දෙවියෝ දෙන දරුවෝ
දරුවෝ දෙවියන්ට බාර කළාම ඒ කාලය පුරාම දෙවියෝ ඒ දරුවන්ව රැක ගන්නවා. එතකොට ඒ දරුවෝ දෙවියන්ගේ. දෙවියන්ගේ දේවල් අයිති දෙවියන්ට. දෙවියන්ට බාර කරපු දරුවෝ අයිති වෙන්නෙත් දෙවියන්ට. අවුරුදු ගාණක් තිස්සේ දරුවෝ නැති විවාහක යුවළ තමන්ට ඉපදෙන පළමු වැනි දරුවා දෙවියන්ට බාර කරනවා. ඒක සිරිතක්. දරුවෝ නැති කෙනෙක්ට දැනෙන දුක වචනවලින් කියන්න බැහැ. මුළු ලෝකෙටම පේන්න හිනා වුණාට දරුවෝ නැති කාන්තාවෝ සිය දහස් වාරයක් හිතින් අඬනවා. පුංචි දරුවෙක්ගේ හුරතල් දකින වාරයක් වාරයක් ගාණේ ඒ අයගෙ පපුව කඩා වැටෙනවා. කාටවත්ම කියන්න බැරිව හිත ඇතුළේ දුක හිර කරන් ඉන්නවා. තමන්ගේ කුසෙන් දරුවෙක් බිහි කරන්න බැහැ කියන කාරණය ගැහැනියකට පුදුම වේදනාවක්. හැමෝම මුහුණට හිනා වුණාට දරුවෙක් නැති අඩුපාඩුව ගැන රහසින් කතා වෙනවා. සමහරු නම් අඩුපාඩු ගැන කියලා හිත රිදවන්නම බලාගෙන ඉන්නවා. මොන තරම් ඉහළ රස්සාවක් කළත් පරම්පරාව ඉදිරියට අරන් යන්න දරුවෙක් නැත්නම් ඒක අඩුවක්.
පසුගිය කාලේ මගේ ළඟට ආවා තරුණ වයසේ අන්තිම හරියේ ඉන්න දුවෙක්. ඒ දුව විවාහ වෙලා හිටියේ රජයේ උසස් නිලධාරියෙක් සමඟ. හරි ලස්සනට විවාහ උත්සවයකුත් අරන් මවුපියන්ගේ ඥාතීන්ගේ ආශීර්වාද මැද විවාහ වෙලා අවුරුදු හයකටත් වැඩියි. විවාහයෙන් අවුරුද්දක් දෙකක් ගත වුණාම හොඳින් හිටිය නෑයෝ වෙනස් වෙලා. ඒ මේ දුවට දරුවෝ නැති නිසා. මේ දරුවව පරීක්‍ෂා කරපු වෛද්‍යවරු කියලා තිබුණේ ගැබ් ගැනීමක් සිදුවෙන්න තියෙන අවස්ථාව හරි අඩුයි කියලා. මේ දරුවා හරි අසරණ වෙලා වගේ හිටියේ. අම්මා කෙනෙක් වෙන්න බැහැ කියන කාරණය මේ දරුවට හුඟක් බලපාලා තිබුණා. කාලි අම්මගේ දේවාලයට ඒ දරුවා ආවේ තනියම. මාත් එක්ක හුඟ වෙලාවක් කතා කළා. මම ඒ දරුවගේ හිත හදලා අනෙක් දවසේ මහත්තයාවත් එක්කගෙනම ඇවිත් දෙන්නගෙම අත් දෙකෙන් පූජාවක් තියන්න කියලා කිව්වා. මහත්තයා නම් මුලින්ම කාලි මෑණියන් ළඟට ඇවිත් පූජාව තියන්න කැමැති වෙලා නැහැ. ඒත් මේ දරුවගේ බල කිරීමට දෙන්නත් එක්කම මෙතැනට ඇවිත් පූජාව තියලා බාරයකුත් ගැට ගැහුවා. මම ඒ දරුවට බොන්න කියලා බෙහෙතක් හදලා දීලා සතුටින් ඉන්න කියලා. දෙන්නව පිටත් කළා. මම පූජාව කරද්දී ඒ දරුවා ඇස් දෙකේ කඳුළු පුරවාගෙන මෑණියෝ දිහා බලාගෙන හිටියා. මෑණියන්ව විශ්වාස කරලා මෙතැනට එන කිසිම කෙනෙක්ව මෑණියෝ මඟ හරින්නේ නැහැ. මාස දෙකක් විතර ගියාට පස්සෙ අර දරුවා මට කතා කළා. ඒ වෙද්දිත් එයා ගැබිනියක්. ළඟදි දවසක දේවාලෙට ඇවිත් යනවා කියලා කිව්වා මෑණියන්ට වුණු බාරය ඔප්පු කරන්න. ඒ දරුවා පුදුම තරම් සතුටකින් හිටියේ. අවුරුදු ගාණකට පස්සේ අම්මා කෙනක් වෙන සතුට එයාට කාලි මෑණියෝ දීලා තිබුණා.
මව්බිම