පසුතැවිල්ලට ඉඩ තබා නැත
'වරද කිරීම මිනිස් ගතියකි. වරදට සමාවදීම දේව ගතියකි' යනුවෙන් ප්‍රකට කියමනක් ඇත්තේය. මේ කියමනෙහි බැරෑරුම් සත්‍යයක් ගැබ්ව තියේ. එනම් වරද සහ වරදකරුවා වෙන්කොට හඳුනාගැනීමට බොහෝ දෙනකුට ඇති නොහැකියාවයි. වරද පසෙක තිබියේවා වරදකරුවා විනාශකොට දමන්නට එක පයින් සූදානම්වීමයි.
මගඵලවලට නොපන් පුද්ගලයා කොහොමටත් පෘතග්ජනයෙකි. ඔහු නිතැතින්ම යහපතට වඩා අයහපතට නැඹුරුවෙයි. බොහෝවිට කිසියම් ආගමක් හෝ ඇදහිල්ලක් මගින් කළමනාකරණය කෙරෙනුයේ ඔහු අයහපතින් ගලවා යහපත කරා යොමුකරවීමයි. බුදුසමයෙහි මෙන්ම කිතු දහමෙහි හා ශිව දහමෙහිත්, ඉස්‌ලාමයෙහිත් පදනම වන්නේ මිනිසා යහපතෙහි පිහිටුවීමයි. සමාජයක නීතිය හා සාමය පවත්වාගෙන යනු පිණිස නීති අණ පනත් මගින් ඊට දඬුවම්ද සම්මතකොට ඇත්තේය. කවරකු අතින් වුව වරදක්, පාපයක් සිදුවූ පසු නිතැතින්ම ඔහුට සිදුවන්නේ පසුතැවිල්ලට පත්වීමටය. ඇතැම් විට ඔහුට එය මුළු ජීවිත කාලය පුරා හිතට වදදෙන තැවිල්ලක් බවට පත්වේ. එවැනි වද දෙන පශ්චාත්තාපයක් ගසක්, ගලකට හෝ පැවසීමෙන් යම් අස්‌වැසිල්ලක් ලැබෙන්නේ යෑයි ජන සම්මතයේ අදහසක් පවතී.
කිතු දහම වැනි ආගම්වල පව් සමාකිරීමේ පිළිවෙතක් ඇත්තේය. භික්‌ෂු සංඝ විනය ප්‍රතිපදාවෙහිද 'පොහොය කිරීමක්' දක්‌නට ලැබේ. මනසට වරක් ගල් කුලුණුවලින් සලකුණු කළ සීමා මාලකයට එකතුව තම වැඩිහිටි උපසපස් නායක භික්‌ෂුන් ඉදිරියේ තමන් අතින් සිදුවූ ඇවැත්, පාරාජිකා, ප්‍රමාද දොaෂ පාපොච්චාරණය කොට සිත නිදහස් කර ගැනීමේ ක්‍රමයකි. එසේම මේ හැම පිළිවෙතකටම වඩා උත්තරීතර වූද, පලදායී වූද, ක්‍රියාකාරී වූද පාපය යටපත් කොට විපාක බලය මෙල්ල කොට එය කුසලානුභාවයෙන් පරාජය කිරීමේ ක්‍රමවේදයක් බුදුපියාණන් වහන්සේ විසින් දේශනාකොට ඇත්තේය. එය සූත්‍ර පිටකයෙහි සංයුක්‌ත නිකායට අයත් සලායතන සංයුක්‌තයෙහි ආයතන සය හෙවත් ඇස, කන, නාසය, දිව, ශරීරය හා මන විග්‍රහ කරමින් සංඛධන සූත්‍රයට පිඩුකොට දක්‌වා ඇත්තේය. ඊට පදනම් වන නිමිති කතාවද හේතු ප්‍රත්‍ය වශයෙන් ශ්‍රාවකයාගේ තර්කානුකූල බුද්ධිය පුබුදුවාලන කරුණු ගණනාවකින් යුක්‌තය.
එදා බුදුන් දවස ජානකී නම් එක්‌තරා පිරිවැඩියෙක් වාසය කළේය. හෙතෙම වූ කලී නිඝණ්‌ඨනාථ පුත්තගේ දහම වැළඳගත් අයෙකි. මේ වනවිට බුදුපියාණෝ නාලන්දාව අසල කාලාරික නම් අඹවනයේ වැඩ විසූ සේක. එසඳ බුදුන් වහන්සේ බැහැ දැකීමට පැමිණි ජානකී පිරිවැජි තෙම බුදුන්ට ආචාර විධි පවත්වා එකත්පස්‌ව වාඩිගත.
''පිරිවැජිය, තොපගේ ශාස්‌තෘන් වහන්සේ ඔහුගේ දහමෙහි කෙසේ දේශනා කෙරෙත්'දැයි බුදුපියාණෝ ජානකී සමග සංවාදයට මුල පිරුවේය.
''ස්‌වාමීනි, යමෙක් ප්‍රාණඝාතයෙහි යෙදෙයිද, හේ ඒකාන්තයෙන්ම නිරයට යයි. එයාකාරයටම අදත්තාදානය, මුසාවාද, කාම මිත්‍යාචාර, සුරාපානය කරන්නේ වේද හේ ඒකාන්තයෙන්ම අපාගතවෙයි. එසේම යමෙක් බොහෝ කොට කරන දේ හේතුකොටගෙන නිරයට යන්නේ' යයි උත්තර දුන්හ.
නිඝණ්‌ඨනාථපුත්තගේ දර්ශනයෙහි නිරර්ථකභාවය තෝරා බේරාදෙන බුදුන් වහන්සේ පුද්ගලයකු අතින් සිදුවන අල්ප සාවද්‍ය වේවැයි, මහා සාවද්‍ය වේවැයි පාප කර්මයක් සතර බ්‍රහ්ම විහරණ ප්‍රගුණ කිරීමෙන් මෙල්ලකොට දැමිය හැකි බව පෙන්වා දුන්නෝය. එය වෙනත් දේව ආගම්වල මෙන් ලබන්නාවූ පව් සමාවක් නොවේ. තමතින් සිදුවූ අල්ප සාවද්‍ය හෝ මහා සාවද්‍ය අකුසල කර්මයක යථා ස්‌වරූපය දැන හැඳිනගෙන, එහි කර්මපල විපාක ආදීනව වටහාගෙන, නැවත තමා අතින් එවැනි ප්‍රමාදදොaෂයක් සිදුනොවන තැනට සිත් සකස් කරගෙන එතැනට තථාගත ධර්මය අනුයුක්‌ත කොට ගැනීමයි. මෙහි පළමු පියවර ලෙස ගැනෙන්නේ සකල ලෝක සත්ත්වයා වෙත මෙත් සිත පැතිරවීමයි. මේ සඳහා මෛත්‍රී භාවනාව හඳුන්වාදී ඇත. අප මේ සාකච්ඡාවේදී මාතෘකා කොට ගත් සංඛමාන සූත්‍රයෙහි ප්‍රකාර අතිදක්‌ෂ සක් පිඹින්නකු විසින් උඩු සුළඟට වේවා යටි සුළඟට වේවා වෙනසක් නැතිව සිව් දිසාවටම එල්ලකොට එක හා සමාන නාදයකින් සක් පිඹින්නේ වේද, මෛත්‍රීය වඩන්නාද ඒ කාර්යයෙහි දක්‌ෂ පක්‌ෂ විය යුතු වන්නේය. මෛත්‍රිය නම් වන්නේ මිතුරුකමයි. වෛරය, එදිරිවාදය, පලිගැනීම, ක්‍රෝධය ආදී නපුරු පාපී ෙච්තනාවලට විරුද්ධාර්ථයයි.
බුදුපියාණන් වහන්සේ විසින් මීට උපමා උපමේයන් දක්‌වාලමින් කිසියම් භාජනයක අසූචි බිඳක් තැවරුණහොත් එය පිරිසිදුකොට ලන්නට යොදාගත යුතු වන්නේ අසූචිම නොව, ඊට ඉඳුරාම ප්‍රතිවිරුද්ධ පිරිසිදු ජලයයි. මෙලෙස වෛරය, මෛත්‍රියෙන්ද, මසුරුකම දක්‍ෂිණ්‍යයෙනද බොරුව සත්‍යයෙන්ද, ක්‍රෝධය ඉවසීමෙන්ද ජය ගත යුතු වේ. අපට මදුරුවෙක් වැනි කුඩා කෘමියකු දෂ්ට කරන කල මේ සියලු පාපී ෙච්තනා හටගෙන එසැණින් අල්ප සාවද්‍ය ප්‍රාණඝාත අකුසලයක්‌ද සිදුවී හමාරය.
දෙවැන්න මුදිතාව වැඩීමයි. එනම් අන්‍යයන්ගේ සැප යස ඉසුරු දැක අවංකව සතුටුවීමයි. ඊට ඊර්ෂ්‍යාව, කුඩුකේඩුකම්, තරහකාරීත්වය ආදී දුදන ගති පරාජය කළ යුතු වේ. එසඳ කරුණා සමාධිය මතුවන්නට පටන් ගනී. බුදුපියාණන් වහන්සේ මහා කරුණාවෙන් යුතුව ලොව බලා සසර දුකින් ගොඩඑන්නට පින ඇත්තේ කාහටදැයි එතැනට වැඩ කළ යුතු උදව්ව දුන් සේක.
මීළඟට සුපරීක්‌ෂාකාරී විය යුත්තේ උපේක්‌ෂාව හෙවත් මැදහත්භාවයට පත්වීමටයි. මේ සඳහා අත්තුංකංසනය, මීමංසාව, මමායනය, අස්‌මිමානය වැනි ආත්මාර්ථකාමී මානසික මට්‌ටම්වලින් පහලට බැසිය යුතුය. බුද්ධ වචනය නම් බුදුමඟට පිළිපන් අයකු පාපිස්‌නාවක යටපැත්ත වන තරමට මුදු අනතිමානී වියයුතු බවය. පක්‌ෂග්‍රාහී බවෙන් මිදිය යුතුය. අන්‍යයන්ට ඉවසීමෙන් සවන් දෙන ගුණයෙන් පිරිපුන් විය යුතුය.
මනුෂ්‍ය ප්‍රාණඝාතයක් වැනි මහා සාවද්‍ය අකුසල විපාකයක් 'බොල් ණයක්' ලෙස බෙලහීන කොට අක්‍රියකොට දැමීමේ හැකියාවක් ඇති බවට අනගි උදාහරණයක් නම් කුඩා දරුවන් පවා හොඳින් දන්නා අංගුලිමාල කතා වස්‌තුවයි. එහි කථානායකයා නම් වචනයේ පරිසමාප්තාර්ථයෙන්ම අහිංසක නම් වූ අද්වීතිය බුද්ධි මහිමයකින් හෙබි මානවකයෙකි. ඔහුගේ අසහාය බුද්ධි මහිමයෙන් ඊර්ෂ්‍යා පරවශ වූ සෙසු ශිෂ්‍ය කුමාරවරු ගතු කේලාම් බස් කියා දිසාපාමොක් ඇදුරු තුළ අහිංසක කුමරුවා කෙරෙහි වූ පුත්‍ර ප්‍රේමය බිඳවූහ. ආචාරීන් වහන්සේද දුරදිග කරුණු සොයා නොබලා අහිංසක කුමරු මැරවීමේ උපායමාර්ගයක් ලෙස මනුෂ්‍යයන් දහසකගේ මහපටැඟිලිවලින් තැනූ මාලයක් ගුරු පූජෝපහාර ලෙස පුදන තුරු තොපට ශිල්ප නොපිහිටන්නේ යෑයි අභියෝග කොට ව්‍යාපෘතිය පැවරූහ. මදුරුවකුවත් නොතළන අහිංසක තම ගුරු දේවයාණන් කෙරේ බැඳුණු භක්‌තිය ඔප්පුකොට පෙන්වනු පිණිස කඟපත අතින් ගෙන යක්‌ෂාරූඪව වන වැද දකින දකින මිනිසා මරා ඇඟිලි කපා ගනිමින් අංගුලිමාල නමින් ප්‍රකට විය. ඔහු කෙරේ මහා කාරුණාව පතල කළ බුදුපියාණෝ එමගට වැඩ 'මහණ, ඔහි සිටුව' යි ගෝරනාඩු කරමින් අසිපතද අමෝරාගෙන තමන් පසුපසින් ලුහුබඳින අංගුලිමාලයාගේ ණැනැස විවෘත කළේ 'මම නම් නැවතී සිටිමි, තොපයි දුවන්නේ' යන ව්‍යාංගාර්ථයෙන් ඔහුද සසර ගමනේ නවතාලමිනි. එසේ නම් මිනිසුන් දහස් ගණනක් මරා දමා ප්‍රාණඝාත අකුසල් නිමේශ කෝටිසංඛ්‍යාත ප්‍රමාණයක කර්ම ඵල වලට වගකිව යුතු වූ අංගුලිමාල ඒවායේ විපාක වලට මුහුණ දෙන්නට නොවූයේ ඇයි? අප මෙතෙක් සාකච්ඡා කළ කරුණුවල උපරිමය නොවේද මේ? (යළි මාතෘ ගර්භාවාසයකට නොපැමිණ අර්හත් ඵලයෙන් අමා මහ නිවන් පසක් කළ අයෙකුට කුමක් පටිසන් දෙන්නද?) මුළු රටක් භීෂණයෙන් හෙල්ලුම් කැවූ අංගුලිමාල මහ රහතන් වහන්සේ නමක වූ පසුත් පිරිනිවන් පානා තෙක් වැඩ සිටියේද එනමින්ම විනා අහිංසක මහරහතන් වහන්සේ නමින් නොවේ. අංගුලිමාල මහරහතන් වහන්සේ බුදුපියාණන්ගේ උපදෙස් පිට, දරු ප්‍රසූතියේදී දරුවා බිහි නොවී ජීවිතයත්, මරණත් අතර සටනක යෙදී සිටි ගැබිණියක අරබයා සත්‍ය ක්‍රියාවක යෙදුණෝය. ඒ 'මා මේ ආර්ය භවයේ උපත ලද දා පටන්, එනම් බුදුන් වෙතින් සඟ පදවි ලද දා සිට, ප්‍රාණඝාතයක් නොකළා සැබෑ සත්‍යවාදී නම්, නැගණිය තොපට පහසු දරු ප්‍රසූතියක් වේවා!
' යන ලෙසිනි. එසේම ඒ සත්‍යක්‍රියාව එලෙසින්ම සඵල විය.
එතැන් සිට අද දක්‌වාත් ගැබිණියකට හත් අට මස පිරුණු විට, ඇයට අංගුලිමාල පිරිත කියා සෙත් පැතීම චාරිත්‍රයක් ලෙස ඉටු කෙරේ. එබැවින් බුදුමගෙහි පිය නගන්නවුන්ගේද වැර වීරිය වියයුත්තේ තමාතින් සිදුවූ වැරැදි ගැන දිගින් දිගටම කම්පා වෙමින් පසුතැවිලිවී උකටලී වීම නොව සතර බ්‍රහ්ම විහරණයෙහි නියෑලෙමින් උත්තම මනුෂ්‍යයකුගේ ජීවන ප්‍රතිපදාව වෙත එළැඹීමයි.
උපුටා ගැනීම දිවයින