Biz Log
Classifields
Biz Log
Classifields

නිරෝගි මනසකින් දහම දකිමු

නිරෝගි මනසකින් දහම දකිමු

සමාජයේ බොහෝ දෙනෙක් බොහෝම සුළු කරුණක් සඳහාත් තරහ ගන්නවා. ඇයි ඔබට මෙතරම් කේන්ති යන්නේ කියලා ඇසුවොත් බොහෝ අය විවිධ හේතු කියන්න පුළුවන්. නමුත් ඒ හේතු සියල්ලම හොඳට විමසලා බැලුවොත් තරහ යන්නේ ප්‍රධාන හේතු දෙකක් නිසා. ඒ තමයි කැමැති දේ නොලැබීම. දෙවැනි එක තමයි අකමැති දේ ලැබීම. අපි කැමැතියි අපිව කවුරුහරි වර්ණනා කරනවා නම්. තමා ගැන මේ අය හොඳ දෙයක් කියයි කියලා අපි නිතරම හිතාගෙන ඉන්නවා. එහෙම ඉන්න අවස්ථාවක හොඳක් කිව්වේ නැත්නම් අපට තරහ යනවා. ඇයි? අපි බලාපොරොත්තුවෙන් සිටිය දේ නොලැබී ගිය නිසා. සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක් ලෝකයට පහළ වන්නේ සියලු සත්වයන් දුකෙන් නිදහස් කිරීම උදෙසායි. උන්වහන්සේ අපට කියාදෙනවා දුකෙන් නිදහස් වන මාර්ගය පිළිබඳව. ඒ මාර්ගයේ ගමන් කරන ආර්ය ශ්‍රාවකයන් සංසාර දුකෙන් නිදහස් වී සැපත ළගා කර ගනු ලබනවා. ඒ දුකෙන් නිදහස් වන මාර්ගයේ ගමන් කිරීමේදී අපේ ජීවිතවලට පුරුදු කළ යුතු බොහෝ ගුණාංග තිඛෙනවා. ඒ එක් ගුණාංගයක් සඳහන් සූත්‍ර දේශනාවක් අපි අද කථා කරනවා.

ඒ සූත්‍රයේ නම තමයි ආඝාතපටිවිනය සූත්‍රය. අංගුත්තර නිකායේ පංචක නිපාතයේ මෙය සඳහන්ව තිඛෙනවා. ආඝාතපටිවිනය නමින් සූත්‍ර දේශනා දෙකක් තිඛෙනවා. පඨම ආඝාතපටිවිනය සූත්‍රය වදාළේ භාග්‍යවතුන් වහන්සේ. දුතිය ආඝාතපටිවිනය සූත්‍රය වදාළේ සැරියුත් මහ රහතන් වහන්සේ. ආඝාත කියන්නේ තරහ කියන එක. පටි කියන්නේ නැවත නැවත කියන එක. විනය කියන්නේ හික්මවීමයි. හට ගත් තරහ නැවත නැවත නොකර හික්මවා ගැනීමයි මෙහි සරල තේරුම. ඒ සඳහා අවශ්‍ය ක්‍රමවේදය තමයි මෙම සූත්‍රයේ සඳහන්ව තිඛෙන්නේ. අප සමාජයේ බොහෝ දෙනෙක් බොහෝම සුළු කරුණක් සඳහාත් තරහ ගන්නවා. ඇයි ඔබට මෙතරම් කේන්ති යන්නේ කියලා ඇසුවොත් බොහෝ අය විවිධ හේතු කියන්න පුළුවන්. නමුත් ඒ හේතු සියල්ලම හොඳට විමසලා බැලුවොත් තරහ යන්නේ ප්‍රධාන හේතු දෙකක් නිසා. ඒ තමයි කැමැති දේ නොලැබීම. දෙවැනි එක තමයි අකමැති දේ ලැබීම. අපි කැමැතියි අපිව කවුරුහරි වර්ණනා කරනවා නම්. තමා ගැන මේ අය හොඳ දෙයක් කියයි කියලා අපි නිතරම හිතාගෙන ඉන්නවා. එහෙම ඉන්න අවස්ථාවක හොඳක් කිව්වේ නැත්නම් අපට තරහ යනවා. ඇයි? අපි බලාපොරොත්තුවෙන් සිටිය දේ නොලැබී ගිය නිසා. අප සිතනවා මේ පුද්ගලයාට මෙතරම් උදව් උපකාර කර තිබියදීත් මා ගැන හොඳක් කිව්වේ නැහැනේ යැයි සිතා දොම්නසට පත්වෙනවා. ඒ තමයි කැමැති දේ නො ලැබීම. ඊළග කාරණය තමයි අකැමැති දේ ලැබීම. අප කවුරුවත් කැමැති නැහැ බැනුම් අහන්න. ඒ වගේම අපේ නරකක් කියනවා නම් අපේ දෙයක් බලෙන් ගන්නවානම් අපිට තරහ යනවා. ඉතින් මේ හේතු දෙකම මුල් වෙලා තරහ යන ආකාර නමයක් මේ දේශනාවේ සඳහන්. එය නවාඝාත වශයෙන් සඳහන් වෙනවා. නවාඝාතය කොටස් තුන තුන වශයෙන් තේරුම් ගත යුතුයි. පළමු කොටස් තුන තමයි යම් කෙනෙක් මට අතීතයේ දී අනර්ථය කළායැයි සිතමින් තරහ ගන්නවා. එය කයින්, වචනයෙන් සහ සිතින් කරන්න පුළුවන්. සමහර විට අවුරුදු ගණනකට පෙර කළ දේ සිතමින් ඒ තරහ පෝෂණය කරමින් ජීවත් වෙනවා. ඊළග එක තමයි වර්තමානයේ සිදුවීම් සිහි කරමින් තරහ පෝෂණය කරනවා. ඊළගට අනාගතයේදීත් මේ අය මට ඊර්ෂ්‍යා කරයි, මගේ දේ පැහැර ගනියි කියා අනාගතය උපකල්පනය කරමින් තරහ සිතක් ඇතිකර ගනු ලබනවා. සමහර පුද්ගලයන් ඉන්නවා තමන්ට බනින එකත්, අම්මට තාත්තට බනින එකත්, රටට ජාතියට ආගමට බනින එකත් ඉවසන්න පුළුවන්. ඉවසන්න බැරිම දේ තමා තමා අමනාප තමාට අප්‍රසන්න පුද්ගලයකුගේ ගුණ අහන්න ලැබීම. සාමාන්‍ය පෘතග්ජන ගතියට අපි කවුරුත් අකැමැතියි අමනාප පුද්ගලයෙකුගේ ගුණ අහන්න. ඒ පුද්ගලයාගේ වැරැද්දක් කිවුවොත් ඇත්ත තමයි මාත් දැක්කා, එයා එහෙමම තමයි කියමින් අඩුපාඩු එකතු කරන්න කැමැතියි. ගුණයක් කිවුවොත් ඒක අනුමෝදන් වෙන්න කැමැති නැහැ. අප උත්සාහ කරන්නේ අප අමනාප පුද්ගලයාගේ වැරැදි සාධාරණය කරලා ඒක හරියි කියලා ලෝකයාට හේත්තු ගන්වන්න. අපේ සිත කැමැති තරහ පුද්ගලයාගේ වරදම දකින්නයි. නරකම දකින්නයි. එහෙම අවස්ථාවක එයාගේ හොඳක් අසන්නට ලැබුණොත් අපට කේන්ති යනවා. සිතේ අමනාපයක් ඇතිවෙනවා. එතැනදී අපි කැමැති දේ ලැබුණේ නැහැ. අකැමැති දේ ලැබුණා. එයින් අපගේ සිතට තරහවක් ඇතිවෙනවා.

වර්තමානයේදීත් අනාගතයේදීත් ඒ ඒ ආකාරයට ගලපමින් තරහ සිතක් ඇතිකර කර ගන්නවා. මේ විවිධාකාරයට තරහ යාම් නැත්නම් ද්වේෂය අපේ සිතේ හට ගන්නවා. මොන ආකාරයට තරහ ගියත් එය සාධාරණය කරන්න පුළුවන් කාරණයක් නම් නොවේ. එය පාපතර අකුසල සිතිවිල්ලක්. සිත දුර්වල කරන, සිත කෙලෙසන, සිතේ වටිනාකම නැති කරන ප්‍රභාශ්වරය නැති කරන දුර්වර්ණ කරන අපවිත්‍ර කරන සිතිවිල්ලක්. සිතට එන නරක සිතිවිලි නවත්වා ගන්න නම් අප කරන්න ඕන ඒ සිතට එන අකුසලයට වටිනාකමක් නොදී සිටීමයි. ඕනෑම සිතිවිල්ලකට වටිනාකමක් දුන්විට ඒ සිතුවිල්ල සිතේ ස්ථාවර වෙනවා. සිතිවිලිවලට වටිනාකමක් ලැඛෙන්නේ නැවත නැවත එයම සිතන්නට පටන්ගත් විටයි. ද්වේෂය හටගත් අවස්ථාවක එයම සිතුවොත් එය සිතේ තහවුරු වෙනවා. ස්ථාවර වෙනවා. ඒ ස්ථාවර සිතිවිල්ල ආවේගයක් බවට පත්වෙනවා. ආවේගය කියන්නේ වේගයෙන් අප කරා එන සිතිවිල්ලයි. වේගය වැඩිවුනාම අභ්‍යන්තර පාලනයෙන් තොරයි. සිතුවිලි වලට පානයක් නැතිවුණාම තමයි ඒවා පරුෂ වචන වශයෙන් එළියට එන්නේ. සිතුවිලිවල පාලනයක් නැතිවුණාම වැරැදි ක්‍රියා වශයෙන් එළියට එනවා. ඒ නිසා පාලනය කරන්න බැරි විදිහට සිතුවිලිවලට වටිනාකම් දෙන්න හොඳ නැහැ. නරක සිතිවිල්ල මෙනෙහි කරන්න හොඳ නැහැ. එහි ආදීනවය දැකිය යුතුයි. තමාට තමා වටා සිටින අයට, සමාජයට වන හානිය පිළිබඳව සිහිනුවණින් සිතා තමාගේ් සිතිවිල්ල පාලනය කර ගෙන වලක්වා ගත යුතුයි.

පළමු ආඝාතපටිවිනය සූත්‍රයේදී භාග්‍යවතුන් වහන්සේ වදාළා සිත පාලනය කරන ක්‍රමවේද පහක්. දෙවැනි සූත්‍රයේදී සැරියුත් මහ රහතන් වහන්සේ දේශනා කළා තරහ ගන්නට හේතු රැස්කරන මිනිසුන් කොට්ඨාස පහක්එහි පළමු පුද්ගලයා තමයි ඔහුගේ කායික වැඩ අපිරිසුදුයි. නමුත් වචනය පිරිසුදුයි. දෙවැනි තැනැත්තා කායික ක්‍රියා පිරිසුදුයි, වචනය අපිරිසුදුයි. තුන්වැනි පුද්ගලයා කායික ක්‍රියාත්, වාචසික ක්‍රියාත් අපිරිසිදුයි. නමුත් ඉඳහිට යහපත් සිතිවිල්ලක් ඇතිකර ගනු ලබනවා. හතරවැනි පුද්ගලයාගේ කායික වාචසික ක්‍රියා මෙන්ම සිතිවිලිත් යහපත් නැහැ. පස්වැනි පුද්ගලයාගේ කායික, වාචසික මෙන්ම සිතිවිලිත් ඉතා හොඳයි. මෙහි සඳහන් පළමු, දෙවැනි, තුන්වැනි පුද්ගලයන් ඇසුරු කරන්නට ලැබුණාම අපට තරහ යනවා. ඔවුන්ගේ ඇසුරේදී අපේ සිතේ නිතරම ද්වේෂයක් හට ගන්නවා. ඉතින් සැරියුත් මහරහතන් වහන්සේ වදාළා අර පුද්ගලයන්ගේ තිඛෙන සියලු වැරැදි නොසිතා තිඛෙන එක හොඳ පමණක් සිහි කරන්න කියා. අනුන්ගේ නරක සිතන්නට සිතන්නට නරක් වෙන්නේ අපේ සිත. අනුන්ගේ හොඳ සිතන්නට සිතන්නට හොඳ වෙන්නෙත් අපේ සිත. අනෙක් කෙනාගේ නරක දකිමින් අපේ සිතට කේන්තියක් ඇතිකර ගන්නවා නම් එහි හානියක් අපටමයි. මේ ආකාරයට අපට තරහ යනවා නම් ඒ තරහ පාලනය කර ගන්න භාග්‍යවතුන් වහන්සේත් අපට දේශනා කළා ක්‍රම පහක්.

පළමු ක්‍රමය තමයි මෛත්‍රීය උපදවා ගැනීම.

මෛත්‍රීය කියන්නේ මිතුරුකමයි. යාලුකම. කෙනෙකුගේ නරක ගැන සිතන්නේ නැතිව හොඳ පමණක් සිතනවා නම්, තරහ සිතිවිලි නැතිවෙලා යනවා. යම් පුද්ගලයෙක් පිළිබඳව තරහක් එනවානම් ඔහුගේ් හොඳක්ම දකින්න පුරුදු වෙන්න ඕනෑ.

දෙවැනි කාරණය තමයි කරුණාව පුරුදු කිරීම.

කරුණාව කියන්නේ කෙනෙක් අසරණ වුණාම පිහිටවීම. කෙනෙක් අපට දොස් කිව්වාම අපේ සිතේ කේන්තියක් ඇති වෙනවා. එය පාලනය කරගන්න ඔහුට කරුණාව දක්වන්න ඕන. මම නිසා මොහුගේ සිතේ තරහක් ඇතිවෙනවා නම් ඒ තුළින් ඉවත්වෙලා ඉන්න ඕනෑ කියා කරුණාව ඇතිකර ගන්න ඕන.

තුන්වෙනි කාරණය තමයි කා සමඟ හරි තරහවක් ඇති වූ විට තමාගේ සිතේ උපේක්ෂාවක් ඇතිකර ගන්න උත්සාහ කරන්න ඕනෑ.

උපේක්ෂාව කියන්නේ මධ්‍යස්ථව සිටීම. ඕනෑම දුකක් අපට වැඩිවෙන්නේ ඒ දුක පුද්ගලික කර ගැනීමෙන්. අනේ අපටමයි මේ කරදර. හැමදාම අපට දුක පමණයි කියා හිතන්නට හිතන්නට දුක වැඩියි. දුක කියන්නේ පොදු ධර්මතාවයක් කියා සිතූවිට දුක වෙනවා.

හතරවැනි කාරණය තරහ ඇතිවන විට අරමුණ මාරු කිරීම.

කෙනෙක් දොස් කියපු අවස්ථාවක එයම නො සිතා වෙන දෙයක් සිතිය යුතුයි. එහෙම නැත්නම් පොතක් කියවන්න, ගීතයක් අහන්න වැනි දෙයක් කරන්නට පුළුවන්. අවධානය වෙනතකට යොමු කළවිට වේදනාව අඩු වෙනවා. එනිසා අප ද්වේෂය ඇවිස්සී එන අරමුණට වටිනාකමක් නොදී වෙනත් අරමුණක් සිතීමට පුරුදු කරන්නට මහන්සි වෙන්න ඕනෑ.

පස්වෙනි  කාරණය තමයි කර්මය අවබෝධ කර ගැනීම.

කා සමග හෝ තරහවක් ඇතිවූ විට භාග්‍යවතුන් වහන්සේ වදාළා කර්මයේ ස්වකීයත්වය ගැන සිතන්න කියලා. යම් කර්මයක් තමා විසින් කළ විට එය තමාට දායාද ලෙස ලැඛෙනවා කියා විශ්වාසයක් ඇතිකර ගෙන මේ පුද්ගලයා මට දොස් කියලා බැනලා අකුසල් සිදුකර ගත්තා. එහි විපාක ඔහුට ලැඛෙයි. මමත් එකටෙක කළොත් මටත් විපාක විඳීන්නට සිදුවෙයි කියා කර්මය පිහිට කරගෙන අකුසල් සිත බැහැර කරන්න ඕනෑ. එනිසා ඉවසීම පුරුදු කළ යුත්තේ ද්වේෂය ඇවිස්සී එන විටයි. මෛත්‍රීය පුරුදු කරන්න ඕනෑ එතනැදීයි. එහෙම කරනවිට ද්වේෂය පාලනය කර ගන්න අපට පුළුවන්කම තිඛෙනවා. එසේ කළවිට නිරෝගී මනසකින් එදිනෙදා ජීවිතයේ සුවසේ මේ ධර්ම මාර්ගයේ ගමන් කරන්නට ඔබටත් අවස්ථාව උදා වෙනවා.

තලල්ලේ චන්දකිත්ති හිමි සාකච්ඡා කළේ නයනා නිල්මිණ

Share This Article