වෙයි. මෙසේ සිත පුරුදුවීම තුළින් දැඩි තෘෂ්ණාව, තරහව, වෛරය සන්සිඳුවාගෙන කරුණාව, ඉවසීම අන්‍යොන්‍ය උපකාරය හා සමාව දීම වැනි ගුණයන් පුරුදු කර ගත හැකි බව බෞද්ධ දර්ශනය උගන්වයි. මෙතැන් සිට ගුණවත් දෙමව්පියන් ආත්මාර්ථකාමී බවෙන් තොරව දරුවන් කෙරෙහි දක්‌වන " ආදරය" මෛත්‍රිය යනුවෙන් හඳුන්වමු. මෛත්‍රිය බොහෝ මානසික පීඩාවන්ට ඖෂධයක් ලෙසින් පාවිච්චි කළ හැකිය. දරුවන් නිවස තුල ඇති කරන ඝෝෂාව අම්මා කෙනෙකුට මානසික කරදරයක් නොවුවද මහ මඟ, බස් රථය තුල කාර්යාලයේදී හෝ වැඩ පළේදී නැගෙන ශබ්ද, ඝෝෂා ඉතාමත් අහිමිරි හා මනසට පීඩාකාරී ලෙස දැනෙනු ඇත. බස් රථයේදී හෝ කාර්යාලයේදී අත්වැරදීමකින් හෝ වරදක් සිදු වුවහොත් සමහර අය ඉක්‌මනින් කේන්ති ගනිති. එහෙත් තම දරුවන්ගෙන් සිදුවන වැරදි, අත්වැරදීම, අතපසුවීම් ආදී සියල්ල දෙස ඉවසීමෙන් හා කාරුණික ඇසින් බලති. මව්පියන්ගේ මෙම මානසික ස්‌වභාවය මෛත්‍රී සිතුවිලි ලෙසටත් මෛත්‍රී සිතුවිලි හා බැඳී පවත්නා වචන, ඇමතීම්, කතා කිරීම්, මෛත්‍රී වාග් කර්ම ලෙසටත්, එම මෛත්‍රී සිතිවිලි සමගින් කරන ක්‍රියා මෛත්‍රී ක්‍රියා කර්ම ලෙසටත් හඳුන්වමු. දරුවන්ගේ වරදක් දුටුවිට සන්සුන්ව වරද පෙන්වා දී එය නිවැරදි කිරීමට උත්සාහ ගන්නා ගුණවත් මව්පියෝ දරුවා කළ වරද අන් අය දැන ගැනීමෙන් වළක්‌වන්නට උත්සාහ ගනිති. ඒ බාහිර අයද දැනගතහොත් දරුවාට වරදක් හෝ නින්දාවක් වනවා දකින්නට ඇති අකමැත්ත නිසාය. මෙම මානසික වාචික හා කායික ක්‍රියාවලිය අපට නිවසින් පිටතදීත් ක්‍රියාත්මක කරන්නට පුළුවන් දැයි ඔබට සිතා බැලිය හැකිද? ඔබ මෙලෙස සිතන්නට පුළුවන. දරුවන් ගැන සිතන්නා සේ පිට මිනිසුන් ගැන සිතන්නේ කොහොමද? මොනවා කළත් කීවත් ඒ අපේ දරුවන්ය. මෙසේ වුවහොත් එම ආත්මාර්ථකාමී සිතුවිල්ලම ඔබට කරදරයක් පිණිස පවතින්නට පුළුවන. නිවෙස තුළදී ඔබට හැම දෙනාම විශ්වාස කළ හැක. ඒ සියලු දෙනාම කෙරෙහිම කාරුණිකව බැලිය හැක. ඔවුන්ගේ වරද අඩුපාඩු අත්වැරදීම් සිතින් ඉවසා සමාව දෙන්නටද පෙළඹිය හැක. එලෙස කරන්නට හැකි වූයේ මෛත්‍රී සහගත සිතිවිලි නිසා නොවේද? ස්‌වාමියා හා බිරිය අතර හෝ සහෝදර සහෝදරියන් අතර මෛත්‍රී සිතිවිලි පහව ගියහොත් එම නිවෙසම අප්‍රසන්න වන ආකාරය ගැන අමුතුවෙන් කිවයුතු නැත. මෛත්‍රී සිතුවිලිවලින් ඈත් වූ විට කාර්යාලයේ, වැඩ පළේ පාසලේ හෝ මහමග සිටියද ඔබේ සිත පිරී පවතින්නේ අවිශ්වාසයි, සැකය ඔවුනොවුන්ට දුරස් බව හා තවත් විටෙක අමනාපයකි. ඔබට මෙවන් සිතුවිලි ඇතිවන්නේද? මේ විදියට මෛත්‍රීයෙන් වැඩ කළොත් අපට කෙදිනකවත් වැඩක් කරන්නට ලැබෙන එකක් නැහැ. අඩුම තරමින් බස් එකකවත් යන්නට බැරිවේවි. ගහනකොට ගැහැව්වේ නැත්නම් බනිනකොට බැන්නේ නැත්නම් මේ මහ පොළොවේ පය ගසා ජීවත් වෙන්න බැරි වේවි. මෙවැනි සිතුවිලි සමගින් ගමන් කරන්නේ තරහව සහ අමනාපයයි. එවිට සිත මහා බරකින් පිරී පවතින්නාක් සේ ඔබට දැනෙන්නට පුළුවන. මේ ආකාරයට නොසන්සුන් මනසකින් යුක්‌ත වූ විට ඔවුනොවුන් දෙස ප්‍රිය මනාප මුහුණින් බලන්නට හෝ ප්‍රියවචනයෙන් කථා කරන්නට හෝ හැකියාවක් නොලැබේ. එකම ගමේ එකම භාෂාවක් කතා කරන එකම ආගමක් අදහන අසල්වැසියන් පවා අහක බලාගෙන ගමන් කරන්නේ සැකය අවිශ්වාසය හා දුරස් බව නිසාය. වැඩි ඈතක නොව අසල්වැසියන් අතර "සුහදබව" ඇති වූ විට හැම අයෙකුටම දැනෙන්නේ මානසික පහසුවකි." නොදන්නා පරිසරයක ජීවත් වනවාට වඩා දන්නා හඳුනන පරිසරයක ජීවත්වීම මානසික සහනයක් " බව ඔබ අසා ඇති කරුණකි. ගුණවත් දෙමව්පියෝ දරුවන් කෙරෙහි මෛත්‍රිය පවත්වන අතරම දරුවන්ගේ වරද හදන්නට විටෙක තදින් කතා කරති. මේ නිදසුන ගැන සිතන්න. කුඩා දරුවෙකු රත් වූ උදුනක් අල්ලන්නට හදන විට මව්පියෝ "මගේ පුතේ" එපා යෑයි කියති. නැවතත් දරුවා උදුන අල්ලන්නට හදන විට " ඇල්ලුවොත් බලාගෙනයි. " යනුවෙන් තදින් කියති. දරුවාද නොඇසුණා සේ රත් වූ උදුන නැවතත් අල්ලන්නට හදන්නේ නම් "අකීකරු වුණොත් අත් දෙක අල්ලා එකට බඳිනවා." යි වඩාත් තදින් කියති. ගුණවත් මව්පියෝ දරුවා අනතුරෙන් වලක්‌වා ගන්නට එසේ තදින් කතා කළද සිත තුල පවත්නා දරු සෙනෙහස අබමල් රේණුවකින්වත් අඩු වී නැත. යමෙක් හොඳ මගට ගැනීමට හෝ සිදුවන අනතුරකින් බේරීමට යම් විටෙක ඔබටත් තදින් කථා කිරීමට හෝ ක්‍රියා කිරීමට සිදුවෙයි. එසේ වූවත් ඔබ තුළ පවත්නා කාරුණික මෛත්‍රී සහගත සිත තරහවෙන් හා වෛරයෙන් දැවෙන සිතක් ඔබට පත් නොවීමට වග බලා ගත යුතුයි. ගුණවත් දෙමව්පියෝ දරුවන් හදා වඩා පෙරළා දරුවන්ගෙන් උපස්‌ථාන නොලැබුණද ඔවුන්ට වෛර නොකරති. දරුවන් තමන්ගෙන් ඈත්ව ගියත් "දරුවන්ගේ සතුට" යයි සිතා උපේක්‍ෂාවට පත්වෙයි. යමෙක් තවත් අයකුට ආදරය කර පෙරළා ආදරය නොලැබීමත් තම ආත්මාර්ථකාමී බලාපොරොත්තු කඩ වූ විට මුලින් " ආදරය" යි හැඳින් වූ සිතුවිලිම වෛරයකට පෙරළෙයි. මෛත්‍රී සිතක් කිසි විටෙකත් වෛරය හා තරහව සමගින් හුවමාරු නොවේ. ආදරය " බලාපොරොත්තු හා ආශාවන්ගෙන් පිරී පවතී. ඒවා ඉටු නොවන විට අනාදරයට පෙරළෙයි. මෛත්‍රීය කරුණාවෙන් සහ මුදිතාවෙන් (පිරිසිදු සතුට) යුක්‌ත වෙයි. සැබෑ මෛත්‍රීයට කොපමණ බාධා පැමිණියත් වෙනසක් නොවේ. මේ නිසාම සිත සන්සුන්ය. අනාදරයට ආදරය කළ නොහැකිය. එහෙත් වෛරයටත් අනාදරයටත් මෛත්‍රී කළ හැකිය. මේ දෙකෙන් සැබෑ මානුෂික ගුණාංගයක් විය යුත්තේ කුමක්‌ද? යන්න පිළිබඳව ඔබ තීරණය කළ යුතුය.
උතුම් වූ ධර්මාවබෝධයම වේවා !
ආචාර්ය පූජ්‍ය මිරිස්‌සේ ධම්මික හිමි උපුටා ගැනීම දිවයින පුවත්පත