අකුසල් විපාක දෙන්නේ අසිහියෙන්ම තව තවත් අකුසල් කඳු මෝදුකොට දෙන්නමයි
පොසොන් සඳ තවමත් මැකී ගිහින් නැහැ. මේ නිසල විවේකී රාත‍්‍රියේ ඈත ආකාසයේ සිට ඇය භික්ෂුව දෙස බලා සිටිනවා. සත්තකින්ම ඇය හරිම ලස්සනයි. හරිම මටසිළුටුයි. එ්ත් භික්ෂුව ඇයගේ රුව විඳින්න යන්නේ නැහැ. භික්ෂුව ඇයගේ රුව දකිනවා පමණක්ම යි. භික්ෂුවගේ අධ්‍යාත්මික ඇස, සඳ නැමැති බාහිර රූපය සමඟ ඵස්සය වෙද්දී, භික්ෂුව දැක්කාය කියන තැන නවතිනවා. මේ නිසල රාත‍්‍රියේ ඇයගේ රූපයට බැඳීගියොත්, ඇයගේ රූපය සතුටින් පිළිගත්තොත්, තවත් සති දෙකකින් භික්ෂුවට අයිතිවෙන්නේ, ඝණාන්ධකාරයේ ගිලූණු සඳ නැති රාත‍්‍රියක් පමණක්ම යි. සතර මහා ධාතුවෙන් සැදුණ රූපයන් වෙනස්වෙලා යද්දී, අපි ගණාන්ධකාරයට ශාපකොට, සඳ එළියට ආදරය කරනවා. අඳුරත්, ආලෝකයත් අපේම අවිද්‍යාව, තව තවත් ශක්තිමත්කොට දෙනවා.
ගෞරවණීය පිංවත, සමස්ත ලෝකයම වෙලාගත් කොරෝනා අකුසලය ඇති පදම් මනුෂ්‍ය අපිට විපාක දෙද්දී, බුදුරජාණන් වහන්සේ දේශනාකොට වදාළ සුන්දර ධර්මයක් වන, පිංවත් ඔබ ඇසෙන් රූපයක් දැක්කොත්, දැක්කාය කියන තැන නවතින්න. කනෙන් ශබ්දයක් ඇසුණොත්, ඇසුණාය කියන තැන නවතින්න. මනසට සිතුවිල්ලක් නැඟුණොත් දැනුනාය කියන තැන නවතින්න. පිංවත මේ වියරු කොරෝනා අකුසල් මාරයා විපාකදෙන මේ අනාරක්ෂිත සංස්කාර ලෝකයේ, ඔබේ සැබෑම ආරක්ෂකයා වෙන්නේ, දැක්කා, ඇසුණා, දැනුනා කියන ඵස්සය තෘෂ්ණාවෙන් තෙත් නොකරන ධර්මරත්නයමයි.
සංස්කාර ලෝකයේ අකුසල් විපාක දෙන්නේ අසිහියෙන්ම තව තවත් අකුසල් කඳු මෝදුකොට දෙන්නමයි. වියරු අකුසල් සංස්කාර මාරයා පටිච්චසමුප්පන්න විඤ්ඤාණයන් උපයෝගීකොට ගෙන, මේ භූමිය සකස්කොට ගන්නේ, මනුෂ්‍ය රුධිරයෙන් මහපොළොව තෙත් කරන පව්කාර අනාගත මෘග සංඥා ක‍්‍රියාන්විතය දිශාවටයි. කොරෝනා අකුසලය හේතුවෙන් මතුවී ඇති ආර්ථික බිඳවැටීම හේතුවෙන්, පිංවත් ජනතාව කන්න දියව්, පොහොර දියව්, එන්නත් දියව් යැයි මාර භාෂාවෙන්ම අදහස් පිටකරන්නේ, අපේ මාර ග‍්‍රහණය, සක්සුදක් සේ ප‍්‍රකට කරමින්ය. පිංවත කොරෝනාව යනු සංස්කාර මාරයායි. සංස්කාර මාරයා සමඟ අපි සටන්කළ යුත්තේ, සටන්පාඨවලින් නොව, කර්මය කර්මඵල විශ්වාසයට අදාළව සතිය සිහිය පිහිටුවා ගෙනයි. මෙවැනි අවස්ථාවක රටේ පිංවත් පාලක පිංවතුන්ලා රටේ ජනතාවට දිය යුත්තේ මවකගේ, පියෙකුගේ සෙනෙහසයි. රටේ පිංවත් පාලක පිංවතුන්ලා ධර්මානුකූලව තේරුම්ගත යුතුයි, වර්තමානයේ තම තමන්ගේ ජනප‍්‍රියභාවය දුර්වලකොට ගෙන මතුවී එන්නේ අකුසල් විපාකයන් බව, මේ විපාක දෙන්නේ අකුසලයක් බව තේරුම් ගත්තොත් පමණක්මයි අපිට අකුසලය පාරජය කොටගෙන කුසලයෙන් නැඟී සිටිය හැක්කේ. අප අකුසලය ඉදිරියේ පළා යනවා නම්, තම වගකීම් ඉටුනොකර සිටිනවා නම්, ඔබලා කවදාකවත් ජනතාවගේ හදවත් තුළ නායකයින් වෙන්නේ නැහැ. අභියෝග ඉදිරියේ නොසැලී, කුසල් ධර්මයන්ගෙන් අභියෝග ජයගන්නාටයි නායකයින් කියලා කියන්නේ. එම නිසා ජනතා නායකයින්ට සුන්දර අවස්ථාවක් ලැබිලා තිබෙනවා, තෙරුවන් කෙරෙහි ශ‍්‍රද්ධාවෙන්, ශීලයෙන්, මෛත‍්‍රියෙන්, ත්‍යාගයෙන්, පූර්වාදර්ශීව ජනතාවට නායකත්වය දෙන්න.
ජීවමාන බුදුරජාණන් වහන්සේ හැටියට සමස්ත බෞද්ධ ජනතාවම වන්දනාමාන කරන, ජය ශ්‍රී මහා බෝ සමිඳුන් වැඩ සිටින, ස්වර්ණමාලි මහා සෑ සමිඳුන් වැඩ සිටින, උතුම් ශ්‍රී දන්ත ධාතුන් වහන්සේ වැඩ සිටින මේ පූජනීය බිම් කඬේ, උතුම් තෙරුවන් කෙරෙහි ශ‍්‍රද්ධවට, ශීලයට, මෛත‍්‍රියට, පරාජය නොකළ හැකි අභියෝගයක් නැහැ. එ් පූජනීය විශ්වාසය ජීවිත තුළින් ඇතිකොට ගන්න. තවදුරටත් ජනතාවට බොරු නොකියා ඇත්ත කියන්න. පංචශීලය ඔබේ ජීවිතයේ විශ්වාසවන්ත ආරක්ෂකයා බවට පත්කොට ගන්න. පංචඋපාදානස්කන්ධ මාරයා බලාපොරොත්තු බිඳ වැටුන බහුතරයක් ජනතාවගේ පටිච්චසමුප්පන්න විඤ්ඤාණයත්, දියව්, වරෙව්, ගසව් යන දැනීම් ඔස්සේ ගිනි ගන්වන දිශාවටයි වර්තමානයේ රැගෙන යන්නේ. සතිය, සිහිය ඇති නායකයින් දක්ෂවිය යුතුයි, මේ සංස්කාර මාරයාගේ වියරු පංචඋපාදානස්කන්ධ ගිනි, ශ‍්‍රද්ධාවෙන්, ශීලයෙන්, මෛත‍්‍රියෙන් උපක‍්‍රමශීලීව නිවා දමන්න. ධර්මානුකූලව එසේ නොවී, නායක පිංවතුන්ලාගේ නාහෙට නාහන සක්කායදිට්ඨියේ ඉන්ධන, මේ ජනතාව තුළ ඇවිළෙන පංචඋපාදානස්කන්ධ ගිනි මතට දැම්මොත්, එය මේ මාතෘභූමියේ තවත් විනාශයක ආරම්භයක් වෙන්න පුළුවන්.
මාතෘභූමියේ ආරක්ෂාවට අදාළව, සම්මා සම්බුද්ධ ශාසනයේ ආරක්ෂාවට අදාළව, අන්තවාදී ආගමික සහ ජාතික උමතුන්ගේ පරාජයට අදාළව, පිංවත් ඔබ දිනාගත් ශක්තිමත් ජයග‍්‍රහණයක් තිබෙනවා. පිංවත් ජනතාවත්, නායක පිංවතුන්ලාත් දක්ෂ වියයුතුයි, සමාජය තුළ මතුවෙන සිල්ලර ප‍්‍රශ්න හේතුවෙන්, දිනාගත් වටිනා ජයග‍්‍රහණයන් ආපසු පරාජයක් දෙසට නොහරවන්න.
බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, රූප, වේදනා, සංඥා, සංස්කාර, විඤ්ඤාණයන් යනු මාරයාය කියලා. පංචඋපාදානස්කන්ධ ලෝකය මාරයා වූ කල්හි, සිහිනුවණ තිබෙන අපි දක්ෂවිය යුතුයි, මාරයාට අනින ටොක්ක, පුරාජේරු කථා කියමින්, අනින්නේ නැතිව මාරයාගේ හිස අතගා අනින ටොක්ක අනින්න. ජීවිතය හරිම ලස්සනයි. ජීවිතය හරිම සුන්දරයි, ජීවිතය හරිම නිදහස්, එවන් ලස්සන, සුන්දර, ජීවිතයක් අපි තෘෂ්ණාවෙන් අවලස්සනකොට ගන්නවා, අසුන්දරකොට ගන්නවා. කල්ප විනාශයකින් අනතුරුව නැවත ලෝකය නැවුම්ව හටගත් මොහොතේ, මේ මහ පොළොව යෝගට් එකක් බඳු මී පැණි සුවඳින් යුක්තවූ රස ඕජාවකිනුයි පිරී ඉතිරී ගොස් තිබුණේ. ආභස්සරා බ‍්‍රහ්ම ලෝකයෙන් ආලෝක සංඥාවෙන් පැමිණි බ‍්‍රහ්මයින්ගේ රස තෘෂ්ණාව ඉහළයෑම නිසාම, එම රස පොළොව අතුරුදහන්ව ගියා, අතීතයේ තෘෂ්ණාව විසින් ආභස්සරා බ‍්‍රහ්ම ලෝකයෙන් පැමිණි බ‍්‍රහ්මයින්ව, ජාති, ජරා, ව්‍යාධි, මරණ, දුකින් විනාශකොට දැමුවා සේම, වර්තමානයේ දී අවිද්‍යාවෙන් උපදින තෘෂ්ණාව සමස්ත ලෝකයම ජරා, ව්‍යාධි, මරණ, ශෝක, පරිදේවයන්ගෙන් විනාශකොට දමා තිබෙනවා. වර්තමානයේ සිදුවෙන මේ විනාශයන් දැක දැකත්, මේ විනාශයන් හේතුවෙන් ජනතාව තුළ සකස්වෙන අවේගශීලීභාවයන් දැක දැකත්, අපි හැමෝම රූප, වේදනාවෝ, සැපයි, සුභයි, නිත්‍යයි, ආත්මයි කියලා දකින, තෘෂ්ණාවමයි ශක්තිමත්කොට ගන්නේ. අපි දමාගෙන සිටින තෘෂ්ණාවේ වටිනා මිණිකැට එබ්බ වූ සක්කායදිට්ඨියේ කටු ඔටුන්න මොහොතකට හෝ ගලවා, තෘෂ්ණාව සියුම් කරන ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ඇසෙන්, ප‍්‍රශ්න දෙස බලන්න අපිට සතියසිහිය උපදින්නේ නැහැ.
අපි තුළ සතිය සිහිය උපදින්න නම්, අපි කල්‍යාණමිත‍්‍ර ආශ‍්‍රය ලබන්නට ඕනේ, සද්ධර්මය ශ‍්‍රවණය කරන්න ඕනේ, ශ‍්‍රවණය කළාවූ සද්ධර්මය නුවණින් මෙනෙහි කරන්න ඕනේ. එවිට අපි ධර්මානුකූලව දකින්නේ මේ ජරා, ව්‍යාධි, මරණ, ශෝක, පරිදේවයන්ට, එකම හේතුව වන්නේ පාලක පිංවතුන්ලාගේත්, පිංවත් ජනතාවගේත් තෘෂ්ණාවය කියලා. ජනතාවගේ සහ පාලක පිංවතුන්ලාගේ තෘෂ්ණාව සියුම් කරන එකම මාර්ගය, රසායනික පොහොර වෙනුවට, කොම්පෝස්ට් පොහොර දීම නොවේ. පිංවත් ජනතාවට දිය යුත්තේ තෘෂ්ණාව සියුම් කරන ආර්ය අෂ්ඨාංගික මර්ගයේ ශක්තියයි. නමුත් පිංවත් ජනතාවට ආර්ය අෂ්ඨාංගික මාර්ගයේ ශක්තිය පූර්වාදර්ශීව ලබා දීමට පාලක පිංවතුන්ලා තුළ ආර්ය අෂ්ඨාංගික මාර්ගයේ ශක්තිය නොමැතිවීමේ, ”විලාපයයි. මේ සමාජය තුළින් දෝරෙ ගලායන්නේ.
වර්තමානයේ අපිට රසායනික පොහොර සහ රසායනික කෘමිනාශක, දියව් කියලා, විරෝධතා පුවරු එල්ලාගෙන උද්ඝෝෂණය කරන අහිංසක ගොවි ජනතාවගෙන් බහුතරයකට, වකුගඩු රෝග, පිළිකා සහ වෙනත් කර්ම රෝගයන් මේ රසායනික පොහොර, කෘමිනාශක නිසාම ශරීර ගතවෙලයි සිටින්නේ. තම ශරීරය තුළ වකුගඩු රෝගයේ, පිළිකා රෝගයේ මුල් අවස්ථාවන් තිබියදීම, නොදන්නාභාවය නිසාම, තවදුරටත් රසායනික පොහොර දියව් කියලා, මාර භාෂාවෙන්ම උද්ඝෝෂණය කරන්නේ, සංස්කාර පච්චයා විඤ්ඤාණ කියන ධර්මතාවය හේතුවෙන්මයි. සංස්කාරයන්ට අදාළවයි මනුෂ්‍යයාගේ දැනීම හෙවත් විඤ්ඤාණයන් සකස් වෙන්නේ. පිංවත් මනුෂ්‍ය ජීවිත ආර්ය අෂ්ඨාංගික මාර්ගයෙන් දුරස්වීම නිසාම, අහිංසක මනුෂ්‍යයින් තුළ බුර, බුරා නැෙඟන දුශිල්වත්භාවයන් සහ ලෝභ, ද්වේශ, මෝහ, අකුසල් මූලයන් හේතුවෙන් ජනතාවගේ දැනීම් සක්ස්වෙන්නේ නීරෝගිභාවය දිශාවට නොවේ. ජනතාවගේ දැනීම් සකස්වෙන්නේ රසායනික පොහොර දියව් කියන, රෝගීභාවයන් දිශාවටමයි. පිංවත් ජනතාව රසායනික පොහොර දියව්, කෘමිනාශක දියව් කියලා, මේ මාර භාෂාවෙන්ම ඇසෙන්නේ ගොවි ජනතාවට රෝගීභාවයන්ට අදාළ සංස්කාරයන්, පාරිභෝගික ජනතාවට රෝගිභාවයට අදාළ සංස්කාරයන්, ”දියව්.. කියන මාර උද්ඝෝෂණයි.
සතිය, සිහිය තිබෙන කෙනෙකුට, මේ සමාජය තුළ ඇවිළී යන සහ අවුළුවන, පොහොර ප‍්‍රශ්නය යනු, සුන්දර අවිද්‍යා පච්චයා සංඛාරා, සංස්කාර පච්චයා විඤ්ඤාණ කියන ධර්මයේ සෙවනැල්ලක්මයි. පිංවත් පාලක පිංවතුනි, පාලක පිංවතුන්ලා තුළිනුත් පිංවත් ජනතාව තුළිනුත් තෘෂ්ණාවෙන් ජවය ලබා සිත්සේ තිරිහන්වෙන ලෝභ, ද්වේශ, මෝහ අකුසල් සංස්කාර මාරයාගේ වියරුව නුවණින් තේරුම්ගෙන, මම පෙරට තැබූ පය පස්සට නොගනිමි යන මමත්වයේ දැඩිභාවයේ සිතුවිලි, අලෝභ දියෙන් සෝදා දමා, පිංවත් ගොවි ජනතාවට මුලින්ම, කොම්පෝස්ට් පොහොර වර්ණනා කරනවා වෙනුවට, පංචශීලය, මෛත‍්‍රිය, තෙරුවන් කෙරෙහි ශ‍්‍රද්ධාව සහ එ්වායේ ආනිශංසයන් පූර්වාදර්ශීව වර්ණනා කරන්න. එවිටයි ජනතාවගේ
නීරෝගිභාවයට අදාළ කුසල් සංස්කාරයන් වැඩෙන්නේ. පිංවත් ජනතාවගේ කුසල් ධර්මයන් ශක්තිමත් නොකර, කොම්පෝස්ට් පොහොර පමණක්මයි, කියන සටන්පාඨය හුදු ඉටුනොවන මායාවක් පමණක්මයි. පිංවත අඬුව තිබෙද්දී අත පුච්චාගෙන, කරුණාකර ජාතිය දිනාගත් ජයග‍්‍රහණයන් විනාශකොට දමන්න එපා. මුල් අධියරේදී ”ඉවසීමෙන්ට් අඩක් කොම්පෝස්ට් පොහොර, අඩක් රසායනික පොහොර වශයෙන් ක‍්‍රමානුකූලව, අනින ටොක්ක මාරයාගේ හිස අතගා අනින්න දක්ෂවෙන්න. මේ පංචඋපාදානස්කන්ධ ලෝකය, අවිද්‍යාවෙන් උපන්, නොහැදෙන ලෝකයක්. එ් නිසා ඔබයි, රටයි දෙකම ආරක්ෂා කොටගන්න. එසේ නොවුණොත් දෙකම විනාශ වේවි.
පූජ්‍ය රාජගිරියේ අරියඥාන ස්වාමින්වහන්සේ
උපුටා ගැනීම සිළුමිණ