සදාකාලික සතුට සොයනවා නම් තණ්හාවෙන් ඈත් වෙන්න
ඔබ නිතරම ධර්මය ඇසුරු කළත් නොකළත් ඔබට අසන්නට ලැබෙන දෙයක් වන්නේ දුක යන වචනයයි. ඉපදීම දුකයි. සංසාරය දුකයි. ජීවිතය දුකයි යනුවෙන් මිනිසුන් විවිධ මත පළ කරනු ලබන අතර ඇතැමෙක් මේ ශ්‍රී සද්ධර්මය කෙරෙහි අපැහැදීමට හේතුවක් වන්නේද මේවායි. සාමාන්‍යයෙන් දුක යනුවෙන් හඳුන්වන්නේ අපි අකැමැති යමක් සිදු වීමයි. සැප යනු අපි කැමැති, අපට ප්‍රියමනාප, රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ සහ සිතට එන අරමුණුයි. අප විසින් ඒවා සතුටෙන් රසවිඳියි. යළිත් ඒ දේවල් ලබාගන්නට කැමැත්ත හටගනී. සැබැවින්ම මිනිසුන් මුදල් උපයන්නේද මේ සඳහාය. දුක යන වචනය විග්‍රහ කර ගැනීමට අපට හොඳම මාර්ගය වන්නේ පටිච්ච සමුප්පාදයයි. එය අධ්‍යයනය කිරීම තුළින් දුක යනු කුමක්දැයි වටහා ගත හැකිය. එහිදී,
“සලායතන පච්චයා එස්ස
එස්ස පච්චයා වේදනා
වේදනා පච්චයා තණ්හා
තණ්හා පච්චයා උපාදාන”
මෙහිදී සලායතන යනුවෙන් හැඳින්වෙනු ලබන්නේ ඇස, කන, නාසය, දිව, ශරීරය, මනස යන ආයතන හයයි. එය අඩු වැඩි වශයෙන් කර්මානුරූපීව පුද්ගලයන්ට පිහිටනු ලබන අතර දුකට හේතුව තණ්හාව යැයි අසා තිබුණාට බොහෝ දෙනකුට එය අර්ථ විග්‍රහ කර ගැනීමට නොහැකි වී ඇත. තණ්හාව යනු සතුට සොම්නස ලබාදෙන රූපයට, ශබ්දයට, ගන්ධයට, රසයට, පහසට සිත ඇදී යෑමයි. එමෙන්ම යමකින් දුකක් ඇති වේ නම් එයට හේතුව ලෙස අවසානයේ ඇදී යන්නේද තණ්හාව දෙසටය. “තණ්හා ජායතී සොකෝ” තණ්හාව යනු ශෝකයක් ඇති කරනු ලබන කාරණාවකි. ශෝකයක් යනු දුකක් ඇති කරනු ලබන කාරණාවකි. එම නිසාම බුදුරජාණන් වහන්සේ විසින්,
“තණ්හා පච්චයා උපාදානං
උපාදාන පච්චයා භවෝ
භව පච්චයා ජාති ජරා මරණ
දුක්ඛ දෝමනස්ස”
ලෙස දක්වා ඇති අතර පටිච්ච සමුප්පාදයට අනුව තණ්හාව යනු අප තවත් ආත්මයකට රැගෙන යෑමයි. තණ්හාව එනම් ලෝභ, දෝෂ, මෝහ, ක්ෂය කිරීම යනු නිවනට ඇදී යෑමයි. තණ්හාව පිළිබඳ කතා කරන විට එය වර්තමානය සමඟ සසදා කතා කිරීම වඩාත් කාලෝචිත මාතෘකාවකි. අද රට තුළ විශාල අරගලයක් ඇති වීමට බලපා තිබෙන ප්‍රධාන හේතුව වන්නේ ද තණ්හාවයි. අරගලයේ මාතෘකාවද තණ්හාව නිසා ඇති වූ අතුරු ප්‍රතිඵලයකි. අද ශ්‍රී ලාංකික ජනයා විරෝධය දක්වන්නේ අපෙන් ලබාගත් දේ නැවත අපට ලබා දෙන්න යනුවෙනි. යම් කෙනකු රටට අයිති දෙයක් බලෙන් අත්පත් කර ගැනීමේ අරමුණ වන්නේ තමාට තිබෙන අරමුණ, ආශා මුදුන්පත් කර ගැනීමයි. රටක භාණ්ඩාගාරයක මුදල් හිස් කරනු ලබන්නේද තණ්හාව නිසාය. එහි අතුරු ප්‍රතිඵල ෙදාලොවදීම ලැබෙන අතර දිට්ඨධම්මවේදනීය කර්ම මෙලොවදීම ලැබෙයි. එයට හොඳම උදාහරණය වන්නේද රට තුළ පවතින අරගලයයි. තණ්හාව නිසා අත්පත් කර ගන්නා දේවල් තුළින් ලැබෙන්නේ ප්‍රශංසාවක් නොව නින්දා අපහාසයි. තමන්ගේ තිබෙන වත් පොහොසත්කම් තුළින් නොව තමන්ගේ ගුණයෙන් ප්‍රභූ කෙනකු වීම වැදගත්ය. නමුත් රටක් පාලනය කරන විට ගුණයක් නොමැතිව, අයුතු ලෙස මුදල් උපයාගෙන, ජනතාවගේ වත්කම් කොල්ලකාගෙන සෑම දෙයක්ම සිදු කරන්නේ බල තණ්හාව නිසාය.
පෞද්ගලික ජීවිතය ගත් කල වර්තමානයේත් අතීතයේත් තණ්හාව නිසා විපතට පත්වූ අය බොහොමයක් සිටියි. අපට යම් කිසි දෙයක් පිළිබඳ ආශාවක් තිබෙනවා නම් ඒ දෙය ලබා ගැනීමට රණ්ඩු සරුවල් වීම බහුතරයකගේ පුරුද්දකි. උදාහරණයක් ලෙස දේපළ අයිතිය පිළිබඳ කතා කිරීමේදී මහ ගෙදරට රණ්ඩු සරුවල් වී මවුපියන් සමඟද විරසක වීම අද බහුලව දකින්නට ලැබේ. තවද එහි අතුරු ප්‍රතිඵල ලෙස මිනීමැරුම්වලට පවා ලක් වේ. නිවැරැදිව පවසනවා නම් තණ්හාව යනු විශාල ගිනි හට්ටියක් හිස මත තබාගෙන ජීවත් වෙනවා වැනිය. සෑම මොහොතකම දැවි දැවී ජීවත් වෙයි. අද බොහෝ මවුපියන් දූ දරුවන් විරසක වී සිටින්නේ දේපළ පිළිබඳ ගැටලු නිසාය. මවුපියන්ගේ වටිනාකම ගේ ෙදාරකට, රන් භාණ්ඩයකට, මුදලකට සීමා කළ හැකිද යන්න දරුවන් සිතා බැලිය යුතුය.
තණ්හාව ඒකපාර්ශ්වික කාරණාවකි. තණ්හාව තිබෙන්නේ අපගේ සිත තුළය. අප සිත තුළ තණ්හාව තිබෙන විට අනෙක් කෙනාට එයින් ප්‍රයෝජනයක් නොමැත. මේ ලෝකය තුළ තණ්හාව ඇති කෙනා, තණ්හාව වපුරන කෙනා ඒකපාර්ශ්විකව තමන්ගේ ජීවිතයට කොඩිවිනයක් ඇති කර ගනියි. එය මියයන විටත් තමන්ගේ මතකයට නැඟෙන අප්‍රසන්නම කාරණාවකි. පුංචිම පුංචි සිතුවිල්ලක් අපට ලස්සනම තැනකට යන්නට තිබෙන අවස්ථාව අහිමි කරයි.
කෝසල රජුගේ බිරිය වන කෝසල මල්ලිකා යනු ලොව තිබෙන හොඳම දානය දුන් තැනැත්තියයි. එය බුදු රජාණන් වහන්සේගේ දිවිය තුළ ලැබුණු විශාලම දානයයි. නමුත් ඇය ඊළඟ ආත්මයේ පණුවෙක් වී ඉපදුණේ තණ්හාව නිසාය. කොපමණ පින් රැස් කළත් පුංචි සිතුවිල්ලක් මඟින් ඒ පින්කම් සියල්ල වසා දමනු ලබයි. ඇය පණුවකු ලෙස ඊළඟ ආත්මය ලැබුවේ ඇයගේ දෙපා අසල බලු පැටවකු දැවටෙමින් සිටියදී බලු පැටවාගේ ලොම් ඇගේ දෙපාවල ගෑවුණු විට ඇති වූ සිතුවිලි නිසාය. එම නිසා අපගේ සිතුවිලි සෑම විටම පිරිසුදු වතුර වීදුරුවක් මෙන් තබාගත යුතුය. තමන්ගේ සිතිවිලි තුළින් තණ්හාව අනිත්‍යය යැයි තේරුම් ගන්නවා නම් තණ්හාව සෑම මොහොතකම විෂඝෝර සර්පයෙක් යැයි සිතන්නට පුළුවන් නම් අපට ලස්සන ජීවිතයක් ගත කළ හැකිය.
ඔබ තේරුම් ගත යුත්තේ ඔබට ලැබුණු ජීවිතය මොනම ආකාරයත් ජීවිතයක් වුවත් එයට අවබෝධයෙන් යුතුව මුහුණදිය යුතුයි යනුවෙනි. ඔබ දුකට පත්වී ඇත්නම් එය පෙර සංසාරයේ අකුසලයකට බව තේරුම් ගත යුතුය. එබැවින් එම අකුසල් යටපත් කරගෙන හැකිතාක් කුසල කර්මවල යෙදෙන්න. එවිට ඔබ සිත තුළ පවතින තණ්හාවද ටිකෙන් ටික පහව යයි. තණ්හාව නැති කිරීමේ මඟ සඳහන් වන්නේ චතුරාර්ය සත්‍යයේ තෙවැනි අංගය වන දුක්ඛ නිරෝධ සත්‍යයේය. බුද්ධ දේශනාවට අනුව තණ්හාවෙන් නිදහස් වන තැනැත්තා සදාකාලික සතුට ලබා ගනී.
උපුටා ගැනීම මව්බිම