Biz Log
Classifields
Biz Log
Classifields

ඇස්වහ කටවහවලින් මිදීමේ නොවරදින මංපෙත්


ඇස්වහ කටවහ හෝවහ දෝෂ හදි හූනියම් වලටත් වඩා බලවත් බව පවසති. මෙම දෝෂයන්හි අහිතකර බලපෑම මිල මුදල්, වස්තුව දේපළ ආදියට මනුස්ස ජීවිතවලට ගහේ කො‍ලේ පලදාවට පමණක් නොව කිරි දෙනුන් වැනි සතුන්ට පවා එල්ල වන බව විශ්වාසයයි. ඈත අතීතයේ පටන් ජන විඥානයන් තුළට කිඳා බැස ඇති මෙම මත අදටත් අදහන පිරිස් කොතෙකුත් සිටිති.

හුරුබුහුටි පුංචි දරුවන්ට තදබල ආකාරයට ඇස්වහ වදින බවට විශ්වාසයක් පවතී. එවන් දරුවන් බහ තෝරන වියේ පවසන සුරතල් වචන හේතුවෙන් පවා ඇස්වහ වදිනවා යැයි පැරැන්නෝ පැවැසූහ.

එවන් ඇස්වහ වැදීම් හේතුවෙන් පුංචි දරුවන්ගේ සිරුරෙහි ඇස්වහ බිබිලි හට ගන්නා බවත් බහ තෝරන දරුවන්ට කටවහ වැදීමෙන් එම දරුවන් කතා කිරීම නතර කරන බවටත් මත පවතී.

පලදාව පිරි ගහක වැලකට ඇස්වහ කටවහ වැදීමෙන් එම පලදාව කුණු වී අකාලයේ හැලී යන බවත් කිරෙන් බර වූ බුරුළු සහිත කිරි දෙනුන්ට ඇස්වහ වැදීමෙන් එම තන් බුරුළු පිපිරී තුවාල හට ගන්නා බවත් පැවැසේ.

ඇස්වහ කටවහ සහ හෝවහ දෝෂ හට ගන්නවා යැයි පවසන්නේ මෙසේය. මෙම දෝෂ අතුරින් හෝවහ යනු කෙනෙකුගේ දියුණුව සැපත යහපත දකින වෙනත් පාර්ශ්වයක් ඒ පිළිබඳව තම හදවතින් සතුටු වනවා වෙනුවට ඊර්ෂ්‍යාව කුහකත්වය තෙරපෙන හදවතින් සුසුම් හෙලීමේදී නිකුත් වන අයහපත් තරංග හේතුවෙන් හට ගන්නා දෝෂයයි.

ඇස්වහ යනු තවත් එවැනි දෝෂයකි. එය හට ගන්නේ අයහපත් සිතින් බැලීමෙන්ය.

ඇස්වහ ඇති පුද්ගලයෙකු තවත් පුද්ගලයෙකුගේ සැපතක් යහපතක් හෝ ගහක කොළක සරු ඵලදාවක් දුටුවිට ඒ දෙස ද්වේෂ සහගත කුහක සිතින් බැලීම තුළ බලවත් දෝෂ හට ගනී. විනාශකාරී එවන් බැල්මෙන් උපදින දෝෂ තරංගයන් ඒ මොහොතේ සිටම ක්‍රියාත්මක වෙමින් ජප කරන ලද හදි හූනියමක් ආකාරයට අනිටු පල විපාක ගෙන දෙයි.

කටවහ දෝෂද එසේමය. බොහෝ කටවහ සහිත පුද්ගලයෝද සිටිති. එවන් පුද්ගලයන් අන් අයගේ දියුණුව යහපත ඉවසා දරාගත නොහැකිව ඊර්ෂ්‍යා සහගත සිතින් තම මුවින් පිට කරන වචන හේතුවෙන් අනෙක් පාර්ශ්වයට නොසිතූ කරදර අනිටු පලවිපාක ඇතිකරවයි.

කටවහ සහිත පුද්ගලයන් හඳුනා ගත හැකි ආකාරයක් පිළිබඳවද සඳහන් වේ. කටවහ සහිත පුද්ගලයෝ නිශ්ඵල දේ පිළිබඳව නිතර දොඩවති. අරමුණක් අවසානයක් නැති කතාව ඔවුන්ට උරුමය. කටවහ සහිත පුද්ගලයෝ පිළිකුල් සහගත ලෙස අනුන්ගේ අඩුපාඩු දකින්නට දක්ෂයෝ වෙති. ඔවුන්ගේ මුවින් පිටවන ඊර්ෂ්‍යා සහගත වචනයක් වචනයක් පාසා අන් අයට විපත් ගෙන එන්නේ නිරායාසයෙන්ය.

ඇස්වහ කටවහ දෝෂ හටගෙන ඇතැයි විශ්වාසයක් පවතින විටදී ඇස්වහ මැතිරීම නම් වූ ශාන්ති කර්මයක් සිදු කරයි. එහිදී මැතිරූ වතුර මුට්ටියේ ජලය දෙහි අත්තකින් හෝ අඹ ඉත්තකින් ඉස දැමීම මගින් ඇස්වහ දෝෂ සමනය වන බව විශ්වාස කරයි.

ඊට අමතරව ඇස්වහ පිච්චීම නම් වූ ක්‍රමවේදයක්ද වේ. එහිදී වේලිච්ච මිරිස් කරල් හතක්, අබ මිටක්, ගම්මිරිස් ඇට හතක්, ලුණු කැට අහුරක්, ආදී දේ හිල් ‍පොල්කටු පුළුස්සා ලබාගත් අඟුරු ගිනි කබලක පිළිස්සීම සිදුකරයි. එමගින්ද ඇස්වහ දෝෂ ඉවත්වන බව පිළිගැනීමයි.

හේන් කුඹුරු එළවළු කොරටු ආදියේ පඹයින් නිර්මාණය කර ඇති අයුරු ඔබද දැක තිබිය හැකියි. බොහෝ අයගේ අදහස ඉන් සිදුවන්නේ සතුන් බිය වද්දවමින් අස්වැන්න ආරක්ෂා කර ගැනීම පමණක් බවයි. එහෙත් එලෙස නිර්මාණය කර ඇති පඹයකු මගින් තමන්ගේ පලදාවට ඇස්වහ වැදීම වළකාලීමක්ද අපේක්ෂිතයි. පලබරින් පිරි හේන් කොරටු දකින පුද්ගලයින්ගේ නෙත් එක්වරම පඹයා වෙත යොමුවීමෙන් ඇස්වහ කටවහ සහිත පුද්ගලයින්ගේ සිතුවිලි, හැඟීම් ආදිය යටපත් වීමක් සහ එහි පවතින අහිතකර කිරණ ශක්තිය හීනවීමක් සිදු වෙමින් ඇස්වහ කටවහ වැදීම දුර්වල කිරීම අපේක්ෂා කරයි.

පුංචි දරුවන්ගේ නලලත තිලක තබන්නේත් ඔවුන්ට පංචායුධ පළඳවන්නේත් ඇස්වහ කටවහ ආදී උවදුරු වලින් මුදවා ගැනීමටයි. අලුත ඉදිකරන නිවෙස් ගොඩනැගිලි ආදියේ ‘බුදු සරණයි’ ‘දෙවි පිහිටයි’ ආදී පුවරු එල්ලා තබන්නෙත් වහ දොස් නොවැදීමටයි. මෙවැනි වහ දෝෂ දැඩිසේ විශ්වාස කරන සමහරුන් තමන් සතු ධන සම්පත් පමණක් නොව උස් මහත් වූ දරුවන්ව පවා ඇස්වහ කටවහ පවතිනවා යැයි සිතන පුද්ගලයින්ගෙන් වසන් කර තබා ගැනීමට උත්සාහ දරන අවස්ථා තිබේ.

බුදු දහමෙහි එක් සූත්‍ර දේශනාවක් නිතිපතා සජ්ජායනා කිරීමෙන් කිසිදු වහ දොසක් නොවදිනසේ ආරක්ෂාව සලසන බවට විශ්වාසයක් පවතී. විශාලා මහනුවර තුන්බිය දුරුකරන්නට දේශනා කළ රතන සූත්‍රය එම සූත්‍ර දේශනාවයි.

පුරාණ වාස්තු විද්‍යා ගවේෂක සහ ක්‍රිෂ්ණමූර්ති පද්ධති පර්යේෂක ධර්ම ශ්‍රී මුද්දුවගේ විසිනි

උත්පලා සුභාෂිනී ජයසේකර

Share This Article