නොපිරිහෙන අය තුළ තිබිය යුතු ගුණ දෙක
භාග්‍යවතුන් වහන්සේ අපට දේශනා කළා හැමදාමත් අලුත් කෙනෙක් වගේ ඉන්න කියල. පරණ කෙනෙක් නම් වෙන්න එපා කියලා. අලුත ගෙනා මනමාලියක් වගේ, හැමදා ම අලුත් කෙනෙක් වගේ වාසය කරන්න යෑයි භාග්‍යවතුන් වහන්සේ අපට දේශනා කළා. යම් කෙනෙකුට ඒ විදිහට අලුත් කෙනෙක් වගේ වාසය කරන්න පුළුවන් වුණොත්, එයාට මේ බුද්ධ ශාසනයේ නියම ඵල ප්‍රයෝජනය ගන්න පුළුවන් වෙන්නේ. එහෙම බැරි වුණොත් ලැබුණු යහපත මුළුමනින් ම එයාට අහිමිවෙනවා. එහෙමනම් අපිත් කල්පනා කළ යුතුයි හැමදාම අලුත් කෙනෙක් වගේ වාසය කරන්න. ඒ වගේ ම පරණවීමේ ස්‌වභාවය අපි තුළින් සම්පූර්ණයෙන් ම බැහැර කරන්න.
එවිට පරණ වීමේ ස්‌වභාවය මොකද්ද? අලුත් වීමේ ස්‌වභාවය මොකද්ද? අලුත් පරණ බව මොකෙන්ද මැන ගන්නේ? අලුත් කෙනාගේ ස්‌වභාවය මොකද්ද? පරණ කෙනාගේ ස්‌වභාවය මොකද්ද? මොකද්ද නිර්ණායකය අලුත් පරණ බව වෙන් කරගන්න?
ඒක තමයි, ලැඡ්ජා බය. යම් කෙනෙක් තුළ ලැඡ්ජා බය හොඳින් පවතිනවා නම්, එයා හැමදාමත් අලුත් කෙනෙක් වගේ. යම් දවසක එයා තුළින් ලැඡ්ජා බය තුරන් වී යනවා නම්, නැති වෙලා යනවා නම්, විනාශ වෙලා යනවා නම්, එතැන් පටන් එයා පරණ කෙනෙක්. එයාගෙ අලුත් බව නැහැ. අලුත් බව කියන්නේ නැවුම්, සුන්දරයි. පිපුණ ගමන් මලක් වගේ. අලුතින් උපන් කිරිකැටියෙක් වගේ. කාටත් ප්‍රියයි. ප්‍රිය උපදවනව. දුටුවන් ගේ හිත පහදිනවා. දුටුවන් ආයෙ සැරයක් බලන්න කැමතියි. නැවුම් දෙයක ස්‌වභාවය ඒකයි. මේ අලුත් බව කොතරම් යහපත පිණිස, හිත පිණිස, සැපත පිණිස පවතින දෙයක් ද කියල. ඒ අලුත් බව කුමකින් ද පෝෂණය වී තිබෙන්නෙ? අලුත් බව මොකක් මුල් කරගෙන ද පවතින්නෙ? ලැඡ්ජාව බය, (හිරි ඔතප්) මුල් කරගෙනයි ඒ අලුත් බව තිබෙන්නේ. ඒ අලුත් බව තුළයි ප්‍රිය ශීලී බව තිබෙන්නෙ. ඒ ප්‍රියශීලී බව මතයි තව කෙනෙකුට ඇසුරු කරන්න ප්‍රිය උපදින්නේ. ඒ මත තමයි පිරිසක් එකට වාසය කරන්ට පුළුවන් කම තියෙන්නෙ. ඒකෙන් ම තමයි එයාගෙ ධර්ම මාර්ගය සම්පූර්ණයෙන් ම දියුණු වෙලා යන්නේ. එතකොට අපේ ජීවිතය මුළුමනින් ම යහපතට ම යොමු කරන, ප්‍රමාණ කරන්ට බැරි අගයෙන් යුක්‌ත, ගුණ ධර්ම දෙකක් තමයි ලැඡ්ජාව බය කියන දේ. හිරි ඔතප් කියන දෙක. ඒ නිසයි භාග්‍යවතුන් වහන්සේ අපට පෙන්වා දෙන්නේ නො පිරිහෙන කෙනෙක් තුළ තියෙන ගුණයක් තමයි ලැඡ්ජාව කෙරෙහි ගෞරවයෙන් යුක්‌ත බව, බය කෙරෙහි ගෞරවයෙන් යුක්‌ත බව කියල. ඒක නො පිරිහෙන කෙනෙක් තුළ තිබිය යුතු දෙයක්. එවිට ඒ ගුණයන් කෙරෙහි ගෞරවයක් අප තුළ ඇති විය යුතුයි. හිරි ඔතප් කියන ගුණ ධර්මවලට ගෞරවයක් අප තුළ තිබිය යුතුයි. එතරම් ම මනුස්‌සයෙකුගේ ජීවිතයට අතිශයින් ම ශ්‍රේෂ්ඨ වූ ප්‍රතිලාභ අත් කරදෙන්ට උපකාර වන ගුණ ධර්ම දෙකක් තමයි ලැඡ්ජා බය කියල කියන්නේ. ඒකයි ඒ ගුණ ධර්මයන් කෙරෙහි ගෞරවය උපදවා ගත යුත්තේ, නොපිරිහීමට කැමති කෙනෙක් විසින්.
ලැඡ්ජා බය කියන ගුණ ධර්ම කෙරෙහි අපට ගෞරවයක් නැත්නම් අපි ඒ ගුණ ධර්ම නො සලකා හරිනවා. ඒ ගුණ ධර්ම නො සලකා හරින කෙනා තුළ ඒ ගුණ ධර්ම දියුණු කරගන්න බැරිව යනවා. ඒ නිසා අපි හොඳට ඒ කාරණය තේරුම් අරගෙන ලැඡ්ජා බය කියන ගුණ ධර්ම කෙරෙහි මහත් වූ ගෞරවයක් උපදවා ගන්ට ඕන. ගෞරවයෙන් යුක්‌තව ඒ ගුණ ධර්ම අපි උපදවා ගන්න, රැකගන්න, දියුණු කරගන්න කැමති වියයුතුයි. ඒ ගුණ ධර්ම අපි උපදවා ගෙන, ඒවා රැකගෙන, දියුණු කරගෙන පරිපූර්ණත්වයට පත් කරගන්න අපි කැමති වී ඒ සඳහා බලවත් සේ මහන්සි වියයුතුයි. මොකද.? ඒ ගුණ ධර්ම පහසුවෙන් ඇති කරගන්ට පුළුවන් ඒවා නොවෙයි. විශාල කැප කිරීමක් ඒ සඳහා අපි කළ යුතු වෙනවා. එවිට ඒ ගුණ ධර්ම අපෙන් ගිලිහී ගියොත්, අපට ඒ ගුණ ධර්ම ඇති කරගන්න බැරි වුණොත්, ඒ කෙබඳු හේතු මුල් කරගෙන ද? මොනවගේ හේතු මුල් වෙලා ද, අපට ඒ ලැඡ්ජා බය එහෙම නැත්තම් හිරි ඔතප් කියන ගුණ ධර්ම ඇති කරගන්න බැරි වුණොත් බැරි වෙන්නෙ? ඒ වගේ ම ඇති කරගත්ත ඒ ගුණ ධර්ම තිබෙනවා නම්, ඒවා අපට දියුණු කරගන්ට බැරුව, පිරිහිලා යන ස්‌වභාවයට පත් වෙනවා නම් පත් වෙන්නෙ මොනවගේ හේතු, මොනවගේ කරුණු මුල් වෙලා ද? ඒ සඳහා බලපාන තීරණාත්මක දේවල් මොනව ද? මෙන්න මේ පිළිබදව අපිට යම් වැටහීමක් තිබිය යුතුයි. එහෙම නැති වුණොත් දන්නේ ම නැතුව අපි පිරිහීලා යනවා. ඒ ගුණ ධර්ම දෙක අහිමි වීම පිණිස හේතු වන අතිශය තීරණාත්මක වූ කාරණා තමයි ලාභ සත්කාර, කීර්ති ප්‍රශංසාවලට අපේ හිත යට වීම, ගිජු වීම. ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා වලින් මත්වීම. ඒ සඳහා මහන්සි වීම. ඒක තමයි තීරණාත්මක සාධකය වෙන්නෙ අපි තුළින් හිරි ඔතප් අහිමි වෙලා යන්ට. ඒ ලාභ සත්කාර, කීර්ති ප්‍රශංසා, පිළිගත් බව ආදී කරුණු හේතුකොටගෙන එයා මත් වෙනවා. එසේ මත් වීමට පත් වෙච්ච කෙනා තුළ ලැඡ්ජා බය තුරන්වී යනවා. 'අප කෙරෙහි පිළිගැනීමක් තියෙනව' කියල අපට හැඟීමක් ආවොත්, ඒකට මත් වෙලා ගියොත් එයා තුළ ලැඡ්ජා බය නැති වෙලා යනවා. එයා ලාභ සත්කාර කීර්ති ප්‍රශංසාවලට ගිජු වෙලා ඒ සඳහා වෑයම් කරනවා නම් එයා තුළ ලැඡ්ජා බය නැති වෙන්න ඒක හේතු වෙනවා. අපි තුළ තිබෙන යහපත් වූ සියලු දේවල් නසන්න හේතු වෙන දෙයක් තමයි මේ ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා කියන්නේ. නමුත් ඒ යහපත් වූ සියලු දේ උපදවලා දෙන්ට හේතුවන දෙයක් තමයි ලැඡ්ජා බය. පැහැදිලියි ද? යහපත් වූ සියලු ප්‍රතිලාභ නසන්න හේතු වෙන දෙයක් තමයි ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා. යහපත් වූ සියලු ප්‍රතිලාභ උපදවා දෙන්න හේතු වෙන දෙයක් තමයි පවට ලැඡ්ජාව පවට බය, (හිරි ඔතප්) කියන ධර්මතාවයන්.
එසේනම් අප තුළ ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා ආදී දේට ගිජු බවක් ඇති වුණොත්, කැමැත්තක් ඇති වුණොත්, ඇල්මක් ඇති වුණොත්, ඒ සඳහා වෑයම් කරන්න පෙළඹුණොත් අපට අහිමි වෙන්නෙ මොකද්ද? සියලු යහපත් වූ ප්‍රතිලාභ අහිමි වෙනවා. බුදු සසුනේ හිමි කරගන්න තියෙන සියලු යහපත් වූ ප්‍රතිලාභ අහිමි වෙනවා. ඒ අහිමි වෙන්නෙ ලැඡ්ජා බය අප තුළින් නැති වීම නිස යි. ඒ නිසා ඒක අපි හොඳට මතක තියාගෙන මේ ධර්මයන් පුරුදු කරගන්ට ඕන.
තෙරුවන් සරණ යි...!
පූජ්‍ය නාවලපිටියේ අරියවංශ හිමි
උපුටා ගැනීම දිවයින