ඉටු දෙවියන්ගෙන් වැඩ ගන්නේ කොහොමද?
‘පාපැදියක් මත සාදාගත් කරත්තයක් තල්ලු කරගෙන සෙමෙන් සෙමෙන් එන වියපත් මිනිසෙකි. ඔහුට මීටර් පනහක පමණ දුරින්, ඉදිරියෙන් ඇත්තේ සතරමං සන්ධියකි. ගතවුණේ තත්පර කිහිපයක් පමණි. විරුද්ධ දෙසින් අධික වේගයෙන් ආ මෝටර් රථය දුටු මඟ දෙපස වූවන් ක්ෂණයකින් දෑස් වසාගත්තේ තවත් මොහොතකින් සිදුවන්නට යන මහා අනතුර ගැන සැකයක් නොවන හෙයිනි. ඒ මොහොතේම ක්‍රියාත්මක වූ තවත් මිනිසෙක් ක්ෂණයකින් කරත්තකරු පාරෙන් ඉවතට ඇදගනී.’ බැලූ බැල්මට මිනිස් රුවක් ලෙස දර්ශනය වුවද සැබැවින්ම එය මිනිස් සෙවණැල්ලකි. අඩි කිහිපයක් හිස බිමට නමාගෙන ඉදිරියට ඇදුණ ඒ සෙවණැල්ල ද විනාඩි කිහිපයකින් වියැකී යයි. මෝටර් රථය නවතා ඉන් බසින රියැදුරු සිදුවූයේ කුමක්දැයි අන්දමන්දව බලා සිටී.
මේ පසුගිය දිනෙක අපේ රටේ ප්‍රධාන නගරයක සතරමං සන්ධියක ‘සීසීටීවී’ කැමරාවකට හසු වූ දර්ශනයකි. ස්වාධීන රූපවාහිනියේ විකාශය වූ වැඩසටහනක එය අපූර්ව ලෙස ඉදිරිපත් කෙරුණි. මහා විපතක් වන්නට යන මොහොතේ, අසුරු සැණින් එය වළකමින් මේ දුප්පත් කරත්තකරු ගේ දිවි රැක දෙන්නට ඉදිරිපත් වූ මේ මිනිසා කවුද? ඔහු මනුෂ්‍යයකු නොවන බව සියලු දෙනාටම ප්‍රත්‍යක්ෂය. එසේනම් වෙස් වළාගත් දේවතාවෙකි. අමනුෂ්‍යයකුට, එසේත් නැතිනම් අප ගේ ආරක්ෂාව පිණිස උපකාරී වන දෙවියකුට රූපමය ස්වභාවයක් තිබේද? මෙහිදී අපට තර්ක කළ හැකි වන්නේ මනෝමය සම්බන්ධයක් සමඟ සිටින සත්ත්වයකුට, භෞතිකමය උපකාරයක් කිරීමට එම අමනුෂ්‍ය බලවේගයට ක්ෂණයකින් භෞතිකමය ස්වරූපයක්, රූපයක් මවා ගැනීමට සිදුවන බවය. ඒ භෞතිකම ස්වරූපය, සෙවණැල්ලක් ලෙස, ඡායාවක් ලෙස දැන් තිබෙන දියුණු සූක්ෂ්ම කැමරා ඇසට හසුවිය හැකිය. සැබැවින්ම අපට නොපෙනෙන දේ මෙතැන සිදුවේ.
“අනූනමයයි දශම නමයෙන් බේරුණා” යැයි ඔබ ද පවසන්නේ මෙවැනි මහා විපතකින්, අනතුරකින් ගැලවුණු විටදීය. ඉෂ්ට දේවතා සංකල්පය ගොඩනැෙඟන්නේ මෙතැනිනි. මිනිසුන් ලෙස ජීවත්වන අප සෑම දෙනකුටම යම් ඉෂ්ට දෙවියෙක් සිටී. ඔබ රැකගන්නා, ඔබට උදවු කරන දෙවියෙක් සිටී. ඒ ආරක්ෂාව, රැකවරණය ලබන්නට නම්, ඊට ගැළපෙන ලෙස සකස් වීම අත්‍යවශ්‍යය. ඔබ දුසිල්වතෙක් නම් කරදරයකදී, විපතකදී ඔබ ආරක්ෂා කර දෙන්නට ඉෂ්ට දෙවියන් ඉදිරිපත් වන්නේ නැත. හෙතෙම හැමවිටම ක්‍රියාත්මක වන්නේ නිවැරැදිවය. එනම් දෙවියන් ඔබට ළංවන්නේ ඒ සඳහා ඇවැසි ගුණධර්ම ඔබ වෙත තිබේ නම් පමණි. මෙහිදී පංච දුෂ්චරිතයෙන් තොරවීම අනිවාර්ය වේ. ඔබ කෙරෙහි සුළු අඩුපාඩු තිබුණ ද, යම් යම් දෝෂ තිබුණ ද, යහපත් ප්‍රතිපත්ති තිබේ නම්, අම්මට තාත්තට සලකනවා නම්, ආච්චිට සීයට උවටැන් කරන්නේ නම්, පැවිදි උතුමන්ට ගරු සත්කාර කරනවා නම්, 'සෙවණ දුන් ගසක අත්තක් හෝ කපන්නට එපා’ යන සංකල්පය මත තමන්ට උපකාරී වන අයට අවශ්‍ය මොහොතේ පෙරළා ප්‍රතිඋපකාරී වනවා නම්, අසරණ අයට පිහිට වනවා නම් හැම විටෙකම ඔබ සමඟ දෙවියන් සිටී.
ඊට හේතුව කුමක්ද? පිළිතුර පැහැදිලිය. ඔබගේ ජීවිතය හා බැඳුණු සිදුවීම් සමඟ සැසඳීමෙන් ම ඊට පිළිතුරු සොයා ගත හැකිය. සිල්වත් භික්ෂූන් වහන්සේ නමක ගේ චරිතය උදාහරණයකට ගන්න. විශේෂයෙන් ධර්ම දේශනා කරන ස්වාමීන් වහන්සේ නමක් දිනකට මොන තරම් දේව සමූහයකට පින් අනුමෝදන් කරනවාද? උන්වහන්සේ අනිවාර්යයෙන්ම දේව කැළක් සමඟ ධර්මාසනයෙන් ධර්මාසනයට වැඩම කරති. දෙවියන් ඇසුරේ සිටිති. ඒ දෙවියන් උන්වහන්සේට රැකවරණය සලසනවා යන්න බොහෝ අවස්ථාවල දී ගම්‍ය වේ. එවන් භික්ෂුවක ලෙස මම ද ඒ අත්දැකීම විඳ ඇත්තෙමි. මා මෙම ධර්ම දේශනා වැඩ පිළිවෙළ ආරම්භ කොට ප්‍රසිද්ධ භික්ෂූන් වහන්සේ නමක ලෙස අවුරුදු තිහක් ඉක්මවා ඇත. මේ සා කාලයක් පුරා ධර්ම දේශනා සඳහා රට වටා මොනතරම් දුරක වැඩම කළත් අතරමඟ කවර හේතුවක් නිසා හෝ හිරිහැරයක් බාධාවක් වූයේ නැත. රථ වාහන තදබදයක් ඇතැයි සිතන මොහොතකම මට ඒ මාවත සකස් වී තිබේ. අප වෙත වූ ධර්ම බලයත් සමඟ දෙවියන් අපට උදවු කරනවාය යන්න එයින් ඉතා පැහැදිලිය. මේ කතරගම දෙවියන් සිටීය යන්න හුවා දැක්වීමට කරන උත්සාහයක් නොවේ. එහෙත් එක්තරා වකවානුවක මම තිස්සමහාරාමයේ වූ උපකාරක පන්තියක බෞද්ධ සංස්කෘතිය විෂයය ඉගැන්වූයෙමි. සෙනසුරාදා පන්තියට කොළඹ සිට මා එහි යන්නේ සිකුරාදා රාත්‍රියේ දිනමිණ බස් රථයෙනි. එය පිටත්වූයේ රාත්‍රී නමයටය. කතරගමදී මා බස් රථයෙන් බසින්නේ පාන්දර තුන හමාරට හතර හමාරට පමණය. අවුරුදු දෙකකට වැඩි කාලයක් සෑම සතියකම මෙසේ මම එම පන්තියට සහභාගි වූයෙමි. ඒ හැම දිනෙකම මම කතරගම දේවාල බිමට ද යමි. ඒ හැම ගමනකදීම මට කවුරුන් හෝ (නොහඳුනන) කෙනෙකු හමුවීම සුවිශේෂත්වයක් විය. ඒ කෙනා එක්කෝ තරුණ දරුවෙකි. එසේත් නැතිනම් වියපත් උපාසිකාවකි. එක්කෝ දිග රැවුලක් ඇති වැඩිහිටියෙකි.
“ස්වාමීන් වහන්ස! ඔබ වහන්සේට කොහොමද? ගමන් විඩාව ඇති නේද? ටිකක් සැතපුණොත් හොඳයි නේද? අපි ඔබ වහන්සේට සුදුසු තැනක් පිළියෙල කර දෙන්නම්.” යයි ඔවුහු මට ආරාධනා කරති. මෙවන් සිදුවීමක් වූ එක් දිනක් ඉතා හොඳින් මා මතකයේ ඇත. එවැනි දිනෙක මම එක් නිවෙසකට වැඩම කළෙමි. සැතපීම සඳහා එහි සුපසන් කාමරයක් පිළියෙල වුණි. මා උදෑසන පිබිදෙන විට ඒ මහලු මව හීල් දානය ද සකසා තිබුණි. ඇය පැවසුවේ තමන් උපන්ගම කතරගම ප්‍රදේශයේ නොවන බවත්, දෙමටගොඩ ප්‍රදේශයේ බවත්ය. මා ඒ නිවෙසින් පිට වූයේ එහි පිහිටීම හා පරිසරය, පාර මග පිළිබඳ සිතේ පැහැදිලිව සටහන් කරගනිමිනි. ඒ නැවතත් දිනෙක එහි පැමිණීමේ බලාපොරොත්තුවෙනි. එහෙත් මාහට අද වනතුරු ඒ නිවෙස සොයාගැනීමට නොහැකි වුණි. එහෙත් කතරගම පුදබිමට ගිය සෑම දිනෙකම මට කවුරු හෝ කෙනෙක් ඒ උපකාරය කළේය. මේ පිළිබඳව මම විස්මිත නොවූයෙමි. යම් භූමියක මිනිස් ගඟක්, ගඟකින් නා පිරිසිදුව, එකම චින්තනයක සිට, යම් ප්‍රාර්ථනාවක් කරන භූමියක ඕනෑම මනුෂ්‍යයකු පිරිසිදු නම්, සිල්වත් නම් ඔහුගේ හෝ ඇය ගේ ප්‍රාර්ථනා ඉටුවනු නියතය. එවැනි බිමෙක කිසිවිටෙක ඒ තැනැත්තා තනි නොවේ. අසරණ නොවේ. ඔබ ජීවිතයේ එක් අවස්ථාවක හෝ කතරගම පුදබිමට යන්නට ඇත. එය පිහිටියේ ඉතා සුළු භූමි ප්‍රමාණයක බව ද දකින්නට ඇත. මංමාවත් ගණනකින් එහි පැමිණෙන මහා ජන ගඟ මොනතරම් අධික වුවද ඒ බිම ඉඩකඩ ඇහිරුණ දිනයක්, බැතිමතුන් එකිනෙකා ගැටුණු ස්වභාවයක් ඔබ, දැක අසා නොතිබෙනවාට සැක නැත. පුංචි දරුවෙක් මවක ගේ දෑතින් ගිලිහී ගිය ද කවර හෝ ක්‍රමයකින් දරුවා නැවත මව සොයා පැමිණේ. ශ්‍රීපාද පද්මය පිහිටියේ ද සුළු ඉඩ ප්‍රමාණයකය. වන්දනා සමයේ වන්දනා නඩ ලෙසින් ලක්ෂ ගණනින් බැතිමතුන් එහි රොක්වුවද කිසිදිනෙක ඉඩකඩ මඳ වූ බවක් අප අසා නැත. ඒ සා ජනකායක් එවන් පින් බිමක ආරක්ෂා වන සැටි මොහොතකට සිතන්න. වන්දනාමාන නිවැරැදිව කර ගන්නට මොන තරම් පිහිටක් එහි තිබෙනවාද? සුමන සමන් දෙවියන් මේ පරිසරයේ වැඩ සිටින බව අපට පෙනෙන්නේ හැඟෙන්නේ, දැනෙන්නේ මේ ජන බලය තුළ නොවේද? එහෙත් මේ පිහිට ලබන්නට නම් අප වෙත ශ්‍රද්ධාව තිබිය යුතුමය. ශ්‍රද්ධාව නොමැති පුද්ගලයාට එවන් රැකවරණයක් බලාපොරොත්තු විය නොහැකිය. සිරිපා කාරුණාවේ දී “කට වරද්දා ගන්න එපා” යන කියමන ඔබ අසා ඇත. මේ කට වරද්දා නොගැනීම නම් නොමනා දේ කීමෙන් හා කිරීමෙන් වැළකීමය. ඒ ගමනට හෝ මස් මාංශයෙන් වැළකී සිටිය නොහැකිනම්, මත්වතුර භාවිතයෙන් තොර විය නොහැකි නම්, ඒ පුද්ගලයා තමන් සමඟ යන නඩයටම කරදරකාරීය. ඒ අයට ද විපත් ළඟා කරවන්නේය. රිය අනතුරු සිදුවී එවන් වන්දනා නඩ ආපසු හැරී ආ අවස්ථා පිළිබඳව ඔබ කොතෙකුත් අසා තිබෙනවා ඇත.
කෙසේ වුවද සම්‍යක් දෘෂ්ටික දේව බලවේගවල ආශිර්වාදය ලැබීම යනු ඉතා සරල දෙයකි. මාගේ කල්‍යාණ මිතුරකු වූ, මෑතක අභාවප්‍රාප්ත වූ මනෝ වෛද්‍ය හරිශ්චන්ද්‍ර මහතා ගේ රුව විද්‍යුත් මාධ්‍ය ඔස්සේ කොතෙකුත් ඔබ ඇස ගැටෙන්නට ඇත. ඔහු සහභාගී වූ වැඩසටහන් නරඹන්නට ඇත. දිනක් මාතර කොළඹ පරණ පාරේ ගමන් කරමින් සිටිය දී අලුයම එකහමාරට දෙකට පමණ ඔහු ගමන්ගත් රිය ඇණහිටියේය. කොතෙක් උත්සාහ කළ ද පලක් වූයේ නැත. එක්වරම ඈතින් රුවක් මතු වන සැටි වෛද්‍යවරයාට පෙනුණි. කෙමෙන් කෙමෙන් රිය වෙත ළං වූ ඒ රුව “ඔබතුමා කරදරයක වැටිලා නේද? මම උදවු කරන්නම්” යැයි පවසා වාහනය පරීක්ෂා කළේය. කිසිදු ආයුධයක් අත නොතිබුණත් තත්පර කිහිපයකින් වාහනය පණගන්වා දුන් ඒ මිනිසා කිසිදු ගාස්තුවක් නොගෙනම ඉවත්ව ගියේය. වෛද්‍යවරයාට මෙය ඇදහිය නොහැකි වී තිබුණේ එවන් රැයක පාළු මඟක පයින් ගමන්ගන්නා තනි මිනිසකු දැකීම කිසිසේත්ම අපේක්ෂා කළ නොහැකි නිසාත්, ඒ මිනිස් රුව අඩි කිහිපයක් ඉදිරියට ගොස් නොපෙනී යාම නිසාත්ය. ගුණවත්, පින්වන්ත මිනිසුන් සමඟ අනිවාර්යයෙන්ම දෙවියන් සිටිනවා යන්නට මෙය හොඳම නිදසුනකි. දෙවියන් ඔබට උදවු කරන්නේ, ආරක්ෂාව සලසන්නේ සෑම මොහොතකම ජීවිතයට කීර්තිය, ප්‍රශංසාව, ලාබය හා සමඟය. ඒ නිසා දෙවියන් ඉන්නා බව අමතක නොකළ යුතුය. අවශ්‍ය වන්නේ දෙවියන්ගේ ආශිර්වාදය, රැකවරණය ලැබිය හැකි තැනට ජීවන ප්‍රතිපත්ති සකසා ගැනීමය.
ශාස්ත්‍රපති දොඩම්පහළ ශ්‍රී රාහුල හිමි
රමණී සුබසිංහ
උපුටා ගැනීම සිළුමිණ පුවත්පත