දියුණුව නම් ගුණවත් මිනිසත් බවයි
බුදුදහම පහළ වූයේ දඹදිව ජන සමාජය අධ්‍යාත්මික වශයෙන් විශාල පරිහානියකට පත් ව තිබුණු වකවානුවක දී ය. ඒ වන විට එරට දේශපාලන බලය හා ආර්ථික ශක්තිය අන්තවාදී ලෙස භේදකාරි පදනමක පිහිටා තිබිණි. සියලු මිනිස් අයිතිවාසිකම් ක්‍රියාත්මක වූයේ උපත මූලික කොට ගෙන ය .කෙනෙකු ගේ සමාජ හා ආර්ථික තත්ත්වයන් තීරණය වූයේ උපතේ දී ම ය.
බ්‍රාහ්මණ, ක්ෂත්‍රිය, වෛශ්‍ය, ශුද්‍ර යනුවෙන් සිව් වැදෑරුම් වූ සමාජ ව්‍යුහය තුළ වැඩිම ජන කොටස වූ ශුද්‍රයන්ට අධ්‍යාපනය, ආගම ඇදහීම ධනෝපාර්ජනය ආදී මූලික අයිතිවාසිකම් කිසිවක් හිමි නොවී ය. ඔවුහු අවශේෂ ජනසමාජයේ වහල්ලු (දාස කම්කරු) බවට පත් ව සිටියහ. කසළ ඉවත් කිරීම, ගෙවල් පිරිසුදු කිරීම, රෙදි සේදීම වැනි ඉතා අපිරිසුදු කාර්යයන් පමණක් ඔවුන් ගේ ජීවිකා වෘත්තිය ලෙසින් පිළිගෙන තිබිණ, කාලය ගෙවී යන විට ඔවුහු බ්‍රාහ්මණයන් විසින් සිත් සේ තාඩනයට පීඩනයට ගොදුරු කරනු ලැබීමේ ඉරණමට ලක්වූවෝ වූහ. ඒ සමාජයේ පීඩනයට ගොදුරු කරනු ලැබීමේ ඉරණමට ලක්වූවෝ වූහ. ඒ සමාජයේ ඊළඟට වැඩිජන කොටස වූයේ වෛශ්‍යයෝ ය. ගොවිතැන වෙළඳාම සහ කර්මාන්ත ආදි ශ්‍රමය වැය කරන කටයුතුවල යෙදී සිටි පිරිස වෛශ්‍යයෝ ය. ඔවුනට ආගම ඇදහීම අධ්‍යාපනය ආදි මූලික මිනිස් අයිතිවාසිකම් හිමිව තිබුණු නමුත් ඒවා යම් යම් සීමාවලට යටත් ව පැවතිණ.
බුදුන් වහන්සේගේ යුගය එළඹෙන විට උපනිෂද් ආචාර්යවරුන් විසින් බුද්ධිමය විප්ලවයකට මුල පුරා තිබුණු නමුත් වෛදික යුගයේ සිට ක්‍රමක්‍රමයෙන් වර්ධනය වෙමින් පැවති බමුණු දහම මුළුමහත් සමාජය පුරා ඊට වඩා ශක්තිමත් ලෙස මුල්බැස ගෙන තිබුණි. සැකෙවින් සඳහන් කරතොත් ජන ජීවිතය පාලනය කරනු ලැබුවේ බමුණු දහම විසිනි. ආරම්භයේ සිට ම ආගමේ භාරකාරත්වය හිමි කර ගත් බ්‍රාහ්මණයෝ එය තම ජන්ම දායාදය බවට පත් කර ගත්හ. එමගින් සමාජයේ ඉහළම තලයට නැග ගත් ඔවුහු පුද පූජා උදෙසා මන්ත්‍ර නිර්මාණය කළා පමණක් නොව ඒ ආගමේ සියලු පුද පූජා මෙහෙය වූ පූජකයන් බවට පත් වූහ. එකල සමාජය විසින් පුදනු ලැබූ දෙවිවරුන් ගේ චරිතය සහ බලතල පිළිබඳ ව්‍යාඛ්‍යා විවරණ සපයන ලද්දේත් පූද පූජාදිය පිළිබඳ සිද්ධාන්ත සහ අර්ථකථන සපයන ලද්දේත් ඔවුන් විසින් ම ය. දෙවියන් හා භක්තිකයන් අතර සම්බන්ධිකාරකයා ලෙස කටයුතු කළ බ්‍රාහ්මණයා යාඥාව සහ යාගය එහි අනිවාර්ය ප්‍රධාන පූජා විධි ලෙස ප්‍රතිෂ්ඨාපනය කළේ ය. බමුණෙකුගේ මැදිහත්වීමකින් තොරව පවත්වන කිසිදු පූජාවක් වලංගු නො වීය. මෙලෙසින් ආගම හසුරුවන ලද්දේ ඔවුන්ට වාසි සහ වරප්‍රසාද සැළසෙන අයුරිනි. ඒ බලතල ඔස්සේ පසු කාලය වන විට මිනිස් ජීවිතයේ ඉරණම කෙළින් ම දෛවය විසින් මෙහෙයවනු ලබන්නක් බවට පත් කරන ලදී.
සංඛ්‍යාවෙන් සුළු වුවත්, තනතුරෙන් බලවත් වූ බමුණා රාජ්‍ය පාලන කාර්යයන්හිදී ද තමනට නැතිව ම බැරි කෙනෙකැයි එකල පාලන අයිතිය ලබා සිටි ක්ෂත්‍රියයෝ කල්පනා කළහ. එහෙයින් ඔවුහු පුරෝහිත (ඉදිරියෙන් සිටින්නා උපදේශකයා) යන ගෞරවණීය තනතුරින් පිදුම් ලැබූහ. ගැටලුවලදී රජවරු ඔවුන්ගේ උපදෙස් පිළිගෙන ඒ අනුව කටයුතු කළහ. එමතු නොව, රජ කුමාරවරුන් අධ්‍යාපනය ලැබුවේ ඔවුන් යටතේ ය. බමුණා සතු වූ ඒ අසීමිත බලය ජීවිතය ආත්මාර්ථකාමී හිංසාකාරිත්වයේ ගොදුරක් බවට පත්වීමට හේතු විය.
ඉහත කී පරිසරයට, මහාකාරුණික තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ලොව පහළ වී ඝනාන්ධකාරය දුරු වී ආලෝකය පහළවීමක් බඳු විය. ජීවිතය යනු දිගින් දිගටම නොකැඩි පවතින එකම දුක්ඛ ජාලයක් බවද, ඒ හැර එහි කිසිදු සාරවත් බවක් නැතැයි ද උන්වහන්සේ තිර කොට දෙසා වදාළහ. කාලයක් තිස්සේ විවිධ අර්ථකථන මගින් පුන පුනා තහවුරු කරන ලද ආත්මවාදයේ පතුලට ම කිඳා බැස සිටි සමකාලීන සමාජය මෙකී නව්‍යතම පණිවුඩයෙන් බෙහෙවින් චලනය විය. අප්‍රබුද්ධ මානසිකත්වය සහ තත්ත්වාවබෝධයෙන් තොර වු රාගය හෙවත් ඇල්ම ඒ මහාදුඞඛ ස්කන්ධයේ නිර්මාතෘවරු වෙතැයි සකාරණ සේ සනිදර්ශන සේ තහවුරු කළ සේක. ඒ දහම පොදු ජනතාවගේ සිතට කාවැදුණේ නැවුම් ම නැවුම් මිහිරි රසයක් මෙනි. ප්‍රබුද්ධ මානසිකත්වයේ සහ යථාර්ථවත් අවබෝධයෙන් මිස වෙනත් කවර උපාය මාර්ගයකින් හෝ එයින් මිදී සදාතනික විමුක්තියක් ලද නොහැකිබව ගැටලුවට එකම පිළිතුර ලෙස පෙන්වා වදාළහ. මෙහි ලා ප්‍රබුද්ධ මානසිකත්වයක් ගොඩ නගා ගැනීම පිණිස කෙනෙකුගේ චිත්තසන්තානය සර්ව සම්පූර්ණයෙන් ම අපවිත්‍ර චෛතසිකයන්ගෙන් බැහැර විය යුතු බව ද සත්‍ය ගවේෂණාත්මක ප්‍රඥාවෙන් පරිසමාප්ත විය යුතු බව ද එකසේ අවධාරණය කර වදාළහ.
අපවිත්‍ර චෛතසිකය යනු කුමක්ද? රාග ද්වේෂ මෝහ ප්‍රධාන කොට ගත් අප්‍රසන්න සිතිවිලි සිත කිළිටි කරන බලවේගයෝය. වෙනත් ලෙසකින් පවසතොත් කෙනෙකුගේ අධ්‍යාත්මය අසහනයට, දාහයට පත් කරන චේතනා ය. පුද්ගලයා සමාජ ද්‍රෝහියෙකු හෝ සමාජ දූෂකයෙකු බවට පත් කරන කල්පනා අදහස්, ආකල්ප ආදියයි. එවැනි අපවිත්‍ර කාරකයන්ගෙන් මිදීම සඳහා බුදුරජාණන් වහන්සේ විසින් යෝජනා කොට වදාළේ ලොව උපන් මිනිසුන් විසින් නිතිපතා පංචශීලය ආරක්ෂා කළ යුතු බවයි. අනුන්ට හිංසා කිරීම, නොදුන් දේ ගැනීම නොහොත් සොරකම් කිරීම, පවුල් අවුල් කිරීම (කාමමිථ්‍යාචාරය) වචනය සාවද්‍ය ලෙස හැසිරවීම සහ මත්පැන් භාවිතය යන ක්‍රියාමාර්ග පහ නිර්දිෂ්ඨ පංච දුශ්චරිතයයි. ඒවා ලොව කවර කලෙක වුවත්, කවර දේශයක වුවත් සාමාජික වශයෙන් හානි කර ලෙස සැලකෙන්නේ ඒවායින් කෙනෙකුගේ සන්තානය අපවිත්‍ර වන බැවින් පමණක් නොව ආශි‍්‍රත අන්‍යයන්ගේ සිත් ද දූෂ්‍ය වන – අසහනයට පත් වන බැවිනි. වඩා පැහැදිලි ව කියතොත් ඊර්ෂ්‍යා, ද්වේෂ, ක්‍රෝධ, වෛර ආදි ප්‍රකෝපකාරි දුර්ගුණ වර්ධනය වන බැවිනි. සමාජයේ සාමය බිඳ වැටී අරගල කෝලාහල ඇතිවී විෂම සමාජයක් බිහි වන බැවිනි. මෙම චර්යාවලින් වැළකීම සිත පිරිසුදුව තබා ගැනීමේ මූලික පියවර වේ.
පංචශීලයට අතිරේක වශයෙන් ශ්‍රේෂ්ට මානුෂික ගුණධර්ම ප්‍රගුණ කිරීම ගෞරවාර්හ මානුෂිකත්වයේ ලක්ෂණයෝ වෙතැයි බුදුරජාණන් වහන්සේ පෙන්නුම් කළ සේක. සතර බ්‍රහ්ම විහරණ සහ සතර සංග්‍රහ වස්තු යන චර්යා ධර්ම මෙහිලා දැක්විය හැකි අපූරු නිදර්ශනයෝ ය. මෙත්තා, කරුණා, මුදිතා සහ උපෙක්ඛා යන ගුණාංග හතර පෞද්ගලික පක්ෂයෙන් පමණක් නොව සමාජ ධර්ම පක්ෂයෙන් ද කෙතෙක් අගනේ ද? මෙත්තා යනු මිත්‍රත්වයයි. එය සමාජයක ජීවත්වන විවිධ තරාතිරම්වල පුද්ගලයන් අතර ගුණවත් බන්ධනයට සහ සමගියට පදනම වේ. කරුණා යනු අසරණ වූවෙකු හෝ දුකට පත්වූවෙකු දෙස සුවපත් කිරීමේ ආකල්පයෙන් බැලීමයි. මුදිතා යනු කිසියම් කාරණයක් නිසා සතුටට පත්වූවෙකු දෙස අභිනන්දනාත්මක දෘෂ්ටියෙන් බැලීමයි. උපෙක්ඛා යනු මේ අතරින් ශ්‍රේෂ්ඨතම ගුණධර්මයයි. එයින් ප්‍රකාශ වන්නේ ලොව පවත්නා කිසිවකට ඇලුම් කිරීමකින් හෝ ගැරහුම් කිරීමකින් තොරවීමයි. මෙකී ගුණාංග සමබර සමාජයක පැවැත්ම අතින් ගත් කල කවර තරමේ අංග සම්පූර්ණ නිදහසකින් මිනිසාට ජීවත්වීමේ අයිතිය ලැබේද? බුදුරජාණන් වහන්සේ විසින් පනවා වදාළ සතර සංග්‍රහ වස්තුව නම් සංකල්පය එලෙසින්ම අගය කළ යුතු මහර්ඝ සමාජධර්ම කීපයකි. යම් පුද්ගලයෙකුගේ අවශ්‍යතා සපයා දීම දානයයි. පුද්ගලයන් සමඟ කටයුතු කරන අවස්ථාවල ශීලාචාර ලෙසත් පි‍්‍රය උපදවන ලෙසත් වචන හැසිරවීම, පරලොව යහපත තකා කි‍්‍රයාකිරීම අත්ථචරියා නම් වේ. ආශි‍්‍රත අනිත් පුද්ගලයන් ද ස්වභාවයෙන් සහ ජාති ජරාදියෙන් තමන් හා සමාන බව කල්පනා කිරීම සමානත්තතා නම් වේ.
ඉහත විස්තර වු සියල්ලෙන් අවධාරණය වන්නේ කුමක්ද? පුද්ගලසන්තානගත වූත් සමාජගත වූත් දුක්සම්භාරය තුරන් කොට ගෙන සැලසුම සාක්ෂාත් කර ගන්නා ආකාරයයි. මිනිස් ජීවිතයේ සරුසාරත්වය දියුණු තියුණු කර ගන්නා ආකාරයයි. පුද්ගලයා ගුණවත් විය යුත්තේ ඔහුගේ පමණක් නොව සමස්ත සමාජයේම ස්වස්ථතාව හා ප්‍රගමනය සඳහා ය යන්න මෙයින් ගම්‍ය වන අපූරු කාරණයකි. යම් ආකාරයේ පැවැත්මක් ක්‍රියාකාරිත්වයක් පුද්ගලයාට හානි කර නම් එය සමාජයට ද හානිකර ය. එසේම යම් චර්යාධර්මයක් පුද්ගලයාට හිතකර වේ නම් එය සමාජයට ද හිතකර ය.
ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ අනුනායක මහාචාර්ය වරාගොඩ පේමරතන අනු නා හිමි
උපුටා ගැනීම බුදුසරණ