කය නොව සිත බලවත් කරගනිමු.


ඉරිසියාව සිතේ ද හටගන්නෙ කයේ ද? සිතේ. කේන්තිය හටගන්නෙ සිතේ ද කයේ ද? සිතේ. එතකොට ගුණමකු බව තිබෙන්නෙ ශරීරයේ ද සිතේ ද? සිතේ. පාපී ආශාවන් සිතේ ද තියෙන්නෙ කයේ ද? සිතේ. ලෝභය හටගන්නෙ සිතේ ද කයේ ද? සිතේ. එතකොට අපේ ඇඟපතේ අමාරුකම්, කකුල් අමාරුකම් ආදී දේවල් ලෝභය දුරු කරන්ට බාධාවක් ද? ඉරිසියාව දුරු කරන්ට බාධාවක් ද? නෑ. ඇයි ඒ? ඒ අමාරුකම් කොහෙද තියෙන්නෙ? ඒ අමාරුකම් කයේ තියෙන ඒව යි.

දැන් අපි ධර්මය ඔස්සේ කයේ තියෙන දෙයක් ද දුරු කරගන්ට බලන්නෙ? නෑ සිත ගැනයි බලන්නෙ. ධර්මය ඔස්සේ සිතේ තියෙන අකුසල් දුරු කරගන්ටයි අපි උත්සාහ කරන්නෙ. දැන් කෙනෙක්ට රාගය ඇති වෙනව. එයා ඒ රාගය දුරු කරගන්ට ඕන. රාගය ඇති වෙන්නෙ සිතේ ද කයේ ද? සිතේ. නමුත් අපට හිතෙන්නෙ කයේ තියෙනව කියල නේද? ඉතින් ඒ නිසා සිතෙයි මේ අර්බුධය තියෙන්නෙ කියල තේරුම් ගන්න කෙනාට කයේ අර්බුධය ධර්මය පුරුදු කරන්ට බාධාවක් වෙන්නෙ නෑ.

ලෙඩ ඇඳේ වැතිරිලා ඉතා ම අමාරුවෙන් ඉන්න අයට පවා මේ ධර්මය පුරුදු කරල සසරින් නිදහස් වෙන්ට පුළුවන්. එහෙම ධර්මය පුරුදු කරන්ට පුළුවන් වෙන්නෙ ඇයි? මේ ධර්මය තුළ කෙරෙන්නෙ සිත පුරුදු කිරීමක්, කය පුරුදු කිරීමක් නෙවෙයි.

ඔබට නිතර අවධානය යොමු වෙන්නෙ කය ගැන යි. ඒකයි කායික වේදනා වලින් මුළුමනින් ම සිත යටකරල දාන්නෙ. ඒ නිසා "කය නෙවෙයි සිත පුරුදු කරන ධර්මයක් මේක" කියල තේරුම් ගන්න. මේ ධර්මය පුරුදු කරන්ට වුවමනාකමක් තිබෙන කෙනාට යම් කායික රෝගයක් තිබෙනවා නම් ඒකත් එයා ආශිර්වාදයක් බවට පත් කරගන්නව. ධර්මය පුරුදු කරන්ට බාධාවක් බවට පත් කරගන්නෙ නෑ. දුක ගැන තේරුම් ගන්න කෙනාට, ￿දුක ගැන කල්පනා කරන කෙනාට යම් අසනීපයක් වුණොත් ඒකත් එයා ආශිර්වාදයක් බවට පත් කරගන්නවා මිසක්, ඒක පීඩාවක් බවට පත් කරගන්නෙ නෑ. තවත් අප්‍රමාදව ධර්මයේ හැසිරෙන්ට ඒක හේතුවක් කරගන්නව. ධර්මය තේරුම් ගන්ට ඒ අසනීපය හේතුවක් බවට පත් කරගන්නව.

ඉතින් ඒ නිසා කායික අමාරුකම් ආදී දේට හිත යටකරගන්ට එපා. ඒවට හිත යටකරගෙන මේ දුලභව ලැබුණු මනුස්ස ජීවිතය නිකං ඔහේ ගෙවිල යන්ට දෙන්ට එපා. පුංචි කායික අමාරුවකට හිත යටකරගෙන සුලභව ලැබුණු මනුස්ස ජීවිතය නිකරුණේ ගත කරන්ට එපා. පුංචි කායික අමාරුවකට හිත යටකරගෙන අතිශය දුලභව ලැබෙන කල්‍යාණමිත්‍ර ඇසුර අත්හැරගන්ට එපා. පුංචි කායික අමාරුවක් මුල් කරගෙන ප්‍රමාදව වාසය කරන අය බවට පත් වෙන්ට එපා.

ගිලන්ව සිටින කෙනෙකුට වුණත් මේ ධර්මය පුරුදු කරල ධර්මයෙන් ඵල නෙළන්ට පුළුවන් කියල අපට වැටහීමක් පිළිගැනීමක් ඇති වුණේ කුමක් මුල් වෙලා ද? භාග්‍යවතුන් වහන්සේගේ අවබෝධය මුල් වෙලා ඒ අවබෝධය දරාගැනීමෙන් ම යි. වෙන දේකින් නෙවෙයි. අන්න ඒ ශ්‍රද්ධාව තමයි සියළු කුසල් වලට පෙරමුණ ගන්නෙ. ශ්‍රද්ධාව තමයි අපි බලවත් කෙනෙක් බවට පත් කරන්නෙ.

සියලු දෙනාටම තෙරුවන් සරණයි!

පින්වත් නාවලපිටියේ අරියවංශ හිමිපාණන් විසිනි.
උපුටා ගැනීම දිනමිණ

Share This Article

ආදරය කියන්නේ මනෝමය බැඳීමක්

ආදරය කියන අකුරු හතරට සුවිශේෂී වූ ගුණාංගයන් ඉතා පුළුල් ලෙස විහිද විසිර පැවැතෙනවා. නමුත් වත්මනේ සියල්ලෝම ආදරය කියන කරුණ මුල්කරගෙන ගනුදෙනු...

මිතුරන් හඳුනා ගනිමු

බුද්ධ දේශනාවන්හි සදහන් වන පිරිදි මිත්‍රයා යනු පුද්ගලයෙකුගේ ජීවිතයේ සාර්ථක බව හෝ අසාර්ථක බව තීරණය කරන එක් සාධකයකි. අපට මිතුරන් තෝරා...

පතිවත රැකීමේ ආනිසංස

බුදුරජාණන් වහන්සේ සැවැත්නුවර ජේතවනාරාමයෙහි වැඩ වෙසෙන සමයෙහි ඉතා පි‍්‍රය මනාප හැසිරීමෙන් යුත් කාන්තාවක් එනුවර විසුවා ය. දිවි දෙවෙනි කොට පතිව්‍රතා ධර්මය...

සදාකාලික සතුට සොයනවා නම් තණ්හාවෙන් ඈත් වෙන්න

ඔබ නිතරම ධර්මය ඇසුරු කළත් නොකළත් ඔබට අසන්නට ලැබෙන දෙයක් වන්නේ දුක යන වචනයයි. ඉපදීම දුකයි. සංසාරය දුකයි. ජීවිතය දුකයි යනුවෙන්...

හිතින් හදාගත් ලෝකයක අතරමං වනවා ද?

නමෝතස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස චිත්තෙන නීයති ලොකො චිත්තෙන පරිකස්සති චිත්තස්ස එක ධම්මස්ස සබ්බෙව වසමන්වගු පින්වත්නි, ඔබගේ ධර්මාවබෝධය සඳහා අද මාතෘකා කළ...

පරස්‌ත්‍රී සේවනය නිසා භවයම වැනසුණ හැටි

කුසුම්පුරය නමින් යුතු පාටලී නගරය මේ මහ පොළවට ආභරණයක්‌. ශාක්‍ය කුලයේ උපන් ගුණවත් භික්‌ෂුණින් දෙනමක්‌ ඒ නගරයේ සිටින්නීය. එක්‌ භික්‌ෂුණියකගේ නම...